මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

5. සළායතන වර්ගය

148. ඡඡක්ක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහසිටුහු විසින් කරවනලද ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’යි අඬගැසූ සේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි’යි උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, තොපට මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිතවූද, ධර්මයක් දෙශනා කරමි. ප්‍රකාශ කරමි. එනම් සයේ ධර්ම සයක්ය. එය අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළේය. ඒ භික්ෂූහු “එසේය, ස්වාමීනි යයි” භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ “අධ්‍යාත්මික ආයතන සයක් දතයුතුය. බාහිරායතන සයක් දතයුතුය. විඤ්ඤාණකාය සයක් දතයුතුය. ඵස්සකාය සයක් දතයුතුය. වේදනාකාය සයක් දතයුතුය. තණ්හාකාය සයක් දතයුතුයයි” වදාළේය.

“සවැදෑරුම් අධ්‍යාත්මික ආයතන දතයුතුයයි මෙසේ කියනලදී. එය කුමක් සඳහා කියන ලද්දේද? චක්ඛායතනය, සොතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන මොහුයි. සවැදෑරුම් අධ්‍යාත්මිකායතන දතයුතුයයි යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී. මේ පළමුවැනි ධර්ම සයයි.

“සවැදෑරුම් බාහිරායතන දතයුතුයයි මෙසේ කියන ලදී. ඒ කුමක් සඳහා කියන ලද්දේද? රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය යන මොහුයි. සවැදෑරුම් බාහිරායතන දතයුතුයයි යමක් කියන ලද්දේ නම් ඒ මේ සඳහා කියන ලදී. මේ දෙවැනි ධර්ම සයයි.

“සවැදෑරුම් විඤ්ඤාණකාය දතයුතුයයි මෙසේ කියන ලදී. එය කුමක් සඳහා කියන ලද්දේද? ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. කණත් ශබ්දයනුත් නිසා සොතවිඤ්ඤාණය උපදියි. නාසයත් ගන්ධයනුත් නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. දිවත් රසයනුත් නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. කයත් ප්‍රෂ්ටව්‍යයනුත් නිසා කාය විඤ්ඤාණය උපදියි. සිතත් ධර්මාරම්මණයනුත් නිසා මනො විඤ්ඤාණය උපදියි. සවැදෑරුම් විඤ්ඤාණකාය දතයුතු යයි යමක් කියන ලද්දේ නම් ඒ මේ සඳහා කියනලදී. මේ තුන්වැනි ධර්ම සයයි.

“සවැදෑරුම් ඵස්සකාය දතයුතුයයි මෙසේ කියනලදී. ඒ කුමක් සඳහා කියන ලද්දේද? ඇසත් රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. කණත් ශබ්දයත් නිසා සොතවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. නාසයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. කයත් ස්පර්ශයත් නිසා කායවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. සිතත් ධර්මාරම්මණත් නිසා මනොවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. සවැදෑරුම් ඵස්සකාය දතයුතුය යමක් කියන ලද්දේ නම් ඒ මේ සඳහා කියනලදී. මේ සතරවැනි ධර්ම සයයි.

“සවැදෑරුම් වේදනාකාය දතයුතුයයි මෙසේ කියනලදී. එය කුමක් සඳහා කියන ලද්දේද? ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. කණත් ශබ්දයත් නිසා සොත විඤ්ඤාණය උපදියි. නාසයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි. කයත් ප්‍රෂ්ටව්‍යයත් නිසා කායවිඤ්ඤාණය උපදියි. සිතත් ධර්මාරම්මණත් නිසා මනොවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. සවැදෑරුම් වේදනාකාය දතයුතුයයි යමක් කියන ලද්දේ නම්, ඒ මේ සඳහා කියනලදී. මේ පස්වැනි ධර්ම සයයි.

“සවැදෑරුම් තණ්හාකාය දතයුතුයයි මෙසේ කියන ලදි. එය කුමක් සඳහා කියන ලද්දේද? ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. කණත් ශබ්දයත් නිසා සොතවිඤ්ඤාණය උපදියි. නාසයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි. කයත් ප්‍රෂ්ටව්‍යයත් නිසා කායවිඤ්ඤාණය උපදියි සිතත් ධර්මාරම්මණයත් නිසා මනො විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා තණ්හාව උපදියි. සවැදෑරුම් තණ්හාකාය දතයුතුය යන යමක් කියන ලද්දේ නම් ඒ මේ සඳහා කියනලදී. මේ සයවැනි ධර්ම සයයි.

