මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

4. විභංග වර්ගය

138. උද්දෙස විභංග සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි” කියා ආමන්ත්‍රණය කළ සේක. “පින්වතුන් වහන්සැයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

“මහණෙනි, තොපට උද්දෙසයත් විභංගයත් (මාතෘකාවද විස්තරයද) දෙශනා කරන්නෙමි. එය අසව්. යහපත්කොට මෙනෙහිකරව්. කියන්නෙමි” යනුයි. “එසේය, ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

“මහණෙනි, භික්ෂුතෙම යම් යම් ආකාරයකින් නුවණින් පිරිසිඳ බලන්නෙකුට පිටත් අරමුණුවල සිත නොවිසිරයන්නේද ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටියේද, විඤ්ඤාණය තමායයි නොගැනීම නිසා ආශාවෙන් තැතිනොගන්නේද? ඒ ඒ ආකාරයෙන් පිරිසිඳ බලන්නේය. මහණෙනි, සිත පිටත් අරමුණුවලැ නොවිසිර ගිය කල්හි භාවනා අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටි කල්හි විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නාහට මත්තෙහි ජාති ජරා මරණ දුක්ඛ සමුදයන්ගේ හටගැණීමෙක් නොවන්නේය.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක.

“ඉක්බිති ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ බැහැර ගිය නොබෝ කල්හි මෙබඳු සිතක් විය. ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙපයෙන් මේ උද්දෙසය වදාරා විස්තර වශයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක. පිරිසිඳ බලන්නහුට පිටත් අරමුණුවල සිත නොවිසිර යන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් සිත නොපිහිටයිද විඤ්ඤාණය තමායයි නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ පරිද්දෙන් මහණ තෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල සිත විසිර නොගිය කල්හි, නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලීමෙන් නොපිහිටි කල්හි, විඤ්ඤාණය තමායයි නොගැනීම නිසා තැති නොගන්නා කල්හි, මත්තෙහි ජාති, ජරා, මරණ දුක්ඛයන්ගේ හටගැණීමක් නොවන්නේයයි වදාළේය. කවරෙක් නම් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් උදෙසනලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරනලද මේ උද්දෙසයාගේ අර්ථය විස්තර වශයෙන් විභාග කරන්නේදැයි” කියායි.

“එකල්හි ඒ භික්ෂූන්ට මෙබඳු අදහසක් විය. මේ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්ණනා කරණ ලද්දේය. නුවණැති භික්ෂූන් විසින්ද ගරු කරණ ලද්දේය ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරණලද මේ උද්දෙසයාගේ අර්ථය විස්තර වශයෙන් විභාග කරන්ට සමර්ථ වන්නේය. අපි ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට යමු. ගොස්, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යහපතැයි යනුයි.

“ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස්, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ට මෙය කීවාහුය. “ආයුෂ්මත් කච්චායන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දෙසය කොටින් වදාරා විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක.

‘මහණෙනි, යම් යම් ආකාරයකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසිර යන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටන්නේද, විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ ආකාරයෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල නොවිසිරගිය කල්හි නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටි කල්හි, විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැතිගැන්මක් නැත්තහුට මත්තෙහි ජරා, ජරා, මරණය දුක්ඛයන්ගේ හටගැණීමක් නොවන්නේය යනුයි, ආයුෂ්මත්වූ කච්චායන ස්ථවිරයන් වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ බැහැරගිය නොබෝ කල්හි මෙබඳු සිතක් විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දෙසය වනාහි සංක්ෂෙපයෙන් උදෙසා විස්තර වශයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක.

‘යම් යම් ආකාරයකින් පිරිසිඳ බලන්නෙකුට සිත පිටත් විසිර නොයන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටන්නේද, තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ ආකාරයෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල සිත නොවිසිර ගිය කල්හි, නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලීමෙන් නොපිහිටි කල්හි, තමායයි නොගැනීම නිසා තැති නොගන්නාහට මත්තෙහි ජාති, ජරා, මරණ දුක්ඛයන්ගේ හට ගැනීමක් නොවන්නේය’ යනුයි. කවරෙක් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දෙසයාගේ විස්තර වශයෙන් අර්ථය විභාග කරන්නේදැයි කියායි.

