මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

4. විභංග වර්ගය

140. ධාතු විභංග සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වල සැරිසරණසේක් රජගහනුවර යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. භග්ගව නම් කුම්භකාර තෙම යම්තැනෙක්හිද එතැනට එළඹිසේක එළඹ, භග්ගව නම් කුම්භකාරයාට මෙය වදාළේය. “භග්ගවය, ඉදින් තොපට බරක් නොවේ නම් කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි” යනුයි. “ස්වාමීනි, මට නම් බරක් නොවේ. මෙහි පළමුකොට වාසයට එළඹියාවූ පැවිදිවූ තැනැත්තෙක්ද ඇත්තේය. ඉදින් හෙතෙම අවසර දෙයි නම් ස්වාමීනි, සැපසේ වාසය කරනු මැනවැ’ යි කීය.

“එකල්හි වනාහි පුක්කුසාති නම් කුලපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙම ඒ කුම්භකාර ශාලාවෙහි පළමු වාසයට එළඹියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තෙමේ යම් තැනෙක්හිද එතැනට එළඹිසේක. එළඹ, ආයුෂ්මත් පුක්කුසාතිහට මෙය වදාළේය. “මහණ, ඉදින් තොපට බරක් නොවේ නම්, කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි”යි “ඇවැත්නි, කුම්භකාර ශාලාව ඉඩ ඇත්තේය. ආයුෂ්මත් තෙමේ සැපසේ වාසය කෙරේවා”යි කීය.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර ශාලාවට ඇතුල්ව එක්පසක තණ ඇතිරියක් පනවා පළඟ බැඳගෙණ කය ඍජුකොට පිහිටුවා සිහිය ඉදිරිපත්කොට එළවා වැඩහුන්සේක ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි වැඩිකාලයක් හිඳීමෙන් ඉක්මවූ සේක. පුස්කුසාති ආයුෂ්මත් තෙමේද රාත්‍රියෙහි වැඩි කාලයක් හිඳගැණීමෙන් ඉක්ම වූයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්‍ර තෙමේ වනාහි ප්‍රසාද එලවන පරිද්දෙන්ම ඉරියව් පවත්වයි. මම අසන්නෙම් නම්, යෙහෙකැයි, කියායි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පුක්කුසාති ආයුෂ්මතුන්ට මෙය වදාළේය. “මහණ, නුඹ කවරෙකු උදෙසා පැවිදිවූයේ වෙහිද? නුඹගේ ශාස්තෘ තෙමේ හෝ කවරෙක්ද, නුඹ කවරෙකුගේ හෝ ධර්මයක් කැමැති වන්නෙහිදැ?”යි ඇසූහ.

“ඇවැත්නි, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් ඇත්තේය. ඒ භාග්‍යවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත්වූ කීර්ති ශබ්දයෙක් පැන නැංගේය. ඒ භාග්‍යවත් තෙමේ මේ කාරණයෙනුත් අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ථවාහකයෙකු බඳුය, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙකි, බුද්ධය, භාග්‍යවත්ය, යනුවෙනි. මම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයේ වෙමි. ඒ භාග්‍යවත් තෙමේ මාගේ ශාස්තෘ වෙයි. මම ඒ භාග්‍යවත්හුගේ ධර්මය කැමති වෙමියි’යි කීය.

“මහණ, මේ කාලයෙහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ කොතැන්හි වාසය කරණසේක්දැ?”යි ඇසූහ. “ඇවැත්නි, උතුරු දනව්වල සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි මේ කාලයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වාසය කරණසේකැයි” කීය.

“මහණ, තොප විසින් ඒ භාග්‍යවත් තෙමේ දක්නා ලද්දේද, දැක, දැන, හඳුනන්නෙහිදැ”යි ඇසූහ. “ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් නොදක්නා ලදි. මම දැක නොහඳුනන්නෙමි”යි කීය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්‍ර තෙමේ වනාහි මා උදෙසා පැවිදිවූයේය. මොහුට මම ධර්මය දෙශනා කරන්නෙම් නම් යෙහෙකැ’යි කියායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තවුසන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණ, තොපට ධර්මය දෙශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමියි” වදාළේය. “ඇවැත්නි, එසේයයි” කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

‘මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්ත වන්නේය, ස්පර්ශ ආයතන සයකින් යුක්ත වන්නේය සිතේ හැසිරීම් දහඅටකින් යුක්ත යම් තැනෙක්හි සිටියහුට වැරදි හැඟීම් නොපවතිත්ද, එවැනි පිහිටීම් සතරක් ඇත්තාහුය. වැරදි හැඟීම් නොපවත් වන්නාවූ ක්ෂිණාශ්‍රව මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. (අර්හත් ඵල) ප්‍රඥාවට ප්‍රමාද නොවන්නේය. වාග් සත්‍යය ආරක්ෂා කරන්නේය. කෙලෙස් දුරු කිරීම වඩන්නේය. හෙතෙම කෙලෙස් සංසිඳිමෙහිම හික්මෙන්නේය. මේ වනාහි සවැදෑරුම් ධාතු විභංගයාගේ උද්දෙසය වේ.

“මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි, මෙසේ වනාහි මේ කියනලදී. මෙය කුමක් සඳහා කියන ලදද? පඨවි ධාතුය, අපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය, ආකාශ ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි). මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි මෙසේ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.

“මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? චක්ඛුසම්ඵස්ස ආයතනය, සොත සම්ඵස්ස ආයතනය, ඝාණ සම්ඵස්ස ආයතනය, ජිව්හා සම්ඵස්ස ආයතනය, කාය සම්ඵස්ස ආයතනය, මනො සම්ඵස්ස ආයතනය (යන සයයි) මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තව ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.

“මහණ, මේ පුරුෂ තෙම දහඅටක්වූ සිතේ හැසිරීම්වලින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? ඇසින් රූපය දැක සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි. නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කොට සොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශ කොට සොම්නසට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි. සිතින් ධර්මය දැන සොම්නසට කරුණුවූ, ධර්මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. මෙසේ සොම්නසයෙහි හැසිරීම් සයක්ය, දොම්නසයෙහි හැසිරීම් සයක්ය, උපෙක්ෂාවෙහි හැසිරීම් සයක්යයි, (දහඅටක් වෙත්) මහණ, මේ පුරුෂ තෙම අටළොස් සිත් හැසිරීමකින් යුක්ත යයි, මෙසේ ඒ යමක් කියනලද නම් ඒ මේ සඳහා කියන ලදී.

“මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේ යයි, මෙසේ වනාහි කියනලදී. එය කුමක් සඳහා කියන ලදද, ප්‍රඥාව පිහිටීම කොට ඇත්තේය. සත්‍යය පිහිටීම කොට ඇත්තේය. ත්‍යාගය පිහිටීම කොට ඇත්තේය. සංසිඳීම පිහිටීම කොට ඇත්තේය. (යන සතරයි). මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, ඒ මෙය සඳහා කියන ලදී.

“ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය, සත්‍යය ආරක්ෂා කරන්නේය, ත්‍යාගය වඩන්නේය, හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේ යයි, මෙසේ වනාහි මේ කියන ලදී. එය කුමක් සඳහා කියන ලදද? මහණ, කෙසේ නම් ප්‍රඥාව ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවේද, මහණ, මේ ධාතු සයක් වෙත්. පඨවි ධාතුය, ආපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය, ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි).

“මහණ, පඨවි ධාතුව කවරීද? පඨවි ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුව නම් කවරීද, අධ්‍යාත්මිකවූද, තමන් තුළ පවත්නාවූද, යම් තද බවක් රළු බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්: කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇට මිදුලුය, වකුගඩුවය, හෘදය මාංශය, අක්මාවය, දලබුවය, බඩදිවය, පපුවය, අතුනුය, අතුනු බහන්ය, නොපැසුණ ආහාරය, මළය, (යන මොහුයි).

“අන්‍යවූද, කිසියම් අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ තද බවක් රළු බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෝ තොමෝ අධ්‍යාත්මිකවූ පඨවි ධාතුයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ පඨවි ධාතුවක් වන්නීද, යම් බාහිරවූ පඨවි ධාතුවකුත් වන්නීද, මෝ තොමෝ පඨවි ධාතුම වන්නීය. ‘එය මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක පඨවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඅලවයි.

“මහණ, අපොධාතුව කවරීද? ආපොධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආපොධාතුව කවරීද, අධ්‍යාත්මිකව තමන් තුළ පවත්නාවූ යම් වැගිරීමක්, වැගිරීම් ගතියක් තමා වශයෙන් ගන්නාලද්දක් වේද, එනම්: පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය යන මොහුද මෙයින් අන්‍යවූද යම් කිසිවක් හෝ අධ්‍යාත්මිකවූ, තමන් පිළිබඳවූ වැගිරීමක්, වැගිරෙන බවට පැමිණි දෙයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෙය අධ්‍යාත්මිකවූ ආපොධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ ආපොධාතුවක් වන්නීද, යම් බාහිරවූ ආපෝ ධාතුවකුත් වන්නීද, එය ආපොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, අපොධාතුව කෙරෙහි කලකිරෙයි. ආපොධාතුව කෙරෙහි සිත නොඅලවයි.

