මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

2. භික්ෂු වර්ගය

64. මහා මාලුංක්‍ය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජෙතවන නම්වූ ආරාමයෙහි වැස වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීනි”යි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

“මහණෙනි, තොපි මා විසින් දෙසන ලද ඔරම්භාගීය සංයොජනයන් (යට කොටසයයි කියනු ලබන කාම ලොකය භජනය කරන සංයොජනයන්) දරන්නා හුද”

මෙසේ ඇසූ කල්හි මාලුංක්‍ය පුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද පඤ්ච ඔරම්භාගීය සංයෝජනයන් සිතින් දරමි.”

“මාලුංක්‍ය පුත්‍රය, තෙපි මා විසින් දෙසනලද පඤ්චඔරම්භාගීය සංයෝජනයන් කෙසේ දරන්නා හුද”

“ස්වාමීනි, මම ආත්මයක් ඇත යන භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගීය සංයෝජනය වශයෙන් දෙශනා කරන ලද සක්කාය දිට්ඨිය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයොජන වශයෙන් වදාළ විචිකිච්ඡාව දරමි ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනාකළ ඔරම්භාගීය සංයෝජන වශයෙන් සීලබ්බත පරමාසය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයොජන වශයෙන් දෙශනාකළ කාමච්ඡන්දය දරමි.

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් වදාළ ව්‍යාපාදය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද පඤ්චඔරම්භාගීය සංයෝජනයන් මෙසේ දරමි.”

“මාලුංක්‍ය පුත්‍රය තොප මා විසින් කවරෙකුට දෙසන ලද පඤ්චඔරම්භාගිය සංයොජනයන් මෙසේ දරයිද? මාලුංක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ දොස් නගත හැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද? (කෙසේද) මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු කුඩා දරුවෙකුට ස්වකීය ශරීරය යන හැඟීමක් නැත. ඔහුට මම යන දෘෂ්ටියක් කොහින් උපදීද? ඔහුට අනුශය වසයෙන් පවත්නා සක්කාය දෘෂ්ටියම ඇත්තේය. මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට ධර්මයෝයයි හැඟීමක් නැත. ධර්මයන්හි සැකයක් කොයින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා විචිකිච්ඡාවම ඇත්තීය. මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට සීලයයි හැඟීමක් නැත. ඔහුට වරදවා ගන්නා සීලයක් ව්‍රතයක් කොහින් උපදීද? අනුශය වශයෙන් පවත්නා සීලබ්බතපරාමාසයම ඇත්තේය. මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු කුඩා දරුවෙකුට කාමයයි හැඟීමක් නැත. ඔහුට කාමයෙහි කැමැත්ත කොහින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා කාමච්ඡන්දයම ඇත්තේය මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු දරුවෙකුට සත්වයෝයයි හැඟීමක් නැත. එවිට සත්වයන් කෙරෙහි කෝපයක් කොයින් උපදින්නේද? ඔහුට අනුශය වශයෙන් පවත්නා ව්‍යාපාදයම ඇත්තේය. මාලුංක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ දොස් නගන හැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද?”

මෙසේ කී කල්හි ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් පඤ්චඔරම්භාගීය සංයොජනයන් දෙසත් ද භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්ද, (-ඉගෙණ ගණිත්ද) භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි. සුගතයන් වහන්ස, මේ එයට කාලයයි.”

“ආනන්දය, එසේ නම් අසව, හොඳින් සිහි කරව. කියන්නෙමි,” “එසේය, ස්වාමීනි”යි ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.

“ආනන්දය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නා, ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනු, නොදක්නා සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු, නූගත් පෘථග්ජනයා සත්කාය දෘෂ්ටියෙන් මඩනාලදුව උපන් සත්කාය දෘෂ්ටිය ඇති සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටියගේ නැතිකිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරුකිරීමට අපහසුවූ ඔහුගේ සක්කාය දිට්ඨිය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.

“සැකයෙන් මඩනාලදුව, උපන් සැකය ඇති සිතින් වාසය කරයිද, උපන් සැකයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරුකිරීමට අපහසුවූ ඔහුගේ විචිකිච්ඡාව ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.