“ආයුෂ්මත් කච්චායන ස්ථවිරයෙනි, ඒ අපට මෙබඳු සිතක් විය. මේ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති භික්ෂූන් විසින්ද ගරු කරණ ලද්දේය ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථය විභාග නොකරණලද මේ උද්දෙසයාගේ විස්තර වශයෙන් අර්ථය විභාග කරන්ට සමර්ථ වේ. අපි ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට එළඹෙන්නෙමු. එළඹ, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගෙන් මේ කරුණ අසන්නෙමු නම්, යහපතැයි කියායි. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ එය විස්තර කෙරේවා” යි කීවාහුය.

“ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇති, හරය සොයන්නාවූ පුරුෂයෙක් තෙම හර සෙවීමෙහි හැසිරෙන්නේ පිහිටියාවූ, හර ඇත්තාවූ, මහත් ගසක්හුගේ මුල ඉක්මවා, කඳ ඉක්මවා, අතු රිකිලිවල හරය සෙවිය යුතුයයි හඟින්නේද, මෙයත් එසේය. ආයුෂ්මතුන්ලාට ශාස්තෲන් වහන්සේ සම්මුඛවූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කරුණ ඇසිය යුතුයයි හඟින්නහුය. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුත්ත දන්නාහ. දැක්ක යුත්ත දක්නාහ. ඇසක්ම වූයේ, ඤාණයක්ම වූයේ, ධර්මයක්ම වූයේ, ශ්‍රෙෂ්ඨ වූයේ, කියන්නෙක් වූයේ, පවත්වන්නෙක් වූයේ, අර්ථයට පමුණුවන්නෙක් වූයේ, අමෘතය දෙන්නෙක් වූයේ, ධර්මස්වාමී වූයේ, තථාගතවූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය ඇසිය යුත්තේය. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නහුය. මෙය ඊට සුදුසු කාලයද වූයේයයි” කීය.

“ආයුෂ්මත් කච්චායන ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නේය. දැක්ක යුත්ත දක්නේය. ඇසක්ම වූයේ, ඤාණයක්ම වූයේ, ධර්මයක්ම වූයේ, ශ්‍රෙෂ්ඨ වූයේ, කියන්නෙක් වූයේ, පවත්වන්නෙක් වූයේ, අර්ථයට පමුණුවන්නේ, අමෘතය දෙන්නේ, ධර්මස්වාමි වූයේ, තථාගත වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය අසන්නෙමු. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමු, යන යමක් වේද, මෙය ඊට සුදුසු කාලයද වූයේය. එතකුදු වුවත් ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ ශාස්තෲන් වහන්සේ විසින්මද වර්ණනා කරණ ලද්දේය. නුවණැත්තාවූ භික්ෂූන් විසින්ද ගරු කරණ ලද්දේය ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථය විභාග නොකරණලද මේ උද්දෙසයාගේ අර්ථය විස්තර වශයෙන් විභාගකරන්ට සමර්ථ වේ. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ මෙය බරක් වශයෙන් විස්තර කරන සේක්වා”යි කීවාහුය.

“ඇවැත්නි, එසේවී නම්, අසව්. යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමියි” කීය. “ඇවැත්නි, එසේයයි,” ඒ භික්ෂූහු, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම මෙය ප්‍රකාශ කළේය. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට කොටින් යම් උද්දෙසයක් උදෙසා විස්තර වශයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක්ද? මහණෙනි, ‘යම් යම් ආකාරයකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසිර පවත්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීමෙන් නොපිහිටන්නේද, විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ආකාරයෙන් මහණ තෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, සිත පිටත් අරමුණුවල නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලී නොසිටි කල්හි, තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නහුට මත්තෙහි ජාති, ජරා, මරණය දුක්ඛයන්ගේ හටගැනීමක් නොවන්නේය’ යනුයි. ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කොටින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ථය විභාග නොකරණලද මේ උද්දෙසයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි.

