මජ්ඣිම නිකාය
උපරි පණ්ණාසය
5. සළායතන වර්ගය
149. මහාසළායතන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජෙතවන නම් අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “ස්වාමීනි” ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, මම තොපට මහත්වූ ෂඩායතනයන් ප්‍රකාශකරන්නාවූ ධර්ම කොට්ඨාශයක් දෙශනා කරන්නෙමි. එය අසව්. මොනවට මෙනෙහි කරව්. කියන්නෙමි” වදාළේය. “එසේය ස්වාමීනි යයි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මේ මෙසේ වදාළහ.
“මහණෙනි, චක්ඛායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේවේද, රූපායතනයන් තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේවේද, චක්ඛුසම්ඵස්සය තත්වූ පරිද්දෙන් නොදන්නේ නොදක්නේවේද, යම් මේ චක්ඛුසම්ඵස්සය හෙතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ දුක් නොවූ හෝ විඳීමක් උපදීද, එයද තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේ උපදීද, චක්ඛායතනයෙහි ඇලෙන්නේ වේද, රූපායතනයන්හි ඇලෙන්නේ වේද, චක්ඛු විඤ්ඤාණයෙහි ඇලෙන්නේවේද, චක්ඛුසම්ඵස්සයෙහි ඇලෙන්නේවේද, යම් මේ චක්ඛුසම්ඵස්සය හෙතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ දුක් නොවූ හෝ වේදනාවක් උපදීද, එහි ඇලෙන්නේද, එහි ඇළුනාවූ එයින් යුක්තවූ එයින් මුළාවූ ආශ්වාද වශයෙන් දකිමින් වාසය කරන්නාවූ ඔහුගේ මත්තෙහි පඤ්චූපාදානස්කන්ධයෝ වැඩීමට පැමිණෙත්. ඔහුගේ දෙවෙනි භව ඇතිකරන්නාවූ ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ නන්දිරාගය සමග පවත්නාවූ තෘෂ්ණාවක්වේද, ඔහුගේ ඒ තෘෂ්ණාවද වැඩෙන්නීය. ඔහුගේ කායික දාහයෝද වැඩෙන්නාහුය. මානසික දාහයෝද වැඩෙන්නාහුය. කායික සන්තාපයෝද වැඩෙන්නාහුය. මානසික සන්තාපයෝද වැඩෙන්නාහුය. කායික පරිදැවිලිද වැඩෙන්නාහුය. මානසික දැවිලිද වැඩෙන්නාහුය. හෙතෙමේ කායික දුකද මානසික දුකද විඳින්නේ වේ.
“මහණෙනි, හෙතෙමේ සෝතායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, ඝාණායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, ජිහ්වායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, කායායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, මනායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, ධර්මායතනයන් තත්වූ පරිද්දෙන් නොදන්නේ නොදක්නේද, මහණෙනි, මනො විඥානය තත්වූපරිදි නොදන්නේ නොදක්නේද, මහණෙනි, මනොසම්ඵස්සය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද, යම් මේ මනොසම්ඵස්සය හෙතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ දුක් නොවූ හෝ වේදනාවක් උපදීද, එයද තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද සිතෙහි ඇලෙන්නේද ධර්මයන්හි ඇලෙන්නේද, මනොවිඥානයෙහි ඇලෙන්නේද, මනොසම්ඵස්සයෙහි ඇලෙන්නේද යම් මේ මනොසම්ඵස්සය හෙතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ හෝ දුක් නොවූ හෝ වේදනාවක් උපදීද, එහිද ඇලෙන්නේද, එහි ඇළුනාවූද යෙදුනාවූද මුළාවූද ආශ්වාද වශයෙන් දකිමින් වාසය කරන්නහුගේ පඤ්චූපාදානස්කන්ධයෝ මත්තෙහි වැඩීමට යන්නාහුය. ඔහුගේ දෙවෙනි භවය ඇතිකරන්නාවූ නන්දිරාගයෙන් යුක්තවූ ඒ ඒ තැන ඇලෙන්නාවූ තෘෂ්ණාවක් වේද ඒ තෘෂ්ණාවද වැඩෙන්නීය. ඔහුගේ දාහයෝද වැඩෙන්නාහුය. මානසික දාහයෝද වැඩෙන්නාහුය. කායික සන්තාපයෝද වැඩෙන්නාහුය. මානසික සන්තාපයෝද වැඩෙන්නාහුය. කායික දැවීම්ද වැඩෙන්නාහුය. මානසික දැවීම්ද වැඩෙන්නාහුය. හෙතෙමේ කායික දුකද මානසික දුකද විඳින්නේය.