“සීලබ්බත පරාමාසයෙන් මඩනා ලදුව, උපන් සීලබ්බත පරමාශය ඇති සිතින් වාසය කරයිද. උපන් ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ සීලබ්බත පරාමාසය ඔරම්භාගීය සංයොජනයක් වෙයි.

“කාම රාගයෙන් මඩනා ලදුව, උපන් කාම රාගයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කාම රාගයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ඡන්ද රාගය ඔරම්භාගීය සංයෝජනයක්වේ.

“කෝපයෙන් මඩනා ලදුව, උපන් කෝපයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කෝපයේ නැති කිරීම නොදනී, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ව්‍යාපාදය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.

“ආනන්දය, ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නා ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ සත්පුරුෂ ධර්මයෙහි හික්මුනු උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා සත්කායදෘෂ්ටියෙන් නොමඩනා ලද, සත්කායදෘෂ්ටිය නූපන් සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටි නැති කිරීම ඇතිසැටියෙන් දනීද අනුශය සහිතවූ ඔහුගේ ඒ සත්කායදෘෂ්ටිය නැතිවී යන්නේය.

“සැකයෙන් නොමඬනා ලද, සැකය නූපන් සිතින් වාසය කරයි. උපන් සැකයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ සැකය නැතිවීයයි,

“ශීලව්‍රත පරාමාශයෙන් නොමඩනා ලද, ශීලව්‍රත පරාමාශය නූපන් සිතින් වාසය කරයි. උපන්නාවූ ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ ශීලව්‍රත පරාමාශය නැතිවී යන්නේය.

“කාම රාගයෙන් නොමඩනා ලද, නූපන් කාම රාගය ඇති සිතින් වාසය කරයි. උපන් කාම රාගයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කාම රාගය නැතිවී යයි.

“කෝපයෙන් නොමඩනා ලද, නූපන් කෝපය ඇති සිතින් වාසය කරයි. උපන් කෝපයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කෝපය නැතිවීයයි.

“ආනන්දය, පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමට යම් මගක්, යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දක්නේය හෝ පහකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.

“ආනන්දය, යම්සේ කෙලින් සිටින හරය ඇති මහ ගසක පොත්ත නොසිඳ එලය නොසිඳ හරය කපන්නේය යන මේ කාරණය සිදුනොවන්නක් වේද, ආනන්දය, එපරිද්දෙන්ම පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැතිකිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දකින්නේය හෝ නැතිකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.

“ආනන්දය, පඤ්චොරම්භාගීය සංයොජනයන්ගේ නැති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද, ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පඤ්චොරම්භාගීය සංයොජනයන් දැන ගන්නේය, කියා හෝ දකින්නේය කියා හෝ නැති කරන්නේය, කියා හෝ යන මේ කාරණය සිදුවන්නකි.

“ආනන්දය, යම්සේ කෙළින් සිටින හරය ඇති මහ ගසක පොතු කපා එලය කපා හරය කපන්නේය යන මේ කාරණය සිදුවන්නක් වේද, ආනන්දය, එමෙන් පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද, ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පඤ්චොරම්භාගීය සංයොජනයන් දැන ගන්නේය හෝ දකින්නේය හෝ නැති කරන්නේය හෝ යන මේ කාරණය සිදුවන්නකි.

“ආනන්දය, යම්සේ කවුඩෙකුට කර නොනමා පානය කළහැකිසේ දෙඉවුර සමව දිය පිරුණු ගංගාවක්වේද, ඉක්බිති මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සරස එතරට යන්නෙමි’යි දුබල මිනිසෙක් එන්නේද ඔහු ගංගාවේ දියපහර අතින් සිඳගෙන පහසුවෙන් සරස එතරට යන්ට නොහැකි වන්නේද, ආනන්දය, එමෙන්ම යම්කිසිවෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්මය දෙශනා කරණ කල්හි එහි බැස නොගනීද, නොපහදීද, නොසිටීද, (කෙළෙසුන් ගෙන්) නොමිදේද, ඒ දුබල මිනිසා යම්සේද ඔවුහුද එසේද දත යුත්තාහ.