“ඇවැත්නි, කෙසේ නම් සිත පිටත් අරමුණුවල විසිර ගියේයයි කියනු ලැබේද, ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ සිත ඇසින් රූපය දැක ඒ රූපාරමුණට අනුව ගමන් කරන්නේ වේද, රූපාරමුණු රස විඳීමෙහි බැඳුණාවූද, රූපාරමුණු රස විඳීමෙහි වෙළුණාවූද, රූපාරමුණු රස විඳීමෙහි බැඳෙන රැහැණින් යුක්තවූද සිත පිටත් අරමුණුවල විසිර ගිය පැතිර ගියේයයි කියනු ලැබේ.

“කණින් ශබ්දය අසා සිත ශබ්ද අනුව ගමන් කරන්නේ වෙයිද, සිත ශබ්දාරමුණු රස විඳීමෙන් බැඳුණාවූ ශබ්දාරමුණු රස විඳීමෙහි වෙළුණාවූ ශබ්දාරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්තවූ සිත පිටත් අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.

“නැහැයෙන් සුවඳ ආඝ්‍රාණයකොට සිත ගන්ධ අරමුණ අනුව ගමන්කරන්නේ වෙයිද, ගන්ධාරමුණු රස විඳීමෙහි බැඳුණාවූ, ගන්ධාරමුණු රස විඳීමෙහි වෙළුණාවූ, ගන්ධාරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්තවූ සිත පිටත් අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.

“දිවෙන් රසය විඳ සිත රසාරමුණු අනුව ගමන්කරන්නේ වෙයිද, රස අරමුණ රස විඳීමෙහි බැඳුනාවූ, රස අරමුණු රස විඳීමෙහි වෙළුනාවූ, රස අරමුණු රස විඳීමෙහි බැඳුණ රැහැණින් යුක්තවූ සිත පිටත් අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.

“කයින් ස්පර්ශයන් ස්පර්ශකොට සිත ප්‍රෂ්ටව්‍ය අරමුණ අනුව ගමන් කරන්නේ වෙයිද, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි බැඳුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණ රස විඳීමෙහි වෙළුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්තවූ සිත පිටත්හි අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.

“සිතින් ධර්මාරමුණු දැන සිත ධර්මාරමුණ අනුව ගමන් කරන්නේ ධර්මාරම්මණයෙහි රස විඳීමෙහි, බැඳුණාවූද, ධර්මාරම්මණ රස විඳීමෙහි වෙළුණාවූද, ධර්මාරම්මණ රස විඳීමෙහි රැහැණින් යුක්තවූද සිත පිටත් අරමුණුවල විසිර ගියේ පැතිරගියේයයි කියනු ලැබේ.

“ඇවැත්නි, මෙසේ වනාහි සිත පිටත් අරමුණුවල විසිර ගියේයයි කියනු ලැබේ.

“ඇවැත්නි, කෙසේ නම් සිත පිටත් අරමුණුවල නොවිසුරුණේයයි කියනු ලැබේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ සිත ඇසින් රූපයක් දැක, රූප අරමුණ අනුව ගමන් නොකරන්නේ වේද, රූපාරමුණෙහි රස විඳීමෙහි නොබැඳුණාවූ, රූප අරමුණෙහි රස විඳීමෙහි නොවෙළුණාවූ, රූප අරමුණෙහි රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ, සිත පිටත් අරමුණුවල නොවිසිරුණු සිතයයි කියනු ලැබේ.

