මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

2. භික්ෂු වර්ගය

65. භද්දාලි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ “පින්වතුන් වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“මහණෙනි, මම වනාහි උදය කාලයේ ආහාරයම වළඳමි. මහණෙනි, මම උදය කාලයේ ආහාරයම වළඳන්නෙම් ආබාධ නැති බවද, නිදුක් බවද, ශරීර සැහැල්ලු බවද, කාය බලයද, ශරීරයේ සැප විහරණයද ලබමි. මහණෙනි, එව්, තොපිද උදය කාලයේ ආහාරයම වළඳව්. මහණෙනි, තොපිද උදය කාලයේ ආහාරයම වළඳන්නාහු ආබාධ නැති බවද, නිදුක් බවද, ශරීර සැහැල්ලු බවද, කාය බලයද, ශරීර සැප විහරණයද ලබව්” යයි වදාළහ.

මෙසේ වදාළ කළ, ආයුෂ්මත් භද්දාලි නම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, මම පෙරවරු (පමණක්) ආහාර වළඳීමට නොහැකිවෙමි. ස්වාමීනි, පෙරවරු (පමණක්) ආහාර වළඳන්නාවූ මට (ජීවත් විය හැකිදැයි) සැකයක් වන්නේය, කණගාටුවක් වන්නේය.”

“භද්දාලිය, එසේ නම් ඔබ යම් තැනෙක ආරාධනා කරන ලද්දේ වන්නෙහිද, එහිදී කොටසක් අනුභවකොට, කොටසක් ගෙණ ගොස් වළඳව, එසේ වළඳන ඔබ යැපෙන්නෙහිය.”

“ස්වාමීනි, මම එසේද වළඳන්ට නොහැකි වෙමි. ස්වාමීනි, එසේද වළඳන්නාවූ මට (ජීවත්විය හැකිදැයි) සැකයක් වන්නේය. කණගාටුවක් වන්නේය.” ඉක්බිති ආයුෂ්මත් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් (විකාල භොජනය) ශික්ෂාපදය පනවනු කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන්වනු ලබන කල්හි (එය රැකීමට) නොහැකි බව පළ කළේය. ඉක්බිති ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව නොපුරන්නෙක් යම්සේද එමෙන් ආයුෂ්මත් භද්දාලි භික්ෂුව තෙමසක් මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ හමුවීමට නොපැමිණියේය.

ඒ කාලයෙහි බොහෝ භික්ෂූහු සිවුරෙහි කටයුතු නිමවූ පසු තෙමසකින් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි වඩිතියි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරක් මසත්.

ඉක්බිති ආයුෂ්මත් භද්දාලි භික්ෂුව, ඒ භික්ෂූහු යම් තැනකද එහි ගියේය. එහි ගොස් ඒ භික්ෂූන් සමග සතුටුවිය. සතුටු විය යුතු සිහි කළ යුතු කථාව කොට එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් භද්දාලි භික්ෂුවට ඒ භික්ෂූහු මේ කාරණය කීවාහුය. “සිවුරෙහි කටයුතු නිමවූ පසු තුන් මාසයකින් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි වඩින හෙයින් භාග්‍යවතුන් වහන්සේගේ සිවුරක් මසනු ලැබේ. (කියායි.)

“ආයුෂ්මත් භද්දාලිය, එබැවින් ඒ අපරාධය (-වරද ශික්ෂා පදය පැනවීමෙදී නොපිළිගැනීම) හොඳින් සිහිකරව ඔබට පසුව දුෂ්කරයක් නොවේවා”යි (කීහ.)