“මහණ, තෙජොධාතුව කවරීද, තෙජො ධාතුව අධ්‍යාත්මිකද වන්නීද, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ තෙජොධාතුව කවරීද, යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ උණුසුමක්, උණුසුම් බවක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, යමකින් තැවේද, යමකින් දිරණු ලැබේද, යමකින් දවනු ලැබේද, යමකින් කනලද බොනලද කඩා කන ලද, දිවගාන ලද දේ, මනාකොට පැසීමට යේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ, උණුසුමක්, උණුසුම් බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ තෙජොධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ තෙජොධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ තෙජොධාතුවකුත් වන්නීද, එය තෙජොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, තෙජොධාතුව කෙරෙහි කලකිරෙයි. තෙජොධාතුව කෙරෙහි සිත නොඅලවයි.

“මහණ, වායොධාතුව කවරීද, වායොධාතුව අධ්‍යාත්මිකද වන්නීය. බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ වායොධාතුව කවරීද? යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ හැමීමක් වාතයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, උඩට ගමන් කරන්නාවූ වාතයෝය, යටට ගමන් කරන්නාවූ වාතයෝය, ආමාශය තුළ පවත්නා වාතයෝය, ආමාශයෙන් පිටත පවත්නා වාතයෝය, අවයව අනුව ගමන් කරන්නාවූ වාතයෝය, ආශ්වාස ප්‍රශ්වාස වාතය (යනුයි.) මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ වාතයක්, හැමීම් ගතියක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ වායොධාතුයයි කියනු ලැබේ. අධ්‍යාත්මිකවූ යම් වායොධාතුවකුත් වන්නීද, බාහිරවූ යම් වායොධාතුවකුත් වන්නීද, එය වායොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමියි, එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, වායොධාතුව කෙරෙහි කලකිරෙයි. වායොධාතුව කෙරෙහි සිත නොඅලවයි.

“මහණ, ආකාශධාතු තොමෝ කවරීද? ආකාශ ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආකාශධාතුව කවරීද, අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක්, හිස් බවක්, තමා වශයෙන් ගන්නාලද්දක් වේද, එනම්, කන් සිදුරද, නාස් සිදුරද, මුවදොරද, යමකිනුත් කනලද, බොනලද කඩා කනලද, දිවගාන ලද දෙය ගිලෙයිද, යම් තැනෙක් හිත් කනලද, බොනලද, කඩා කනලද, දිවගාන ලද දෙය දරා සිටීද, යමකිනුත් කනලද බොනලද, කඩා කන ලද, දිවගාන ලද දෙය යටභාගයෙන් නික්මේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක් හිස්බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ ආකාශධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ ආකාශධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ ආකාශ ධාතුවකුත් වන්නීද, එය ආකාශධාතුව වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, ආකාශධාතුව කෙරෙහි කලකිරෙයි. ආකාශධාතුව කෙරෙහි සිත නොඅලවයි.

“ඉන්පසු පිරිසිදුවූ නිර්මලවූ විඤ්ඤාණයම ඉතිරිවේ. ඒ විඤ්ඤණයෙන් කිසිවක් දැනගනී. සැපයයිද දනී. දුකයයිද දනී. සැපත් නොවේය දුකත් නොවේයයි දනී. මහණ, සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි හෙතෙම සැප වේදනාව විඳින්නේ, සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා හටගත් යම් සැප වේදනාවක් වීද එයද නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.

මහණ, දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක්වූ වේදනාව උපදියි. දුක් වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්වූ වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.

මහණ, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක්ද නොවූ සැපද නොවූ වේදනාව උපදියි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.

“මහණ, යම්සේ ලීදඬු දෙකක් එකට ගැටීමෙන් උණුසුම හටගණීද, ගින්න උපදීද, ඒ ලීදඬු දෙක වෙන්වීමෙන් වෙන්කොට තැබීමෙන් යම් එයින් හටගත් යම් උණුසුමක් වේද, නිරුද්ධ වේද, එය සංසිඳේද, මහණ මෙපරිද්දෙන්ම සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාව විඳින්නේ සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් සැප වේදනාවක් වේද, එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැනගනියි.

