මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

5. සළායතන වර්ගය

144. ඡන්නොවාද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වසනසේක, එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙළුනේ දැඩි ගිලන්වූයේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටියේ, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය. “ඇවැත්වූ චුන්දය, අපි ආයුෂ්මත් ඡන්න තෙම යම් තැනෙක්හිද එතැනට ඔහුගේ අසනීප විමසනු සඳහා යමුයයි” කීහ.

“ඇවැත්නි, එසේයයි’ කියා ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිර තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹුනාහුය. එළඹ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේගෙන් “ඇවැත්වූ ඡන්නය, කිමෙක්ද තොපට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද, කිම දුක් වේදනාවෝ අඩුවෙත්ද නොවැඩෙත්ද, අඩුවීමක් පැනේද වැඩිදියුණුවීම නොපැනේදැයි” ඇසූහ.

“ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බවක් නොපෙනේයයි” ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් සියුම්වූ විදින කටුවකින් හිස විදින්නේද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස මෙපරිද්දෙන්ම මාගේ බලවත් වාතයෝ හිස විදින්නාහ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඉවසිය නොහැක. යැපිය නොහැක. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වරපටකින් හිසෙහි හිස් වෙළුමක් දෙන්නේද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම මාගේ බලවත්වූ වාතයෝ හිස සිඳින්නාහුය. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. දැඩිවූ මාගේ දුක්වේදනාවෝ වැඩෙත්. අඩුනොවෙත්. වැඩිවන බැව් පෙනේ, අඩුවන බවක් නොපෙනේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, යම්සේත් දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ අතවැසියෙක් හෝ සියුම් ගෙරිකපන කැත්තෙන් කුස කපන්නේද, ඇවැත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ කුස කපන්නාහුය. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩෙන බව පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, යම්සේ බලවත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්වල පුරුෂයෙකු වෙන වෙනම අත්වලින් අල්වාගෙණ අඟුරු වලෙක්හි ලා තවන්නාහුද, නැවත නැවත තවන්නාහුද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම මාගේ ශරීරයෙහි බලවත්වූ දාහයක්වේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. දැඩිවූ මාගේ දුක් වේදනා වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පැනේ. අඩුවන බව නොපැනේයයි” කීය. “ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ආයුධයකින් ගෙල සිඳින්නෙමි. ජීවිතය බලාපොරොත්තු නොවෙමියි, (කීයේය.)

“ආයුෂ්මත් ඡන්න තෙමේ ආයුධයකින් දිවි තොර කර නොගණීවා. ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. ආයුෂ්මත් ඡන්නයන්ගේ යැපීම (ජීවත්වීම) අපි බලාපොරොත්තු වෙමු. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ ආහාර නැත්නම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ ආහාර සපයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ බෙහෙත් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ බෙහෙත් සපයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ උපස්ථානයෙක් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්න තෙමේ ආයුධ ගෙන දිවි නසා නොගණීවා. ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. ආයුෂ්මත් ඡන්නයන්ගේ යැපීම අපි අපෙක්ෂා කරමු.”

“ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට සැපවූ ආහාර නැත්තේද නොවෙයි. මට සැපවූ බෙහෙත් නැත්තේද නොවෙයි. මට සුදුසුවූ උපස්ථායකයෙක් නැත්තේද නොවෙයි. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එතකුදු වුවත් මා විසින් ශාස්තෲන්වහන්සේ බොහෝකලක් මනාපයෙන්ම සේවනය කරනලදී. අමනාපයෙන් නොවේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ශාස්තෲන්වහන්සේ මනාපයෙන්ම සේවනය කරන්නේය. අමනාපයෙන් නොවේය යන යමක් වේද, මෙය වනාහි ශ්‍රාවකයා හට සුදුසුය. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, ඡන්න භික්ෂුතෙම නැවත උත්පත්තියක් නැතුව ආයුධයකින් දිවි තොරකර ගන්නේයයි” දනු මැනවයි” කීය. “ඉදින් ආයුෂ්මත් ඡන්න තෙමේ ප්‍රශ්න ඇසීමට අවකාශ කෙරේනම්, අපි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු” “ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, අසනු මැනව. අසා දැනගන්නෙයි.” (කීයේය.)

“ඇවැත්වූ ඡන්නය, ඇසය, ඇසෙහි උපදින විඤ්ඤාණය, ඇසෙහි උපදින විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය යන මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද, ඇවැත්වූ ඡන්නය, කණය, කණෙහි උපදින විඤ්ඤාණය කණ පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය. (යන මොවුන්) මෙය මාගේය මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද? ඇවැත්වූ ඡන්නය, නාසය, නාසයෙහි උපදින විඤ්ඤාණය, (නාසය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද, ඇවැත්වූ ඡන්නය, දිවය, දිවෙහි උපදින විඤ්ඤාණය දිව පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය, (යන මොවුන්) මෙය මාගේය. මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද, ඇවැත්වූ ඡන්නය කයය, කයෙහි උපදින විඤ්ඤාණය, කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය, (යන මොවුන්) මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද, ඇවැත්වූ ඡන්නය, මනොවිඤ්ඤාණය, මනො විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය යන මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි, දක්නෙහිදැයි?” (ඇසුවේය.)

“ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඇසය, ඇස පිළිබඳවූ විඤ්ඤාණය ඇස පිළිබඳ විඤ්ඤාණයෙන් දත යුතු ධර්මයන්ය යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදක්නෙමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කණය කණ පිළිබඳවූ විඤ්ඤාණය කණ පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස නාසය, නාසය පිළිබඳවූ විඥානය නාසය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය. (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, දිවය දිව පිළිබඳවූ විඥානය දිව පිළිබඳ වූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කයය කය පිළිබඳවූ විඤ්ඤාණය කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, මනසය මනස පිළිබඳවූ විඥානය මනස පිළිබඳ විඥානයෙන් දතයුතුවූ ධර්මයන්ය, යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙමියි” (කීයේය.)

“ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, ඇසෙහි ඇස පිළිබඳවූ විඥානයෙහි, ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහි කුමක් දැක කුමක් දැන, ඇසය, ඇස පිළිබඳවූ විඥානය, ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන්ය යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද, ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, කණෙහිද කණ පිළිබඳවූ විඥානයෙහිද, කණ පිළිබඳ වූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, නාසයෙහිද, නාසය පිළිබඳවූ විඥානයෙහිද, නාසය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, දිවෙහිද දිව පිළිබඳවූ විඥානයෙහිද, දිව පිළිබඳවූ, විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, කයෙහිද කය පිළිබඳවූ විඥානයෙහිද, කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, මනසෙහිද, මනස පිළිබඳවූ විඥානයෙහිද, මනස පිළිබඳ විඥානයෙන් දතයුතු ධර්මයන්කෙරෙහිද, කුමක් දැක, කුමක් දැන මනසය, මනස පිළිබඳවූ විඥානය, මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන්ය, යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිදැයි,” (ඇසීය.)

ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඇසෙහිද ඇස පිළිබඳවූ විඥානයෙහිද, ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහිද, නිරුද්ධවීම දැක නිරුද්ධවීම දැන ඇසය ඇස පිළිබඳවූ විඥානය ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතුවූ ධර්මයන්ය යන මෙය මාගේ නොවෙයි, මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, කණෙහිද, කණ පිළිබඳවූ විඥානයෙහිද, කණ පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, නාසයෙහිද, නාසය පිළිබඳවූ විඥානයෙහිද, නාසය පිළිබඳවූ, විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය යන මොවුන් මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, දිවෙහිද දිව පිළිබඳවූ විඥානයෙහිද, දිව පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි, මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කයෙහිද, කය පිළිබඳවූ විඥානයෙහිද, කය පිළිබඳවූ, විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මනසෙහිද, මනස පිළිබඳවූ විඥානයෙහිද මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහිද නිරුද්ධවීම දැක, නිරුද්ධවීම දැන මනසය මනස පිළිබඳවූ විඥානය මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු වූ ධර්මයන් යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමියි” (කීයේය.)

මෙසේ කීකල්හි ආයුෂ්මත්වූ චුන්ද ස්ථවිර තෙම ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, එහෙයින් මෙහි මේ ඒ භාග්‍යවතුන්වහන්සේගේ වචනය නිතර මෙනෙහි කටයුතුයි. තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරුකළවුන්ට කම්පාවීම ඇත්තේය. තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරු නොකළවුන්ට කම්පාවීමක් නැත්තේය. කම්පාවීමක් නැතිකල්හි කෙලෙසුන්ගේ සංසිඳීම ඇතිවෙයි. සංසිඳීම ඇති කල්හි ඇලීම නැතිවෙයි, ඇලීම නැතිකල්හි ප්‍රතිසන්ධි වශයෙන් ඊමද චුතවීම් වශයෙන් යාමද නොවේ. යාම්ඊම් නැති කල්හි චුතවීම හා උත්පත්තිය නොවේ, චුතවීම හා උත්පත්තිය නැතිකල්හි මේ ලොකයෙහිද පරලොකයෙහිද ඒ දෙලොවෙහිම නොවේ. මෙයට දුක්ඛයාගේ කෙළවරවේය” (කියායි.)

එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේට මේ අවවාදයෙන් අවවාදකොට, හුනස්නෙන් නැගිට වැඩියාහුය.

ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් චුන්ද ස්ථවිරයන් වහන්සේද, බැහැර ගිය නොබෝ කල්හි ආයුධයකින් දිවි තොර කර ගත්තේය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, ආයුෂ්මත් ඡන්නයන් විසින් ආයුධයකින් දිවි තොරකරගන්නා ලදී. උන්වහන්සේගේ ගතිය කවරීද පරලොව කවරේදැයි” ඇසූහ. “ශාරීපුත්‍රය, ඡන්න භික්ෂුව විසින් තොප ඉදිරියෙහිදීම නැවත උත්පත්තියක් නැතියි ප්‍රකාශ කරනලද්දේ නොවේද?”

“ස්වාමීනි, පුබ්බජ්ජිර නම් වජ්ජිග්‍රාමයක් ඇත්තේය. එහි ආයුෂ්මත් ඡන්නයන්ගේ මිත්‍රවූ කුලගෙවල් යහලු කුලගෙවල් එළඹියයුතු ගෙවල් ඇත්තේයයි” කීයේය. “ශාරීපුත්‍රය ඡන්න නම් භික්ෂුහුගේ මේ මිත්‍රවූ කුලයෝ යහළු කුලයෝ එළඹියයුතු කුලයෝ වෙත්මය. ශාරීපුත්‍රය, මම මෙතෙක් එළඹිය යුත්තෙකැයි නොකියමි. ශාරීපුත්‍රය, යමෙක් වනාහි මේ කයත් බහා තබාද අන්‍යවූ කයකුත් ගනීද මම ඔහු එළඹිය යුත්තෙකැයි කියමි. ඡන්න නම් භික්ෂුවට එය නැත්තේය. ඡන්නනම් භික්ෂුතෙමේ නැවත උත්පත්තියක් නොගෙන ආයුධයෙන් දිවි නැති කෙළේය.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටුසිත් ඇත්තාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේ යි.

ඡන්නොවාද සූත්‍රය නිමි (5-2)