“කණින් ශබ්දය අසා සිත ශබ්ද අරමුණ අනුව ගමන් නොකරන්නෙ වෙයිද, සිත අරමුණු රස විඳීමෙහි නොබැඳුණාවූ, ශබ්ද අරමුණු රස විඳීමෙහි නොවෙළුනාවූ, ශබ්ද අරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවල නොවිසුරුණු සිතයයි කියනු ලැබේ.

“නාසයෙන් ආඝ්‍රාණයකොට සිත ගන්ධ අරමුණ අනුව ගමන් නොකරන්නේ වේද, ගන්ධාරම්මණ රස විඳීමෙහි නොබැඳුණාවූ, ගන්ධාරම්මණ රස විඳීමෙහි නොවෙළුණාවූ, ගන්ධාරම්මණ රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවල නොවිසුරුණ සිතයයි කියනු ලැබේ.

“දිවෙන් රසය විඳ සිත රසාරම්මණය අනුව ගමන් නොකරන්නේ වේද, රසාරම්මණ රස විඳීමෙහි නොබැඳුණාවූ, රසාරම්මණ රස විඳීමෙහි නොවෙළුණාවූ, රසාරම්මණ රස විඳීමෙහි නොබැඳුණ රැහැණින් යුක්ත නොවූ, සිත පිටත් අරමුණුවල නොවිසුරුණ සිතයයි කියනු ලැබේ.

“කයින් ස්පර්ශයන් ස්පර්ශකොට සිත ප්‍රෂ්ටව්‍ය අරමුණ අනුව ගමන් නොකරන්නේ වෙයිද, ප්‍රෂ්ටව්‍ය අරමුණ රස විඳීමෙහි නොබැඳුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි නොවෙළුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවල නොවිසුරුණු සිතයයි කියනු ලැබේ.

“සිතින් ධර්මාරමුණු දැන ධර්මාරම්මණය අනුව සිත ගමන් නොකරන්නේ වේද, ධර්මාරමුණෙහි රස විඳීමෙහි නොබැඳුණාවූ ධර්මාරමුණේ රස විඳීමෙහි නොවෙළුණාවූ, ධර්මාරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවලට නොවිසුරුණු සිතයයි කියනු ලැබේ.

“ඇවැත්නි, මෙසේ වනාහි පිටත් අරමුණුවල නොවිසිර ගිය නොපැතිරගිය සිතයයි කියනු ලැබේ.

“ඇවැත්නි, කෙසේ නම් ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී පිහිටියේයයි කියනු ලැබේද, ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත ඒ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන්කරන්නේ වෙයිද, විවේකයෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපයෙහි රස විඳීමෙහි බැඳුණාවූ විවේකයක් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රස විඳීමෙහි වෙළුණාවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රසවිඳීමෙහි බැඳුණු රැහැණින් යුක්තවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලීසිටින සිතයයි කියනු ලැබේ.

“ඇවැත්නි, නැවතද, භික්ෂුතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇත්තාවූ සිත සම්බන්ධ එකඟ බැව් ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන්කරන්නේ වේද, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රස විඳීමෙහි බැඳුණාවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රසවිඳීමෙහි වෙළුණාවූ, සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙහි රස විඳීමෙහි රැහැණින් යුක්තවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී සිටියේයයි කියනු ලැබේ.

“ඇවැත්නි, නැවතද භික්ෂුතෙම ප්‍රීතියගේද, නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේද, සිහි නුවණ ඇත්තේද, වාසය කරයි. සැපයද කයින් විඳියි. ආර්‍ය්‍යයෝ ඒ යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැපවිහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත ඒ උපෙක්ෂාව අනුව ගමන්කරන්නේ වේද, උපෙක්ෂා සැපයෙහි රස විඳීමෙහි බැඳුණු, උපෙක්ෂා සැපයෙහි රසවිඳීමෙහි වෙළුණු උපෙක්ෂා සැපයෙහි රස විඳීමෙහි රැහැණින් යුක්තවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලීසිටියේයයි කියනු ලැබේ.

