මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

5. සළායතන වර්ගය

150. නගරවින්දෙය්‍ය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂුසංඝයා සමග කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙනු ලබන්නේ, නගරවින්දෙය්‍ය නම්වූ කොසොල්රට වැස්සන්ගේ බමුණු ගම යම් තැනෙක්හිද එහි වැඩමවූසේක. නගරවින්දෙය්‍යක නම් බ්‍රාහ්මණ ගෘහපතීහු වනාහි, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මහත්වූ භික්ෂු සංඝයා සමග කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙනු ලබන්නේ නගරවින්දෙය්‍ය නම් බමුණු ගමට පැමිණියේය.

ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ යහපත් කීර්ති ශබ්දයක් පැනනැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුදු අර්හත් නම් වූයේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුදු සම්‍යක් සම්බුද්ධ නම් වූයේය. අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත හෙයින් විද්‍යාචරණ සම්පන්න නම් වන සේක. යහපත් ගති ඇති හෙයින් සුගත නම් වන සේක. සියලු ලොව දත් හෙයින් ලොකවිදූ නම් වන සේක. තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැති හෙයින් නිරුත්තර නම් වන සේක. දමනය නොකොට හැකි පුරුෂයන් දමනය කරණ හෙයින් පුරිසදම්ම සාරථි නම් වන සේක. දෙවි මිනිසුන්ට අනුශාසනා කරණ හෙයින් ශාස්තෲ නම් වනසේක. චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබොධ කළ හෙයින් බුද්ධ නම් වන සේක. රාගාදිය නැසූ හෙයින් භාග්‍යවත් නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූද, මාරයා සහිතවූද, බ්‍රහ්මයා සහිතවූද, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූද, දෙවි මිනිසුන් සහිතවූද, මේ ලොකය තමන් වහන්සේ විසින් විශෙෂ ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරන්නේය.

ඒ භාග්‍යවතුන් වහන්සේ මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, හාත්පස සම්පූර්ණවූ ධර්මය දෙශනා කරන්නේය. පිරිසිදුවූ බ්‍රාහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරන්නේය. එබඳුවූ රහතුන්ගේ දැකීම යහපත් වන්නේය’ කියායි.

එකල්හි වනාහි නගරවින්දෙය්‍යක නම් බ්‍රාහ්මණ ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි එළඹියාහුය. එළඹ, ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූවාහුය. සතුටු විය යුතුවූ, සිහි එලවිය යුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි ඇඳිළිබැඳ වැඳ, එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි නාම ගොත්‍රයන් හඟවා එකත්පසක හුන්නාහුය. ඇතැම් කෙනෙක් නිශ්ශබ්දව එකත්පසක හුන්නාහුය.

එකත්පසක හුන්නාවූ නගරවින්දෙය්‍යක නම් බ්‍රාහ්මණ ගෘහපතීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

‘ගෘහපතියෙනි, ඉදින් තොප අතින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ‘ගෘහපතියෙනි, කෙබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකට යුත්තාහුද, ගරුකාර නොකට යුත්තාහුද, බුහුමන් නොකට යුත්තාහුද, නොපිදිය යුත්තාහුදැ’යි මෙසේ විචාරන්නාහුද? ගෘහපතියෙනි, මෙසේ විචාරණ ලද්දාහු තොපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය. ‘යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇසින් දතයුතුවූ රූපාරම්මණයන්හි පහනොකළ රාගය ඇත්තාහුද, පහනොකළ ද්වෙෂය ඇත්තාහුද, පහනොකළ මොහය ඇත්තාහුද, ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු, කයින්ද, වචනයෙන්ද, මනසින්ද, කලින් කල යහපත්වූද, අයහපත්වූද, පැවතුමෙන් හැසිරෙත්ද, මෙබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකට යුත්තාහුය. ගරුකාර නොකට යුත්තාහුය. බුහුමන් නොකට යුත්තාහුය. නොපිදිය යුත්තාහුය.’

