මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

4. විභංග වර්ගය

142. දක්ඛිණවිභංග සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ අළුත්වූ වස්ත්‍ර දෙකක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියාය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නීය. එකත්පසක හුන්නාවූ මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය.

“ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදී. තමන් විසින්ම වියන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුවළ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව. තී විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදනලද්දේ වන්නෙමි, සංඝයාද (පුදනලද්දේ) වන්නේය යනුයි. දෙවනුවද මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය. “ස්වාමීනි, මාගේ මේ අළුත් වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටිනලදී. තමන් විසින්ම වියනලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මේ වස්ත්‍ර යුග්මය, අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව, තී විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදනලද්දේ වන්නෙමියි, සංඝ තෙමේද පුදනලද්දේ වන්නේය” යනුයි. තුන්වෙනුවද මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය. “ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදී. තමන් විසින්ම වියනලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මේ වස්ත්‍ර යුග්මය, අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව, තී විසින් සංඝයාට දුන් කල්හි මමද පුදනලද්දේ වන්නෙමි, සංඝ තෙමේද පුදන ලද්දේ වන්නේයයි.”

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියගේ අළුත්වූ වස්ත්‍ර යුවළ පිළිගන්නා සේක්වා. ස්වාමීනි, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තීය. මවගේ සහෝදරිය. අත් පා වැඩූ තැනැත්තීය, පොෂණය කළ තැනැත්තීය, කිරි දුන් තැනැත්තීය. භාග්‍යවතුන් වහන්සේට වැදූ මව කළුරිය කල කල්හි කිරි පෙව්වාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇත්තේ වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ බුදුන් සරණ කොට ගියාය. ධර්මය සරණ කොට ගියාය. සංඝයා සරණ කොට ගියාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ සතුන් මැරීමෙන් වැළකුනීය, සොරකම් කිරීමෙන් වැළකුනීය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීය, බොරු කීමෙන් වැළකුනීය, රහමෙර පානය කිරීමෙන් වැළකුනීය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ බුදුන් කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්තවූවාය. ධර්මය කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්තවූවාය. සංඝයා කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්ත වූවාය. ආර්‍ය්‍යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ දුක්ඛ සත්‍යයෙහි සැක නැති වූවාය. දුක්ඛ සමුදය සත්‍යයෙහි සැකනැති වූවාය. දුක්ඛ නිරොධ සත්‍යයෙහි සැක නැති වූවාය. දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි සැක නැති වූවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද මහා ප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇති සේකැයි,” (සැලකෙළේය.)

“ආනන්දය, එය එසේය, ආනන්දය, එය එසේය. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් සරණ කොට ගියේ වේද, ධර්මය සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද, ආනන්දය, මේ ආචාර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රතිඋපකාර කළ නොහැක්කේයයි, කියමි. එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරු බුහුමන් කිරීමය, සිව්රුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය, යන මොවුන් දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙන් වැළකුනේ වේද, ආනන්දය, මේ ආර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර (උපකාරයට උපකාර) කළ නොහැකියයි කියමි.

“එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත්, පිරිකර දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි, අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ආර්‍ය්‍යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූයේ වේද, ආනන්දය, මේ ආචාර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර කළ නොහැකි යයි කියමි. එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම දුක්ඛ සත්‍යයෙහි සැක නැත්තේ වේද, දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැත්තේ වේද, දුක්ඛ නිරොධ සත්‍යයෙහි සැක නැත්තේ වේද, දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි සැක නැත්තේ වේද, ආනන්දය, මේ ආචාර්‍ය්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර කළ නොහැකියයි කියමි. එනම්, වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි කිරීම, ගරුබුහුමන් කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දීම යන මෙයිනි.

“ආනන්දය, පුද්ගලික දාන මේ දහතරක් වෙත්. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ පළමුවන පුද්ගලික දානයයි. පසේ බුදුන් කෙරෙහි දානය දේද, මේ දෙවන පුද්ගලික දානයයි. තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ තුන් වන පුද්ගලික දානයයි. අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සතරවන පුද්ගලික දානයයි. අනාගාමි පුද්ගලයෙකුට දානය දේද, මේ පස්වන පුද්ගලික දානයයි. අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සවන පුද්ගලික දානයයි. සකෘදාගාමි පුද්ගලයෙකුට දානය දේද, මේ සත්වන පුද්ගලික දානයයි. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ අටවන පුද්ගලික දානයයි. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද, මේ නවවන පුද්ගලික දානයයි. සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද, මේ දසවන පුද්ගලික දානයයි. සස්නෙන් බැහැරවූ කාමයන්හි පහවූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද, මේ එකොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද, මේ දොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන දුශ්ශීලයෙකු කෙරෙහි දානය දේද, මේ දහතුන්වන පුද්ගලික දානයයි. තිරිසන් ගතවූවකු කෙරෙහි දානය දේද, මේ දහහතර වන පුද්ගලික දානයයි.

