මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

4. විභංග වර්ගය

133. මහා කච්චායන භද්දේකරත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ තපෝදාරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි වනාහි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙමේ රාත්‍රියෙහි අළුයම් කාලයෙහි හුනස්නෙන් නැඟිට, තපෝදා නම් උණුදිය ගඟ යම් තැනෙක්හිද එතැනට ස්නානය කිරීම පිණිස ගියේය.

තපෝදා නම් ගඟෙහි ස්නානය කොට ගොඩට පැමිණ එක් සිවුරකින් යුක්තව ශරීරය වියලනු ලබමින් සිටියේය. එකල්හි වනාහි එක්තරා දේවතාවෙක් රාත්‍රි කාලය බොහෝ ඉක්ම ගිය පසු බබළන ශරීර වර්ණය ඇතිව මුළු තපෝදා ගඟ බබුළුවා ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, එකත්පසක සිටියේය, එකත් පසක සිටියාවූ ඒ දෙවතා තොමෝ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවාය.

“භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තාහුගේ උදෙසීම් සංඛ්‍යාත මාතෘකාවද, විභංග සංඛ්‍යාත විස්තර වශයෙන් බෙදීමදැයි, (යන මෙය) දරන්නෙහිද?” යනුයි. “ඇවත, මම යහපත් එක්රාත්‍රියකගේ මාතෘකාවද බෙදීමද නොමදරන්නෙමියි කීයෙමි ඇවත, තෙපි වනාහි යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවත් බෙදීමත් දරන්නෙහිදැයි (ඇසූ) මමද යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද නොදරන්නෙමියි” කීය “භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත්වූ එක්රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් දරන්නෙහිදැයි’ (ඇසී.) ඇවත, මම යහපත්වූ එක් රැයක් ඇත්තහුගේ ගාථාවන් නොදරන්නෙමියි කීයෙමි. “ඇවත, නුඹ වනාහි යහපත්වූ එක්රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් දරන්නෙහිදැයි, ඇසීමි.” “භික්ෂූන්වහන්ස, මමද යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේගාථාවන් නොදරන්නෙමියි” (කීයෙමි.)

“භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත්වූ එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද ඉගෙණගනු මැනවි. භික්ෂූන් වහන්ස, නුඹ වහන්සේ යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද පුරුදු කරණු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද දරණු මැනවි. “භික්ෂූන්වහන්ස, යහපත්වූ එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද අර්ථ සහිත වන්නේය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල වන්නේයයි” (කි.)

ඒ දේවතාතොමෝ මෙය කීවේය. මෙය කියා එහිම අතුරුදහන් විය.

එකල්හි වනාහි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය. “ස්වාමීනි, මම රාත්‍රියේ අළුයම් කාලයෙහි හුනස්නෙන් නැඟිට තපෝදා නම් ගඟ යම් තැනෙක්හිද ස්නානය කිරීම සඳහා එහි ගියෙමි. තපෝදා නම් ගඟෙහි ස්නානය කොට ගොඩ අවුත් ශරීරාවයවයන් වියලමින් එක සිවුරකින් යුක්තව සිටියෙමි. ස්වාමීනි, එකල්හි වනාහි එක්තරා දේවතාවෙක් රාත්‍රිය බොහෝ සෙයින් ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණයෙන් යුක්තව සියලු තපෝදා නම් ගංඟාව බබුළුවා මම යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ එකත්පසක සිටියේය. ස්වාමීනි, එකත්පසක සිටියාවූ ඒ දේවතාතොමෝ මට මෙසේ කීවාය. ‘භික්ෂූන් වහන්ස, නුඹ වහන්සෙ යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද විස්තර බෙදීමද දරන්නෙහිදැයි? ඇසී.

“ස්වාමීනි, මෙසේ කී කල්හි මම ඒ දේවතාවාට මෙසේ කීයෙමි. ‘ඇවැත්නි, මම යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවත් බෙදීමත් නොමදරමි.’

‘ඇවැත්නි, නුඹ වනාහි යහපත් එක් රාත්‍රියකගේ මාතෘකාවද බෙදීමද දරන්නෙහිදැයි’ (ඇසීමි.) ‘භික්ෂූන්වහන්ස, මමද යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද නොදරමි. ‘භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ වනාහි යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් දරන්නෙහිදැයි, (ඇසී.)

