මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

3. සුඤ්ඤත වර්ගය

126. භූමිජ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් වහන්සේ උදයකාලයෙහි හැඳ පාත්‍රා සිව්රු ගෙන ජයසේන රාජකුමාරයාගේ ගෘහය යම්තැනකද එහි පැමිණියේය. පැමිණ පනවනලද ආසනයෙහි හිඳ ගත්තේය. ඉක්බිති ජයසේන රාජකුමාරතෙම ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටුවිය යුතු කථාකොට නිමවා එක්පසක හිඳ ගත්තේය. එක්පසක හිඳ ගත්තාවූ ජයසේන රාජකුමාරතෙම ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය. “පින්වත් භූමිජ ස්ථවිරයෙනි, මෙවැනි වාද ඇති මෙවැනි දෘෂ්ටි ඇති මහණ බමුණෝ ඇත්තාහ.

ඉදින් කැමැත්තෙන් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේ නම් එසේත් ඵලයට නොපැමිණිය හැකිය. ඉදින් අකමැත්තෙන් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේ නම් එසේත් ඵලයට පැමිණිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද අකමැත්තෙන්ද බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් එසේත් ඵලයට පැමිණිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් එසේත් ඵලයට පැමිණිය නොහැකිය යන, (වාදයෝයි.)

“මේ කාරණයෙහි පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙමේ කිනම් වාද ඇත්තෙක්ද? කුමක් කියන්නෙක්ද?”

“රාජකුමාරය, මා විසින් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිගෙන නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කිරීමට කරුණු ඇත. ‘ඉදින් කැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුත් නොකැමැත්තෙන් නොවීමෙනුත් නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය.’

‘ඉදින් කැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් නොකැමත්තෙනුදු නොකැමැත්තෙන් නොවීමෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය යනුවෙනි.

“රාජකුමාරය, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිගෙන නැත. එහෙත් උන්වහන්සේ විසින් මේ ආකාරයෙන් දෙශනා කිරීමට කරුණු ඇත්තේයයි කීය.

“ඉදින් පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙමේ මෙවැනි වාද ඇත්තෙක් මෙසේ කියන්නෙක් වෙයි නම් ඒකාන්තයෙන් පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘතෙමේ බොහෝවූ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මුදුනෙහි සිටින්නෙකැයි කියා ජයසේන රාජකුමාර තෙමේ ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් තමාට පිළියෙල කළ බතින් වැළඳවීය.

“ඉක්බිති ආයුෂ්මත් භූමිජ ස්ථවිරතෙමේ සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හිඳ ගත්තේය. පසක හිඳගත් ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකෙළේය. “ස්වාමීනි, මම පෙරවරු කාලයෙහි හැඳ පාත්‍ර සිවුරුගෙන ජයසේන රාජකුමාරයාගේ ගෘහය යම් තැනකද එහි ගියෙමි. ගොස් පැනවූ ආසනයෙහි හිඳ ගතිමි. ස්වාමීනි, ඉක්බිති ජයසේන රාජකුමාරතෙම මම යම් තැනකද එහි පැමිණියේය. පැමිණ මා සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාකොට නිමවා එක් පසක හිඳගත්තේය. එක් පසක හිඳගත් හෙතෙමේ මට මෙසේ කීය.

“පින්වත් භූමිජ ස්ථවිරයෙනි, මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. කෙසේද? ‘ඉදින් කැමැත්තෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය. ඉදින් නොකැමැත්තෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය ඉදින් නොකැමැත්තෙනුදු නොකැමැති නොවීමෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය’ යනුය. මේ කාරණයෙහි ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘතෙම කිනම් වාද ඇත්තෙක්ද? කුමක් කියන්නෙක්ද? යනුය.”

“ස්වාමීනි, මෙසේ කියන ලද කල්හි, මම ජයසේන රාජ කුමාරයාට මෙසේ කීයෙමි.

“රාජ කුමාරය, මා විසින් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිගෙන නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහිලා මෙසේ ප්‍රකාශ කිරීමට කරුණු ඇත්තේය. කෙසේද? ‘ඉදින් කැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය. ඉදින් නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය. ඉදින් නොකැමැත්තෙනුදු නොකැමැති නොවීමෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය.

‘ඉදින් කැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයිනම් පලක් ලැබිය හැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුදු නොකැමැති නොවීමෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය යනුවෙනි.

