මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

5. සළායතන වර්ගය

145. පුණ්ණොවාද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත්වූ පුණ්ණ ස්ථවිරතෙමේ සවස් වේලෙහි ඵලසමවතින් නැගීසිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය.

“ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා හුදකලා වූයේ, ගණයාගෙන් වෙන් වූයේ, අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු සංක්ෂෙප අවවාදයකින් මට අවවාද කරණසේක් නම් යහපතී” කියායි. “පුණ්ණ, එසේ වීනම් අසව, යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළේය. “එසේය, ස්වාමීන් වහන්සැ”යි ආයුෂ්මත්වූ පුණ්ණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

“පුණ්ණය, ඇසින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ (කම් සැප ගෙනදෙන්නාවූ) ඇලුම් කරන්නාවූ රූපයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය, හොඳයයි කියයිද, එයට බැසගෙන සිටීද, එයට සතුටුවන්නාවූ එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.

“පුණ්ණය, කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, “ශබ්දයෝ” වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය හොඳයයි කියාද, එයට බැස ගෙන සිටීද, එයට සතුටුවන්නාවූ එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ, ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.

“නාසයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, ගන්ධයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය හොඳයයි කියාද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ, එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.

“දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, රසයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය හොඳයයි කියාද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ, එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ, ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.

“කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු වේද එය හොඳය හොඳයයි කියාද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ, එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ, ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.

“සිතින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප පිණිස පවතින්නාවූ, ඇලුම් කටයුතුවූ, ධර්මයෝද වෙත්මය.

“ඉදින් මහණතෙම එයට සතුටු වෙයිද, එය හොඳය, හොඳයයි කියයිද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ එය හොඳය හොඳයයි කියන්නාවූ එයට බැසගෙන සිටින්නාවූ, ඒ මහණහට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි. පුණ්ණ, ඇසින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇළුම් කරන්නාවූ, රූපයෝද වෙත්ද ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ ඔහුගේ ආශාව නිරුද්ධවේ. පුණ්ණ ආශාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේයයි කියමි.

“පුණ්ණ, කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, ශබ්දයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැස ගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවීම වේයයි කියමි.

“නාසයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ ඇලුම් කටයුතුවූ, ගන්ධයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවීම වේයයි කියමි.

“දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, රසයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවේයයි කියමි.

“කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, ස්පර්ශයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැස ගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවීම වේයයි කියමි.

“සිතින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇළුම් කටයුතුවූ ධර්මයෝ වෙත්මය.

“ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, එය නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නිරුද්ධවේ. පුණ්ණ, ආශාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේයයි කියමි.

“පුණ්ණ, මා විසින් මේ සංක්ෂෙප අවවාදයෙන් අවවාද කරණ ලද්දාවූ නුඹ, කිනම් ජනපදයක වාසය කරන්නෙහිද?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සංක්ෂෙප අවවාදයෙන් අවවාද කරනු ලැබූ මම සුනාපරන්ත නම් ජනපදයක් ඇත්තේය. එහි වාසය කරන්නෙමි.”

පුණ්ණ, සුනාපරන්ත ජනපද වැසි මිනිස්සු චණ්ඩය. පුණ්ණ, සුනාපරන්ත ජනපද වැසි මිනිසුන් රෞද්‍රය. පුණ්ණ, ඉදින් තොපට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්‍රොෂ කරන්නාහුද, පරිභව කරන්නාහුද? පුණ්ණය, එහිදී තට කෙබඳු සිතක් වන්නේද?”

“ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්‍රොෂ කරන්නාහුද, පරිභව කරන්නාහුද, එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ඒකාන්තයෙන් යහපත්වෙත්. ‘මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඒකාන්තයෙන් වඩා යහපත් වෙත්. යම් හෙයකින් මොවුහු මට අතින් පහර නොදෙත්ද, (එහෙයිනි.) භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”

“පුණ්ණ, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහු නම්, පුණ්ණ, එහිදී වනාහි තොපට කෙබඳු සිතක් වන්නේද?”

“ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ‘මේ සුනාපරන්ත දනව්වැසි මිනිස්සු ඒකාන්තයෙන් යහපත්ය. මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්ය. යම් හෙයකින් මොව්හු මට කැටකින් පහර නොදෙත්ද, එහෙයිනි, භාග්‍යවතුන් වහන්ස මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”

“පුණ්ණ, ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු කැටයකින් පහර දෙන්නාහු නම්, පුණ්ණ, එහිදී වනාහි තොපට කෙබඳු සිතක් වන්නේද?”

“ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු කැටකින් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මට මොව්හු දණ්ඩකින් පහර නොදෙත්ද, එහෙයිනි.’ භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”

“පුණ්ණ ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහු නම්, පුණ්ණ තොපට එහිදී වනාහි කෙබඳු සිතක් වන්නේද?”

“ස්වාමීනි, ඉදින් වනාහි මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහු නම්, එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු යහපත්ය, ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මට මේ මිනිස්සු ආයුධයකින් පහර නොදෙත්ද, එහෙයිනි’ භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය”

“පුණ්ණ ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහු නම්, පුණ්ණ එහි වනාහි තොපට කෙබඳු සිතක් වන්නේද?”

“ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මට මේ මිනිස්සු සියුම් ආයුධයකින් මා ජීවිතයෙන් තොර නොකෙරෙත්ද, (එහෙයිනි.)’ භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”

“පුණ්ණ, ඉදින් වනාහි සුනාපරන්ත දනව් වැසි මිනිස්සු සියුම් ආයුධයකින් තා ජීවිතයෙන් තොර කරන්නාහු නම්, පුණ්ණ, එහිදී තොපට කෙබඳු සිතක් වන්නේද?”

“ස්වාමීනි, ඉදින් මා සුනාපරන්ත දනව් වැසි මිනිස්සු සියුම් ආයුධයකින් ජීවිතයෙන් තොර කෙරෙත්ද, එහිදී මට මෙබඳු සිතක් වන්නේය. ශරීරයත් ජීවිතයත් පිළිකුල් කරනු ලබමින් දිවිනැසීම පිණිස ආයුධ තනන්නවුන් සොයන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙත්මය. මා විසින් ඒ මේ ආයුධයෙන් දිවි තොර කරන්නෝ නොසොයාම ලදහ.’ භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”

“පුණ්ණ, යහපත යහපත පුණ්ණ, නුඹ මේ ඉන්ද්‍රිය දමනයෙන් හා සංසිඳීමෙන් යුක්තවූයේ සුනාපරන්ත නම් දනව්වෙහි වාසය කරන්ට හැකිවන්නෙහිමය. පුණ්ණ, දැන් නුඹ යම් අදහස් කෙළෙහි නම් ඊට සුදුසු කාලය දනුවයි” (වදාළේය.)

ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණා කොට සෙනස්න තැන්පත් කොට තබා පාත්‍ර සිව්රු ගෙණ සුනාපරන්ත ජනපදය යම් තැනෙක්හිද එහි චාරිකාවෙහි ගියේය. පිළිවෙළින් චාරිකා කරන්නේ සුනාපරන්ත නම් ජනපදය යම් තැනෙක්හිද එතැනට ගියේය.

‘එකල්හි ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ සුනාපරන්ත නම් ජනපදයෙහි වාසය කරත්. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ඒ වස්කාලය තුළම පන්සියයක් පමණ උපාසකවරු පිළියෙළ කළේය. ඒ වස්කාලය තුළම පන්සියයක් පමණ උපාසිකාවරු පිළියෙළ කෙළේය. ඒ වස්කාලය තුළම ත්‍රිවිද්‍යාව ප්‍රත්‍යක්ෂ කෙළේය. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙමේ මෑතකලෙක්හි පිරිනිවියේය.

“එකල්හි බොහෝවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට එළඹුනාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව හුන්නාහුය. එකත් පස්ව හුන්නාවූම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළාහුය.

“ස්වාමීනි, යම් ඒ පුණ්ණ නම් කුලපුත්‍රයෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙප අවවාදයෙන් අවවාද කරණ ලද්දේද, හෙතෙම කළුරිය කළේය.

“ඔහුගේ ගතිය කුමක්ද? පරලොව කුමක්ද?”

“මහණෙනි පුණ්ණ නම් කුලපුත්‍ර තෙමේ පණ්ඩිතය ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන්නේය. ධර්මාවබොධය කරුණු කොට මට වෙහෙස නොකෙළේය. මහණෙනි, පුණ්ණ නම් කුලපුත්‍ර තෙමේ, පිරිනිවියේයයි” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

තුන්වෙනි පුණ්ණොවාද සූත්‍රය නිමි. (5-3)