මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

4. විභංග වර්ගය

135. චූලකම්ම විභංග සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි තොදෙය්‍ය බ්‍රහ්මණයාගේ පුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථා කොට නිමවා, එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූම තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

“භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේම උස් පහත් කම් දක්නා ලැබෙත්ද, එයට හේතු කවරේද? එයට කරුණු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, ස්වල්ප ආයුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. දීර්ඝායුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. අවලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප සම්පත් ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ සම්පත් ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. පහත් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. උසස් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණ නැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේම මෙසේ උස් පහත් කම් බැව් දක්නා ලැබෙත්ද, ඊට හේතු කවරේද, කරුණු කවරේද” යනුයි.

“මානවකය, සත්වයෝ කර්මයම තමා අයත් දෙය කොට ඇත්තාහ. කර්මය දායාදය (වස්තුව) කොට ඇත්තාහ. කර්මයම කාරණය කොට ඇත්තාහ. කර්මයම නෑයන් කොට ඇත්තාහ. කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය ඒ මේ උස් පහත් බැව් පිණිස සත්වයන් බෙදන්නේය.”

“මම, භවත් ගෞතමයන් වහන්සේ විසින් කොටින් කියන ලද විස්තර වශයෙන් අර්ථ බෙදා නොදක්වන ලද මේ ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් නොදනිමි. යම්සේ මම භවත් ගෞතමයන් වහන්සේ විසින් කොටින් කියන ලද විස්තර වශයෙන් අර්ථ බෙදා නොදක්වන ලද ධර්මයාගේ, අර්ථය විස්තර වශයෙන් දැන ගන්නෙම්ද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ මට දෙශනා කළහොත් මැනවැයි” කීය.

“මානවකය, එසේ වීනම් අසව, යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමියි” (වදාළේය.) “එසේය, පින්වතුන් වහන්සැයි” කියා, තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

“මානවකය, මේ ලොකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ, සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණා නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ මේ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප ආයුෂ ඇත්තෙක් වෙයි. මානවකය, රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ සතුන් නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේනම්, මේ පැවැත්ම අල්පායුෂ බව පිණිස පවත්නේ වෙයි.

“මානවකය, මේ ලොකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේද, බහා තබන ලද දඬු මුගුරු ඇත්තේ බහා තබන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාවට පැමිණියේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන් වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති සැපයෙන් යුක්තවූ දිව්‍යලොකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියවූ දිව්‍යලොකයෙහි නූපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනෙක්හි පසුව උපදීද, දීර්ඝායුෂ ඇත්තේ වේ. මානවකය, ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ බහා තබනලද දඬු ඇත්තේ බහා තබනලද ආයුධ ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාවට පැමිණියේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේ නම් මේ පැවැත්ම දීර්ඝායුෂ පිණිස පවත්නේ වෙයි.

“මානවකය, මේ ලොකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතින් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරණ ස්වභාව ඇත්තේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන්වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකෙන් යුක්තවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකින් යුක්තවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, බොහෝ රෝග ඇත්තේ වෙයි. මානවකය, සත්වයන්ට අතින් හෝ කැටින් හෝ දඬුයෙන් හෝ ආයුධයෙන් හෝ හිංසා කරණ ස්වභාව ඇත්තේ වෙයි නම්, මේ පැවැත්ම බොහෝ රෝග සහිත වීම පිණිස පවත්නේය.

“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සතුන්ට අතින් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ හිංසා නොකරණ ස්වභාව ඇත්තේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදීනම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප රෝග ඇත්තේ වේ. මානවකය, සතුන්ට අතින් හෝ කැටයෙන් හෝ දණ්ඩෙන් හෝ ශස්ත්‍රයෙන් හෝ හිංසා නොකරණ ස්වභාව ඇත්තේ නම් මේ පැවැත්ම අඩු රෝග ඇති බව පිණිස පවත්නේය.

“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වෙෂය බහුලකොට ඇත්තේ කිපෙන සුළු වේද, සුලු දෙයක් කියන ලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, කෝපයත් ද්වෙෂයත් නොසතුටු බවත් පහළ කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, ඒ කර්මය හේතුකොටගෙන අවලක්ෂණ වූවෙක් වේ. මානවකය, කිපෙන සුළුවූයේ ද්වෙෂය බහුල කොට ඇත්තේ වේද, ස්වල්ප දෙයක් කියනලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, නොසතුටු වේද, කෝපයත්, ද්වෙෂයත්, නොසතුටත් ප්‍රකාශ කෙරේ නම් මේ පැවැත්ම අවලක්ෂණවීම පිණිස පවත්නේය.

