මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

2. භික්ෂු වර්ගය

62. මහා රාහුලොවාද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු මහ සිටුහුගේ ජෙතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවත් නුවරෙහි පිඬු පිණිස වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේද පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් ගියේය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දෙස හැරී බලා මෙසේ කීහ.

“රාහුල, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද තමා තුළ පිහිටියාවූ හෝ බාහිරවූ හෝ ඔලාරික (මහත්) වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උසස්වූ හෝ යම් කිසි රූපයක් වේද, දුරෙහිවූ හෝ සමීපයෙහිවූ හෝ යම් රූපයක් වේද ඒ සියලු රූපය මාගේ නොවේය. ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි, මෙසේ ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.

“භාග්‍යවතුන් වහන්ස, රූපය පමණක්ද? සුගතයන් වහන්ස, රූපය පමණක්ද?

“රාහුල, රූපයද; රාහුල, වේදනාවද; රාහුල, සංඥාවද; රාහුල, සංස්කාරයෝද; රාහුල, විඥානයද (එසේය.)”

ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිරතෙමේ “භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් අවවාදයක් ලැබූ කවරෙක් ගමට පිඬු පිණිස යන්නේදැ”යි (සිතා) එයින් නැවතී එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරි කොට උපදවා හුන්නේය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරිකොට උපදවා වැඩහුන් ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දැක, ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්හට මෙසේ කීහ. “රාහුල, ආණාපාණසති භාවනාව වඩව. රාහුල, ආණාපාණසති භාවනාව වඩව. රාහුල, ආණාපාණසතිය වඩන ලද්දී, බහුල වශයෙන් කරණ ලද්දී, මහත්ඵල වෙයි. මහානිශංස වෙයි.”

ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙම සවස් කාලයෙහි සිත එකඟ කිරීමෙන් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, කෙසේ වඩනලද, කෙසේ බහුල වශයෙන් කරණලද ආණාපාණසතිය මහත්ඵල මහානිශංස වේද?”

“රාහුල, තමා කොට ගන්නා, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිතවූ යම් කර්කශ බවක්, තද බවක් වේද, එනම්: කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු (බඩවැල), අතුනුබහන් (බඩවැල දරණු), නොපැසුණු ආහාර, ආහාර මල යන මොහුයි. තමා කොට ගන්නා එයින් අන්‍යවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් කිසි තදබවක්, රළු බවක් වේද, රාහුල, මේ තමා තුළ පවත්නා පෘථිවිධාතුව යයි කියනු ලැබේ. යම් තමා තුළ පවත්නා පෘථිවිධාතුවක් වේද, යම් බාහිර පෘථිවිධාතුවක් වේද, මේ දෙකම පඨවි ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ එය තත්වූ පරිදි (ඇතිසැටියෙන්) යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක පඨවි ධාතුවෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඇලෙයි.

“රාහුල, ආපො ධාතුව කවරීද, අධ්‍යාත්ම ආපො ධාතුවක් වන්නේය. බාහිර ආපො ධාතුවක් (ද) වන්නේය. රාහුල, අධ්‍යාත්ම ආපෝ ධාතුව කවරීද, තමා තුළ පවත්නා වූ යම් දියාරු බවක්, වැගිරීමක් වේද, එනම්: පිත, සෙම, සැරව, ලෙහෙ, ඩහදිය, මෙදතෙල, කඳුලු, මස් තෙල, කෙල, සොටු, (ඇටසන්ධිවල සිටි-) සඳමිඳුලු, මුත්‍ර යන මොහුද, මෙයින් අන්‍ය වූ යම් කිසි ජීවිතය සහිත වූ දියාරු බවක්, වැගිරෙන බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික ආපෝ ධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික ආපෝ ධාතුවක් වේද, මේ දෙකම ආපෝ ධාතුව මැයි. ’ එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැන ආපෝ ධාතුවෙහි කලකිරෙයි. ආපෝ ධාතුවෙහි සිත නොඇලෙයි.

“රාහුල, තෙජො ධාතුව කවරීද, අධ්‍යාත්මික තෙජො ධාතුවක්ද වන්නේය. බාහිර තෙජො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්‍යාත්මික තෙජො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, එනම්: යම් උණුසුමකින් තැවේද, යම් උණුසුමකින් ශරීරය දිරවයිද, යම් උණුසුමකින් දැවිලි කරයිද, යම් උණුසුමකින් කන බොන ලද ආහාර පාන දිරවයිද, මෙයින් අන්‍යවූ තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික තෙජො ධාතුව යයි කියනු ලැබේ. රාහුල, යම් අධ්‍යාත්මික තෙජො ධාතුවක් වේද, බාහිරවූ යම් තෙජො ධාතුවක් වේද, මේ දෙකම තෙජො ධාතුව මැයි. එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක තෙජො ධාතුවෙහි කලකිරෙයි. තෙජො ධාතුවෙහි සිත නොඇලෙයි.