මහණ, දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක් වේදනාව උපදියි. හෙතෙම දුක් වේදනාව විඳින්නේ දුක් වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද එය නිරුද්ධ වේ. සංසිඳේයයි දැනගනියි.

මහණ, නිදුක් නොසැප වේදනාවට (උපෙක්ෂා වේදනාවට) කරුණුවූ ස්පර්ය නිසා උපෙක්ෂා වේදනාව උපදියි. හෙතෙම නිදුක් නොසැප වේදනාව විඳින්නේ නිදුක් නොසැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ නිදුක් නොසැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ නිදුක් නොසැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් නිදුක් නොසැප වේදනාවක් වේද එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැන ගනියි.

“ඉන්පසු පිරිසිදුවූ නිර්මලවූ මෘදුවූ කර්මන්‍යවූ බැබළීම් සහිතවූ උපෙක්ෂාවම ඉතිරිවේ. මහණ, යම්සේ දක්ෂවූ රන්කරුවෙක් හෝ රන්කරු අතවැස්සෙක් හෝ කඹුරු උදුනක් (කෝවක්) බඳින්නේද, උදුන බැඳ උදුන් මුවවිට ආලේප කරන්නේය. උදුන් මුවවිට ආලේප කොට අඬුවෙන් රත්‍රන් ගෙන, උදුන් මුඛයෙහි බහා ලන්නේය. ඊට කලින් කල ගිනි පිඹින්නේය. කලින් කල ජලයෙන් තෙමන්නේය. කලින් කල මැදහත්ව බලන්නේය. ඒ රත්රන් සුද්ධවූවක්, ඉතා පිරිසිදුවූවක්, නිර්මලවූවක් (පහවගිය මළ ඇත්තක්) පහවගිය කසට ඇත්තක්, මෘදුවූවක්, කර්මන්‍ය වූවක්, බැබළීම් සහිත වූවක් වෙයි. යම් යම් පළඳනා විකෘතියක් කැමැති වේද, ඉදින් පවඬිකා නම් ආභරණයක් කිරීමටද, ඉදින් කුණ්ඩලාභරණයක් කිරීමටද, ඉදින් ග්‍රීවයෙහි පළඳන ආභරණයක් කිරීමටද, ඉදින් රන් මාලයක් කිරීමටද කැමැති වෙයිද, මොහුගේ ඒ අදහස සම්පූර්ණ වන්නේය. මහණ, එපරිද්දෙන්ම ඉන්පසු පිරිසිදුවූ, නිර්මලවූ, මෘදුවූ, කර්මන්‍යවූ බැබළීම් සහිතවූ උපෙක්ෂාවම ඉතිරිවේ.

“හෙතෙම මෙසේ දැනගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණුකොට ඉතා බොහෝ කලක් පවත්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපෙක්ෂාව විඤ්ඤානඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරු කොට, එය කරුණු කොට ඉතා දීර්ඝ කාලයක් පවතින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට, එය කරුණුකොට බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපෙක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණු කොට බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේය යනුවෙනි.

“හෙතෙම මෙසේ දැනගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, මෙය හේතුප්‍රත්‍යයෙන් ඇතිවන ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව විඤ්ඤානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි කියායි. හෙතෙම එය රැස් නොකරන්නේය, සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරයි. හෙතෙම රැස් නොකරන්නේ සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරන්නේ, ලෝකයෙහි කිසිවක් මම යයි (අල්වා නොගනියි) මම යයි අල්වා නොගන්නේ නොඇලෙයි නොඇල්ලෙන්නේ තමාම පිරිනිවෙයි. ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්මය පිණිස අනිකක් නැතැයි දැනගනියි.

හෙතෙම ඉදින් සැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. වැද්ද ගැනීමට නුසුදුසුයයි දැනගනියි. ඇලීමෙන් සතුටුවීමට සුදුසු නැතැයි දැනගනියි. ඉදින් දුක්වූ වෙදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. නොවැදගත්යයි දැනගනියි. තණ්හාවෙන් සතුටු නොවිය යුතු යයි දැනගනියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. නොවැදගන්නා ලද්දීයයි දැනගනියි. නොසතුටුවන ලද්දීයයි දැන ගනියි.

හෙතෙම, ඉදින් සැපවූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. හෙතෙම ඉදින් දුක්වූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. හෙතෙම මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කායපරියන්තික වේදනාව විඳිමියි දැනගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිත පරියන්තික වේදනාව විඳිමියි දැනගනියි. ශරීරයාගේ බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් මෙහි පසු විඳිනලද සතුටුවන ලද සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැනගනියි.