“ඇවැත්නි, නැවතද භික්ෂුතෙම සැපයද දුරු කිරීමෙන්, දුකද දුරු කිරීමෙන් පළමුකොටම සොම්නස්, දොම්නස් දෙක නැසීමෙන් නිදුක්වූ, නොසැපවූ, උපෙක්ෂා ස්මෘතීන්ගේ පිරිසිදු බැව් ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත දුක් නැතිවීම, සැප නැතිවීම අනුව ගමන් කරන්නේ වේද, නිදුක් නොසැපයෙහි රස විඳීමෙහි බැඳුණු, නිදුක් නොසැපයෙහි රස විඳීමෙහි වෙළුණු, නිදුක් නොසැප රස විඳීමෙහි රැහැණින් යුක්තවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී සිටියේයයි කියනු ලැබේ.

“ඇවැත්නි, මෙසේ වනාහි ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී සිටියේයයි කියනු ලැබේ.

“ඇවැත්නි, කෙසේ නම් ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී නොසිටියේයයි කියනු ලැබේද, ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන් නොකරන්නේ වේද, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය පිළිබඳ රස විඳීමෙහි නොබැඳුණු විවේකයෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපය පිළිබඳ රස විඳීමෙහි නොවෙළුණු විවේකයෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපය පිළිබඳ රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටි සිතයයි කියනු ලැබේ.

“ඇවැත්නි, නැවත භික්ෂුතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, සිතේ එකඟ බව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන් නොකරන්නේ වේද, සමාධියෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපය පිළිබඳ රසවිඳීමෙහි නොබැඳුණාවූ සමාධියෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපය පිළිබඳ රසවිඳීමෙහි නොවෙළුණාවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය පිළිබඳ රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ, සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොපිහිටියේයයි කියනු ලැබේ.

“ඇවැත්නි, නැවතද භික්ෂුතෙම ප්‍රීතියගේද නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේ, වාසය කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත උපෙක්ෂාව අනුව ගමන් නොකරන්නේ වේද, උපෙක්ෂා සැපය පිළිබඳ රස විඳීමෙහි නොබැඳුණු, උපෙක්ෂා සැපය පිළිබඳ රස විඳීමෙහි නොවෙළුණ, උපෙක්ෂා සැපය පිළිබඳ රස විඳීමෙහි බැඳුණ රැහැණින් යුක්ත නොවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොපිහිටියේයයි කියනු ලැබේ.

ඇවැත්නි, නැවතද භික්ෂුතෙම සැපයද දුරු කිරීමෙන් දුක නැතිකිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති, චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත නිදුක් නොසැපය අනුව ගමන් නොකරයි. නිදුක් නොසැපය පිළිබඳ රසවිඳීමෙහි බැඳිමක් නැති, නිදුක් නොසැපය පිළිබඳ රස විඳීමෙහි වෙළීමක් නැති, නිදුක් නොසැප පිළිබඳ රසවිඳීමෙහි බැඳුණු, ආස්වාදනය හා සංයොජනයෙන් රැහැණින් යුක්ත නොවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොපිහිටියේයයි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ වනාහි ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී නොපිහිටියේයයි කියනු ලැබේ.

“ඇවැත්නි, කෙසේ නම් තමායයි ගැනීමට දෙයක් නැතිවීම නිසා තැතිගැනීම වේද, ඇවැත්නි, මේ ලොකයෙහි ඇසූපිරූ තැන් නැත්තාවූ පෘථග්ජන තෙම ආර්‍ය්‍යයන් නොදක්නේ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නුවූයේ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනේ, සත්පුරුෂයන් නොදක්නේ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූයේ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනේ, රූපය තමා වශයෙන් දකියි. රූපය ඇත්තකු තමා වශයෙන් හෝ දකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ දකියි. රූපය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ රූපය වෙනස් වෙයි. අන් පරිද්දකින් වෙයි. රූපයාගේ වෙනස්වීමෙන් හා අන්පරිදි වීමෙන් රූපයාගේ වෙනස්වීමට අනුව ඔහුගේ සිතද වෙනස් වෙයි. රූපයන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ ඔහුගේ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශවීමෙන් තෘෂ්ණා තැතිගැන්මෙන්ද භය තැති ගැන්මෙන්ද තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මමයයි ගතයුත්තක් නැති කල්හි තැතිගනියි.