ආයුෂ්මත් භද්දාලි භික්ෂුව, “එසේය ඇවැත්නි”යි ඒ භික්ෂූන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. (එහි) පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, යම් බඳුවූ මම භාග්‍යවතුන්වහන්සේ විසින් ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන්වන කල්හි, අනුත්සාහය පළ කෙළෙම්ද, (ඒ) වරද බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, මා ඉක්ම පැවැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ වරද නැවත නොකරනු පිණිස මාගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා” කියායි

“භද්දාලිය, මා විසින් ශික්ෂාපදය පණවනු ලබන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි යම් බඳුවූ ඔබ අනුත්සාහය පළ කළෙහිද එබැවින් බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, ඔබ වරද ඉක්ම පැවැත්තෙහිය. භද්දාලිය, ඔබ විසින් කාලයද දැන නොගන්නා ලද්දේය, භාග්‍යවතුන් වහන්සේද සැවැත්නුවර වසති, භද්දාලි භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි භාග්‍යවතුන් වහන්සේද මා දැනගන්නාහයි යන මේ කාලය (වේලාව) භද්දාලිය, ඔබ විසින් දැනනොගන්නා ලද්දේය.

“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය. බොහෝ භික්ෂූහු සැවැත්නුවර වස් වැසුවාහුය, භද්දාලිය භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැයි ඒ භික්ෂූහුද භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව නොපුරන්නෙකැයි මා දැනගනිත් යන මේ කාලයද ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.

“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, බොහෝ භික්ෂුණීහුද සැවැත්නුවර වස් එළඹියාහුය, භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව නොපුරන්නෙකැ’යි ඒ භික්ෂුණීහුද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැනනොගන්නා ලද්දේය.

“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, බොහෝ උපාසකයෝ සැවැත්නුවර වෙසෙත්. භද්දාලි භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඔව්හුද මා දැනගන්නාහුය යන මේ කාලය, භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.

“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, බොහෝ උපාසිකාවෝ සැවැත්නුවර වෙසෙත්. භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඒ උපාසිකාවෝද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.

“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, නොයෙක් අන්‍ය තීර්ථක මහණ බමුණෝ සැවැත්නුවර වස් එළඹියාහුය. භද්දාලි නම් භික්ෂුව ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක තෙරුන් අතරෙන් කෙනෙක්වද ශාස්තෲන් වහන්සේගේ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඔවුහුද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.”

“ස්වාමීනි, යම්බඳුවූ මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි අනුත්සාහය පළ කෙළෙම්ද (ඒ) වරද බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, මා ඉක්ම පැවැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ වරද නැවත නොකරණු පිණිස මාගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා.”

“භද්දාලිය, මා විසින් ශික්ෂාපදය පනවනු ලබන කල්හි භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි යම්බඳුවූ ඔබ අනුත්සාහය පළ කෙළෙහිද එබැවින් බාලයකුසේ මුළාවූවකු සේ, අව්‍යක්තයකුසේ ඔබ වරද ඉක්ම පැවැත්තෙහිය.

“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ශාසනයෙහි (චිත්ත, පඤ්ඤා යන) දෙපසින් මිදුනු හෙයින් උභතොභාග විමුත්තවූ භික්ෂුවක් වේද, මම ඒ භික්ෂුවට ‘භික්ෂුව, ඔබ මාවෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව (එසේ) සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”

“ස්වාමීනි, එසේ නොවන්නේය.”

“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ශාසනයෙහී පඤ්ඤාවිමුක්ත භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘මහණ, ඔබ මාවෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”

“ස්වාමීනි, එසේ නොවන්නේය.”

“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි කායසක්ඛී භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘මහණ, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”

“ස්වාමීනි, එසේ නොවන්නේය.”

“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි දිට්ඨප්පත්ත භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘මහණ, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”

“ස්වාමීනි, එසේ නොවන්නේය.”

“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි සද්ධාවිමුත්ත භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘මහණ, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”

“ස්වාමීනි, එසේ නොවන්නේය.”

“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි ධම්මානුසාරී භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘මහණ, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”

“ස්වාමීනි, එසේ නොවන්නේය.”

“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි සද්ධානුසාරී භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘භික්ෂුව, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව (එසේ) සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?” “ස්වාමීනි, එසේ නොවන්නේය.”

