මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

5. සළායතන වර්ගය

151. පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළැඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ශාරීපුත්‍රය, තොපගේ ඉන්ද්‍රියයෝ විශෙෂයෙන් ප්‍රසන්නයහ. ඡවිවර්ණය පිරිසිදුය. ශාරීපුත්‍රය, ඔබ දැන් කවර විහරණයකින් බහුලව වසන්නෙහි දැයි ඇසූහ. “ස්වාමීනි, මම මේ කාලයෙහි බහුලකොට ශූන්‍යතා ඵලසමාපත්ති විහරණයෙන් වෙසෙමි” යි කීයේය.

“යහපති, යහපති. ශාරීපුත්‍රය, මහාපුරුෂයන්ගේ විහරණයෙන් ඔබ දැන් බහුලව වෙසෙයි. ශාරීපුත්‍රය, යම් මේ ශූන්‍යතා ඵල සමාපත්තියක් වේද, එය මහාපුරුෂයන්ගේ වාසය වන්නේය. එහෙයින් ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම බහුලකොට ඵලසමාපත්ති විහරණයෙන් යුක්තව වසන්නෙමියි, කැමති වන්නේද, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතුයි. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මාර්ගයකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහිදී චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි කැමැත්ත හෝ ඇලීම හෝ ද්වෙෂය හෝ මුළාවීම හෝ කිපීම හෝ මාගේ සිතෙහි ඇත්තේද’ කියායි. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ‘මම යම් මඟකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසෙක්හි පිඬු පිණිස හැසුරුණෙම්ද, යම් මාර්ගයකින් ගමේ පිඬු සිඟීමෙන් වැළකී ආයෙම්ද, එතැන්හි චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි කැමැත්ත හෝ ඇලීම හෝ ද්වෙෂය හෝ මෝහය හෝ කිපීම හෝ ඇතැයි’ දනී නම් ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුසල කර්මයන්ගේම ප්‍රහාණය පිණිස වෑයම් කටයුතුය. ඉදින් වනාහි ශාරීපුත්‍රය, මෙනෙහි කරන්නාවූ ඒ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි ඡන්දය හෝ ඇලීම හෝ ද්වෙෂය හෝ මෝහය හෝ කිපීම හෝ නැතැයි’ දනී නම් ශාරීපුත්‍රය, රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළ යුතුය.

“ශාරීපුත්‍රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කටයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ශ්‍රොතා විඥානයෙන් දතයුතුවූ ශබ්දයන්හිද, ඡන්දය හෝ රාගය හෝ ද්වෙෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි’ මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හි කණින් දතයුතුවූ ශබ්දයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම් ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණිය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි කණින් දතයුතුවූ ශබ්දයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වෙෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි’ දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළ යුතුය.

“ශාරීපුත්‍රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින්කල්පනා කටයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ඝ්‍රාණ විඥානයෙන් දතයුතුවූ ගන්ධයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වෙෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් කල්පනා කොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හි නාසයෙන් දතයුතුවූ ගන්ධයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණිය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි නාසයෙන් දතයුතුවූ, ගන්ධයන්හි ඡන්දය හෝ ද්වෙෂය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළයුතුය.

“ශාරීපුත්‍රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, ජිහ්වා විඥානයෙන් දතයුතුවූ රසයන්හිද, ඡන්දය හෝ රාගය හෝ ද්වෙෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එතැන්හි දිවෙන් දතයුතුවූ රසයන්හි මා සිත පිළිබඳ ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනා කොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි දිවෙන් දතයුතුවූ රසයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වෙෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළයුතුය.

“ශාරීපුත්‍රය, නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගෙකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, කාය විඥානයෙන් දතයුතුවූ ස්පර්ශයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වෙෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එතැන්හි කයෙන් දතයුතුවූ ස්පර්ශයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුය. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනා කොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගෙකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි කයින් දතයුතුවූ ස්පර්ශයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වෙෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළයුතුය.

“ශාරීපුත්‍රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය. ‘මම යම් මගකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, මනොවිඥානයෙන් දතයුතුවූ ධර්මයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වෙෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය. ශාරීපුත්‍රය, ඉදින් මහණ තෙම නුවණින් කල්පනාකොට බලන්නේ මෙසේ දකීද, ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මගකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළැකී පෙරළා ආයෙම්ද, එතැන්හී සිතින් දතයුතුවූ ධර්මයන්හි මා සිත පිළිබඳව ඡන්දය හෝ රාගය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ ඇතැයි’ දනී නම්, ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුශල ධර්මයන්ගේම ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුයි. ශාරීපුත්‍රය, ඉදින් වනාහි නුවණින් කල්පනාකොට බලන්නාවූ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි සිතින් දතයුතුවූ, ධර්මයන්හි ඡන්දය හෝ රාගය හෝ ද්වෙෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ නැතැයි’ දනී නම් රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළ යුතුය.