‘ඇවැත්නි, මම වනාහි යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් නොදරමි. ඇවැත්නි, නුඹ වනාහි යහපත් එක් රාත්‍රිය සම්බන්ධ ගාථාවන් දරන්නෙහිදැයි,’ (ඇසීමි.) ‘භික්ෂූන්වහන්ස, මමද යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ ගාථා නොදරමි. භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද ඉගෙණගනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද, පුරුදු කළ මැනවි. භික්ෂුන් වහන්ස, නුඹ වහන්සේ යහපත්වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද, බෙදීමද, දරාගත මැනවි. ‘භික්ෂූන්වහන්ස, යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ උදෙසීමද, බෙදීමද, අර්ථයෙන් යුක්ත වන්නේය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල වන්නේය, ස්වාමීනි, ඒ දේවතාතොමෝ මෙසේ කීයේය. මෙසේ කියා එහිම අතුරුදහන් වූවාහ.

“ස්වාමීනි, මට භාග්‍යවතුන්වහන්සේ යහපත් එක්රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද දෙශනා කරණ සේක්වායි” (සැලකෙළේය.) “මහණ, එසේ නම් අසව, මෙනෙහි කරව. කියන්නෙමියි” (වදාළේය.) “එසේය, ස්වාමීනියයි” ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

[1] “ඉකුත්වූ ස්කන්ධයන් අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණ වූයේ (නැතිවූයේ) වෙයි. අනාගත ස්කන්ධ නොපැමිණියේ වෙයි.

[2] “වර්තමානවූ යම් ස්කන්ධයක්වේද, එය අනිත්‍යානු පස්සනාදී වශයෙන් ඒ ඒ තන්හි විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙමෙ වඩන්නේය.

[3] “අදම කෙලෙස් තවන වීර්‍ය්‍යයකළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහත් සෙනගක් ඇති ඒ මාරයා සමග, අපට ගිවිසුමක් නැත්තේය.

[4] “මෙසේ වාසය කරන්නාවූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිපන්නාවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන්, යහපත්වූ එක් රැයක් ඇති තැනැත්තේයයි” ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ වේලාවක් ගතවූ කල්හි ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් විය. ඇවැත්නි, මේ වනාහි අපට භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙප වශයෙන් උදෙසීම වදාරා, විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට, හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූසේක.

[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්ච ස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද එය ප්‍රහීණ වූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

[2] ‘වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂු තෙමේ වඩන්නේය.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග අපට ගිවිසුමක් නැත්තේය.

[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ ඒකාන්තයෙන් මෙසේ පිළිපන් පුද්ගලයා යහපත් එක් රැ යක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය” (යනුවෙනි.)

කවරෙක් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙප වශයෙන් උදෙසීම පමණක් වදාළාවූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ දෙශනාවගේ අර්ථ විස්තර වශයෙන් දෙශනා කරන්නේද? කියායි. එකල්හි වනාහි ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් විය. මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෘන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරී භික්ෂූන් විසින්ද බුහුමන් කරණ ලද්දේ වෙයි.

ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් උදෙසීම් මාත්‍රයක් වදාළාවූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ දෙශනාවගේ අර්ථ විස්තර වශයෙන් දෙශනා කිරීමට පොහොසත් වන්නේය. අපි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එහි පැමිණෙන්නෙමු. පැමිණ, කාරණය විචාරන්නෙමු නම් යෙහෙක කියායි.

එකල්හි වනාහි ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එහි ගියාහුය. ගොස්, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු විය යුතුවූ සිහි එළවිය යුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ට මෙය කීවාහුය. “ඇවැත් කාත්‍යායන ස්ථවිරය, භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මය සංක්ෂෙපයෙන් වදාරා විස්තර වශයෙන් දෙශනා නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූසේක.

[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා කරන්නේය. විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍ය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුම් කොට, නැවතීමක් නොවන්නේමය

[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, රෑ දාවල් දෙක්හි අනලස්වූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය” යනුයි.

“ඇවැත් කාත්‍යායන ස්ථවිරය, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් විය. ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ දෙශනාව සංක්ෂෙප වශයෙන් දක්වා විස්තර වශයෙන් නොවදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූසේක.

[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නො කොට කුපිතනොකොට පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට නැවතීමක් නොවන්නේමය.

[4] ‘මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත්වූ එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනිතෙමේ වදාළේය” යනුයි.

“භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් දක්වා විස්තර වශයෙන් නොවදාළාවූ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් කවරෙක් නම් දෙශනා කරන්නේද යනුවෙනි. ඇවැත් කෘත්‍යායන ස්ථවිරය, අපට මෙබඳු සිතෙක්වී. මේ ආයුෂ්මත් මහා කෘත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරීන් විසින්ද බුහුමන් කරණ ලද්දේ වේ. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළාවූ විස්තර වශයෙන් නොවදාළාවූ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් දෙශනා කිරීමට සමර්ථ වන්නේය. අපි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැනට යමු. ගොස්, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් අතින් මෙපවත් විචාරන්නෙමු නම් යෙහෙකැයි කියායි. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ විස්තර වශයෙන් බෙදා වදාරණසේක්වායි (කීහු.)”

“ඇවැත්නි, යම්සේ වනාහි හරයෙන් (අරටුවෙන්) ප්‍රයොජන ඇත්තාවූ, හරය සොයන්නාවූ පුරුෂයෙක් තෙමේ යම්සේ හරය සොයා ඇවිදින්නේ, හරය ඇත්තාවූ මහ ගසක මුල අත්හැර, කඳ අත්හැර, කොළ අතුවල හරය සෙවිය යුතුයයි සිතන්නේද, එපරිද්දෙන්ම ආයුෂ්මත්වරුන් විසින් ශාස්තෲන් වහන්සේ හමුවූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අප මේ කාරණය ඇසිය යුත්තකු කොට සිතන්නාහුද? ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුත්ත දන්නේය, දැක්කයුතු දෙය දක්නේය, ප්‍රඥා චක්ෂුසින් යුක්ත වූයේය, සම්‍යක් ඥානයෙන් යුක්ත වූයේය, ධර්මඥානයෙන් යුක්ත වූයේය, ශ්‍රෙෂ්ඨ වූයේය, චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කරන්නේය, පවත්වන්නේය, අර්ථයට පමුණුවන්නේය, අමෘතය දෙන්නේය, ධර්මස්වාමි වූයේය, තථාගත වූයේය. මේ වනාහි ඒ භාග්‍යවතුන් වහන්සේ ගෙන්ම එය ඇසීමට සුදුසු කාලය විය. තොපට භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් ප්‍රකාශ කරන්නාහුද එපරිද්දෙන්ම එය දරාගනිව්යයි,” (කී).

“ඇවැත් කාත්‍යායනස්ථවිරය, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නේය. දැක්කයුත්ත දක්නේය. ප්‍රඥා චක්ෂුසින් යුක්තවූයේ, ඥාන චක්ෂුසින් යුක්තවූයේ, ධර්ම චක්ෂුසින් යුක්තවූයේ, ශ්‍රෙෂ්ඨවූයේ, දෙශනා කරන්නේය, පවත්වන්නේ, අර්ථය කරා පමුණුවන්නේ අමෘතය දෙන්නේ, ධර්මස්වාමී වූයේය, තථාගත වූයේය. භාග්‍යවතුන් වහන්සේ ගෙන්ම එය ඇසීමට කාලය විය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ අතින්ම මෙපවත් විචාරන්නෙමුද අපට භාග්‍යවතුන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එය එසේ දරාගන්නෙමු. එතකුදු වුවත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරී භික්ෂූන් විසින්ද බුහුමන් කරණ ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළාවූ විස්තර වශයෙන් නොවදාළාවූ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් දෙශනා කිරීමට සමර්ථ වන්නේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ බරක් වශයෙන් නොසලකා විස්තර කරන සේක්වායි කීහ.

“ඇවැත්නි, එසේවී නම් අසව්. මොනවට මෙනෙහි කරව්. කියන්නෙමියි” (කීහ.) “ඇවැත්නි, එසේයයි” ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ මෙසේ ප්‍රකාශ කෙළේය.

[1] “ඇවැත්නි, “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

[2] “වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍ය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේය.

[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙම වදාළේය”යි

“භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයක් සංක්ෂෙපයෙන් දෙශනාකොට විස්තර වශයෙන් විභාග නොකොට හුනස්නෙන් නැඟිට විහාරයට වැඩිසේක්ද,

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ සංක්ෂෙපයෙන් වදාළ විස්තර වශයෙන් අර්ථ බෙදා නොවදාළාවූ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් මම මේ ආකාරයෙන් දනිමි.