“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නෙහිද? භද්දාලිය, ඉදින් ඔබ ඒ කාලයෙහි උභතොභාග විමුත්තයෙක් හෝ, පඤ්ඤා විමුත්තයෙක් හෝ, කායසක්ඛී වූවෙක් හෝ, දිට්ඨප්පත්තයෙක් හෝ, සද්ධාවිමුත්තයෙක් හෝ, ධම්මානුසාරී වූවෙක් හෝ, සද්ධානුසාරී වූවෙක් හෝ වූයෙහිද, “එසේ නො වූයේය.’ භද්දාලිය, එකල්හි ඔබ හිස්වූයෙක් නොවේද? බැහැර කරන ලද්දෙක් නොවේද, වරද කරන ලද්දෙක් නොවේද?”

“එසේය, ස්වාමීනි. ස්වාමීනි, යම් බඳු මම භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි අනුත්සාහය පළ කෙළෙම්ද, බාලයකුසේ මුළාවූවකුසේ, අදක්ෂයකුසේ වරද මා ඉක්ම පැවැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද වරද වශයෙන් නැවත සංවරය පිණිස පිළිගන්නාසේක්වා.”

“භද්දාලිය, යම්බඳු ඔබ මා විසින් ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි, අනුත්සාහය පළකෙළෙහිද, එබැවින් ඔබ බාලයෙකුසේ මුළාවූවකුසේ, අදක්ෂයකුසේ වරද ඉක්මවා ගියේය. භද්දාලිය, ඔබ වරද වරද වශයෙන් දැන ධර්මයවූ පරිදි පිළියම් කෙරෙහිද, ඔබගේ ඒ වරද අපි පිළිගණිමු. භද්දාලිය, යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කරයිද, නැවත සංවරයට පැමිණේද, එය ආර්‍ය්‍යවිනයයි කියනලද මේ ශාසනයෙහි දියුණුවවේ.

“භද්දාලිය, මේ ශාස්තෘ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ශික්ෂාපදයන් නොරකින්නෙක් වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ අර්‍ය්‍යභාවය කිරීමට සමර්ථ විශෙෂ ඥානයක් ප්‍රත්‍යක්ෂ කරන්නෙම් නම් ඉතා යෙහෙකි. (එය ලැබීමට) ආරණ්‍යය, රුක්මූලය, කඳුරැලිය, පර්වතය, ගුහාය, සොහොන්ය, පිදුරුබිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිතය කරන්නෙම් නම් යෙහෙකි’ (කියායි.)

“(ඉක්බිති) ඒ භික්ෂුව ආරණ්‍යය, රුක් මූලය, පර්වතමූලය කඳු රැලිය, පර්වත ගුහාය, සොහොනය, වනයෙහි ඉතා දුර සෙනසුනය, අභ්‍යවකාසය, පිදුරුබිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිතය කරයි. එසේ විවේකව වසන ඒ භික්ෂුවට ශාස්තෲන් වහන්සේද දොස් කියයි, එකට වසන නුවණැති සමාන බඹසර ඇති භික්ෂූහුද, කාරණය දැන දොස් කියත්. දේවතාවෝද දොස් කියත්. තමාම තමාට දොස් කියයි. ඒ භික්ෂුව ශාස්තෲන් වහන්සේ විසින්ද දොස් කියන ලද්දේ, නුවණ ඇති එකට වසන සමාන බඹසර ඇත්තවුන් විසින්ද දොස් කියන ලද්දේ දේවතාවන් විසින්ද දොස් කියන ලද්දේ, තමාවිසින්ම තමහට දොස් කියන ලද්දේ, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්‍ය්‍ය භාවය කිරීමට සමර්ථ විශෙෂඥානයක් ප්‍රත්‍යක්ෂ නොකරයි. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ නොකරන්නාහට එය එසේම වෙයි.”

