මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

5. සළායතන වර්ගය

147. චූල රාහුලොවාද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි ඵල සමාපත්තියෙන් නැගීසිටි භාග්‍යවතුන් වහන්සේහට මෙබඳු අදහසක් පහළවූසේක. ‘රාහුලගේ අර්හත්ඵල ඥානය මූකරවන්නාවූ ධර්මයෙහි මේරීමට පැමිණියාහුය. දැන් මම රාහුල මත්තෙහි ආශ්‍රවයන් ක්ෂය කරන්නාවූ ධර්මයන්හි හික්මවන්නෙම් නම් යහපති’ කියායි. එකල වනාහි භාග්‍යවතුන්වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළැක්කේ ආයුෂ්මත් රාහුලයන්ට ආමන්ත්‍රණයකළ සේක. ‘රාහුලය නිසීදනය (හිඳිනා අසුන) ගනුව අන්ධවනය යම් තැනෙක්හිද, දවල් කාලයෙහි විසීම පිණිස එහි යන්නෙමුයි” (වදාළේය) “ස්වාමීනි, එසේය කියා ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන්වහන්සේට උත්තරදී නිසීදනය රැගෙන භාග්‍යවතුන් වහන්සේගේ පිටිපසින් ගියේය.

ඒ කාලයෙහි බොහෝ දහස් ගණන් දෙවියෝ අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල භද්‍රයන් මත්තෙහි ආශ්‍රවයන් ක්ෂයකිරීමෙහි හික්මවන්නේයයි භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියාහුය.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ අන්ධවනයට පැමිණ එක්තරා ගසක් මුල පණවන ලද අස්නෙහි වැඩහුන්සේක. ආයුෂ්මත් රාහුල තෙමේද භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල භද්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“රාහුලය, තා කුමකැයි” සිතන්නෙහිද? චක්ෂු ප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?” යනුයි.

“ස්වාමීනි අනිත්‍ය වන්නේය” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් වන්නේද සැප වන්නේද?

“ස්වාමීන් වහන්ස දුක් වන්නේය. ස්වාමීනි එය දුකය.”

“යමක් දුක නම් අනිත්‍ය නම් එය මාගේය. එය මම වෙමි.

එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”

“ස්වාමීනි සුදුසු නොවන්නේමයයි” කී.

“රාහුල ඒ කුමකැයි හඟින්නෙහිද? රූපයෝ නිත්‍ය වන්නාහුද? අනිත්‍ය වන්නාහුද?”

“ස්වාමීනි අනිත්‍ය වන්නාහුය.”

“යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුක් වන්නේද? සැප වන්නේද?”

“ස්වාමීනි දුක් වන්නේය.”

“යමක් වනාහි අනිත්‍ය නම් දුක්නම් පෙරළෙන ස්වභාව

ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”

“ස්වාමීනි සුදුසු නොවන්නේය.”

“රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? චක්ෂුර් විඥානය නිත්‍යවන්නේද, අනිත්‍ය වන්නේද?”

“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”

“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක්වන්නේද? සැප වන්නේද?”

“ස්වාමීනි දුක්වන්නේය.”

“යමක් වනාහි අනිත්‍යවේද? දුක්වේද? පෙරළෙන ස්වභාව ඇත්තේද එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”

ස්වාමීනි, නොවන්නේයයි” (කී)

“රාහුලය ඒ කුමකැයි සිතන්නෙහිද? චක්ඛුසම්ඵස්සය නිත්‍ය වන්නේද?” අනිත්‍ය වන්නේද?

“ස්වාමීනි අනිත්‍ය වන්නේයි”

“යමක් වනාහි අනිත්‍ය වේනම් එය දුක්වන්නේද සැප වන්නේද?”

“ස්වාමීනි දුක්වන්නේය.”

“යමක් වනාහි අනිත්‍යනම් දුකනම් පෙරලෙන ස්වභාවයක් ඇත්තේනම් එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”

“ස්වාමීනි, නොවන්නේය”

“රාහුලය, ඒ කුමකැයි හඟින්නෙහිද? චක්ඛුසම්ඵස්සය නිසා හටගන්නාවූ යම් වේදනාවක් යම් සංඥාවක් යම් සංඛාරයක් යම් විඤ්ඤාණයක් වේද? එය නිත්‍ය හෝ වේද අනිත්‍ය හෝ වේද?”

“ස්වාමීනි, අනිත්‍ය වන්නේය.”

“යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් එය දුක්වන්නේද? සැපවන්නේද?”

“ස්වාමීනි එය දුක්වන්නේය. යමක් වනාහි අනිත්‍යනම් දුක නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”

“ස්වාමීනි සුදුසු නොවන්නේය”

“රාහුලය ඒ කුමකැයි සිතන්නෙහිද? ශ්‍රොතප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?”

“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”

“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද?” “ස්වාමීනි, එය දුක්වන්නේය” “යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, අනිත්‍ය නම්, දුක්නම් එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු ද?” “ස්වාමීනි, සුදුසු නොවන්නේය.” “ඝාණප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?” “ස්වාමීනි අනිත්‍ය වන්නේය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද?” “ස්වාමීනි, එය දුක් වන්නේය.”

“යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේනම් අනිත්‍ය නම් දුක් නම් එය මාගේය. එය මමවෙමි. එම මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසුද?”

“ස්වාමීනි, සුදුසු නොවන්නේය” “ජිව්හා ප්‍රසාදය නිත්‍යවන්නේද? අනිත්‍ය වන්නේද?” “ස්වාමීනි අනිත්‍ය වන්නාහුයයි” “යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ සැප වන්නේද? “ස්වාමීනි, එය දුක්වන්නේය.” “යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේනම් අනිත්‍ය

නම් දුක්නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසුද?” “ස්වාමීනි, සුදුසු නොවන්නේමය.” “කායප්‍රසාදය නිත්‍යවන්නේද? අනිත්‍ය වන්නේද?” “ස්වාමීනි අනිත්‍යවන්නේය.”

“යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ සැපවන්නේද?” “ස්වාමීනි, එය දුක් වන්නේය” “යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේනම් අනිත්‍ය නම්, දුක්නම්, එය මාගේය. එය මමවෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැක්මට සුදුසුද?”

“ස්වාමීනි, සුදුසු නොවන්නේය.”

“සිත නිත්‍ය වන්නේද?” අනිත්‍යවන්නේද?”

“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”

“යමක් වනාහි අනිත්‍ය වන්නේනම් එය දුක්වන්නේද, සැප වන්නේද?”

“ස්වාමීනි දුක්වන්නේය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් වන්නේ නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”

“ස්වාමීනි සුදුසු නොවන්නේය”

“රාහුලය, එය කුමක් සිතන්නෙහිද? ධර්මයෝ නිත්‍ය වන්නාහුද අනිත්‍ය වන්නාහුද?”

“ස්වාමීනි අනිත්‍යවන්නාහුය.”

“යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් එය දුක් වන්නේද සැපවන්නේද?”

“ස්වාමීනි දුක් වන්නේය.”

“යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?”

“ස්වාමීනි සුදුසු නොවන්නේය”

“රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? මනො විඤ්ඤාණය නිත්‍යවන්නේද අනිත්‍ය වන්නේද?”

“ස්වාමීනි අනිත්‍යවන්නේය.”

“යමක් වනාහි අනිත්‍යනම් එය දුක් වන්නේද සැප වන්නේද?”

‘ස්වාමීනි දුක්වන්නේය.”

“යමක් වනාහි අනිත්‍යනම්, දුක්නම්, පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”

“ස්වාමීනි, සුදුසු නොවන්නේය.”

“රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? මනොසම්ඵස්සය නිත්‍ය වන්නේද, අනිත්‍ය වන්නේද?”

“ස්වාමීනි, අනිත්‍ය වන්නේය.”

“යමක් අනිත්‍යනම් එය දුක් වන්නේද, සැපවන්නේද?”

“ස්වාමීනි, දුක් වන්නේය.”

“යමක් වනාහි අනිත්‍යනම් දුක්නම්, පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මමවෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?”

“ස්වාමීනි, සුදුසු නොවන්නේය.”

“රාහුලය, ඒ කුම කැයි හඟින්නෙහිද? මනො ස්පර්ශය හේතුකොටගෙන යම් වේදනාවක්, යම් සංඥාවක් යම් සංඛාරයක් යම් විඤ්ඤාණයක් උපදීනම් එය නිත්‍ය වන්නේද, අනිත්‍ය වන්නේද?”

“ස්වාමීනි අනිත්‍යවන්නේය.”

“යමක් වනාහි අනිත්‍යනම් එය දුක්වන්නේද, සැප වන්නේද?”

“ස්වාමීනි දුක් වන්නේය.”

“යමක් වනාහි අනිත්‍යනම් දුක්නම් පෙරළෙන ස්වභාව ඇත්තේනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්ම යයි දැකීමට සුදුසු වන්නේද?”

“ස්වාමීනි සුදුසු නොවන්නේය”

“රාහුලය, මෙසේ දකින්නාහු ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ඇසෙහි කලකිරෙන්නේය, රූපයන්හි කලකිරෙන්නේය. චක්ඛු විඤ්ඤාණයෙහි කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහි කලකිරෙයි. යම් මේ චක්ඛුසම්ඵස්සයන් හේතුකොට ගෙන වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඤ්ඤාණයක් උපදීද, එහිද කලකිරෙයි. කණෙහි කලකිරෙයි. ශබ්දයන්හි කලකිරෙයි. නාසයෙහි කලකිරෙයි. ගන්ධයන්හි කලකිරෙයි. දිවෙහි කලකිරෙයි. රසයන්හි කලකිරෙයි. කයෙහි කලකිරෙයි. ස්පර්ශයන්හි කලකිරෙයි. සිතෙහි කලකිරෙයි. ධර්මායතනයන්හි කලකිරෙයි. මනෝවිඥානයෙහි කලකිරෙයි. මනොසම්ඵස්සයෙහි කලකිරෙයි. මනොසම්ඵස්සය හේතු කොටගෙන යම් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඤ්ඤාණයක් උපදීද, එහිද කලකිරෙන්නේය. කලකිරෙන්නේ නොඇලෙන්නේය. නොඇලීමෙන් ක්ලෙශයන්ගෙන් මිදෙන්නේය. මිදුන කල්හි මිදුනේය යන අර්හත් ඤාණ ඵල උපදියි. ඉපදීම කෙළවර වන්නේය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. ඉන්පසු මේ ආත්මභාව පිණිස කළයුත්තක් නැතැයි දන්නේය.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටුවූයේ වෙයි.

මේ දෙශනාව කරනු ලබන කල්හි ආයුෂ්මත් රාහුලයන්ගේ සිත උපාදානයන්ගෙන් තොරව කාමාදී ආශ්‍රවයන් ගෙන් මිදුනේ වේ. ඒ බොහෝ දහස් ගණන් දෙවියන්ටද හටගැනීම් ස්වභාවය ඇති යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල හැකිවන ස්වභාව ඇත්තේයයි කෙලෙස් රජස් නැති දුරුවූ කෙලෙස් මළ ඇති ධර්ම චක්ෂුසයයි කියනලද මාර්ගඥාන පහළ විය.

චූලරාහුලෝවාද සූත්‍රය නිමි. (4-5)