“මහණ, යම්සේ තෙලද නිසා වැටියද නිසා තෙල් පහන ඇවිලේද, ඒ තෙල්ද වැටියද කෙළවර වීමෙන් අනික් තෙල් වැටි නොඑළවීමෙන් හේතුරහිත වූයේ නිවේද මහණ, මෙපරිද්දෙන්ම මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි, දැනගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිමියි දැනගනියි. ශරීරයාගේ භේදයෙන් ජීවිතයාගේ කෙළවර වීමෙන් මෙහි සතුටු වන්නාවූ සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැනගනියි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම්වූ අර්හත්ඵල ප්‍රඥාව නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, මේ වනාහි උතුම්වූ ආර්‍ය්‍ය ප්‍රඥාවයි. එනම්, සියලු දුක් නැති කිරීමෙහි ඤාණයවේ.

ඔහුගේ ඒ අර්හත් ඵල විමුක්තිය පරමාර්ථ සත්‍යයෙහි පිහිටියා කැළඹියනොහැකි වූවා වේ. මහණ, එයද වෙනස්වන ස්වභාවය ඇත්තේය. නැසෙන ස්වභාවය ඇත්තේය, නොනැසෙන ස්වභාවයවූ නිර්වාණයක් වේද එයම සත්‍යයි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම්වූ පරමාර්ථ සත්‍ය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, නොනැසෙන ස්වභාව ඇත්තාවූ, මේ නිවණම උතුම් ආර්‍ය්‍ය සත්‍යවේ.

එය වනාහි, පෙර (පෘථග්ජන කාලයෙහි) නොදන්නාහුගේ සම්පූර්ණ කරණලද ගන්නා ලද ස්කන්ධාදී උපාධීහු (ආසා) වෙත්ද, මොහුගේ ඒ උපාධීහු ප්‍රහීණවූවාහු සිඳිනලද මුල් ඇත්තාහු කරටිය සිඳි තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත ඇතිවීම නැතිකරණ ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.

“එහෙයින් මෙයින් යුක්තවූ මහණතෙම මේ උතුම්වූ ක්ලෙශ පරිත්‍යාගය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මේ තෙමේ වනාහි උතුම්වූ ආර්‍ය්‍යවූ ත්‍යාගය වේ. එනම්, සියලු උපාධීන්ගේ දුරලීමයි.

ඒ නොදන්නහුගේම වනාහි පෙර (පෘථග්ජන කාලයෙහි) අභිධ්‍යාව (ආලය) රාග සහිත වීමක් වේද, මොහුගේ එය ප්‍රහීණවූයේ වෙයි. උදුරන ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැතිකරණ ලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ඒ අඥානවූ, ඔහුගේම වනාහි පෙර ක්‍රොධයෙක් ව්‍යාපාදයෙක් ද්වෙෂයක්වේද, එය මොහුගේ ප්‍රහීණවූයේ වෙයි. උදුරණ ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැති කරණ ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේවේ. ඒ අඥානවූවහුගේම වනාහි පෙර අවිද්‍යාවක් සම්මොහයක් ද්වෙෂයක්වේද, එය මොහුගේ ප්‍රහීණවූයේ වෙයි. සිඳින ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම කරණ ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. එහෙයින් මෙයින් යුක්තවූ මහණ තෙම මේ උතුම්වූ ක්ලෙශයන් සංසිඳීම නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මෙතෙම වනාහි උතුම්වූ ආර්‍ය්‍යවූ උපසමයවේ. එනම්, රාග දොස මොහයන්ගේ සංසිඳීමයි.

“ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය. සත්‍යය ආරක්ෂා කරන්නේය. ත්‍යාගය වඩන්නේය, හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේයයි, මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී.

