මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

5. සළායතන වර්ගය

152. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කජංගල නම් නියම්ගම සමීපයෙහිවූ මුවෙලු වෙනෙහි (මුඛෙලු නම් එක් වෘක්ෂ විශෙෂයෙකි. ඒ මුවෙලු රුකින් ගැවසීගත් මහ වනලැහැබෙක) වැඩවසන සේක. ඉක්බිති “පාරාසරිය” නම් බමුණාගේ අතවැසිවූ “උත්තර” නම් මානවකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පස්ව උන්නාවූ පාරාසරිය බ්‍රාහ්මණයාගේ අතවැසිවූ උත්තර නම් මානවකයාට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. “උත්තරය, පාරාසරිය බ්‍රාහ්මණ තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දෙශනා කෙරේදැයි’ ඇසූහ. “ගෞතමයන් වහන්ස, පාරාසරිය, බමුණු තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දෙශනා කෙරේයයි” (කීය.)

“උත්තරය, ඒ කෙසේ වනාහි පාරාසරිය බමුණු තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දෙශනා කෙරේදැයි” වදාළසේක. “භවත් ගෞතමයන් වහන්ස, මේ ලොකයෙහි ඇසින් රූපය නොබලයි. කණින් ශබ්දය නොඅසයි. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ පාරාසරිය බමුණුතෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දෙශනා කෙරේ” (යයි කීය.)

“උත්තරය, පාරාසරිය බමුණාගේ වචනය යම් ප්‍රකාරයකින් වේද, එසේ ඇති කල්හි වනාහි අන්ධතෙම වඩන ලද ඉඳුරන් ඇත්තෙක් වන්නේය. බිහිරා වඩනලද ඉඳුරන් ඇත්තෙක් වන්නේය. ඒ එසේමැයි, අන්ධ තෙමේ රූප නොදකී. බිහිරා හඬ නොඅසායයි” (වදාළසේක.)

මෙසේ වදාළ කල්හි පාරාසරිය බමුණාගේ අතවැසිවූ උත්තර මානවක තෙමේ නිහඬ බවට පැමිණියේ තේජස් රහිත බවට පැමිණියේ කරබා ගත්තේ යට හෙලා ලු මුව ඇත්තේ සිතිවිලි සිතමින් වැටහීම නැත්තෙක්ව හුන්නේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරාසරිය බමුණාගේ අතැවැසිවූ, නිශ්ශබ්දවූ, තේජස් නැති බවට පැමිණියාවූ, කරබාගත් මුහුණ පහත් කරගෙන කල්පනා කරන්නාවූ, කරුණු නොවැටහෙන්නාවූ උත්තර මානවකයා දැක, ආයුෂ්මත් ආනන්දස්ථවිරයන්ට කථා කළසේක. ආනන්දය, පරාසරිය බමුණා ශ්‍රාවකයන්ට ඉඳුරන් වැඩීම අන් ආකාරයකින් කියයි. ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව අන් ආකාරයකින් වේයයි (වදාළසේක.)

“යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව දෙශනා කරන්නේ නම් භාග්‍යවතුන් වහන්ස, මේ එයට කල් වන්නේය. සුගතයන් වහන්ස, මේ එයට කල් වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුයයි” (කීය.)

“එසේවී නම් ආනන්දය, අසව මනාකොට මෙනෙහිකරව. කියන්නෙමි”යි වදාළේය. “එසේය, වහන්සැ”යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවත්හට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