“ඇස ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් සෙයින්ද?) ඇසේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් ඇස ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් ඇස අනාත්මයි. රූපයෝ ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. කුමක් හෙයින්ද? රූපයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදින්නේය, විනාශවන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් රූප ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මයී. රූපයෝත් අනාත්මයි

“චක්ඛුවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. කුමක් හෙයින්ද? චක්ඛුවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි. විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් චක්ඛුවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය චක්ඛුවිඤ්ඤාණයත් අනාත්මයයි දතයුතුය.

“කණ ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) කණේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් කණ ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් කණ අනාත්මයි, ශබ්දයෝ ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. කුමක් හෙයින්ද? ශබ්දයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත්

“චක්ඛුසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) චක්ඛුසම්ඵස්සයාගේ ඉපදීමත් විනාශයත් පෙණෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් චක්ඛුසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය, චක්ඛුවිඤ්ඤාණයත් අනාත්මය, චක්ඛුසම්ඵස්සයත් අනාත්මයි.

“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්ම යයි යමෙක් කියන්නේ නම්, ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය, චක්ඛුවිඤ්ඤාණයත් අනාත්මය, චක්ඛුසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මයි.

“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයත් උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් තණ්හාව ආත්ම යයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය, චක්ඛුවිඤ්ඤාණයත් අනාත්මය, චක්ඛුසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.

“කණ ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) කණේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් කණ ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් කණ අනාත්මයි.

“ශබ්දයෝ ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ශබ්දයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදින්නේය, විනාශවන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් ශබ්ද ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මයි. ශබ්දයෝත් අනාත්මයි.

“සොතවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) සොතවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් සොතවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය, ශබ්දයෝත් අනාත්මය, සොතවිඤ්ඤාණයත් අනාත්මයි.

“සොතසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) සොතසම්ඵස්සයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි’ විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් සොතසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය, ශබ්දයෝත් අනාත්මය, සොතසම්ඵස්සයත් අනාත්මයි.

“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේනම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය ශබ්දයෝත් අනාත්මය සොතවිඤ්ඤාණයත් අනාත්මය සොතසම්ඵස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මයි.

“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේනම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවෙන් ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයක් පෙනේනම් මගේ ආත්මය උපදියි විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය ශබ්දයෝත් අනාත්මය සොතවිඤ්ඤාණයත් අනාත්මය සොතසම්ඵස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මය තණ්හාවත් අනාත්මය.

“නාසය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) නාසයේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් නාසය ආත්මයයි, යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් නාසය අනාත්මයි.

“ගන්ධයෝ ආත්මයයි යමෙක් කියන්නේනම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ගන්ධයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදින්නේය, විනාශ වන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් ගන්ධයෝ ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මයි. ගන්ධයෝත් අනාත්මයි.

“ඝාණවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ඝාණවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශ වෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් ඝාණවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය, ගන්ධයෝත් අනාත්මය ඝාණවිඤ්ඤාණයත් අනාත්මයි.

“ඝාණසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ඝාණසම්ඵස්සයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශ වෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් ඝාණසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය, ගන්ධයෝත් අනාත්මය ඝාණවිඤ්ඤාණයත් අනාත්මය, ඝාණසම්ඵස්සයත් අනාත්මයි.

“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය ගන්ධයෝත් අනාත්මය ඝාණවිඤ්ඤාණයත් අනාත්මය ඝානසම්පස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මයයි.

“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයත් උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය, ගන්ධයෝත් අනාත්මය, ඝාණවිඤ්ඤාණයත් අනාත්මය, ඝාණසම්ඵස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.

“දිව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) දිවේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් දිව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් දිව අනාත්මයි.

“රසයන් ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) රසයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදින්නේය, විනාශවන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් රසයන් ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මයි. රසයෝත් අනාත්මයි.

“ජිව්හාවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ජිව්හාවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් ජිව්හාවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මයි.

“ජිව්හාසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ජිව්හාසම්ඵස්සයාගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශවෙයි. යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් ජිව්හාසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මය, ජිව්හා සම්ඵස්සයත් අනාත්මයි.

“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ ඒ කීම නොයෙදෙන්නේය. (කුමක්හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මය, ජිව්හාසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මයි.

“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයත් උපදියි, විනාශ වෙයි යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය, ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මය, ජිව්හාසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.

“කය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) කයේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් කය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් කය අනාත්මයි.