‘නැවතද ශාරීපුත්‍රය, මහණහු විසින් මාගේ පස්කම් ගුණයෝ ප්‍රහීණවූවාහුදැයි මෙසේ සැලකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, නුවණින් සලකන්නාවූ මහණතෙමේ “මා විසින් පස්කම් ගුණ ප්‍රහාණය නොකරන ලද්දාහ”යි දනී නම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චකාම බන්ධනයන්ගේ පහකිරීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, නුවණින් කල්පනා කරන්නාවූ මහණතෙමේ ‘මා විසින් පඤ්චකාම ගුණයෝ පහකරන ලද්දාහුය’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුශල ධර්මයන්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන් යුක්තවම විසිය යුතුයි.

“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් පඤ්චනීවරණයෝ පහකරන ලද්දාහුදැ”යි භික්ෂුව විසින් මෙසේ නුවණින් සැලකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙමේ මෙනෙහි කරන්නේ ‘මා විසින් පඤ්චනීවරණයෝ පහනොකරන ලද්දාහ’යි මෙසේ දනී නම් ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චනීවරණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කළ යුතුය. ඉදින් වනාහි ශාරීපුත්‍රය, මහණ තෙමේ මෙනෙහි කරන්නේ ‘මාගේ පඤ්චනීවරණයෝ ප්‍රහීණ වූවාහ’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් වාසය කළ යුතුය.

“නැවතද ශාරීපුත්‍රය, භික්ෂුව විසින් ‘මා විසින් පඤ්ච උපාදානස්කන්ධයෝ මෙනෙහි කරන්නේ පිරිසිඳ දන්නා ලද්දාහුදැ’යි නුවණින් මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණතෙමේ ‘මා විසින් පඤ්චඋපාදානස්කන්ධයෝ පිරිසිඳ නොදන්නා ලද්දාහුය’යි දනී නම් ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චඋපාදානස්කන්ධයන් පිරිසිඳ දැනීම පිණිස උත්සාහ කටයුතුය. ඉදින් වනාහි ශාරීපුත්‍රය, නුවණින් සලකන්නාවූ මහණතෙම ‘මා විසින් පඤ්චඋපාදානස්කන්ධයෝ පිරිසිඳ දන්නා ලද්දාහුය’යි මෙසේ දනී නම් ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුශල ධර්මයන්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් ඒ ප්‍රීතියෙන් විසිය යුතුය.

“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහුදැයි’ භික්ෂුව විසින් මෙසේ මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ මෙසේ මෙනෙහි කරන්නේ ‘මා විසින් සතර සතිපට්ඨානයෝ නොවඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරිපුත්‍රය, ඒ භික්ෂුව විසින් සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිස උත්සාහ කළයුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ නුවණින් සලකන්නේ, ‘මා විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.

“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ වඩන ලද්දාහුදැ’යි මහණහු විසින් මෙසේ නුවණින් කල්පනා කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මෙසේ කල්පනා කරන්නාවූ මහණ තෙමේ ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ නොවඩන ලද්දාහයි’ මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ මහණ විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයන්ගේ වැඩීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙසේ මෙනෙහි කරන්නේ ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ වඩන ලද්දාහ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුතුව) විසිය යුතුය.

“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සතර ඍද්ධිපාදයෝ වඩනා ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙනෙහි කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙසේ මෙනෙහි කරන්නේ ‘මා විසින් සතර ඍද්ධිපාදයෝ නොවඩනා ලද්දාහයි’ මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් සතර ඍද්ධිපාදයන්ගේ වැඩීම පිණිස උත්සාහ කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම නුවණින් කල්පනා කරන්නේ ‘මා විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහයි’ මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, රෑ දාවල්හි කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.

“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් පඤ්චෙන්ද්‍රියයෝ වඩන ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ නුවණින් සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, භික්ෂු තෙම මෙසේ සලකන්නේ ‘මා විසින් පඤ්චෙන්ද්‍රියයෝ නොවඩනා ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චෙන්ද්‍රියයන් වැඩීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මෙනෙහි කරන්නාවූ භික්ෂු තෙම ‘මා විසින් පඤ්චෙන්ද්‍රියයෝ වඩන ලද්දාහ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.