ඊට කාරණා කවරේද? අපිදු වනාහි ඇසින් දතයුතුවූ රූපාරම්මණයන් කෙරෙහි පහනොකරණ ලද රාග ඇත්තාහුය. පහනොකරණ ලද ද්වෙෂ ඇත්තාහුය. පහනොකරණ ලද මොහ ඇත්තාහුය. ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු කයින්ද, වචනයෙන්ද, සිතින්ද, කලින් කල සම විෂම චර්‍ය්‍යාවන්ගේ වශයෙන් හැසිරෙන්නමු. ඒ අපගේ මේ සම චර්‍ය්‍යා වශයෙන් හැසිරීමද මත්තෙහි නොදක්නවුන්ගේය. එහෙයින් පින්වත්වූ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකටයුත්තාහුය. ගරු නොකටයුත්තාහුය. බුහුමන් නොකටයුත්තාහුය. නොපිදිය යුත්තාහුය. යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ශ්‍රොතාවිඥෙය ශබ්දාරම්මණයන් කෙරෙහිද, ඝ්‍රාණ විඥෙය ගන්ධාරම්මණයන් කෙරෙහිද ජිහ්වා විඥෙය රසාරම්මණයන් කෙරෙහිද, කායවිඥෙය ස්පර්ශ ආරම්මණයන් කෙරෙහිද, සිතින් දැනගතයුතු ධර්මාරම්මණයන් කෙරෙහිද පහනොකරණලද රාග ඇත්තාහු, පහ නොකරණලද ද්වෙෂ ඇත්තාහු, පහනොකරණලද මොහ ඇත්තාහු, ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු කයින්ද, වචනයෙන්ද, මනසින්ද, කලින්කල සම විසමයන්ගේ වශයෙන් හැසිරෙත්ද, එබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර නොකළ යුත්තාහුය, ගරු නොකට යුත්තාහුය, බුහුමන් නොකට යුත්තාහුය, නොපිදිය යුත්තාහුය. ඊට කාරණා කවරේද? අපිදු වනාහි සිතින් දැනගතයුතු ධර්මාරම්මණයන්හි පහනොකළ රාගය ඇත්තාහු, පහනොකළ ද්වෙෂය ඇත්තාහු, පහනොකළ මොහය ඇත්තාහු, ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු කයින්ද, වචනයෙන්ද, මනසින්ද සම විසමචර්‍ය්‍යා වශයෙන් හැසිරෙමු. ඒ අපගේ මේ සමවූ හැසිරීමද, මතු නොබලන්නවුන්ගේය. එහෙයින් පින්වත්වූ ඒ මහණ බමුණෝ සත්කාර නොකට යුත්තාහුය, ගරු නොකටයුත්තාහුය, බුහුමන් නොකට යුත්තාහුය, නොපිදිය යුත්තාහුයි. ගෘහපතියෙනි, මෙසේ අසන ලද්දාවූ තොපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජිකයින්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය.

“ගෘහපතියෙනි, ඉදින් වනාහි තොපගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ අසන්නාහුද, ගෘහපතියෙනි, කෙබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර කටයුත්තාහුද, ගරු කටයුත්තාහුද, බුහුමන් කටයුත්තාහුද, පිදිය යුත්තාහුද කියායි. ගෘහපතියෙනි, මෙසේ අසන ලද්දාහු තොපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය. යම් ඒ මහණ බමුණු කෙනෙක් ඇසින් දතයුතු රූපාරම්මණයන් කෙරෙහි පහවූ රාග ඇත්තාහු, පහවූ ද්වෙෂ ඇත්තාහු, පහවූ මොහ ඇත්තාහු, ඇතුළත සන්සුන් සිත් ඇත්තාහු කයින්, වචනයින්, මනසින් සමචරියා වශයෙන් හැසිරෙද්ද, මෙබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර කටයුත්තාහුය, ගරු කටයුත්තාහුය, බුහුමන් කටයුත්තාහුය, පිදිය යුත්තාහුය. ඊට හේතු කවරේද? අපි වනාහි ඇසින් දතයුතුවූ රූපාරම්මණයන් කෙරෙහි පහනොවූ රාග ඇත්තාහු, පහනොවූ ද්වෙෂ ඇත්තාහු, පහනොවූ මොහ ඇත්තාහු, ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු, කයින්, වචනයින්, මනසින්, සම විසමචරියා වශයෙන් හැසිරෙන්නමු. ඒ අපගේ මේ සමචරියා වශයෙන් හැසිරීමද, මතු බලන්නවුන්ගේය. එහෙයින් ඒ පින්වත්වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර කටයුත්තාහුය, ගරු කටයුත්තාහුය, බුහුමන් කටයුත්තාහුය, පිදියයුත්තාහුය. යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් කණින් දතයුතුවූ ශබ්දාරම්මණයන්හිද, නාසයෙන් දතයුතුවූ ගන්ධා රම්මණයන්හිද, දිවෙන් දතයුතුවූ රසාරම්මණයන්හිද, කයින් දතයුතුවූ ඵොට්ඨබ්බාරම්මණයන්හිද, සිතින් දත යුතුවූ ධර්මාරම්මණයන්හිද, පහවූ රාග ඇත්තාහු, පහවූ ද්වෙෂ ඇත්තාහු, පහවූ මොහ ඇත්තාහු, ඇතුළත සන්සුන් සිත් ඇත්තාහු, කයින් වචනයින්, මනසින්, සම හැසිරීමෙන් හැසිරෙත්ද, මෙබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර කටයුත්තාහුය, ගරු කටයුත්තාහුය, බුහුමන් කටයුත්තාහුය, පිදිය යුත්තාහුය. ඊට හේතු කවරේද? අපි වනාහි සිතින් දතයුතුවූ ධර්මයන් කෙරෙහි පහනොවූ රාග ඇත්තාහු, පහනොවූ ද්වෙෂ ඇත්තාහු, පහනොවූ මොහ ඇත්තාහු, ඇතුළත නොසන්සුන් සිත් ඇත්තාහු, කයින්, වචනයින්, මනසින්, කලින් කල සම විසම වශයෙන් හැසිරෙන්නමු. ඒ අපගේ මේ සම චරියා වශයෙන් හැසිරීම්ද, මතු බලන්නවුන්ගේය. එහෙයින් පින්වත්වූ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්කාර කටයුත්තාහ, ගරු කටයුත්තාහ, බුහුමන් කටයුත්තාහ පිදිය යුත්තාහුයි. ගෘහපතියෙනි, මෙසේ විචාරණ ලද්දාහු තොපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නහුය.