“මහණෙනි, චක්ඛායතනයද තත්වූපරිද්දෙන් දන්නේ, දක්නේද, රූපයන් තත්වූපරිද්දෙන් දන්නේ, දක්නේද, චක්ඛුවිඤ්ඤාණය තත්වූපරිද්දෙන් දන්නේ, දක්නේද, චක්ඛුසම්ඵස්සය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද යම් මේ චක්ඛුසම්ඵස්සයක් හෙතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එයද තත්වූපරිදි දන්නේ දක්නේද, චක්ඛායතනයෙහි නොඇලෙන්නේද රූපායතනයන්හි නොඇලෙන්නේද, චක්ෂුර්විඥානයෙහි නොඇලෙන්නේද, චක්ඛුසම්ඵස්සයෙහි නොඇලෙන්නේද, යම් මේ චක්ඛුසම්ඵස්සය හෙතු කොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එහිද නොඇලෙයිද, එහි නොඇළුනාවූ නොයෙදුනාවූ මුළා නොවූ ආදීනව වශයෙන් දක්නා ස්වභාව ඇතිව වාසයකරන්නහුගේ පඤ්චූපාදානස්කන්ධයෝ මත්තෙහි වැඩීමට නොයන්නාහුය. ඔහුගේ දෙවන භවය ඇතිකරන්නාවූ නන්දිරාගයෙන් යුක්තවූ ඒ ඒ තන්හි ඇලෙන්නාවූ තෘෂ්ණාවක් වෙයිද ඔහුගේ ඒ තෘෂ්ණාවද ප්‍රහීණවෙයි. ඔහුගේ කායික දාහයෝද ප්‍රහීණවෙත්. මානසික දාහයෝද ප්‍රහීණවෙත්. කායික සන්තාපයෝද ප්‍රහීණවෙත්. මානසික සන්තාපයෝද ප්‍රහීණවෙත්. කායික දැවිලිද ප්‍රහීණවෙත්. මානසික දැවිලිද ප්‍රහීණවෙත්.
“හෙතෙමේ කායික සැපයද, මානසික සැපයද විඳියි.
ඔහුගේ කුසල් සිත සමග යෙදුණු සැපයෙන් යුත් යම් දැකීමක් වේද, එය ඔහුගේ සම්‍යක්දෘෂ්ටිය වන්නීය. ඒ ආකාරයෙන්වූ ඔහුගේ යම් කල්පනාවක් වේද, එය ඔහුගේ සම්‍යක් සංකල්පනාව වන්නේය. ඒ ආකාරයෙන්වූ ඔහුගේ යම් ව්‍යායාමක් වේද, එය ඔහුගේ යම් සිහියක් වේද, එය ඔහුගේ සම්‍යක් ස්මෘතිය වේ. ඒ ආකාරයෙන්වූ ඔහුගේ යම් සමාධියක් වේද, එය ඔහුගේ සම්‍යක් සමාධිය වේ. ඒ ආකාරයෙන්වූ ඔහුගේ කාය කර්මයද වාක් කර්මයද, ආජීවයද පළමුවෙන්ම පිරිසිදුවූයේවේ. මෙසේ වනාහි ඔහුගේ මේ ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය තෙමේ වැඩීමට සම්පූර්ණ බවට යන්නේය.