“වේදනාව තමා වශයෙන් දකියි. වේදනාව ඇත්තකු තමාය කියා හෝ තමා කෙරෙහි වේදනාව ඇත්තේ යයි කියා හෝ වේදනාවෙහි තමා ඇත්තේයයි කියා හෝ තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. වේදනාව වෙනස් වීමෙන් හා අන්පරිදි වීමෙන් වේදනාවේ වෙනස්වීම අනුව ඔහුගේ සිතද වෙනස් වෙයි. වේදනාවන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ ඔහුගේ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශවීමෙන් තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මමයයි ගතයුත්තක් නැති කල්හි තැතිගනියි.

“සංඥාව තමා වශයෙන් දකියි. සංඥාව ඇත්තෙකු තමාය කියා හෝ තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි කියා හෝ සංඥාවෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ සංඥාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. සංඥාව වෙනස් වීමෙන් හා අන් පරිදි වීමෙන් සංඥාවේ වෙනස්වීම අනුව ඔහුගේ සිත වෙනස් වෙයි. සංඥාවන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ වීමෙන් තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මමයයි ගතයුත්තක් නැතිකල්හි තැති ගනියි.

“සංස්කාරයන් තමා වශයෙන් දකියි. සංස්කාර ඇත්තකු තමායයි කියා හෝ තමා කෙරෙහි සංස්කාර ඇත්තේ යයි කියා හෝ සංස්කාරයෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ සංස්කාර වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. සංස්කාර වෙනස් වීමෙන් හා අන්පරිදි වීමෙන් සංස්කාරයන්ගේ වෙනස්වීම අනුව ඔහුගේ සිත වෙනස්වෙයි. සංස්කාරයන්ගේ වෙනස් වීමට අනුව වෙනස්වූ සිතින් හට ගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ වීමෙන් තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මම යයි ගතයුත්තක් නැතිකල්හි තැතිගනියි.

“විඤ්ඤාණය තමා වශයෙන් දකියි. විඤ්ඤාණය ඇත්තකු තමායයි කියා හෝ ගනියි. විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ විඤ්ඤාණය වෙනස් වීමෙන් හා අන්පරිදි වීමෙන් විඤ්ඤාණයාගේ වෙනස්වීම අනුව සිතද වෙනස් වේ. ඔහුගේ විඤ්ඤාණය වෙනස්වීම අනුව වෙනස්වූ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැනීම වන අකුසල ධර්මයෝ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ වීමෙන් තැති ගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. තමායයි ගැනීමට දෙයක් නැතිවීම නිසා තැතිගනියි. මෙසේ වනාහි තමායයි නොගැනීම නිසා තැති ගැනීම වෙයි.

