මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

5. සළායතන වර්ගය

143. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. ඒ කාලයෙහි වනාහි අනාථපිණ්ඩික නම් ගෘහපති තෙමේ දැඩි ගිලන් වූයේ, හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේවේ.

එකල්හි වනාහි අනාථපිණ්ඩික නම් ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකුට ආමන්ත්‍රණය කෙළේය. “එම්බා පුරුෂය, නුඹ එව. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹෙව. එළඹ, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳුව. ‘ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේවේ. ඒ අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳීයයි,’ (වැඳ) මෙසේද කියව. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ අනාථපිණ්ඩික ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද, අනුකම්පාකර එහි වඩිනසේක් නම් මැනවැයි’ (කියව.)

“එසේය, ස්වාමීනි” කියා ඒ පුරුෂතෙම අනාථපිණ්ඩික ගෘහපතියාට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ පුරුෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේය. “ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ඒ සිටුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳින්නේය කියායි.” ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ පුරුෂතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේටද මෙපවත් සැළකෙළේය. “ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ඒ සිටුතෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳින්නේය. මෙසේද කියයි. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෘහය යම් තැනෙක්හිද අනුකම්පා කර එහි එළඹෙනසේක් නම් මැනවැයි කියායි.’

ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසූසේක.

එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හැඳ පොරවා පාත්‍ර සිව්රු රැගෙණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ පශ්චාත් ශ්‍රමණයෙකු කොට (දෙවැන්නකු කොටගෙණ) අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෘහය යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ, පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, අනේපිඩු සිටුහුගෙන් “කිමෙක්ද? ගෘහපතිය, නුඹට ඉවසිය හැක්කේද? කිමෙක්ද? යැපිය හැක්කේද? කිමෙක්ද? දුක් වේදනාවෝ අඩුවෙත්ද නැතහොත් වැඩිවෙත්ද, අඩුවීමක් පෙනේද, වැඩිවීමක් පෙනේදැ?යි” ඇසූහ.

“ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙත්. අඩු නොවෙත්. අඩුවීමක් නොපෙනේ. වැඩිවීමම පෙනෙන්නේයයි” කීය. “ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තෙමේ සියුම්වූ විදින කටුවකින් හිස විදින්නේ යම්සේද, ස්වාමීනි, ශාරීපුත්‍රයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි ඉතා දැඩි වාතයෝ හිස විදින්නාහුය. ස්වාමීනි, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේය.

“ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තෙමේ දැඩිවූ වරපට කඩකින් හිසට හිස්වෙළුමක් දෙන්නේ යම්සේද, ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි මාගේ හිස දැඩි වාතයෝ හාත්පස සිඳින්නාහුය. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේය. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතක අතවැසියෙක් හෝ සියුම්වූ ගෙරි කපන කැත්තෙන් බඩ කපන්නේ වේද, ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි දැඩි වාතයෝ කුස හාත්පස කපන්නාහුය. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත් අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙන්නේය.

“ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ වනාහි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතාදුර්වලවූ පුරුෂයෙකු වන වෙනම අත්වලින් අල්වාගෙණ අඟුරු වලෙක්හි තවන්නාහුද නැවත නැවත තවන්නාහුද, ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම ශරීරයෙහි දැඩි දාහය (දැවීම) වේ. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේයයි” (කී.)

“ගෘහපතිය, එසේනම් මේ කාරණයෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේය. ඇස මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස ඇසුරු කළාවූ විඥානයෙක් නොවන්නේයයි, ගෘහපතිය, නුඹ විසින් මේ ආකාරයෙන් හික්මිය යුත්තේය.’ ගෘහපතිය, එහෙයින් නුඹ විසින් මේ කාරණයෙහිලා මෙසේ හික්මිය යුත්තේය. කණ මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කණ ඇසුරුකළාවූ විඥානයක් නොවන්නේයයි ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුත්තේය. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය ඇසුරු කළාවූ විඥානයක්ද නොවන්නේයයි, ගෘහපතිය මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව මමය මාගේයයි නොගන්නෙමි. මාගේ දිව ඇසුරු කළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත මමය මාගේයයි නොගන්නෙමි. මාගේ සිත ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.

“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රූපය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ රූපය ඇසුරු කළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ශබ්දය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ශබ්දය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ගන්ධය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ගන්ධය ඇසුරුකළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රසය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ‘රසය’ ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ස්පර්ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ‘ස්පර්ශ කළයුත්ත’ ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ධර්මාරමුණු මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ධර්මය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.

“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණය නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ විඤ්ඤාණය ඇසුරුකළාවූ, විඤ්ඤාණය නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳ විඤ්ඤාණය මමය මගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණය නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ විඤ්ඤාණය ඇසුරුකළාවූ, විඤ්ඤාණය නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳ විඤ්ඤාණය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳ විඤ්ඤාණය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත සිත පිළිබඳ විඤ්ඤාණය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.