“රාහුල, වායො ධාතුව කවරීද, අධ්‍යාත්මික වායො ධාතුවක්ද වන්නේය. බාහිර වායො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්‍යාත්මික වායො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිතවූ යම් වාතයක්, වායුවක් වේද, එනම් උඩට නගින වාතය, පහලට බස්නා වාතය, කුසෙහි (බඩෙහි) පවතින වාතය, බඩවැල් තුළ පවතින වාතය, අඟ පසඟ ක්‍රියා කරන වාතය, ආශ්වාස ප්‍රශ්වාස වාතය යන මේයි. මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් වායුවක් වාතයක් වේද රාහුලය, මේ අධ්‍යාත්මික වායො ධාතුවයයි කියනු ලැබේ. අධ්‍යාත්මික යම් වායො ධාතුවක් වේද, බාහිරවූ යම් වායො ධාතුවක් වේද, මේ දෙකම වායො ධාතුව මැයි.’ ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක වායො ධාතුවෙහි කලකිරෙයි. වායො ධාතුවෙහි සිත නොඇලෙයි.

“රාහුල, ආකාශධාතුව කවරීද, අධ්‍යාත්මික ආකාශ ධාතුවක්ද වන්නේය. බාහිරවූ ආකාශ වස්තුවක්ද වන්නේය.

“රාහුල, අධ්‍යාත්මික ආකාශ ධාතුව කවරීද, තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් ආකාශයක්, සිදුරක් වේද, එනම්: කන් සිදුර, නැහැ සිදුර, මුවදොර, යම් තැනෙකින් අනුභව කරන, බොන කන ලොවින දෙය ගිලෙයිද යම් තැනෙක අනුභව කරණ බොන කන ලොවින දෙය සිටීද (නවතීද) යම් තැනෙකින් අනුභවකරණ බොන කන ලොවින දෙය යට කොටසින් නික්මේද, යන මේයි. මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම්කිසි ආකාශයක්, සිදුරක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික ආකාශ ධාතුයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික ආකාශ ධාතුවක් වීද, යම් බාහිර ආකාශ ධාතුවක් වීද, ඒ දෙකම ආකාශ ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක ආකාශ ධාතුවෙහි කලකිරෙයි. ආකාශ ධාතුවෙහි සිත නොඇලෙයි.

“රාහුල, පොළොව හා සමකොට භාවනාව වඩව. පොළොව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල්සිත විනාශකොට නොසිටිත්. රාහුල, යම්සේ පොළොවෙහි පිරිසිදු දෙයද දමත්, අපිරිසිදු දෙයද දමත්, මුත්‍රද දමත්, කෙලද හෙළත්, සැරවද දමත්, ලෙහෙද දමත්, එයින් පොළොව අප්‍රිය හෝ නොකරයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල එපරිද්දෙන්ම තොප පොළොව හා සමකොට භාවනාව වඩව්. පොළොව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට නොසිටිත්.

“රාහුල, ජලය හා සමකොට භාවනාව වඩව, ජලය සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොටගෙන නොසිටිත්. රාහුල, යම්සේ දියෙහි පිරිසිදු දෙයද සෝදත්, අපිරිසිදු දෙයද සෝදත්, අශුචිද සෝදත්, මුත්‍රද සෝදත්, කෙලද සෝදත්, සැරවද සෝදත්, ලෙහෙද සෝදත්, එයින් දිය අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල, එපරිද්දෙන්ම ඔබ දිය හා සමකොට භාවනාව වඩව. රාහුල, දිය සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්.

“රාහුල, ගිනි හා සමකොට භාවනාව වඩව. ගිනි හා සමකොට භාවනා වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොටගෙණ නොසිටිත්. රාහුල, යම්සේ ගින්න පවිත්‍ර දෙයද දවයි. අපවිත්‍ර දෙයද දවයි, අශුචිද දවයි, මුත්‍රද දවයි, කෙලද දවයි, සැරවද දවයි, ලෙහෙද දවයි, එයින් ගින්න අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල, එපරිද්දෙන්ම ගින්න හා සම කොට භාවනාව වඩව, රාහුල, ගින්න හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙණ නො සිටිත්.

“රාහුල, වාතය හා සමකොට භාවනාව වඩව, රාහුල, වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාපවූද අමනාපවූද ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්. රාහුල, යම්සේ වාතය පිරිසිදු දේද ගෙන යයි, අපිරිසිදු දේද ගෙනයයි, අශුචිද ගෙනයයි, මුත්‍රද ගෙනයයි, කෙලද ගෙනයයි, සැරවද ගෙනයයි, ලෙහෙද ගෙනයයි. වාතය එයින් අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකෙරෙයි. රාහුල, ඔබ එපරිද්දෙන්ම වාතය හා සමකොට භාවනාව වඩව, වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්.