“ඇවැත්නි, කෙසේ නම් අතීත ස්කන්ධයන් අනුව යන්නේද? අතීත කාලයෙහි මාගේ ඇස මෙසේ වීය. මෙසේ රූපය වීයයි, එහි විඤ්ඤාණය ඡන්දරාගයෙන් බැඳුනේවෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගයෙන් බැඳුනු බැවින් එහි ඇලෙයි. එහි ඇලෙන්නේ ඉකුත් පඤ්චස්කන්ධය අනුව යන්නේය.

“අතීත කාලයෙහි මාගේ කණ මෙසේවීය. ශබ්දයෝ මෙසේ වූවහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදීම හෙතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් ස්කන්ධයන් අනුව යන්නේය.

“අතීත කාලයෙහි මාගේ නාසය මෙසේ වීය. ගන්ධයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදීම හෙතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් ස්කන්ධයන් අනුව යන්නේය.

“අතීත කාලයෙහි මාගේ දිව මෙසේ වීය, රසයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදීම හෙතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් ස්කන්ධයන් අනුව යන්නේය.

“අතීත කාලයෙහි මාගේ කය මෙසේ වීය. මාගේ ස්පර්ශයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදීම හෙතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් ස්කන්ධයන් අනුව යන්නේය.

“අතීත කාලයෙහි මාගේ සිත මෙසේ වීය. ධර්මයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේවෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදුනු හෙයින් එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ අතීත ස්කන්ධය අනුව යන්නේය. ඇවැත්නි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.

“ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයේද, අතීත කාලයෙහි මාගේ චක්ෂුව (ඇස) මෙසේ වීය. රූපයෝ මෙසේ වූහයි, එහි ඡන්දරාගය හා යෙදුනු විඤ්ඤාණය නොවේද, විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින්, එහි නොඇලෙන්නේය. නොඇලෙන්නේ අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය. අතීත කාලයෙහි මාගේ කණ මෙසේ වීය. ශබ්දයෝ මෙසේ වූහයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. එහි නොඇලීම හේතුකොට

ගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන්) නොයන්නේය.

“අතීත කාලයෙහි මාගේ නාසය මෙසේ වීය. ගන්ධයෝ මෙසේ වූහයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. එහි නොඇලීම හේතුකොටගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන්) නොයන්නේය.

“අතීත කාලයෙහි මාගේ දිව මෙසේ වීය. රසයෝ මෙසේ වූහයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. එහි නොඇලීම හේතුකොටගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන්) නොයන්නේය.

“අතීත කාලයෙහි මාගේ කය මෙසේ වීය. ස්පර්ශයෝ මෙසේ වූහයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. එහි නොඇලීම හේතුකොටගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන්) යන්නේය.

“අතීත කාලයෙහි මාගේ සිත මෙසේ වීය. ධර්මයෝ මෙසේ වූහයි එහි ඡන්දරාගය හා යෙදුනු විඤ්ඤාණය නොවන්නේය. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා නොයෙදුනු හෙයින් එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ ස්කන්ධයන් අනුව නොයන්නේය. ඇවැත්නි, මෙසේ අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.

“ඇවැත්නි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කෙරේද? අනාගත කාලයෙහි මාගේ කණ මෙසේ වන්නේය. රූපයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ චක්ඛු රූපයන් ලැබීම පිණිස සිත පිහිටුවන්නේය. සිත පිහිටුවීම හේතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ අනාගත පඤ්චස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය. අනාගත කාලයෙහි මාගේ කණ මෙසේ වන්නේය. ශබ්දයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොටගෙන, එහි ඇලෙයි. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

“අනාගත කාලයෙහි මාගේ නාසය මෙසේ වන්නේය. ගන්ධයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොටගෙන, එහි ඇලෙයි. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

“අනාගත කාලයෙහි මාගේ දිව මෙසේ වන්නේය, රසයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොටගෙන, එහි ඇලෙයි. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

“අනාගත කාලයෙහි මාගේ කය මෙසේ වන්නේය, ස්පර්ශයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොටගෙන, එහි ඇලෙයි. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධය ප්‍රාර්ථනා කරන්නේය.

“අනාගත කාලයෙහි මාගේ සිත මෙසේ වන්නේය, ධර්මයෝ මෙසේ වන්නාහුයයි නොලද්දහුගේ ලැබීම පිණිස සිත පිහිටුවන්නේය. සිත පිහිටුවීම හේතුකොට ගෙන, එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේ නම් වෙයි. ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

“ඇවැත්නි, කෙසේ නම් අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකෙරේද? අනාගත කාලයෙහි මාගේ ඇස මෙසේ වන්නේය. රූපයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ චක්ඛු රූපයන් ලැබීම පිණිස සිත නොපිහිටුවන්නේය. සිත නොපිහිටුවීම හේතුකොටගෙන, එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.