“මෙසේ මේ ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය වඩන්නාවූ ඔහුට සතර සතිපට්ඨානයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. සතර සම්‍යක් ප්‍රධානයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. සතර ඍද්ධිපාදයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. පඤ්චෙන්ද්රිය ධර්මයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය. පඤ්ච බලයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. සප්තබොධ්යංගයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. ඕහට සමථයද විදර්ශනාවද යන මේ ධර්මදෙක යුගන්ධවූවාහු (එක්ව) පවතිත්.
‘හෙතෙමේ යම් ධර්මකෙනෙක් විශිෂ්ටඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂඥානයෙන් පිරිසිඳ දන්නේය. යම් ධර්ම කෙනෙක් විශිෂ්ටඥානයෙන් දැන පහ කළ යුත්තාහුද, ඒ ධර්මයන් විශිෂ්ටඥානයෙන් දැන දුරුකරන්නේය. යම් ධර්ම කෙනෙක් විශෙෂඥානයෙන් දැන වැඩිය යුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් දැන වඩන්නේය. යම් ධර්මකෙනෙක් විශෙෂඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂඥානයෙන් දැන ප්රත්යක්ෂ කරන්නේය.
“මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශෙෂප්රඥාවෙන් පිරිසිඳ දතයුත්තාහුද, පඤ්ච උපාදානස්කන්ධයෝයයි කිය යුත්තේය. හේ කවරේද? රූපූපාදානස්කන්ධය, වේදනානූපාදානස්කන්ධය සංඥොපාදානස්කන්ධය, සංස්කාරෝපා දානස්කන්ධය, විඥානොපාදානස්කන්ධය, (යන මොහුයි) මේ ධර්මයෝ විශෙෂ ඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුය. මහණෙනි, කිනම් ධර්ම කෙනෙක් විශෙෂඥානයෙන් ප්‍රහීණ කළයුත්තාහුද, අවිද්‍යාවද, භවතෘෂ්ණාවද, යන දෙකය. මේ ධර්මයෝ විශෙෂඥානයෙන් ප්‍රහීණ කටයුත්තාහ. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශෙෂ ඥානයෙන් වැඩියයුත්තාහුද, සමථයද විදර්ශනාවද යන දෙකය. මේ ධර්මයෝ විශෙෂ ඥානයෙන් වැඩියයුත්තාහුය. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුද? අර්හත් මාර්ගඥාන විද්‍යාවද ඵලවිමුක්තියද (යන දෙකය.)
“මේ ධර්මදෙක විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුය.
“මහණෙනි, සොතායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, ඝාණායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, ජිහ්වායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, කායායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, මනායතනය තත්වූපරිද්දෙන් දන්නේද දක්නේද, මහණෙනි, ධර්මාරම්මණයන් තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, මහණෙනි, මනොවිඥානය තත්වූ පරිද්දෙන් දන්නේ, දක්නේද, මහණෙනි, මනොසම්ඵස්සය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, යම් මේ මනොසම්ඵස්සය හෙතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එයද තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, සිතෙහි නොඇලෙන්නේද, ධර්මාරම්මණයන්හි නොඇලෙන්නේද, මනොවිඥානයෙහි නොඇලෙන්නේද, මනොසම්ඵස්සයෙහි නොඇලෙන්නේ යම් මේ මනොසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එහිද නොඇලෙන්නේ ද එහි නොඇළුනාවූ මුළා නොවූ නොයෙදුනාවූ ආදීනව දක්නා ස්වභාව ඇතිව වාසය කරන්නහුගේ මත්තෙහි පඤ්චූපාදානස්කන්ධයෝ විනාශයට යන්නාහුය.
“ඔහුගේ ඒ ඒ තැන ඇලෙන්නාවූ දෙවෙනි භවයෙහි ඉපදීම ඇතිකරන්නාවූ නන්දිරාගයෙන් යුත් තෘෂ්ණා තොමෝ වන්නීද, ඒ තෘෂ්ණා තොමෝද ප්‍රහීණ වන්නේය. ඔහුගේ කායික දාහයෝද ප්‍රහීණවෙත්. මානසික දාහයෝද ප්‍රහීණවෙත්. කායික සන්තාපයෝද ප්‍රහීණවෙත්. මානසික සන්තාපයෝද ප්‍රහීණවෙත්. කායික දැවිලිද ප්‍රහීණවෙත්. මානසික දැවිලිද ප්‍රහීණවෙත්. හෙතෙම කායික සැපයද මානසික සැපයද විඳින්නේවේ.