“ආනන්දය, කෙසේ වනාහි ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව වේද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණහට ඇසින් රූප දැක ඇලීම උපදියිද, කිපීම උපදියිද, සිත ඇලීම හා කිපීම උපදියිද, හෙතෙම මෙසේ මට ලොභය උපන්නේය. ද්වෙෂය උපන්නේය. ලොභය හා ද්වෙෂය උපන්නේය. එය වනාහි ප්‍රත්‍යයන් විසින් කරන ලද්දේය. ඕළාරිකය, හේතුවෙන් උපන්නේය. යම් මේ විදර්ශනොපෙක්ෂාවක් වේද, එය ශාන්තය. එය ප්‍රණීතයයි දනීද, ඔහුට උපන් ඒ ලොභ සිතද, උපන් කෝප සිතද, ලොභ සිත හා කෝප සිතද නිරුද්ධ වෙයි. විදර්ශනා උපෙක්ෂාව මනාව පිහිටයි. ආනන්දය, යම්සේ වනාහි පිරිසිදු ඇස් ඇති පුරුෂයෙක් ඇස්පිය අරින්නේද, ඇස් ඇර පියන්නේද, ආනන්දය, එපරිද්දෙන්ම යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන් උපන් ලොභ සිතද, උපන් කෝප සිතද, උපන් ලොභ සහ කෝප සිතද නිරුද්ධ වෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටී. ආනන්දය, ආර්‍ය්‍යවිනයයෙහි මෙය ඇසින් දතයුතුවූ රූපාරම්මණයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.

“නැවතද ආනන්දයෙනි, භික්ෂුවට කණින් (ශ්‍රොත විඥානයෙන්) ශබ්ද අසා මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනීද, මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වෙෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්‍ශනා) උපෙක්‍ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයි. විදර්‍ශනොපෙක්‍ෂාව මනාව සිටීයයි ආනන්දයෙනි, යම්සේ වනාහි ශක්තිමත් පුරුෂයෙක් අසුර ගසන්නේද, එපරිද්දෙන්ම ආනන්දයෙනි, යම් කිසිවෙකුට මෙසේ වහා මෙසේ ඉක්මනින් මෙසේ පහසුවෙන් උපන් මනාපවූ සිතද, උපන් අමනාපවූ සිතද උපන් මනාප අමනාප සිතද, නිරුද්ධ වෙයි. විදර්‍ශනොපෙක්‍ෂාව මනාව සිටීද, ආනන්දය, මෙය ආර්‍ය්‍ය විනයයෙහි කණින් දතයුතුවූ ශබ්දයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.

“නැවතද ආනන්දයෙහි, මහණහට ඝ්‍රාණවිඥානයෙන් (නැහැයෙන්) ගඳ ආඝ්‍රාණයකොට මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී. මට මේ ලොභ සහගත සිත උපන්නේය. ද්වෙෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය, මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටී. ආනන්දයෙනි, යම්සේ වනාහි මඳක් නැබුරුවූ නෙලුම් කොළයෙකැ වැටෙන්නාවූ දියබින්දු නොසිටිද්ද, එපරිද්දෙන්ම ආනන්දයෙනි, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන්, උපන් මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයිද, විදර්ශනොපෙක්ෂාව මනාව සිටීද, ආනන්දයෙනි, මෙය ආර්ය විනයයෙහි නාසයෙන් දතයුතුවූ ගන්ධයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.

‘නැවතද ආනන්දය, භික්ෂුහට ජිව්හා විඥානයෙන් (දිවෙන්) රස විඳගෙන මනාප සිත උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී. මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වෙෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයි. විදර්ශනාඋපෙක්ෂාව මනාව පිහිටයි. ආනන්දයෙනි, යම්සේ ශක්තිය ඇති පුරුෂයෙක් දිවග කෙළ පිඩක් එකතුකොට පහසුවෙන් කෙළගසන්නේද, එපරිද්දෙන්ම ආනන්දය, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන්, උපන් මනාප සිතද, අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව පිහිටයිද ආනන්දය, එය ආර්ය විනයෙහි දිවෙන් දතයුතු රසයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.

“නැවතද ආනන්දය, මහණහට කයින් පහස ස්පර්ශකොට මනාපවූ සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වෙෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය, ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයි. විදර්ශනොපෙක්ෂා මනාව පිහිටයි. ආනන්දය, යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළුෑ අත හෝ දිගහරින්නේද, දික්කළ අත හෝ වක් කරන්නේද, එපරිද්දෙන්ම ආනන්දය, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන්, උපන් මනාප සිතද, අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයිද, විදර්ශනොපෙක්ෂාව මනාව සිටීද, ආනන්දය, මෙය ආර්ය විනයෙහි කයින් දතයුතු ස්පර්ශයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.