“ආනන්දය, යම්සේ කවුඩෙකුට කර නොනමා පානය කළ හැකිසේ දෙඉවුර සමව දිය පිරුණු ගංගාවක්වේද, ඉක්බිති මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සරස එතර යන්නෙමි’යි බලවත් මිනිසෙක් එන්නේය. ඔහු ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් එතර යන්ට හැකි වන්නේය. ආනන්දය, එමෙන් යම්කිසි වෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්මය දෙශනා කරන කල්හි සිත එහි බැසගනියිද, පහදීද, සිටීද, (කෙළෙසුන්ගෙන්) මිදේද, ඒ බලවත් මිනිසා යම්සේද, ඔහුද එසේද දත යුත්තාහ.

“ආනන්දය, පඤ්චොරම්භාගිය සංයොජනයන් නැති කිරීමේ මාර්ගය කවරේද? පිළිපැදීම කවරීද?

“ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුව උපධි විවේකයෙන් (-පස්කම් ගුණයෙන් වෙන් වීමෙන්-) අකුසල ධර්මයන්ගෙන් වෙන්ව (-නීවරණයන් දුරලීමෙන්) ශරීරයේ අලස බව සංසිඳවීමෙන්, කාමයන්ගෙන් වෙන්වම, අකුශලයන්ගෙන් තොරව, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයන්ට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන් ආබාධයක් වශයෙන්, තමාට අයත් නොවන දෙයක් වශයෙන්, බිඳෙන දෙයක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද, සියලු උපධීන්ගේ දුරලීමක් වේද, තෘෂ්ණාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නැති කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය සාන්තය, මෙය ප්‍රණීතයයි අමෘතය නම් නිර්වාණයෙහි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂයකිරීමට පැමිණෙයි. ආශ්‍රවයන් ක්ෂයකිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිම ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමතිවීමෙන් පඤ්චොරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් නැවත මෙහි නොඑන ස්වභාවය ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්චොරම්භාගිය සංයොජනයන්ගේ නැති කිරීම පිණිස මේ මාර්ගයයි මේ පිළිපැදීමයි.

“ආනන්දය, නැවත අනිකක් කියමි. භික්ෂුව විතර්ක විචාරයන් සංසිඳවීමෙන් සිතේ සතුට ඇතිකරන සිතේ එකඟ බව ඇති කරණ අවිතර්ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වෙදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයන්ට අයත් විඥානයට අයත් යමක්වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන් තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත්කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද මෙය ශාන්තය මෙය ප්‍රණීතය නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් නැතිකිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් නැති කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මය කැමතිවීමෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංචඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.

“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව ප්‍රීතියේද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්ත වූයේ ශරීරයෙන් සුවය විඳින්නේද යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත්, වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රොග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද මෙය ශාන්තය මෙය ප්‍රණීතය නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමති වීමෙන් පංචඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් මෙහි නොඑයි ආනන්දය, පංච ඔරම්භාගිය සංයොජන නැති කිරීමට මේ ධර්මයයි, මේ පිළිපැදීමයි.

“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන්, පංච ඔරම්භාගිය සංස්කාරයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.

“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සර්වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් දුරලීමෙන් නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වෙදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත්කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක්වේද, තණ්හාව නැතිකිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්චොරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.

“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වෙදනාවට අයත් සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත්, යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රොග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි, සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් නැවත නොඑන ස්වභාවය ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්ච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්ගය වෙයි. මේ පිළිපැදීම වෙයි.

“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වෙදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍යවශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැතිකිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්ච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීම පිණිස මේ මාර්ගය වේ. මේ පිළිපැදීම වේ.

“ස්වාමීනි, ඉදින් පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්ගය, මේ පිළිපැදීම වේ නම් කවර හෙයින් ඇතැම් භික්ෂූහු චිත්ත විමුත්තිය ඇත්තාහු, ඇතැම් භික්ෂූහු පඤ්ඤා විමුත්තිය ඇත්තාහු වෙත්ද, ආනන්දය, ඒ කාරණයෙහි මම ඔවුන්ගේ ඉන්ද්‍රියන් පිළිබඳ වෙනස් බවයයි කියමි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු වූහ.

හතරවෙනිවූ මහා මාලුංක්‍ය සූත්‍රය නිමි. ( 2-4)