“භද්දාලිය, මේ ශාස්තෘ ශාසනයෙහි, ඇතැම් භික්ෂුවක් ශික්ෂාපද රකින්නෙක් වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ ආර්‍ය්‍ය භාවය කිරීමට සමර්ථ විශෙෂඥානයක් ප්‍රත්‍යක්ෂ කරන්නෙම් නම් ඉතා යෙහෙකි. (එය ලැබීමට) ආරණ්‍යය, රුක්මූලය, පර්වතය, කඳුරැලිය, පර්වත ගුහාවය, සොහොනය, ඉතා දුර වනය, අභ්‍යවකාශය, පිදුරු බිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිතය කරන්නෙම් නම් යෙහෙකි’ (කියායි.) ඉක්බිති ඒ භික්ෂුව ආරණ්‍යය, රුක්මුලය, පර්වතය, කඳුරැලිය, පර්වත ගුහාය, සොහොනය, වනයෙහි ඉතා දුර වනය, අභ්‍යවකාශය, පිදුරුබිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිතය කරයි. එසේ විවේකව වසන ඒ භික්ෂුවට ශාස්තෲන් වහන්සේ දොස් නොකියයි. නුවණ ඇති එකට වසන සමාන බඹසර ඇති භික්ෂූහුද දොස් නොකියත්. දේවතාවෝද දොස් නොකියත්. තමාම තමහට දොස් නොකියයි. (ඉක්බිති) ඒ භික්ෂුව ශාස්තෲන් වහන්සේ විසින්ද දොස් නොකියන ලද්දේ, නුවණ ඇති එකට වසන සමාන බඹසර ඇති භික්ෂූන් විසින්ද දොස් නොකියන ලද්දේ, දේවතාවන් විසින්ද දොස් නොකියන ලද්දේ, මා විසින්ද තමාට දොස් නොකියන ලද්දේ, මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්ථ විශෙෂ ඥානයක් ප්‍රත්‍යක්ෂ කරයි. ඒ භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. එයට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.

“නැවතද භද්දාලිය, භික්ෂු තෙම විතර්ක විචාරයන් සංසිඳවීමෙන් සිත තුළ පැහැදීම ඇති, සිතේ එකඟ බැව් ඇති අවිතර්ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇත් ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඊට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.

“නැවතද, භද්දාලිය, භික්ෂු තෙම, ප්‍රීතියේ නො ඇලී උපෙක්ෂා ඇත්තෙක්ව වාසය කරයි. සිහියෙන් යුත්ත වූයේ යහපත් නුවණ ඇතිව කයින් සැපවිඳී, ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂාව ඇත්තෙක්ව සිහි ඇත්තෙක්ව සැප විහරණය ඇත්තෙකැයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඊට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.

“නැවතද භද්දාලිය, භික්ෂු තෙම සැපදුක් හැර පළමුවම සොම්නස් දොම්නස් දුරුකොට දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසුදු බව ඇති චතුර්ථ ධ්‍යානයට එළඹ වාසය කරයි. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.

“ඒ භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි, කෙළෙස් නැති කල්හි, කෙලෙස් රහිත කල්හි, මොලොක්වූ කල්හි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, ස්ථිරව සිටි කල්හි, නොසැලෙන කල්හි, පෙරවිසූ කඳපිළිවෙළ දැන ගැනීමට සිත නමයි (මෙහෙයවයි.) ඒ භික්ෂුව නොයෙක් ආකාර පෙර විසූ කඳ පිළිවෙළ (උපන් ආත්ම පරම්පරාව) සිහි කරයි. කෙසේද? එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතලිසක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද නොයෙක් විනාස වෙමින් පවතින කල්පයන්ද නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුවල් තැන වීම් මෙනම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම් මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම් මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම් මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම් මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමියි. මෙසේ ආකාර උද්දෙස සහිත නොයෙක් ආකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරයි. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.

“ඒ භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පසින් පිරිසිදුවූ කල්හි, කෙලෙස් රහිත කල්හි, කෙලෙස් උවදුරු නැති කල්හි, මොලොක්වූ කල්හි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, ස්ථිරව සිටි කල්හි, නොසැලෙන කල්හි. ඒ භික්ෂුව පිරිසුදු මිනිස්බව ඉක්මවූ දිවැසින් චුතවන (මැරෙන) උපදින හීන (පහත්). ප්‍රණීත (උසස්) සුවර්ණ (හොඳ පාට ඇති) දුර්වර්ණ (නරක පාට ඇති) යහපත් ගතිවලට ගියාවූ අයහපත් ගතිවලට ගියාවූ, කර්මයට අනුව උපදින සත්වයන් දකී. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග්දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්ත වූහ. ආර්‍ය්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආර්‍ය්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ. සත්‍ය ඇදහීම් සමාදන් වූවෝ වූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයට පැමිණියෝයි. මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිව ඇසින් චුත වන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූ නරක ලොවට ගියාවූද කම්වූ පරිදි මියපරලොව ගිය සත්වයන් දනී, ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.