“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ ස්පර්ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ ස්පර්ශය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳවූ ස්පර්ශය මමය. මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳවූ ස්පර්ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳවූ ස්පර්ශය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.

“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ ස්පර්ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳ ස්පර්ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.

“එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි පඨවි ධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ පඨවි ධාතුව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ආපො ධාතුව මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ආපොධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. තෙජොධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ තෙජොධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. වායොධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ වායොධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ආකාශ ධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ ආකාසධාතුව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණධාතුව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.

“එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රූපය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ රූපය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ වේදනාව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. සංඥාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සංඥාව ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. සංස්කාරයන් මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සංස්කාරයන් ඇසුරුකළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණය ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.

“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මියයුතු ආකාශානඤ්චායතනය මමය මගේයයි නොගන්නෙමි. මාගේ ආකාසානඤ්චායතනය ඇසුරු කළාවූ විඥාණයද වෙන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණඤ්චායතනය මමය මගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණඤ්චායතනය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ආකිඤ්චඤ්ඤායතනය, මමය මගේයයි නොගන්නෙමි. මාගේ ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මමය මගේයයි නොගන්නෙමි. මාගේ නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ඇසුරු කළාවූ විඥානයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.

“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. මෙලොව කිසිවක් මමය මාගේයයි නොගන්නෙමි. මාගේ මෙලොව කිසිවක් ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. පරලොව කිසිවක් මමය මාගේයයි නොගන්නෙමි. මාගේ පරලොව කිසිවක් ඇසුරු කළාවූ විඥානයද නොවන්නේයයි. ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි.

“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. යම් මේ දක්නාලද අසනලද ආඝ්‍රාණය කරනලද රස විඳිනලද ස්පර්ශ කරනලද සිතින් දැනගන්නාලද සොයන ලද හැසිරෙනලද දෙයකුත් වේද, ඒ සියල්ලද මමය මාගේ යයි නොගන්නෙමි. එය ඇසුරු කළාවූ මාගේ විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයයි” වදාළේය.

මෙසේ කීකල්හි අනාථපිණ්ඩික ගෘහපතිතෙම හැඬූයේය. කඳුළු වැගිර වූයේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම අනේපිඩු සිටුහුට “ගෘහපතිය, නුඹ වනාහි සම්පත්තීන්හි ඇලෙන්නෙහිද? ගෘහපතිය, නුඹ වනාහි සම්පත්තීන්හි ගැලෙන්නෙහි දැයි” ඇසීය.

“ස්වාමීනි, ආනන්දස්ථවිරයන් වහන්ස, මම සම්පත්තීන්හි නොඇලෙන්නෙමි, නොගැලෙන්නෙමි. එතකුදු වූවත් මා විසින් බොහෝ කලක් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලද්දේය. සිත දියුණු කළාවූ භික්ෂූහුද ඇසුරු කරණ ලද්දාහ. මාවිසින් මෙබඳු ධර්ම කථාවක් නොඅසනලදැයි” (කීයේය).

“ගෘහපතිය, සුදුවත් හඳනාවූ ගිහිවූවන්ට මෙබඳු ධර්මකථා නොවැටහේ. ගෘහපතිය, පැවිද්දන්ට වනාහි මෙබඳු ධර්ම කථා වැටහේයයි” කීය.

“ස්වාමීනි, ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එසේ වීනම් සුදුවත් හඳනාවූ ගිහිවූවන්ටද මෙබඳු ධර්ම කථා දෙශනා කෙරේවා. ස්වාමීනි, ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ස්වල්ප කෙලෙස් සහගතවූ කුලපුත්‍රයෝ ඇත්තාහුමය, ධර්මය නොඇසීම හේතුකොටගෙන ඔව්හු පිරිහෙන්නාහුය. ධර්මය දැනගන්නාහු වන්නාහුයයි” කීය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, අනේපිඩු සිටුහට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගිට වැඩියාහුය. ඉක්බිති අනේපිඩු සිටුතෙම ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, වැඩිය නොබෝ කලකින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු තුසිත දිව්‍යලෝකයට උත්පත්ති වශයෙන් පැමිණියේය.

“එකල්හි අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රතෙම ඉක්ම ගියාවූ රාත්‍රියෙහි බබළන වර්ණ ඇත්තේ සියලු ජේතවනාරාමය ආලොක කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසක සිටියේය. එකත් පසක සිටියාවූ අනාථපිණ්ඩික නම් දිව්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් (මෙය) කීයේය.