“මානවකය, මේ ලොකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වෙෂය බහුලකොට නැත්තේ, නොකිපෙන ස්වභාව ඇත්තේ වේද, බොහෝ දෙයක් කියන ලදුවද නොගැටේද, නොකිපේද, විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ද්වෙෂයත් නොසතුටු බවත් පහළ නොකෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොට ගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ප්‍රසාදය එළවන ලක්ෂණ වූවෙක් වෙයි. මානවකය, නොකිපෙන ස්වභාව ඇත්තේ ද්වෙෂය බහුල කොට නැත්තේ වේද, බොහෝ කොට කියන ලදුවත් නොගැටේද, නොකිපේද විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ද්වෙෂයත් නොසතුටත් පහළ නොකෙරේ නම් මේ පැවැත්ම ලක්ෂණ වීම පිණිස පවත්නේය.

“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ වේද, අනුන්ගේ ලැබීමය, සත්කාරය, ගරුකිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා කෙරේද, ඊෂ්‍යාවෙන් කිපෙයිද, ඊෂ්‍යාව බැඳගනීද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතු කොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, අල්පෙශාක්‍ය (මද පිරිවර ඇත්තේ) වෙයි. මානවකය, ඊෂ්‍යා සහගත සිත් ඇත්තේද, අනුන්ගේ ලාභයෙහි, සත්කාරයෙහි, ගරුකාරයෙහි, බුහුමන් කිරීමෙහි, වැඳීමෙහි සහ පිදීමෙහි, ඊෂ්‍යා නොකෙරේද, ඊෂ්‍යාවෙන් ක්‍රොධ නොකෙරේද, ඊෂ්‍යාව බැඳගනියි නම්, මේ පැවැත්ම අල්පෙශාක්‍ය වීම පිණිස පවත්නේය.

“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ නොවේද, අනුන්ගේ ලාභය, සත්කාරය, ගෞරව කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා නොකෙරේද, ඊෂ්‍යාවෙන් නොකිපේද, ඊෂ්‍යාව නොබැඳ ගනීද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලොකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, මහෙශාක්‍ය වේ. (බොහෝ පිරිවර ඇත්තේ) වේ. මානවකය, ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ නොවෙයි නම්, අනුන්ගේ ලාභය, සත්කාරය, ගරු කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා නොකෙරේ නම්, ඊෂ්‍යාවෙන් නොකිපේ නම්, ඊෂ්‍යාව නොබැඳ ගනියි නම් මේ පැවැත්ම මහෙශාක්‍ය වීම පිණිස පවත්නේය.

“මානවකය, මේ ලෝකයෙහි වනාහි, ඇතැම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානවර්ගය, වස්ත්‍රය, යානය, මල්ගඳ විලවුන්ය, සයනය, ආවාසය, පහන්ය යන මෙය, නොදෙන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප සම්පත් ඇත්තේ වේ. මානවකය, ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය මල්ගඳ විලවුන්ය, සයනය, ආවාසය, පහන්ය යන මෙය නොදෙන්නේ නම් මේ පැවැත්ම ස්වල්ප සම්පත් ඇතිවීම පිණිස පවත්නේය.

“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය, මල්ගඳවිලවුන්ය, සයනය, ආවාසය, පහන්ය, යන මෙය දෙන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතු කොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණෙත් නම් යම් යම් තැනක පසුව උපදීද, මහත් සම්පත් ඇත්තේ වේ. මානවකය, ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය, මල්ගඳවිලවුන්ය, සයනය, ආවාසය, පහන්ය යන මෙය, දෙන්නේ වේ නම් මේ පැවැත්ම බොහෝ සම්පත් ඇතිවීම පිණිස පවත්නේය.

“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තදවූයේ අධික මානය ඇත්තේ වේද, වැඳිය යුත්තාට නොවඳීද, දැක හුනස්නෙන් නැඟිටිය යුත්තාට නොනැගිටියිද, ආසනය දියයුත්තාට ආසනය නොදේද, මාර්ගය දියයුත්තාට මාර්ගය නොදේද, සත්කාර කළයුත්තාට සත්කාර නොකෙරේද, ගෞරව කළ යුත්තාට ගෞරව නොකෙරේද, බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකෙරේද, පිදිය යුත්තාට නොපුදාද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපනැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද. හීනකුල ඇත්තෙක් වේ.

“මානවකය, තදසිත් ඇත්තේ අධික මාන ඇත්තේ වැඳිය යුත්තාට නොවඳියි නම් දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නොනැගිටියි නම්, ආසනය දිය යුත්තාට ආසනය නොදෙයි නම්, මාර්ගය දියයුත්තාට මාර්ගය නොදෙයි නම්, සත්කාර කළයුත්තාට සත්කාර නොකරයි නම්, ගෞරව කළ යුත්තාට ගෞරව නොකරයි නම්, බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකරයි නම්, පිදිය යුත්තාට නොපුදයි නම්, මේ පැවැත්ම හීන කුල ඇති බව පිණිස පවත්නේ වෙයි.

“මානවකය මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තද සිත් නැත්තේ අධික මාන නැත්තේ වේද, වැඳිය යුත්තාට වඳීද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නැගිටීද, ආසනය දියයුත්තාට ආසනය දෙයිද, මාර්ගය දිය යුත්තාට මාර්ගය දේද, සත්කාර කළ යුත්තාට සත්කාර කෙරේද, ගෞරව කළ යුත්තාට ගෞරව කෙරේද, බුහුමන් කළ යුත්තාට බුහුමන් කෙරේද, පිදිය යුත්තාට පුදාද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදීනම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, උසස් කුල ඇත්තෙක්වේ.