“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් පඤ්බලයෝ වඩනා ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ (නුවණින්) සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙසේ නුවණින් බලන්නේ ‘මා විසින් පඤ්ච බලයෝ නොවඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් පඤ්චබල වඩනු පිණිස වෑයම් කළයුතුය. ඉදින් ශාරීපුත්‍රය, මෙනෙහි කරන්නාවූ මහණතෙමේ ‘මා විසින් පඤ්චබල වඩන ලද්දාහ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.

“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සප්තබෝධ්‍යංගයෝ වඩන ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම නුවණින් බලන්නේ ‘මා විසින් සප්තබොධ්‍යංගයෝ නොවඩන ලද්දාහුය’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් සප්තබෝධ්‍යංගයන්ගේ වැඩීම පිණිස උත්සාහ කටයුතුය. ඉදින් ශාරීපුත්‍රය, භික්ෂු තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් සප්තබෝධ්‍යංගයෝ වඩන ලද්දාහුය’යි මෙසේ දනී නම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.

“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේදැ’යි භික්ෂුව විසින් මෙසේ (නුවණින්) සැලැකිය යුතුය. ඉදින් ශාරීපුත්‍ර තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්ගය නොවඩන ලදැ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ මහණ විසින් ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්ගය වඩන පිණිස වෑයම් කළයුතුය, ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ මෙනෙහි කරන්නේ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය වඩන ලදැ’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි දිවා රෑ දෙක්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.

“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සමථයත් විදර්ශනාවත් වඩන ලද්දාහුදැ’යි භික්ෂුව විසින් මෙසේ (නුවණින්) සැලැකිය යුතුය ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ ‘මා විසින් සමථයද, විදර්ශනාවද නොවඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් සමථ විදර්ශනා වන්ගේ වැඩීම පිණිස වෑයම් කළයුතුය. ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් සමථයද විදර්ශනාවද වඩන ලද්දාහුය’යි මෙසේ දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි දිවා රෑ දෙක්හි හික්මෙන්නාවු ඒ භික්ෂුව විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.

“නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් විද්‍යාව (ඵලඤාණය) ද විමුක්තිය (ඵලසම්ප්‍රයුක්ත සෙසු ධර්මයෝ) ද ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහුදැයි” භික්ෂුව විසින් මෙසේ (නුවණින්) මෙනෙහි කළ යුතුය, ඉදින් ශාරීපුත්‍රය, මහණ තෙමේ (නුවණින්) සලකන්නේ, ‘මා විසින් විද්‍යාවද විමුක්තියද ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දාහුයයි’ මෙසේ දනීනම් ශාරිපුත්‍රය, ඒ මහණ විසින් විද්‍යා විමුක්තීන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වෑයම් කළ යුතුය. ඉදින් ශාරිපුත්‍රය, මහණ තෙම මෙනෙහි කරන්නේ ‘මා විසින් විද්‍යාවද, විමුක්තියද ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහුය’යි මෙසේ දනී නම් ශාරීපුත්‍රය, කුසල් දහම්හි රෑ දාවල් දෙක්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂූව විසින් එම ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් (යුක්තව) විසිය යුතුය.

‘ශාරීපුත්‍රය, අතීත කාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ පිණ්ඩපාතය පිරිසිදු කළාහුද, ඒ සියල්ලෝ මෙසේ මෙනෙහිකොට මෙනෙහිකොට පිණ්ඩපාතය පිරිසිදු කළහ. ශාරීපුත්‍රය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනාගතයෙහි පිණ්ඩපාතය පිරිසිදු කරන්නාහුද, ඒ සියල්ලෝ මෙසේම මෙනෙහිකොට මෙනෙහිකොට පිණ්ඩපාතය පිරිසිදු කරන්නාහුය ශාරීපුත්‍රය, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ දැන් (මෙකල) පිණ්ඩපාතය පිරිසිදු කෙරෙද්ද, ඒ සියල්ලෝ මෙසේම පිණ්ඩපාතය පිරිසිදු කෙරෙති. එහෙයින් ශාරීපුත්‍රය, තොප විසින් ප්‍රත්‍යවෙක්ෂා කොට ප්‍රත්‍යවෙක්ෂා කොට පිණ්ඩපාතය පිරිසිදු කරන්නෙමුයි’ මෙසේ හික්මිය යුතුයි. ශාරීපුත්‍රය තොප විසින් මෙසේම හික්මිය යුතුයයි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.

නවවැනි පිණ්ඩපාත පාරිසුද්ධි සූත්‍රය නිමි. (5-9)