යම් තැනෙක්හි සිටියහුට උත්සන්නවූ හැඟීම් (තෘෂ්ණාදී ත්‍රිවිධ මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ) නොපවතිත්ද, මඤ්ඤානාවන්ගේ උත්සන්න භාවය වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ යයි. මෙසේ වනාහි මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණ, මේ ස්කන්ධය මම වෙමියි හඟින ලදී. මෙතෙම මම වෙමියි හඟින ලදී. වන්නෙමියි හඟින ලදී. නොවන්නෙමියි, හඟින ලදී. රූප ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. රූප නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. සංඥා ඇත්තෙක් වන්නෙමියි, හඟින ලදී. සංඥා නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. නොම සංඥා ඇත්තෙක් නොම අසංඥා ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. මහණ, හැඟීම රොගයකි. හැඟීම ගඩකි. හැඟීම හුලකි. මහණ, සියලු හැඟීම් ඉක්ම වීමෙන් මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. මහණ, මුනිතෙම වනාහි සංසිඳුනේ නූපදියි. නොදිරයි, නොමියයි, නොකිපෙයි, නොවෙයි, මහණ, යමකින් උපදින්නේද එයද මොහුට නැත්තේය. නූපදිනු ලබන්නේ කිම දිරන්නේද? නොදිරනු ලබන්නේ කිම? මිය යන්නේද? නොමියනු ලබන්නේ කිම කිපෙන්නේද? නොකිපෙනු ලබන්නේ කුමකට කැමති වන්නේද? යම් තැනෙක්හි සිටියහුට මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ නොපවතිත්ද, මඤ්ඤනාවන්ගේ උත්සන්නවීම වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි, කියනු ලැබේයයි. මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී. මහණ මාගේ මේ සැකෙවින් (කියන ලද) සවැදෑරුම් ධාතු විභාගය වනාහි නුඹ දරවයයි” වදාළේය.

“ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රතෙම මාගේ ශාස්තෘතෙමේ වනාහි වැඩිසේක. මාගේ සුගතයන් වහන්සේ වනාහි වැඩිසේක. මාගේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වනාහි වැඩිසේකැයි හුනස්නෙන් නැගිට සිව්ර ඒකංශකොට භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ සිරසින් වැටී, භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේට ‘ඇවැත්නි,’ කියා කථා කළ යුතුයයි සිතුවෙමි. ඒ මාගේ වරද බාලයෙකු සේ අඥානයෙකු සේ අදක්ෂයෙකු සේ සලකා ඒ මාගේ වරද දුරු වේවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මතු සංවරය පිණිස වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වායි යනුයි.

“එසේනම් මහණ, නුඹ මට ‘ඇවැත්නි,’ කියා කථා කළ යුතුයයි සිතුවෙහිද? මහණ, බාලයෙකුසේ අඥානයකුසේ අදක්ෂයෙකුසේ මට ඔබ ‘ඇවැත්නියි’ ව්‍යවහාර කළයුතුයයි සැලකුවෙහිද? ඒ වරද කෙළෙහිද, යම් හෙයකිනුත් නුඹ වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් ප්‍රතිකාර කෙරෙහිද, තොපගේ ඒ වරද අපි පිළිගනිමු. මහණ, ආර්‍ය්‍ය විනයෙහි යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් කෙරේද, මත්තෙහි සංවරයට පැමිණේද, එය වැඩි දියුණුව වේයයි” වදාළේය.

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි උපසම්පදාව ලබන්නෙමියි, (කීයේය.)

“මහණ, නුඹගේ පාත්‍ර සිව්රු සම්පූර්ණ වේදැයි?” ඇසූහ.

“ස්වාමීනි, මාගේ පාත්‍ර සිව්රු වනාහි සම්පූර්ණ නොවේයයි කීය. “මහණ, තථාගතවරයෝ සම්පූර්ණ නොවූ පාත්‍ර සිව්රු ඇත්තහු උපසම්පදා නොකෙරෙත්යයි,” (වදාළේය.) ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට පාත්‍ර සිව්රු සෙවීමට ගියේය. ඉක්බිති පාත්‍ර සිව්රු සෙවීමට යන්නාවූ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රයන් කුලප්පවූ එලදෙනක් දිවියෙන් තොරකෙළේය.

එකල්හි බොහෝවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹුනාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාහුය. “ස්වාමීනි, යම් ඒ පුක්කුසාති නම් කුලපුත්‍රයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපවූ අවවාදයෙන් අවවාද කරණ ලද්දේද හෙතෙම කළුරිය කළේවෙයි. ඔහුගේ ගතිය කවරීද, පරලොව (උත්පත්තිය) කවරේද?” යනුයි.

“මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙම පණ්ඩිතවේ. ධර්මයට අනුධර්මවූ ප්‍රතිපදා ඇත්තේවේ. ධර්මාවබොධය පිණිස මා නොවෙහෙසුවේය. මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙමේ ඔරම්භාගිය සංයෝජන පස නැති කිරීමෙන් ඕපපාතිකවූයේ ඒ ලොකයෙන් පෙරළා එන ස්වභාව නැත්තේ එහි පිරිනිවන් පාන්නේයයි” වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.

දසවැනිවූ ධාතුවිභංග සූත්‍රය නිමි.