‘නැවතද ආනන්දය, මහණහට මනසින් ධර්මාරම්මණයන් දැන මනාප සිත උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී. මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වෙෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටී. ආනන්දයෙනි, යම්සේ වනාහි ශක්ති ඇති පිරිමියෙක් දවස මුළුල්ලෙහි තැවුණු යකඩ තැටියක දිය බින්දු දෙකක් හෝ තුනක් හෝ හෙලන්නේද, ආනන්දයෙනි, ඒ දිය බින්දු වැටීම හෙමිහිටය. එතකුදුවුවත් වහාම ඒ දිය බින්දු හාත්පස ක්ෂයවීමට වැනසීමට යන්නේද, එපරිද්දෙන්ම ආනන්දයෙනි, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන් උපන් මනාප සිතද, අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයිද, විදර්ශනොපෙක්ෂාව මනාව සිටීද, ආනන්දයෙනි, එය ආර්යවිනයයෙහි සිතින් දතයුතුවූ, ධර්මාරම්මණයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.

“ආනන්දයෙනි, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයයෙහි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව වේ” (යයි වදාළසේක.)

“නැවතද ආනන්දය, කෙසේ නම් ශෛක්ෂ තෙමේ ප්‍රතිපදාවෙන් යුක්තවේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණහට ඇසින් රූප දැක මනාප සිතද උපදී, අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප අමනාප සිත කරණකොටද හැකිලෙයි, ලජ්ජා වෙයි, පිළිකුල් කෙරෙයි. කණින් ශබ්ද අසා මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද හැකිලෙයි, ලජ්ජාවෙයි, පිළිකුල් කෙරෙයි. නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට මනාප සිතද උපදී, අමනාප සිතද උපදී, මනාප-අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද, හැකිලෙයි, ලජ්ජාවෙයි. පිළිකුල් කෙරෙයි. දිවෙන් රස ආස්වාදනයකොට (විඳ) මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණකොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද හැකිලෙයි, ලජ්ජාවෙයි, පිළිකුල් කෙරෙයි. කයින් ප්‍රෂ්ටව්‍යය ස්පර්ශකොට මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිත කරණ කොටද, උපන් අමනාප සිත කරණකොටද, උපන් මනාප-අමනාප සිත කරණකොටද, හැකිලෙයි, ලජ්ජාවෙයි, පිළිකුල් කෙරෙයි. සිතින් ධර්මාරම්මණය දැන මනාපවූ සිතද උපදී. අමනාපවූ සිතද උපදී. මනාප-අමනාපවූ සිතද උපදී. හෙතෙම උපන් ඒ මනාප සිතින්ද, උපන් අමනාප සිතින්ද, උපන් මනාප අමනාප සිතින්ද කරණකොටගෙන හැකිලෙයි, ලජ්ජා වෙයි, පිළිකුල් කෙරෙයි, ආනන්දය, මෙසේ වනාහි ශෛක්ෂ තෙමේ පිළිපැදීමෙන් යුක්ත වේ.

“ආනන්දය, කෙසේ නම් ආර්‍ය්‍යතෙමේ වැඩුණු ඉඳුරන් ඇත්තේ වේද, ආනන්දය; මේ ශාසනයෙහි මහණහට ඇසින් රූප දැක මනාප සිත උපදීද, අමනාපවූ සිත උපදීද, මනාප අමනාපවූ සිතද උපදී. ඉදින් පිළිකුල් අරමුණෙහි ‘අප්‍රතිකූල සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි අප්‍රතිකූල සංඥාව ඇත්තෙක්ව වාසය කෙරේ. ඉදින් පිළිකුල් නොවූ අරමුණෙහි ‘පිළිකුලය යන සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුලය යන හැඟීම ඇත්තෙක්ව වාසය කෙරේ. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද නොපිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල්ය යන සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි අප්‍රතිකූල සංඥාව ඇත්තෙක්ව වසයි. ‘ඉදින් නොපිළිකුල් අරමුණෙහිද පිළිකුල් අරමුණෙහිද පිළිකුල් සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුලය යන සංඥාව ඇත්තෙක්ව වසයි. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද (පිළිකුලය නොපිළිකුලය යන) ඒ සංඥා දෙකම හැර සිහි ඇත්තෙක්ව, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව, උපෙක්ෂා ඇත්තෙක්ව (මැදහත්ව) වසන්නෙමි’යි කැමැති වේද, සිහියෙන් යුක්තව නුවණින් යුක්තව, මැදහත්ව වාසය කෙරේ.