“අනාගත කාලයෙහි මාගේ කණ මෙසේ වන්නේය. ශබ්දයෝ මෙසේ වන්නාහුයයි මෙසේ නොලැබූ සොත ශබ්දයන් ලබනු සඳහා සිත නොපිහිටුවන්නේය. සිත නොපිහිටුවීම හේතුකොටගෙන, එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.

“අනාගත කාලයෙහි මාගේ නාසය මෙසේ වන්නේය. ගන්ධයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත නොපිහිටුවන්නේය. සිත නොපිහිටුවීම හේතුකොට ගෙන, එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.

“අනාගත කාලයෙහි මාගේ දිව මෙසේ වන්නේය, රසයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ ජිව්හා රසයන් ලැබීම පිණිස සිත නොපිහිටුවන්නේය. සිත නොපිහිටුවීම හේතුකොට ගෙන, එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.

“අනාගත කාලයෙහි මාගේ කය මෙසේ වන්නේය. ස්පර්ශයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ කාය ස්පර්ශයන් ලැබීම පිණිස සිත නොපිහිටු වන්නේය. සිත නොපිහිටුවීම හේතුකොටගෙන, එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.

“අනාගත කාලයෙහි මාගේ සිත මෙසේ වන්නේය. ධර්මයෝ මෙසේ වන්නාහුයයි, නොලැබූ සිත හා ධර්මයන්ගේ ලැබීම පිණිස සිත නොපිහිටුවයි. සිත නොපිහිටුවීම හේතු කොටගෙන, එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය. ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේ නම් වෙයි.

“ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගනීද? ඇවැත්නි, යම්බඳු චක්ෂු ප්‍රසාදයක් වේද, යම්බඳු රූපායතනයෝ වෙත්ද, මේ දෙකම වර්තමාන වන්නේය. ඒ වර්තමාන චක්ඛු රූප දෙක්හි ඡන්දරාගය හා යෙදුණු විඤ්ඤාණය වෙයි. ඡන්දරාගය හා යෙදුනු බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගන්නේය.

“ඇවැත්නි, යම්බඳුවූ සෝතායතනයක් වේද, යම්බඳුවූ ශබ්දායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය යෙදුනේ වෙයි. ඡන්දරාගය හා යෙදුන බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලුනේ වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.

“ඇවැත්නි, යම්බඳුවූ ඝානායතනයක් වේද, යම්බඳුවූ ගන්ධායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය යෙදුනේ වෙයි. ඡන්දරාගය හා යෙදුන බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලුනේ වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.

“ඇවැත්නි, යම්බඳුවූ ජිව්හායතනයෙක් වේද, යම්බඳුවූ රසායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුන බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලුනේ වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.

“ඇවැත්නි, යම්බඳුවූ කායායතනයෙක් වේද, යම්බඳුවූ ස්පර්ශයතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුන බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලුනේ වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.

“ඇවැත්නි, යම්බඳුවූ මනායතනයෙක් වේද, යම්බඳුවූ ධර්මායතනයෝ වෙත්ද, මේ දෙකම වර්තමාන වන්නේය. ඒ වර්තමාන මනායතන ධර්මායතනයෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනු බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ. ඇවැත්නි, මෙසේ වනාහි වර්තමාන ධර්මයන් කෙරෙහි ඇද ගැනීම කෙරේ.

“ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් ඇදීම නොකෙරේද,

ඇවැත්නි, යම්බඳුවූ චක්ඛායතනයක් වේද, යම්බඳුවූ රූපායතනයෝ වෙත්ද, මේ දෙකම වර්තමාන වන්නේය. ඒ වර්තමාන චක්ඛායතන රූපායතනයන්හි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ නොවේද, විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදීම හේතුකොටගෙන එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටින්ගෙන් ඇදීම නොකෙරේ.

“ඇවැත්නි, යම්බඳුවූ සොතායතනයක් වේද, යම්බඳු ශබ්දායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.

“ඇවැත්නි, යම්බඳුවූ ඝානායතනයක් වේද, යම්බඳුවූ ගන්ධායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමාන වෙයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.

“ඇවැත්නි, යම්බඳුවූ ජිව්හායතනයෙක් වේද, යම්බඳුවූ රසායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමානයයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.