“ස්වාමීනි, මෙසේ කීකල්හි මම ජයසේන රාජකුමාරයාට මෙසේ කීයෙමි. “මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් පිළිගෙන නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කිරීමට කරුණු ඇතැයි” කීයෙමි. එකල්හි ජයසේන රාජ කුමාර තෙමේ “ඉදින් පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙමේ මෙවැනි වාද ඇත්තෙක් මෙසේ කියන්නෙක් නම් පින්වත් භුමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙම බොහෝවූ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මුදුනෙහි සිටියේයයි කීයේය.

“ස්වාමීනි, කිමෙක්ද මෙසේ අසන ලද්දේ මෙසේ ප්‍රකාශ කළාවූ මම භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෙක් වෙමිද භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියන්නෙක් වෙමිද ධර්මයට අනුකූලව ප්‍රකාශ කෙරෙම්ද කිසි කරුණු සහිතවූ වාදයකින් හෝ අනුවාදයකින්, හෝ ගැරහිය යුතු බවට නොපැමිණේද?”

“භූමිජය, ඒකාන්තයෙන් තෙපි මෙසේ අසන ලදුව මෙසේ ප්‍රකාශ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක්ම කියන්නෙක් වූවහුය. භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියන්නෙක් නොවූවහුය. ධර්මයට අනුකූලවූවක්ම ප්‍රකාශ කළාහුය. කිසි කරුණු සහිත වාදයකින් හෝ අනුවාදයකින් ගැරහිය යුතු බව නොපැමිණෙන්නේය.

“භූමිජය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, මිථ්‍යාකල්පනා ඇත්තාවූ මිථ්‍යා කර්මාන්ත ඇත්තාවූ මිථ්‍යා වචන ඇත්තාවූ මිථ්‍යා ජීවිකා ඇත්තාවූ මිථ්‍යා ව්‍යායාම ඇත්තාවූ මිථ්‍යා සති ඇත්තාවූ මිථ්‍යා සමාධි ඇත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද ඔව්හු ඉදින් කැමැත්තෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලබනු නොහැකිය ඉදින් අකමැත්තෙන් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් කැමැත්තෙනුදු අකමැත්තෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් අකමැත්තෙනුදු අකමැති නොවීමෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලබනු නොහැකිය.”

“භූමිජය, යම්සේ තෙලෙන් ප්‍රයෝජන ඇති තෙල් සොයන්නාවූ, තෙල් සොයමින් ඇවිදින්නාවූ පුරුෂයෙක් වැලිගෙන ඔරුවක දමා, ජලයෙන් තෙමා මිරිකන්නේය. ඉදින් වැලි ඔරුවෙහි දමා ජලයෙන් තෙම තෙමා කැමැත්තෙන් මිරිකන්නේ නම් තෙල් ලැබීමට නොහැකිය. වැලි ඔරුවෙහි දමා වතුරෙන් තෙම තෙමා ඉදින් නොකැමැත්තෙන් මිරිකන්නේ නම් තෙල් නොලැබිය හැකිය. ඉදින් වැලි ඔරුවෙහි දමා වතුරෙන් තෙම තෙමා කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද මිරිකන්නේ නම් තෙල් නොලැබිය හැකිය. ඉදින් වැලි ඔරුවෙහි දමා වතුරෙන් තෙම තෙමා නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද මිරිකන්නේ නම් තෙල් ලැබීමට නොහැකිය. භූමිජය, ඊට හේතු කවරේද? නුනුවණින් කරන උත්සාහයක් වන හෙයිනි.

“භූමිජය, එපරිද්දෙන්ම මිසදිටුවූ, මිථ්‍යා කල්පනා ඇත්තාවූ, මිථ්‍යා වචන ඇත්තාවූ, මිථ්‍යා කර්මාන්ත ඇත්තාවූ, මිථ්‍යා ජීවිකා ඇත්තාවූ, මිථ්‍යා ව්‍යායාම ඇත්තාවූ, මිථ්‍යා සති ඇත්තාවූ මිථ්‍යා සමාධි ඇත්තාවූ, යම්කිසි මහණ බමුණෝ වෙත්ද, ඔව්හු ඉදින් කැමැත්තෙන්ද බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙත්නම් එයිනුදු පලක් ලැබීමට නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙත් නම් එයිනුදු පලක් ලැබිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත්ද, එයිනුදු පලක් ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් එයිනුදු පලක් ලැබිය නොහැකිය. ඊට හේතු කවරේද? භූමිජය, නුනුවණින් පලක් ලැබීමට උත්සාහ කිරීමක් වන හෙයිනි.