[1] “ඍෂි සමූහයා විසින් නිතර සේවනය කරණ ලද්දාවූ ධර්මරාජන්වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වැඩ වසන ලද්දාවූ ඒ මේ ජේතවනාරාමය මට ප්‍රීති උපද වන්නක් වේ.

[2] “(මාර්ග චේතනාවූ) කර්මයද (මාර්ග ප්‍රඥාවවූ) විද්‍යාවද (සමාධිය පාක්ෂිකවූ) කර්මයද ශීලයෙන් යුක්තවූ උතුම් ජීවිතයද, යන මෙයින් සත්වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නොවෙත්.

[3] “එහෙයින් තමහට වැඩ කැමැත්තාවූ නුවණැති පුරුෂතෙම ධර්මය නුවණින් සොයන්නේය. මෙසේ ඒ ආර්‍ය්‍ය මාර්ගයෙන් පිරිසිදුවේ.

[4] “ප්‍රඥාවෙන්ද, ශීලයෙන්ද, සංසිඳීමෙන්ද ශාරිපුත්‍ර ස්ථවිරතෙමේම ප්‍රධානවේ. යම් භික්ෂුවක් වනාහි පරතෙරට ගියේවේද (නිවණට ගියේවේද) ඒ සියල්ලන්ට වඩා මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුම් වන්නේය” යනුයි.

අනාථ පිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම මෙය ප්‍රකාශ කෙළේය. ශාස්තෲන් වහන්සේ අනුමත කළසේක. ඉක්බිති අනාථ පිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම “ශාස්තෲන් වහන්සේ මාගේ කීම අනුමත කළසේකැයි” භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට එහිම අතුරුදහන් වූයේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිහුගේ ඉක්මීමෙන් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දිව්‍යපුත්‍රයෙක් ඉක්ම ගියාවූ රාත්‍රිය ඇති කල්හි බබළන ශරීර වර්ණය ඇත්තේ සියලු ජෙතවනාරාමය බබුළුවා මම යම් තැනෙක්හිද, එතැනට එළඹුණේය. එළඹ මට වැඳ එකත්පස්ව සිටියේය. මහණෙනි, එකත්පස්ව සිටියාවූ ඒ දිව්‍යපුත්‍ර තෙම මට ගාථාවලින් මෙසේ කීයේය,

[1] “ඍෂි සමූහයා විසින් නිතර සේවනය කරන ලද්දාවූ, ධර්මරාජන්වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වැඩ වසන ලද්දාවූ ඒ මේ ජේතවනාරාමය මට ප්‍රීති උපද වන්නක්වේ.

[2] “(මාර්ග චේතනාවූ) ධර්මයද, (මාර්ග ප්‍රඥාවවූ) වීද්‍යාවද, (සමාධිපාක්ෂිකවූ) කර්මයද, ශීලයෙන් යුක්තවූ උතුම් ජීවිතයද යන මෙයින් සත්වයෝ පිරිසිදුවෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නොවෙත්.

[3] “එහෙයින් තමහට වැඩ කැමැත්තාවූ, නුවණ ඇති පුරුෂතෙම ධර්මය නුවණින් සොයන්නේය. මෙසේ ආර්‍ය්‍ය මාර්ගයෙන් පිරිසිදුවේ.

[4] ප්‍රඥාවෙන්ද, ශීලයෙන්ද, සංසිඳීමෙන්ද ශාරිපුත්‍රයන්ම ප්‍රධානවේ. යම් භික්ෂුවක් වනාහි පරතෙරට ගියේ වේද මේ සැරියුත් තෙරුන් වහන්සේම ප්‍රධාන වන්නාහ.

“මහණෙනි, ඒ දිව්‍යපුත්‍රතෙම ශාස්තෲන් වහන්සේ මාගේ වචනය අනුමත කළසේකැයි මට වැඳ ප්‍රදක්ෂිණා කොට එහිම අතුරුදහන්වීයයි.”

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, ඒ මේ දිව්‍යපුත්‍රතෙමේ වනාහි ඒකාන්තයෙන් අනාථපිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම වන්නේය. ස්වාමිනි, අනාථපිණ්ඩික ගෘහපතිතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් කෙරෙහි අචලවූ ප්‍රසාද ඇත්තෙක් වූයේය” කියායි.

“ආනන්දය, යහපත, යහපත, ආනන්දය, යම්තාක්ම කල්පනා කිරීමෙන් පැමිණිය යුතුද ඒතාක්ම නුඹ විසින් පැමිණෙන ලද්දේය. ආනන්දය, හෙතෙම අනාථපිණ්ඩික නම් දිව්‍යපුත්‍රයාවේ. අනිකෙක් නොවේයයි” වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුවූ සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

අනාථ පිණ්ඩිකොවාදය සූත්‍රය නිමි. (5-1)