“රාහුල, අහස හා සමකොට භාවනාව වඩව, රාහුල, අහස හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්. රාහුල, යම්සේ අහස කොතැන්හිවත් නොපිහිටියේද, රාහුල, එපරිද්දෙන්ම ඔබ අහස හා සමකොට භාවනාව වඩව. ‘රාහුල, අහස සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්.

“රාහුල, මෛත්‍රී භාවනාව වඩව. රාහුල, මෛත්‍රී භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ක්‍රෝධයක් වේද, එය නැතිවී යන්නේය.

“රාහුල, කරුණා භාවනාව වඩව. රාහුල, කරුණා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් හිංසාවක් වේද, එය නැතිවී යන්නේය.

“රාහුල, මුදිතා භාවනාව වඩව. රාහුල, මුදිතා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් නොඇලීමක් වේද, එය නැතිවී යන්නේය.

“රාහුල, උපෙක්ෂා භාවනාව වඩව. රාහුල, උපෙක්ෂා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ප්‍රතිඝයක් ද්වෙෂයක් වේද, එය නැතිවී යන්නේය.

“රාහුල, අසුභ භාවනාව වඩව. රාහුල, අසුභ භාවනාව වඩන්නාවූ ඔබගේ යම් රාගයක් වේද, එය නැතිවී යන්නේය.

රාහුල, අනිච්චසඤ්ඤා භාවනාව වඩව. රාහුල, අනිච්චසඤ්ඤා (-ඇතිව නැතිවෙයි යන හැඟීම) භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ‘මම වෙමි’ යන මානයක් වේද, එය නැතිවී යන්නේය.

“රාහුල, ආණාපාණසති (-හුස්ම ගැණීම හැරීම දෙක පිළිබඳ) භාවනාව වඩව. රාහුල, ආණාපාණසති භාවනාව වඩනාලද්දී, බහුලවශයෙන් කරණලද්දී, මහත් ඵල මහානිශංස වේ. රාහුල, කෙසේ වඩනාලද කෙසේ බහුල වශයෙන් කරණ ලද ආණාපානසතිය මහත්ඵල මහානිශංස වේද, රාහුල, මේ ශාසනයෙහි භික්ෂුවක් වනයට ගියේ හෝ රුක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ එරමිණිය ගොතා කය ඍජුව තබා සිහිය ඉදිරිපත් කොට උපදවා හිඳියි, ඒ භික්ෂුව සිහි ඇතිවම හුස්ම ගණී, සිහි ඇතිව හුස්ම හරී, දික් හුස්ම ගන්නේ දිගට හුස්ම ගනිමියි දනියි. දිගට හුස්ම හරින්නේ දිගට හුස්ම හරිමියි දනියි. කොටින් හුස්ම ගන්නේ කොටින් හුස්ම ගනිමියි දනී. කොටින් හුස්ම හරින්නේ කොටින් හුස්ම හරිමියි දනී. හුස්ම ගැණීම මුල සිට අග තෙක් සම්පූර්ණයෙන් දැන හුස්ම ගණිමියි හික්මෙයි. (-පුරුදු වෙයි) හුස්ම හැරීම මුල සිට අගතෙක් සම්පූර්ණයෙන් දැන හුස්ම හරිමියි හික්මෙයි. මහත්කොට හුස්ම ගැනීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හුස්ම ගනිමියි හික්මෙයි. මහත්කොට හුස්ම හැරීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. ධ්‍යාන සැපය දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. ධ්‍යාන සැපය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් හුස්ම ගණිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත විශෙෂයෙන් තුටුකරමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත විශෙෂයෙන් තුටු කරමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත මනාකොට තබමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත මනාකොට තබමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත කෙලෙසුන්ගෙන් මුදවමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත කෙලෙසුන්ගෙන් මුදවමින් හුස්ම හරිමියි හික්මෙයි. අනිත්‍යය අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. අනිත්‍යය අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි නොඇලීම අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. නොඇලීම අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි. නිරොධය අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. නිරොධය අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි. දුරලීම අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. දුරලීම අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි.

“රාහුල, මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරන ලද ආනාපාන සතිය මහත්ඵල මහානිශංසවේ. රාහුල, මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරණ ලද ආනාපාන සතිය කරණකොට ඔබගේ යම් අවසාන හුස්ම ගැනීමක් හැරීමක් වෙත්ද, ඒවාද දැනගෙනම නැතිවී යත්. නොදැන නැතිවී නොයත්.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ සතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටු විය.

දෙවෙනිවූ මහා රාහුලොවාද සූත්‍රය නිමි. (2-2)