“භූමිජය, කිරෙන් ප්‍රයෝජන ඇති, කිරි සොයන කිරි සෙවීමෙහි හැසිරෙන, පුරුෂයෙක් යම්සේ වසුපැටියකු ඇති දෙනගේ අඟින් කිරි දොවන්නේය. ඉදින් කැමැත්තෙන් වසුපැටියකු ඇති දෙනගේ අඟින් කිරි දොවන්නේ නම් කිරි ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් වසුපැටියා ඇති දෙනගේ ඇඟෙන් කිරි දොවන්නේ නම් කිරි නොලැබිය හැකිය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද වසුපැටියා ඇති දෙනගේ අඟෙන් කිරි දොවන්නේ නම් කිරි නොලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද වසුපැටියා ඇති දෙනගේ අඟින් කිරි දොවන්නේ නම් කිරි නොලැබිය හැකිය. ඊට හේතු කවරේද? නුනුවණින් කරන කිරි ලැබීමේ උත්සාහයක් වන හෙයිනි. එසේම භූමිජය, මිථ්‍යාදෘෂ්ටිඇත්තාවූද, මිථ්‍යාකල්පනා ඇත්තාවූද, මිථ්‍යා වචන ඇත්තාවූද, මිථ්‍යා කර්මාන්ත ඇත්තාවූද, මිථ්‍යා ආජීව ඇත්තාවූද, මිථ්‍යා ව්‍යායාම ඇත්තාවූද, මිථ්‍යා සති ඇත්තාවූද, මිථ්‍යා සමාධි ඇත්තාවූද, යම්කිසි මහණ බමුණෝ වෙත්ද, ඔව්හු ඉදින් කැමැත්තෙන් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඊටහේතු කවරේද? නුනුවණින් කරන උත්සාහයක් වන හෙයිනි.

“භූමිජය, වෙඬරුවලින් ප්‍රයෝජන ඇති, වෙඬරු සොයන, වෙඬරු සෙවීමෙහි හැසිරෙණ, පුරුෂයෙක් යම්සේ කලයක දිය වත්කොට දණ්ඩෙන් කලතන්නේය. ඉදින් නො කැමැත්තෙන් කලයෙහි දිය වත්කොට දණ්ඩෙන් කලතන්නේ නම් වෙඬරු ලැබීමට නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් කලයෙහි වතුර දමා දණ්ඩෙන් කලතන්නේ නම් වෙඬරුනොලැබිය හැකිය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද කලයෙහි වතුර දමා කලතන්නේ නම් වෙඬරු නොලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැතිනොවීමෙන්ද කලයෙහි වතුර දමා කලතන්නේ නම් වෙඬරු නොලැබිය හැකිය. එපරිද්දෙන්ම මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, මිථ්‍යා කල්පනා ඇත්තාවූ, මිථ්‍යා වචන ඇත්තාවූ, මිථ්‍යා කර්මාන්ත ඇත්තාවූ, මිථ්‍යා ආජීව ඇත්තාවූ, මිථ්‍යා ව්‍යායාම් ඇත්තාවූ, මිථ්‍යා සති ඇත්තාවූ, මිථ්‍යා සමාධි ඇත්තාවූ මහණ බමුණෝ වෙත්ද ඔව්හු ඉදින් කැමැත්තෙන් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පල ලැබිය නොහැකිය. ඉදින් අකැමැත්තෙන් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පල ලැබිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පල ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පල ලැබිය නොහැකිය. ඊට හේතු කවරේද? නුනුවණින් උත්සාහ කිරීමක් වන හෙයිනි.