“ඇවැත්නි, යම්බඳුවූ කායායතනයෙක් වේද, යම්බඳුවූ ස්පර්ශායතනයෝ වෙත්ද, මේ දෙක වර්තමානයයි. ඒ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.

“ඇවැත්නි, යම්බඳුවූ මනායතනයෙක් වේද, යම්බඳුවූ ධර්මායතනයෝ වෙත්ද, මේ දෙකම වර්තමාන වන්නේය. ඒ වර්තමාන මනායතන ධර්මායතනයන්හි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ නොවේද, විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදීම හේතුකොටගෙන එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ. ඇවැත්නි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇදීම නොකෙරේ.

[1] “ඇවැත්නි, ඉකුත් පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

[2] “වර්තමානවූ, යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනා වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂු තෙමේ වඩන්නේය.

[3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළයුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුම් කොට, නැවතීමක් නොවන්නේමය.

[4] “මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් රාත්‍රියක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධමුනි තෙමේ වදාළේයයි යම් ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙප වශයෙන් වදාරා විස්තර වශයෙන් අර්ථවිභාග නොකොට හුනස්නෙන් නැඟිට විහාරයට වැඩමවූ සේක්ද,

“ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙප වශයෙන් වදාළාවූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් මෙසේ දැනගණිමි. ආයුෂ්මත්නි, නුඹ වහන්සේලා කැමති වන්නාහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මේ කාරණය නැවත විචාරනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ අපට යම්සේ ප්‍රකාශ කෙරෙද්ද, එය එසේ දරාගත මැනවයි (කීහ.) එකල්හි වනාහි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගේ දේශනාවට විශේෂයෙන් සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිටියාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකළාහුය ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්මයක් සංක්ෂෙපයෙන් වදාරා විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද.

[1] ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

[2] වර්තමානවූ යම් ස්කන්ධයක් වේද එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදි වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.

[3] අදම කෙළෙස් තවන වීර්‍ය්‍ය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේමය.

[4] මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් එක් රැයක් ඇත්තේයයි ශාන්තවූ බුද්ධ මුනිතෙමේ වදාළේය (යනුය)

“ස්වාමීනි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් වී. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මය වනාහි සංක්ෂෙප වශයෙන් වදාරා විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැඟිට විහාරයට වැඩමවූසේක.

[1] “ඉකුත් පඤ්චස්කන්ධය අනුව නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය ගැන තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් නොපතන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

[2] වර්තමානවූ යම් ස්කන්ධයක් වේද එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.

[3] අදම කෙළෙස් තවන වීර්‍ය්‍ය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේමය.

[4] මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් එක් රැයක් ඇත්තේ යයි, ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය.

“භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළවූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ ධර්මයාගේ අර්ථ කවරෙක් වනාහි විස්තර වශයෙන් විභාග කරන්නේද යනුයි. ස්වාමීනි, ඒ අපට වනාහි මෙබඳු සිතෙක්වී. ඇවැත්නි, මේ මහා කාත්‍යායන ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරීන් විසින්ද, ගරු කරණ ලද්දේවේ. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකළ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් විභාග කිරීමට සමර්ථ වන්නේය. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ යම් තැනෙක් හිද එහි යන්නෙමු. ගොස් ආයුෂ්මත් මහාකත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි කියායි.

“ස්වාමීනි, එකල්හි වනාහි අපි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට ගියෙමු. ගොස් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ගෙන් මේ කාරණය ඇසීමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන්වහන්සේ විසින් මේ ආකාරයන්ගෙන් මේ පදයන්ගෙන් මේ ව්‍යඤ්ජනයන්ගෙන් අර්ථ විභාගකොට ප්‍රකාශකරණ ලද්දේයයි සැලකළාහුය.”

“මහණෙනි, මහා කාත්‍යායනතෙමේ පණ්ඩිතයෙකි. මහණෙනි, මහාකත්‍යායනතෙමේ මහත් ප්‍රඥා ඇත්තෙකි. මහණෙනි, තෙපි මා අතින්ද මේ කාරණය විචාළාහු නම් මමද එය මහාකාත්‍යයනයන් විසින් යම් පරිද්දෙකින් ප්‍රකාශකරණ ලද්දේ නම් ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරමි. ඒ අර්ථය එසේමය. එසේම එය දරා ගනිව්යයි වදාළේය.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. සතුටු සිත් ඇති එහි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.

මහා කච්චායන භද්දෙකරත්ත සූත්‍රය නිමි. (4-3)