“ආනන්දය, ඔවුන් අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දී, දහසක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන සීලවන්තයෙකු කෙරෙහි දානය දී ලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. ශාසනයෙන් පිටත්හිවූ කාමයන්හි පහවූ රාගය ඇත්තකු කෙරෙහි දානය දී කෝටිලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. සෝවාන්ඵලය ප්‍රත්‍යක්ෂකිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානය දී සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේය. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද? අනාගාමිඵලය ප්‍රත්‍යක්ෂකිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේද? පසේබුදුන් කෙරෙහි කියනුම කවරේද? අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි (දුන් දනෙහි අනුසස්) කියනුම කවරේද?

“ආනන්දය, මේ සංඝික දාන සතක් වෙත්. කවර සතක්දයත්? බුදුන් ප්‍රධාන (භික්ෂු භික්ෂුණී යන) උභතො සංඝයා විෂයෙහි දානය දේද, මෙය පළමුවන සංඝික දානයයි. තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි උභතො සංඝයා විෂයෙහි දානය දේද, මෙය දෙවන සංඝික දානයයි. භික්ෂු සංඝයා විෂයෙහි දානය දේද, මේ තුන්වන සංඝික දානයයි. භික්ෂුණී සංඝයා විෂයෙහි දානය දේද, මේ සතරවන සංඝික දානයයි. මෙතෙක් භික්ෂුහුද භික්ෂුණීහුද මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය පස්වන සංඝික දානයයි. මෙතෙක් භික්ෂූහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සයවෙනි සංඝික දානයයි. මෙපමණ භික්ෂුණීහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සත්වෙනි සංඝික දානයයි. ආනන්දය, මතු කාලයෙහි ශ්‍රමණ ගොත්‍රය පමණක් ඇත්තාවූ, ලාමක ස්වභාව ඇත්තාවූ, කාසාවකණ්ඨ නම් දුශ්ශීලයෝ වන්නාහුමය. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති, ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. ආනන්දය, කිසියම් ආකාරයකින් සංඝික දානයට වඩා පුද්ගලික දානය අතිශයින් මහත්ඵල ඇත්තේයයි නොමකියමි.

“ආනන්දය, මේ දාන විසුද්ධිහු සතරක් වෙත්. කවර සතරක්දයත්? ආනන්දය, දායකයා කෙරෙන් පිරිසිදු වේද, (මහත්ඵල වේද) ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේද, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, දායකයා කෙරෙනුත් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේද, එබඳු දානයක් ඇත්තේය.

“ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙන් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෝ වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙන් පිරිසිදු වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේ.

“ආනන්දය, කෙසේ නම් දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේද, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේ. දායකයා කෙරෙන් පිරිසිදු නොවේ.

“ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙනුත් පිරිසිදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු නොවේද? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේද? දුශ්ශීලවූ ලාමකවූ ස්වභාව ඇත්තෙක්වේ. ප්‍රතිග්‍රාහකයෝද දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තාහු වෙත්. ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙහිද පිරිසිදු නොවේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන්ද පිරිසිදු නොවේ.

“ආනන්දය, කෙසේ නම්, දානය දායකයා කෙරෙනුත් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේද? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝත් සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙනුත් පිරිසිදු වේ. හෙවත් මහත්ඵල වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේ.

“ආනන්දය, මොහු වනාහි දාන විසුද්ධිහු සතර වෙත්යයි” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා, ශාස්තෲන් වහන්සේ නැවතද මෙසේ වදාළේය.

[1] “සිල්වත්වූ යමෙක් දැහැමින් ලද දෙයින් මනා පහන් සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසිදු වේ.

[2] “යම් දුශ්ශීලයෙක් අධර්මයෙක් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් නැත්තේ මහත්වූ කර්මඵලය නොඅදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේ.

[3] “යම් දුශ්ශීලයෙක් තෙම අධර්මයෙන් ලදදෙයින් අප්‍රසන්න සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය නොඅදහමින් දුස්සීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දෙපසින්ම පිරිසිදු නොවේ.

[4] “යම් සීලවන්තයෙක් තෙම දැහැමින් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය මහත්වූ විපාක ඇත්තේයයි කියමි.

[5] “යම් පහවූ රාග ඇති පුද්ගලයෙක් දැහැමින් ලදදෙයින් යහපත් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් රහතුන් විෂයෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය ආමිෂ දාන අතුරෙන් අග්‍රයයි” කියමි.

දක්ෂිණ විභංග සූත්‍රය නිමි. (4-12)

විභඞ්ගවග්ගො නිට්ඨිතො චතුත්ථො.