භූමිජය, යම්සේ ගින්නෙන් ප්‍රයෝජන ඇත්තාවූ ගිනි සොයන්නාවූ, ගිනි සොයමින් ඇවිදින්නාවූ, පුරුෂයෙක් ගිනිගානා දණ්ඩක් වශයෙන් තෙත්වූ අමු ලීයක් ගෙන මදින්නේය. ඉදින් කැමැත්තෙන් තෙත්වූ අමු ලීයක් මදින්නේ නම් ගිනි ඉපදවිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් තෙත්වූ අමු ලීය මදින්නේ නම් ගිනි ඉපද විය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද තෙත්වූ අමු ලීයක් මදින්නේ නම් ගිනි ඉපද විය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවී මෙන්ද තෙත්වූ අමු ලීයක් මදින්නේ නම් ගිනි ඉපදවිය නොහැකිය. ඊට හේතු කවරේද? නුනුවණින් කරන උත්සාහයක් වන හෙයිනි. එපරිද්දෙන්ම භූමිජය, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ, මිථ්‍ය කල්පනා ඇත්තාවූ, මිථ්‍යා වචන ඇත්තාවූ, මිථ්‍යාකර්මාන්ත ඇත්තාවූ, මිථ්‍යා ආජීව ඇත්තාවූ, මිථ්‍යා ව්‍යායාම ඇත්තාවූ, මිථ්‍යා සති ඇත්තාවූ, මිථ්‍යා සමාධි ඇත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔව්හු කැමැත්තෙන්ද බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්ම චර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඊට හේතු කවරේද? භූමිජය, නුනුවණින් කරන උත්සාහයක් වන හෙයිනි.

“භූමිජය, තෙලින් ප්‍රයෝජන ඇති, තෙල් සොයන, තෙල් සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක්, තල පිටි ඔරුවක දමා, දියෙන් පොඟව පොඟවා මිරිකන්නේය. ඉදින් කැමැත්තෙන් තල පිටි ඔරුවෙහි දමා දියෙන් පොඟව පොඟවා මිරිකන්නේ නම් තෙල් ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන් තලපිටි ඔරුවෙහි දමා, දියෙන් තෙම තෙමා මිරිකන්නේ නම් තෙල් ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද තලපිටි ඔරුවෙහි දමා දියෙන් තෙම තෙමා මිරිකන්නේ නම් තෙල් ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද තලපිටි ඔරුවෙහි දමා දියෙන් පොඟව පොඟවා මිරිකන්නේ නම් තෙල් ලැබීමට සුදුසුය. ඊට හේතු කවරේද? භූමිජය එය තෙල් ලැබීමට කරුණුවන හෙයිනි. භූමිජය, එපරිද්දෙන්ම සම්‍යක් දෘෂ්ටි ඇති, සම්‍යක් සංකල්පනා ඇති, සම්‍යක් වචන ඇති, සම්‍යක් කර්මාන්ත ඇති, සම්‍යක් ආජීව ඇති, සම්‍යක් ව්‍යායාම ඇති, සම්‍යක් සති ඇති, සම්‍යක් සමාධි ඇති යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔව්හු ඉදින් කැමැත්තෙන්ද, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් පල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් පල ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් ඵල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් පල ලැබීමට සුදුසුය. ඊට හේතු කවරේද? භූමිජය, නුවණින් උත්සාහ කිරීමක් වන හෙයිනි.

“භූමිජය, කිරෙන් ප්‍රයෝජන ඇති, කිරි සොයන, කිරි සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක් වසුපැටවා ඇති දෙනගේ බුරුල්ලෙන් කිරි දොවන්නේය. ඉදින් කැමැත්තෙන් පැටියා ඇති දෙනගේ බුරුල්ලෙන් කිරි දොවන්නේ නම් කිරි ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද පැටියා ඇති දෙනගේ බුරුල්ලෙන් කිරි දොවයි නම් කිරි ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද පැටියා ඇති දෙනගේ බුරුල්ලෙන් කිරි දොවයි නම් කිරි ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද, පැටියා ඇති දෙනගේ බුරුල්ලෙන් කිරි දොවන්නේ නම් කිරි ලැබීමට සුදුසුය. “ඊට හේතු කවරේද? භුමිජය, නුවණින් කරන ලද උත්සාහයක් වන හෙයිනි.

“භුමිජය, එපරිද්දෙන්ම සම්‍යක් දෘෂ්ටි ඇති, සම්‍යක් සංකල්පනා ඇති, සම්‍යක් වචන ඇති, සම්‍යක් කර්මාන්ත ඇති, සම්‍යක් ආජීව ඇති, සම්‍යක් ව්‍යායාම ඇති, සම්‍යක් ස්මෘති ඇති, සම්‍යක් සමාධි ඇති යම්කිසි ශ්‍රමණබ්‍රාහ්මණයෝ වෙත්ද, ඔව්හු ඉදින් කැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත්ද, ඵල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත්ද, පල ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත්ද, පල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් ඵල ලැබීමට සුදුසුය. භූමිජය, ඊට හේතු කවරේද? නුවණින් කරන ලද උත්සාහයන් වන හෙයිනි.