“ප්‍රෂ්ටව්‍යයෝ ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ප්‍රෂ්ටව්‍යයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදින්නේය, විනාශ වන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය එහෙයින් යමෙක් ප්‍රෂ්ටව්‍යය ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මයි. ප්‍රෂ්ටව්‍යයෝත් අනාත්මයි.

“කායවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) කායවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් කායවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය, ප්‍රෂ්ටව්‍යයෝත් අනාත්මය, කාය විඤ්ඤාණයත් අනාත්මය.

“කායසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) කායසම්ඵස්සාගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේනම් මාගේ ආත්මය උපදියි, යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් කායසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය ප්‍රෂ්ටව්‍යයෝත් අනාත්මය කාය විඤ්ඤාණයත් අනාත්මය කායසම්ඵස්සයත් අනාත්මයි.

“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය, ප්‍රෂ්ටව්‍යයත් අනාත්මය, කාය විඤ්ඤාණයත් අනාත්මය, කායසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය.

“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිනෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය, ප්‍රෂ්ටව්‍යයත් අනාත්මය, කායවිඤ්ඤාණයත් අනාත්මය, කායසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.

“සිත ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) සිතේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් සිත ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් සිත අනාත්මයි.

“ධර්මාරම්මණයන් ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ධර්මාරම්මණයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදින්නේය, විනාශ වන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් ධර්මාරම්මණයෝ ආත්මයයි යමෙක් කියන්නේනම් එය නොයෙදෙන්නේය. මගේ සිත අනාත්මයි. ධර්මාරම්මණත් අනාත්මයි.

“මනොවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) මනොවිඤ්ඤාණයේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමද විනාශයද පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යනමේ කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් මනොවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේනම් එය නොයෙදෙන්නේය. මගේ සිතද අනාත්මයි, ධර්මාරම්මණයෝ ද අනාත්මයි මනොවිඤ්ඤාණයද අනාත්මයි.

“මනොසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේනම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) මනොසම්ඵස්සයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි බිඳෙයි යන මේ කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් මනොසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ සිතද අනාත්මයි, ධර්මාරම්මණයෝ ද අනාත්මයි, මනොවිඤ්ඤාණයද අනාත්මයි. මනොසම්ඵස්සයද අනාත්මයි.

“වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමද විනාශයද පෙනෙයි. යමක ඉපදීමද විනාශයද පෙනේනම් මාගේ ආත්මය උපදියි විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් වේදනාව ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ සිතද අනාත්මයි. ධර්මයෝ ද අනාත්මයි මනොවිඤ්ඤාණයද අනාත්මයි. මනොසම්ඵස්සයද අනාත්මයි. වේදනාවද අනාත්මයි.

“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේනම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමද විනාශයද පෙනේ නම් මගේ ආත්මය උපදියි බිඳෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් තණ්හාව ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ සිතද අනාත්මයි. ධර්මාරම්මණයෝ ද අනාත්මයි. මනොවිඤ්ඤාණයද අනාත්මයි. මනොසම්ඵස්සයද අනාත්මයි. වේදනාවද අනාත්මයි. තණ්හාවද අනාත්මයි.

“මහණෙනි, මේ වනාහි මමයයි ගන්නා වැරදි දැකීම ඉපදීම කරා යන්නාවූ ප්‍රතිපදාව වෙයි. ‘එනම්, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ඇස දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, රූපයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, චක්ඛුවිඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, චක්ඛුසම්ඵස්සය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි වේදනාව දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි තණ්හාව දකියිද,

“මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, කණ දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ශබ්දයන් දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි සොත විඤ්ඤාණය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි සොත සම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි වේදනාව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි තණ්හාව දකියිද,

“මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි නාසය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ගන්ධයන් දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ඝාණ විඤ්ඤාණය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ඝාණ සම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි වේදනාව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි තණ්හාව දකියිද,

“මෙය මගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි, දිව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, රසයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි. ජිව්හාවිඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ජිව්හාසම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, වේදනාව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, තණ්හාව දකියිද,

“මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි කය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ප්‍රෂ්ටව්‍යයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, කායවිඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, කායසම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, වේදනාව දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, තණ්හාව දකියිද,

“මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, සිත දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ධර්මරම්මණයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, මනොවිඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, මනොසම්ඵස්සය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, වේදනාව දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, තණ්හාව දකියිද, යන මේ, මාර්ගයයි,