ඔහුගේ තත්වූපරිදි දක්නාවූ දෘෂ්ටියක් වේද එය ඔහුගේ සම්‍යක් දෘෂ්ටිය වෙයි. ඔහුගේ තත්වූපරිදිවූ යම් කල්පනාවක් වේද, එය ඔහුගේ සම්‍යක් සංකල්පනාව වේ. ඔහුගේ තත්වූපරිදිවූ යම් ව්‍යායාමයෙක් වේද, එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමයවේ ඔහුගේ තත්වූපරිදිවූ යම් සිහියක් වේද, එය ඔහුගේ සම්‍යක් ස්මෘතිය වෙයි.
ඔහුගේ තත්වූපරිදිවූ යම් සමාධියක්වේද, එය ඔහුගේ සම්‍යක්සමාධිය වන්නේය. පළමුව ඔහුගේ කායකර්මයද වාක්කර්මයද ආජීවයද පිරිසිදුවූයේ වේ. මෙසේ ඔහුගේ මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට යන්නේය. මෙසේ මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන්නාවූ ඔහුට සතර සතිපට්ඨානයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්. සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. සතර ඍද්ධිපාදයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. පඤ්චෙන්ද්රියයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. පඤ්චබලයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. සප්තබොධ්‍යංගයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. ඔහුට සමථයද විදර්ශනාවද එක්ව පවත්නාහුය.
“හෙතෙමේ යම් ධර්මකෙනෙක් විශෙෂඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුද ඒ ධර්මයන් විශෙෂඥානයෙන් පිරිසිඳ දැනගන්නේය. යම් ධර්මකෙනෙක් විශෙෂඥානයෙන් දැන පහ කළයුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂඥානයෙන් දැන පහකරන්නේය. යම් ධර්මකෙනෙක් විශෙෂඥානයෙන් දැන වැඩිය යුත්තාහුද, ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් දැන වඩන්නේය. යම් ධර්මකෙනෙක් විශෙෂ ඥානයෙන් දැන ප්රත්යක්ෂ කළයුත්තාහුද ඒ ධර්මයන් විශෙෂ ඥානයෙන් දැන ප්රත්යක්ෂ කරයි. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශෙෂඥානයෙන් දැන පිරිසිඳ දතයුත්තාහුද, පඤ්චොපාදානස්කන්ධයෝයයි කියයුතු වන්නේය. හේ කවරේද? රූපූපාදානස්කන්ධය, වේදනූපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපොදානස්කන්ධය විඥානොපාදනස්කන්ධය, යන මොහුය. මේ ධර්මයෝ විශෙෂ ඥානයෙන් දැන පිරිසිඳ දතයුත්තාහුය.
“මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශෙෂ ඥානයෙන් දැන පහකළ යුත්තාහුද, අවිද්‍යාවත් භව තෘෂ්ණාවත්ය. මේ ධර්මයෝ විශෙෂඥානයෙන් දැන පහකළ යුත්තාහුය. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශෙෂඥානයෙන් දැන වැඩියයුත්තාහුද, සමථයත් විදර්ශනාවත්ය. මේ ධර්මයෝ විශෙෂ ඥානයෙන් දැන වැඩිය යුත්තාහුය.
“මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශෙෂ ප්‍රඥාවෙන් දැන ප්රත්යක්ෂ කළයුත්තාහුද, අර්හත් මාර්ගඥාන විද්‍යාවත් ඵල විමුක්තියත්ය. මේ ධර්මයෝ විශේෂ ප්‍රඥාවෙන් දැන ප්රත්යක්ෂ කළ යුත්තාහුයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටුවූවාහුයි.
සත්වැනි සළායතන සූත්‍රය නිමි. (5-7)