“ගෘහපතියෙනි, ඉදින් වනාහි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොප අතින් මෙසේ විචාරන්නාහුද, ආයුෂ්මත්නි, යම් හෙයකින් තොපි මෙසේ කියන්නාහුද, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු, පහවූ රාග ඇත්තාහු හෝ වෙත්, රාගය දුරු කිරීම පිණිස පිළිපන්නාහු හෝ වෙත්, පහකරණ ලද ද්වෙෂ ඇත්තාහු හෝ වෙත්, ද්වෙෂය නැති කිරීම පිණිස පිළිපන්නාහු හෝ වෙත්, පහකරණලද මොහය ඇත්තාහු හෝ වෙත්, මොහය දුරු කිරීම පිණිස පිළිපන්නාහු හෝ වෙත් ඒ ආයුෂ්මත් වරුන්ගේ වනාහි කවර ආකාරයක් වන්නාහුද, කවර වංශයක් වන්නාහුද කියායි. ගෘහපතියෙනි, මෙසේ අසන ලද්දාහු තොපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය. එපරිද්දෙන් වනාහි ඒ ආයුෂ්මත්හු වනයෙහි ග්‍රාමාන්තය ඉක්මවා වනගතවූ ග්‍රාමාන්ත සේනාසනයන් සේවනය කරත්. යම්බඳු රූපයන් දැක දැක ඇලෙන්නාහුද, එහි එබඳුවූ ඇසින් දතයුතුවූ රූපයෝ නැත්තාහුමය. යම්බඳුවූ ශබ්දයන් අස අසා ආශාවෙන් සිත් අලවන්නාහුද, එහි එබඳුවූ කණින් දතයුතුවූ ශබ්දයෝ නැත්තාහුමය. යම් සුවඳක් ආඝ්‍රාණය කොට සිත් අලවන්නාහුද, එබඳුවූ නාසයෙන් දතයුතුවූ සුගන්ධයෝ එහි නැත්තාහුමය. යම් රසයක් විඳ විඳ සිත් අලවන්නාහුද, එබඳුවූ දිවෙන් දතයුතුවූ රසයෝ එහි නැත්තාහුමය. යම් ස්පර්ශයක් ස්පර්ශ කොට සිත් අලවන්නාහුද, එබඳුවූ කයින් දතයුතුවූ ස්පර්ශයෝ එහි නැත්තාහුමය. ඇවැත්නි, මේ ආකාර ඇත්තාහුමය. මේ වංශ ඇත්තාහුමය. ආයුෂ්මත්නි, යම් හෙයකින් අපි මෙසේ කියන්නෙමුද, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු පහ කරණලද රාග ඇත්තෝ හෝ රාගය දුරුකිරීම පිණිස පිළිපන්නේ හෝ පහකරණ ලද ද්වෙෂය ඇත්තේ හෝ ද්වෙෂය දුරු කිරීම පිණිස පිළිපන්නේ හෝ පහකරණලද මොහය ඇත්තෝ හෝ මොහය දුරුකිරීම පිණිස පිළිපන්නෝ වෙත්යයි, ගෘහපතියෙනි, මෙසේ අසන ලද්දාහු තොපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියන්නාහුයයි වදාළේය.

මෙසේ වදාළ කල්හි නගරවින්දෙය්‍යක නම් බ්‍රාහ්මණ ගෘහපතිහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළාහුය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, ඉතා යහපත භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරණලද්දක් උඩුකුරු කරන්නේ හෝ වසන ලද්දක් විවෘත කරන්නේ හෝ මංමුලාවූවෙක්හට

මග කියන්නේ හෝ අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි, තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය තෙමේ ප්‍රකාශ කර වදාරණ ලද්දේය. ඒ අපි භාග්‍යවත්වූ ගෞතමයන් වහන්සේද, ධර්මයද, භික්ෂූ සංඝයාද සරණකොට යන්නෙමු භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියාවූ අපි උපාසකයන් කොට දරණ සේක්වායි” යනුයි.

නගරවින්දෙය්‍ය සූත්‍රය නිමි. (5-8)