“නැවතද ආනන්දය, කණින් ශබ්ද අසා, නාසයෙන් ආඝ්‍රාණය කොට, දිවෙන් රස විඳ, කයින් ස්පර්ශකොට, සිතින් ධර්මයන් දැන, මනාප සිත උපදීද, අමනාප සිත උපදීද, මනාප අමනාප සිත උපදීද, ‘ඉදින් පිළිකුල් අරමුණෙහි නොපිළිකුලය යන සංඥාව ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැති වේද, එහි නොපිළිකුල්ය යන සංඥාව ඇතිව වාසය කෙරෙයි. ඉදින් නොපිළිකුල් අරමුණෙහි පිළිකුල්ය යන සංඥා ඇත්තෙක්ව වසන්නෙමි’යි කැමැතිවේද, එහි පිළිකුල්ය යන සංඥා ඇතිව වාසය කෙරෙයි. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද නොපිළිකුල්ය යන සංඥා ඇතිව වසන්නෙමි’යි කැමැති වේද, එහි නොපිළිකුල්ය යන සංඥා ඇතිව වාසය කෙරෙයි.. ‘ඉදින් නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, පිළිකුල් සංඥා ඇතිව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුල්ය යන සංඥා ඇතිව වසයි. ‘ඉදින් නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, පිළිකුල්ය යන සංඥා ඇතිව වසන්නෙමි’යි කැමැති වේද, එහි පිළිකුල්ය යන සංඥා ඇතිව වසයි. ‘ඉදින් පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද, ඒ පිළිකුල් නොපිළිකුල් දෙකද හැර සිහි නුවණින් යුක්තව, උපෙක්ෂාව ඇත්තෙක්ව, වසන්නෙමි’යි කැමැති වේද, එහි සිහි නුවණින් යෙදී මැදහත්ව වසයි. ආනන්දය, මෙසේ වනාහි ආර්‍ය්‍යතෙමේ වඩනලද ඉඳුරන් ඇත්තේ වේ.

“ආනන්දයෙනි, මෙසේ වනාහි මා විසින් ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ, ඉන්ද්‍රිය භාවනාව දෙශනා කරනලදී. ශෛක්ෂ ප්‍රතිපදාව ඇති පුද්ගලයා දෙශනා කරන ලද්දේය. වඩනලද ඉන්ද්‍රියයන් ඇති ආර්‍ය්‍යතෙම දෙශනා කරන ලද්දේය. ආනන්දයෙනි, ශ්‍රාවකයනට හිතෛෂීවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲන් විසින් අනුකම්පා පිණිස යමක් කටයුතුද, එය මා විසින් තොපට කරනලදී. ආනන්දය, ඒ වෘක්ෂමූලයෝ වෙති. ඒ සූන්‍යාගාරයෝ වෙති. ආනන්දය, භාවනා කරව්. පමා වූවෝ නොවව්. පසුව විපිළිසර වූවෝ නොවව්. මේ තොපට අපගේ අනුශාසනයයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. සතුටු සිතැති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

දශවැනිවූ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය නිමි. (5-10)

පස්වැනිවූ සළායතන වර්ගයයි.

උපරිපණ්ණාසකය නිමි.

තීහි පණ්ණාසකෙහි පටිමණ්ඩිතො සකලො

මජ්ඣිමනිකායො සමත්තො.