“ඇවැත්නි, කෙසේ නම් මමයයි නොගැනීම නිසා තැති නොකොට පරිත්‍රාශ ගැනීම නොවේද? ඇවැත්නි, මේ ලෝකයෙහි ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම රූපය තමා වශයෙන් නොදකියි. රූපය ඇත්තෙකු තමා වශයෙන් හෝ නොදකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ නොදකියි. රූපයෙහි තමා ඇත්තේයයි කියා හෝ නොදකියි. ඔහුගේ ඒ රූපය වෙනස් වේ. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ රූපය වෙනස් වීමෙන් අන්පරිදි වීමෙන් රූපය වෙනස්වීම අනුව සිත වෙනස් නොවේ. ඔහුගේ රූපය වෙනස්වීම අනුව වෙනස් වන සිතින් හටගන්නා තැතිගැනීම වන අකුශල ධර්මයෝ කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීම නිසා තැති ගැනීම් සහිත නොවෙයි. දුක් සහිත නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගැනීමට දෙයක් නැති නිසා තැති නොගනියි. වේදනාව තමා වශයෙන් නොදකියි. වේදනාව ඇත්තෙකු තමා කියා හෝ නොදකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ නොදකියි. වේදනාවෙහි තමා ඇත්තේයයි කියා නොදකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. වේදනාව පෙරළීමෙන් අන් පරිදි වීමෙන් වේදනාව පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවේ. ඔහුගේ වේදනාව පෙරළීම අනුව වෙනස් වන සිතින් හට ගත් තැති ගැනීම වන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීම නිසා තැති ගැනීම් සහිත නොවෙයි. දුක් සහිත නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි නොගැනීම නිසාද තැති නොගනියි. සංඥාව ආත්මය වශයෙන් නොදකියි. සංඥාව ඇත්තෙකු තමායයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි කියා හෝ නොදකියි. සංඥාවෙහි තමා ඇත්තේයයි කියා හෝ නොදකියි. ඒ සංඥාව විපරිනාම වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහු සංඥාව පෙරළීමෙන් අන් පරිදි වීමෙන් සංඥාව පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවේ. ඔහුගේ සංඥාව පෙරළීම අනුව වෙනස්වූ සිතින් හටගත් තැතිගැනීම් වන අකුශල ධර්මයෝ ඔහුගේ සිත විනාශ නොකරත්. කුසල් විනාශ නොවීම නිසා තැති ගැනීම් සහිත නොවෙයි. දුක් සහිත නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගතයුත්තක් නැති නිසා තැති නොගනියි. සංස්කාරයන් ආත්ම වශයෙන් නොදකියි. සංස්කාර ඇත්තෙකු තමාය කියා හෝ නොදකියි. තමා කෙරෙහි සංස්කාර ඇත්තේය කියා හෝ නොදකියි. සංස්කාරයෙහි තමා ඇත්තේය කියා හෝ නොදකියි. ඔහුගේ ඒ සංස්කාර වෙනස්වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ සංස්කාර පෙරළීමෙන් අන් පරිදිවීමෙන් සංස්කාර පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවෙයි සංස්කාර පෙරළීම අනුව වෙනස්වූ සිතින් හටගත් තැතිගැනීම් අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීමෙන් තැතිගැනීම් සහිත නොවෙයි දුක් සහිත නොවෙයි. ආලය සහිත නොවෙයි. තමා වශයෙන් ගතයුත්තක් නැති නිසා තැති නොගනියි. විඥානය තමා වශයෙන් නොදකියි. විඥානය ඇත්තෙකු තමා වශයෙන් හෝ නොදකියි. තමා කෙරෙහි විඥානය ඇත්තේ කියා හෝ නොදකියි. විඥානයෙහි තමා ඇත්තේය කියා හෝ නොදකියි. ඔහුගේ ඒ විඥානය වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ විඤ්ඤාණ වෙනස්වීමට අනුව සිත වෙනස් නොවෙයි. ඔහුගේ විඤ්ඤාණය වෙනස් වීමට අනුව වෙනස්වූ සිතින් හටගත් තැතිගැනීම් තෘෂ්ණා පරිතස්සනා අකුසල ධර්ම කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීමෙන් තැතිගැනීමක් නොවෙයි. දුක් සහිත නෙවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගැනීමට දෙයක් නැති නිසා තැති නොගනියි. ඇවැත්නි, මෙසේ වනාහි තමායයි නොගැනීම නිසා තැති ගැනීම නොවන්නේය.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උදෙසීමක් සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක්ද, මහණෙනි, යම් යම් පරිද්දකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසුරුනේද, ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටියේද, තමායයි ගැනීමට දෙයක් නැතිවීම නිසා තැති නොගන්නේද, ඒ ඒ පරිද්දෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය මහණෙනි, පිටත් අරමුණුවල සිත් නොවිසිරීම ඇති කල්හි ධ්‍යානාරම්මණයෙහි ඇලී තමායයි අල්වා නොසිටි කල්හි ගතයුත්තක් නැතිවීම නිසා තැති නොගන්නහුට මත්තෙහි ජාති ජරා මරණය දුක්ඛසමුදය හටගැණීමක් නොවේය යනුයි.

“ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථය විභාග නොකරණ ලද මේ උද්දෙසයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි. ආයුෂ්මත්නි, කැමති වන්නහු නම් තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙතම එළඹ මේ කාරණය අසව්. යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කෙරේද එසේ එය දරා ගනිව්ය” කීය.

ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගේ කීම සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට ගියාහුය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව උන්හ. එකත්පස්ව උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහුය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් යම් උද්දේසයක් වනාහි උදෙසා විස්තර වශයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක්ද, ‘මහණෙනි, යම් යම් පරිද්දෙකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසුරුනේද ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටියේ තමායයි නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ පරිද්දෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල විඥානය වික්ෂිප්ත නොවූ කල්හි නොවිසිරීම ඇති කල්හි ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටි කල්හි තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නහුට මත්තෙහි ජාති ජරා මරණය දුක්ඛ හටගැනීමක් නොවේය යනුයි’ ස්වාමීනි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ කල්හි මෙබඳු අදහසක් විය.

‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දෙසය වනාහි සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක. මහණෙනි, යම් යම් පරිද්දෙකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල වික්ෂිප්ත නොවූයේ විසිර නොගියේ වෙයිද, ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටියේ තමායයි නොගැනීම නිසා තැතිගැනීමක් නොවන්නේද? ඒ ඒ පරිද්දෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත්හි අරමුණුවල සිත වික්ෂිප්ත නොවූ කල්හි නොවිසිරීම ඇති කල්හි ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටි කල්හි තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නහුට ජාති ජරා මරණ දුක්ඛයන්ගේ හටගැනීමෙක් නොවේය’ යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ථය විභාග නොකරණ ලද මේ උදේදෙසයාගේ අර්ථය කවරෙක් නම් විස්තරයෙන් විභාග කරන්නේදැයි කියායි ස්වාමීනි, ඒ මේ අපට මෙබඳු අදහසක් විය. ‘මේ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දෙක් වේ. නුවණැති භික්ෂූන් විසින්ද ගරු කරණ ලද්දෙක් වේ. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ථ විභාග නොකරණලද මේ උද්දෙසයාගේ අර්ථය විස්තරයෙන් විභාග කරන්ට සමර්ථද වේ. අපි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද එතැනට යමු. ගොස් ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් ගෙන් මේ කාරණය පිළිවිසින්නෙමු නම් යහපතැයි’කියායි.

“ස්වාමීනි, ඉක්බිති අපි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියෙමු. පැමිණ ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන්ගෙන් මේ කාරණය ඇසුවෙමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ විසින් මේ අක්ෂරවලින්, මේ පදවලින් මේ ව්‍යඤ්ජනවලින් අර්ථය විභාග කරණ ලද්දේය”යි කීවාහුය.

“මහණෙනි, මහාකච්චායන තෙම පණ්ඩිත වේ. මහණෙනි, මහාකච්චායන තෙම මහත් ප්‍රඥා ඇත්තෙක් වේ. මහණෙනි, තෙපි මාගෙන්ද ඉදින් මේ කාරණය ඇසුවහු නම්, යම්සේ මහාකච්චායනයන් විසින් ප්‍රකාශ කරණ ලද්දේද මමද මෙහි මේ කාරණය එසේම ප්‍රකාශ කරන්නෙමි. අර්ථය මෙයම වේ. මෙසේම එය දරව් යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.

අටවැනි උද්දේස විභංග සූත්‍රය නිමි. (4-8)