“මහණෙනි, මේ වනාහි මමයයි ගැනීම නිරුද්ධකිරීමේ මාර්ගයවේ. එනම්: මෙය මගේ නොවේය මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, ඇස දකියිද, මෙය මගේ නෙවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේ යයි, රූපයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, චක්ඛුවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, චක්ඛුසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, වේදනාව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, තණ්හාව දකියිද,

“මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, කණ දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, ශබ්දයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නෙවේයයි, සොතවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, සොතසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, වේදනාව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,

“මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි නාසය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ගන්ධයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ඝාණවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ඝාණසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, වේදනාව දකියිද, මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,

“මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි දිව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි රසයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නෙවේයයි ජිව්හාවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ජිව්හාසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,

“මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි කය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ප්‍රෂ්ටව්‍යයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නෙවේයයි කායවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි කායසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද, මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,

“මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි සිත දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ නොවේයයි ධර්මාරම්මණයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, මනොවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේ යයි මනොසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේ මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද, මෙය මගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද යන මේ මාර්ගයයි.

“මහණෙනි, ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝක වෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සුඛ වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

“මහණෙනි, කණත් ශබ්දයනුත් නිසා සොත විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය, හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝකවෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

‘මහණෙනි, නාසයත් ගන්ධයනුත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝකවෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

“මහණෙනි, දිවත් රසයත් නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝක වෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

“මහණෙනි, කයත් ප්‍රශ්ටව්‍යයත් නිසා කායවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙන සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝක වෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛම සුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

“මහණෙනි, සිතත් ධර්මාරම්මණයනුත් නිසා මනො විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ විඳීම උපදියි. හෙතෙමේ සැප වේදනාවක් ලැබුයේ සතුටුවෙයි. හොඳය හොඳයයි කියයි. එහි ගිලී සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. දුක් වේදනාවක් ලැබුයේ ශොක කරයි, ක්ලාන්තවෙයි. වැළපෙයි. පපුවට අතගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද ඇති සැටියෙන් නොදනියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහනොකොට දුක්ඛවේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට මොහානුසය මුලින් නූපුටා අවිද්‍යාව දුරු නොකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

“මහණෙනි, ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි, ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.

මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උදුරා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.

“මහණෙනි, කණත් ශබ්දයනුත් නිසා සොත විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරු වෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇතිසැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.

මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.

“මහණෙනි, නාසයත් ගන්ධයනුත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි, පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.

මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.

“මහණෙනි, දිවත් රසයනුත් නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.

මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.

“මහණෙනි, කයත් ප්‍රෂ්ටව්‍යයත් නිසා කාය විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයවේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරුවන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.

මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.

“මහණෙනි, සිතත් ධර්මාරම්මණයනුත් නිසා මනො විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි ගැලී නොසිටියි. ඔහුගේ රාගානුසය දුරු වෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.

මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදු වන්නේය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇසෙහි කලකිරෙයි. රූපයන්හි කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණයෙහි කලකිරෙයි. චක්ඛු සම්ඵස්සයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. තණ්හාවෙහි කලකිරෙයි. කණෙහි කලකිරෙයි. ශබ්දයන්හි කලකිරෙයි. නාසයෙහි කලකිරෙයි. ගන්ධයන්හි කලකිරෙයි. දිවෙහි කලකිරෙයි. රසයන්හි කලකිරෙයි. කයෙහි කලකිරෙයි. ප්‍රෂ්ටව්‍යයන්හි කලකිරෙයි. සිතෙහි කලකිරෙයි. ධර්මාරම්මණයන්හි කලකිරෙයි. මනො විඤ්ඤාණයෙහි කලකිරෙයි. මනොසම්ඵස්සයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. තණ්හාවෙහි කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීම හේතුකොටගෙන කෙලෙසුන් කෙරෙන් මිදෙයි. මිදුණ කල්හි මිදුණේය යන ඤාණය උපදියි. ඉපදීම ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මින් පසු කළයුත්තක් නැතැයි දැනගනී.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය. මේ සූත්‍ර දේශනාව දේශනා කරන කල්හි සැට නමක් භික්ෂූන්ගේ සිත් තණ්හා දිට්ඨි මානයන් විසින් අල්වානොගෙන ආශ්‍රව ධර්මයන් කෙරෙන් මිදුනාහුය.

සය වැනිවූ ඡඡක්ක සූත්‍රය නිමි. (5-6)