මානවකය, තද සිත් නැත්තේ අධික මානය නැත්තේ වැඳිය යුත්තාට වඳියි නම් දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නැගිටීයි නම් ආසනය දිය යුත්තාට ආසනය දෙයි නම්, මාර්ගය දියයුත්තාට මාර්ගය දෙයි නම්, සත්කාර කළ යුත්තාට සත්කාර කරයි නම්, ගෞරව කළ යුත්තාට ගෞරව කරයි නම්, බුහුමන් කළ යුත්තාට බුහුමන් කරයි නම්, පිදිය යුත්තාට පුදායයි නම්, මේ පැවැත්ම උසස් කුල ඇති බව පිණිස පවත්නේය.

“මානවකය, මේ ලොකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ‘ස්වාමීනි, කුසල් කවරේද, අකුසල් කවරේද, වරද සහිත දෙය කවරේද, වරද රහිත දෙය කවරේද, සේවනය කටයුත්ත කවරේද, සේවනය නොකටයුත්ත කවරේද, කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේද, කරනු ලබන්නාවූ කිනම් දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස සැප පිණිස වේදැ’ යි නොඅසන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතු කොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙත් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, අඥානයෙක් වෙයි.

මානවකය, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ස්වාමීනි, කුසල් කවරක්ද? අකුසල් කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවනය කළයුත්ත කවරක්ද? සේවනය නොකළයුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර නම් දෙයක් හෝ මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි නොඅසන්නේ වේනම්, මේ පැවැත්ම අඥානවීම පිණිස පවත්නේය.

“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත එළඹ, ‘ස්වාමීනි, කුසලය කවරක්ද? අකුසලය කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවය කළ යුත්ත කවරක්ද? සේවය නොකළ යුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවරක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි අසන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි නූපදීනම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ඥානවන්තයෙකු වෙයි (මහත් නුවණැති).

මානවකය, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙතට පැමිණ, ‘ස්වාමීනි, කුසල කවරක්ද? අකුසල් කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවනය කළ යුත්ත කවරක්ද? සේවනය නොකළ යුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවරක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර දෙයක් හෝ මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි අසන්නේ වේනම් මේ පැවැත්ම මහත් නුවණැති බව පිණිස පවත්නේය.

“මහණෙනි, මේ ලෝකයෙහි ස්වල්ප ආයුෂ පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ස්වල්ප ආයුෂ ඇති බවට පමුණුවයි. දීර්ඝායුෂ පිණිස පවත්නාවූ ප්‍රතිපදාව දීර්ඝායුෂ ඇති බවට පමුණුවයි බොහෝ ආබාධ ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව, බොහෝ ආබාධ ඇති බවට පමුණුවයි. ස්වල්පවූ ආබාධ ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ස්වල්පවූ ආබාධ ඇති බවට පමුණුවයි. අවලක්ෂණවීම පිණිස පවත්නා ප්‍රතිපදාව අවලක්ෂණවීම පමුණුවයි. ලක්ෂණවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ලක්ෂණ ඇති බවට පමුණුවයි. අල්පෙශාක්‍ය බව පිණිස පවත්නාවූ ප්‍රතිපදාව අල්පෙශාක්‍ය බවට පමුණුවයි. මහෙශාක්‍ය බව පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහෙශාක්‍ය බවට පමුණුවයි. ස්වල්ප සම්පත් ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ස්වල්පවූ සම්පත් ඇති බවට පමුණුවයි. මහත්වූ සම්පත් ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහත් සම්පත් ඇති බවට පමුණුවයි. පහත් කුලවල ඉපදීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව පහත් කුල ඇති බවට පමුණුවයි. උසස් කුලවල ඉපදීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව උසස් කුල ඇති බවට පමුණුවයි. අඥානභාවය පිණිස පවත්නාවූ ප්‍රතිපදාව අඥාන බවට පමුණුවයි. මහත්වූ ප්‍රඥාව ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහත්වූ ප්‍රඥා ඇති බවට පමුණුවයි.

“මානවකය, සත්වයෝ කර්මය තමන් අයත් දෙය කොට ඇත්තාහ. කර්මය උරුමකොට ඇත්තාහ. කර්මය කාරණයකොට ඇත්තාහ. කර්මය නෑයන්කොට ඇත්තාහ. කර්මය පිහිටකොට ඇත්තාහ. කර්මයතෙම සත්වයන් උස් පහත් කොට බෙදන්නේයයි වදාළේය. මෙසේ වදාළ කල්හි තෝදෙය්‍යපුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් අරින්නේ හෝ වේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය. ඒ මම භාග්‍යවත්වූ ගෞතමයන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි.)

භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වා.

පස්වැනිවූ චූලකර්ම විභංග සූත්‍රය නිමි. (4-5)