‘භූමිජය, වෙඬරු වලින් ප්‍රයෝජන ඇති, වෙඬරු සොයන, වෙඬරු සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක් කලයක දී වත්කොට දණ්ඩෙන් කලතන්නේද, ඉදින් කැමැත්තෙන් කලයක දී වත්කොට දණ්ඩෙන් කලතන්නේද, එය වෙඬරු ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද කලයක දී වත්කොට දණ්ඩෙන් කලතන්නේද එය වෙඬරු ලැබීමට සුදුසුය. “ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවී මෙන්ද කලයක දී වත්කොට දණ්ඩකින් කලතන්නේද, වෙඬරු ලැබීමට සුදුසුය. ඊට හේතු කවරේද? භූමිජය, එය වෙඬරු ලැබීමට හේතුවන හෙයිනි.

“භූමිජය, එපරිද්දෙන් සම්‍යක් දෘෂ්ටි ඇති, සම්‍යක් සංකල්පනා ඇති, සම්‍යක් වචන ඇති, සම්‍යක් කර්මාන්ත ඇති, සම්‍යක් ආජීව ඇති, සම්‍යක් ව්‍යායාම ඇති, සම්‍යක් ස්මෘති ඇති, සම්‍යක් සමාධි ඇති යම්කිසි මහණ බමුණෝ වෙත්ද, ඔව්හු ඉදින් කැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් ඵල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් පල ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙත්ද, පල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙත් නම් පල ලැබීමට සුදුසුය. භූමිජය, ඊට හේතු කවරේද? නුවණින් කරනලද උත්සාහයක් වනහෙයිනි.

“භූමිජය, ගින්නෙන් ප්‍රයොජන ඇති, ගිනි සොයන, ගිනි සෙවීමෙහි හැසිරෙන, පුරුෂයෙක් තෙම වියලි ලීයකින් කරනලද, ගිනිගානා දණ්ඩක් ගෙන යම්සේ එකට මදින්නේය. ඉදින් කැමැත්තෙන්ද, වියලි ලීයකින් කරණ ලද ගිනිගානා දණ්ඩක් ගෙන මදින්නේද, ගිනි ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද වියලි ලීයකින් කරන ලද ගිනිගානා දණ්ඩක් ගෙන එකට මැදීමෙන් ගිනි ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද නොකැමැත්තෙන්ද වියලි ලීයකින් කරණ ලද ගිනිගානා දණ්ඩක් ගෙන මදින්නේද ගිනි ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද වියලි ලීයකින් කරණ ලද ගිනිගානා දණ්ඩක් ගෙන එකට මදින්නේද, ගිනි ලැබීමට සුදුසුය. ඊට හේතු කවරේද? භූමිජය, ගිනි ලැබීමට එය හේතුවන හෙයිනි.

“භූමිජය, එපරිද්දෙන්ම සම්‍යක් දෘෂ්ටි ඇති, සම්‍යක් සංකල්පනා ඇති, සම්‍යක් වචන ඇති, සම්‍යක් කර්මාන්ත ඇති, සම්‍යක් ආජීව ඇති, සම්‍යක් ව්‍යායාම ඇති, සම්‍යක් ස්මෘති ඇති, සම්‍යක් සමාධි ඇති යම්කිසි ශ්‍රමණබ්‍රාහ්මණයෝ වෙත්ද, ඔව්හු ඉදින් කැමැත්තෙන්ද බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් ඵල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙත් නම් ඵල ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද අකැමැත්තෙන්ද බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් ඵල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද නොකැමැති නොවීමෙන්ද බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් ඵල ලැබීමට සුදුසුය. ඊට හේතු කවරේද? භූමිජය, නුවණින් කරන ලද උත්සාහයක් වන හෙයිනි.

“භූමිජය, ඉදින් ජයසේන රාජකුමාරයාහට මේ උපමා සතර වැටහෙන්නාහු නම්, ජයසේන රාජකුමාර තෙම නුඹට පහදින්නේය. පැහැදුනු ආකාරයක් දක්වන්නේය යනු ආශ්චර්‍ය්‍යයක් නොවේ. ස්වාමීනි, ජයසේන රාජකුමාරයා හට මාගෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළාක් මෙන් පෙර නොඇසූවිරූ මේ උපමා සතර ප්‍රකාශ නොවූවාහු නම් එය ආශ්චර්‍ය්‍යයක් නොවේ.”

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිතැති ආයුෂ්මත් භූමිජ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.

සවෙනි භූමිජ සූත්‍රය නිමි (3-6)