මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

4. විභංග වර්ගය

132. ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජෙතවන නම් අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. ඒ කාලයෙහි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු ගෙණහැර දක්වයි. එහි යොදවයි. තෙද ගන්වයි. සතුටු කරවයි. යහපත් එක් රැයක් ඇත්තහුගේ උද්දේසයයි කියනලද මාතෘකාවක්, විභංගයයි කියනලද විස්තරයත් ප්‍රකාශ කරයි.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැගිට උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩමවා පනවනලද බුද්ධාසනයෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දැක්වූයේද, යෙදවූයේද, තෙදගැන්වූයේද සතුටු කෙළේද, යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තරයත් කීයේදැයි ඇසූහ.

“ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයේය. යෙදවූයේය. තෙද ගැන්වූයේය. සතුටු කෙළේය යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තරයත් කෙළේ යයි” (සැළකෙළේය.)

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළසේක. “ආනන්දය, තෙපි වනාහි කවර පරිද්දෙකින් භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයේද, යෙදවූයේද, තෙදගැන්වූයේද සතුටු කෙළේද, යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර බෙදීමත්, ප්‍රකාශ කෙළේදැයි” (විචාළසේක.) “ස්වාමීනි මම මෙසේ වනාහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටුකෙළෙමි. යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර බෙදීමත් ප්‍රකාශ කෙළෙමියි (සැලකෙළේය.)

[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන් ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ (නැතිවූයේ) වෙයි. අනාගතවූ යම් ස්කන්ධයක්වේද, එය නොපැමිණියේය.

[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය අනිත්‍යානු පස්සනාදීන්ගෙන් ඒ උපන් උපන් තන්හි විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. මරණය හෙට හෝ සිදුවන්නේයයි කවරෙක් දන්නේද, මහත් සෙනගක් ඇති ඒ මාරයා සමග ගිවිසුමක් නැත්තේය.

[4] “මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිපන්නාවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත්වූ එක් රැයක් ඇති භික්ෂුව යයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේයි.

“ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේද, ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වූයෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය.

“මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තේ වීමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත් වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. ඇවැත්නි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.

“ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේද? ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි, එහි තෘෂ්ණාව නොපවත් වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’ ඇවැත්නි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.

“ඇවැත්නි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේද? ‘අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අනාගත කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. ‘ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

“ඇවැත්නි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේද? ‘අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියයි, එහි තෘෂ්ණාව නොපවත්නේය. අනාගතයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගතයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු විඥාන ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’ ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.

“ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇද ගනීද? ඇවැත්නි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, ඇසූ පිරූතැන් නැති පෘථග්ජන තෙමේ රූපය තමා වශයෙන් හෝ දක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා රූපය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. වේදනාව තමා වශයෙන් හෝ දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. සංඥාව තමා වශයෙන් හෝ දකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. සංස්කාර තමා වශයෙන් හෝ දකී. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ දකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. විඥානය තමා වශයෙන් හෝ දකින්නේය. තමා විඥානය ඇත්තෙකැයි කියා හෝ දක්නේය. විඥානය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා විඥානය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. ඇවැත්නි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇද ගැනීම වේ.

“ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇදීම නොවේද, ඇවැත්නි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ රූපය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. වේදනාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංඥාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංස්කාර තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. විඥානය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා විඥානය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය.

ඇවැත්නි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා වශයෙන් ඇදගනීම නොවේ.

[1] “අතීත පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. රාගාදීන්ගෙන් විසිරීමක් නැත්තාවූ කුපිත නොවන්නාවූ ඒ විදර්ශනාව පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුමක් අපට නැත්තේය.

[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒකාන්තයෙන් මෙසේ පිළිපන් ඒ පුද්ගලයා යහපත්වූ එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධමුනි තෙමේ වදාළේය.

“ස්වාමීනි, මම මෙසේ වනාහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටු කෙළෙමි. යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර විභාගයත් ප්‍රකාශ කෙළෙමියි’ සැලකෙළේය.

‘යහපති ආනන්දය, යහපති ආනන්දය, ඔබ ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය. ඒකාන්තයෙන් ඒ පුද්ගලයා යහපත් එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධමුනි තෙම වදාළේයයි භික්ෂූන්ට ධර්ම කථාවක් දැක්වූයෙහිය, එහි සමාදන් කරවූයෙහිය, උත්සාහවත් කරවූයෙහිය, පැහැද වූයෙහිය, යහපත් රාත්‍රියකගේ සංක්ෂෙපයෙන්ද විස්තර වශයෙන්ද කීයෙහිය.

“ආනන්දය, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේද? ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වූයෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි. එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය.’ ආනන්දය, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.

“ආනන්දය, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේද? ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත් වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි. එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි. එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’ ආනන්දය, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.

“ආනන්දය, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කෙරේද? ‘අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය.’ ආනන්දය, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

“ආනන්දය, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකෙරේද? ‘අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත් වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’ ආනන්දය, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.

“ආනන්දය, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගනීද? ආනන්දය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් නොදක්නා ස්වභාවය ඇත්තාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, ඇසූපිරූතැන් නැති පෘථග්ජන තෙමේ රූපය තමා වශයෙන් හෝ දකී. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දකී. රූපය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා රූපය කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. වේදනාව තමා වශයෙන් හෝ දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. සංඥාව තමා වශයෙන් හෝ දකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. සංස්කාර තමා වශයෙන් හෝ දකී. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ දකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. විඤ්ඤාණය තමා වශයෙන් හෝ දකී. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ දකී. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. ආනන්දය, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගනී.

“අනන්දය, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ ඇදීම නොකෙරේද? ආනන්දය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ. ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයින් දක්නා ස්වභාවය ඇත්තාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ඇසූපිරූතැන් ඇති, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ රූපය තමා වශයෙන් හෝ නොදකී. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදකී. රූපය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා රූපය කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. වේදනාව තමා වශයෙන් හෝ නොදකී. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංඥාව තමා වශයෙන් හෝ නොදකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංස්කාර තමා වශයෙන් හෝ නොදකී. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී විඤ්ඤාණය තමා වශයෙන් හෝ නොදකී. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ නොදකී. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. ආනන්දය, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් ඇදීම නොකෙරේ.

[1] “ඉකුත් පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්ච ස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට පණ්ඩිත භික්ෂු තෙමේ වඩන්නේය.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග අපට ගිවිසුමක් නැත්තේය.

[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ ඒකාකන්තයෙන් මෙසේ පිළිපන් ඒ පුද්ගලයා යහපත් රාත්‍රියක් ඇති තැනැත්තේයයි, ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේයයි, භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේය.

සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටුවූයේයි.”

ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය. (4-2)