“ඒ භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි කෙලෙස් රහිත කල්හි, කෙලෙස් උවදුරු නැති කල්හි, මොලොක්වූ කල්හි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, ස්ථිරව සිටි කල්හි නොසැලෙන කල්හි, ආශ්‍රවයන් ක්ෂය කරන නුවණ පිණිස සිත නමයි (යොමුකරයි). ඒ භික්ෂුව මේ දුකයයි ඇති සැටියෙන් දනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි ඇති සැටියෙන් දනී. මේ දුක් නැතිකිරීමයයි ඇති සැටියෙන් දනී. මේ දුක් නැති කිරීමේ මාර්ගයයි ඇති සැටියෙන් දනී. මේ ආශ්‍රවයයි තතුලෙස දනී. මේ ආශ්‍රවයන්ගේ හේතුවයයි තතු ලෙස දනී. මේ ඒ ආශ්‍රවයන් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ ආශ්‍රවයන් නැති කිරීමට පමුණුවන පිළිවෙතයයි තතුලෙස දනී. මෙසේ දන්නාවූ ඒ භික්ෂුවගේ සිත කාමාසාවයෙන් (කාමයේ ඇල්මෙන්) ද වෙන් වෙයි. භව (භවයේ ඇල්මෙන්) ආසාවයෙන්ද වෙන්වෙයි අවිජ්ජාසවයෙන් (මෝහයෙන්) ද වෙන්වෙයි. සිත ඔවුන්ගෙන් වෙන්ව ගිය කල (ඔවුන්ගෙන්) වෙනස්විය යන දැනීම ඇති වෙයි. (එවිට) ඉපදීම නැතිකරණ ලද්දීවෙයි. බඹසර (ශ්‍රෙෂ්ඨ හැසිරීමෙහි) වාසය කිරීම අවසන් කරණ ලද්දී වෙයි. කටයුත්ත කරණ ලද්දේ වෙයි. මේ ආත්ම භාවයෙන් පසු නැවත ඉපදීමක් නැතැයි දැන ගණී. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.

“මෙසේ කී කල්හි ආයුෂ්මත් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය. “ස්වාමීනි, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් සුළු වරදෙහිද නිග්‍රහ කොට හික්මවත්. ඊට හේතු කවරහුද? එයට ප්‍රත්‍යය (කරුණු) මොනවාද? ස්වාමීනි, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් නැවත නැවත අවවාද කොට නොහික්ම වත්. ඊට හේතුකවරහුද? එයට ප්‍රත්‍යය (කරුණු) මොනවාද?’ “භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් නිතර ඇවැත්වලට පැමිණෙන්නෙක් වෙයි. ඇවැත් බහුල වූවෙක් වෙයි. භික්ෂූන් විසින් අවවාද කරන ලද්දාවූ ඒ භික්ෂුව අන් කරුණකින් ඒ කාරණය වසාදමයි. කථාව අන් අතකට හරවයි. කෝපය, ද්වෙෂය, නොසතුට ඇති කරයි. මනා කොට නො පවතී. මනා පැවැත්මට අනුව නො පවතී. ඉක්මණින් ඇවතෙන් නැගී සිටීමට කැමති ඇත්තෙක් නොවෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද, එය නොකරමියි කියයි. භද්දාලිය, එකල්හි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ‘ඇවැත්නි, මේ භික්ෂුව නිතර ඇවැත්වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල වූවෙක, භික්ෂූන් විසින් අවවාද කරන ලද්දාවූ ඒ භික්ෂුව අන් කරුණකින් ඒ කාරණය වසාදමයි. කථාව අන් අතකට හරවයි. කෝපයද, ද්වෙෂයද, නොසතුටද, ඇතිකරයි. මනාකොට නොපවතී. මනාපැවැත්මට අනුව නොපවතී. ඉක්මණින් ඇවතින් නැඟී සිටීමට කැමති ඇත්තෙක් නොවෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි නොකියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය (නඩුව) යමසේ වහා නොසංසිඳේද එසේ ඒ ඒ ආකාරයෙන් කල් දම දමා විනිශ්චය කිරීම යෙහෙකැයි සිතා, භද්දාලිය, භික්ෂූහු යම්සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා නොසංසිඳේද ඒ ඒ ආකාරයෙන් කල් දම දමා විනිශ්චය කරත්.

“භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් නිතර ඇවැත්වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුල වූවෙක් වෙයිද, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා නොදමයිද, කථාව අන් අතකට නොහරවයිද, කෝපය, ද්වෙෂය, නොසතුට ඇති නොකරයිද මනාකොට පවතීද, මනා පැවතුමට අනුව පවතියිද, ඉක්මණින් ඇවතින් නැඟී සිටීමට කැමති වෙයිද, යමකින් සංඝයා සතුටු වෙයිද එයකරමියි කියයිද, භද්දාලිය, එකල්හි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ‘ඇවැත්නි, මේ භික්ෂුව නිතර ඇවැත්වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල වූවෙක, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා නොදමයි. කථාව අන් අතකට නොහරවයි. කෝපයද, ද්වෙෂයද, නොසතුටද, ඇති නොකරයි. මනාකොට පවතී. මනා පැවතුමට අනුව පවතී. ඉක්මණින් ඇවැතින් නැඟී සිටීමට කැමති වෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි කියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය (නඩුව) යම් සේ වහා සංසිඳේද ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යහපත්යයි සිතා, (ඉක්බිති) භද්දාලිය, භික්ෂූහු යම් සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා සංසිඳේද ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කරත්.

“භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් වරින්වර ඇවැත්වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුලකොට ඇත්තේ නොවෙයිද, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා දමයිද. කථාව අන් අතකට හරවයිද කෝපය, ද්වෙෂය, නොසතුට ඇති කරයිද, මනාකොට නොපවතීද, මනා පැවැත්මට අනුව නොපවතීද, ඉක්මණින් ඇවැතින් නැගී සිටීමට කැමති නොවෙයිද. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි නොකියයිද, භද්දාලිය, එහි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ‘ඇවැත්නි, මේ භික්ෂුව වරින්වර ඇවැත්වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල නොවූවෙක, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසාදමයි, කථාව අන් අතකට හරවයි. කෝපයද, ද්වෙෂයද, නොසතුටද ඇතිකරයි. මනාකොට නොපවතියි. මනාපැවැත්මට අනුව නොපවතියි. ඉක්මණින් ඇවැතින් නැගී සිටීමට කැමැති නොවෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි නොකියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය යම් සේ වහා නොසංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යෙහෙක කියායි. (ඉක්බිති) භද්දාලිය, භික්ෂූහු යම් සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා නොසංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කරත්.

“භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් වරින් වර ඇවැත්වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුලකොට ඇත්තේ නොවෙයිද, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා නොදමයිද, කථාව අන් අතකට නොහරවයිද, කෝපය, ද්වෙෂය, නොසතුට ඇති නොකරයිද මනාකොට පවතීද, මනා පැවතුමට අනුව පවතීද, ඉක්මණින් ඇවතින් නැඟී සිටීමට කැමති වෙයිද, යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි කියයිද, භද්දාලිය, එහි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ඇවැත්නි, මේ භික්ෂුව වරින් වර ඇවැත්වලට පැමිණෙන්නෙක. ඇවැත් බහුල නොවූවෙක, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරනලද්දේ අන් කරුණකින් වසා නොදමයි. පිටතින් කථාවක් ඉදිරිපත් නොකරයි. කෝපයද, ද්වෙෂයද, නොසතුටද ඇතිනොකරයි. මනාකොට පවතියි. මනා පැවතුමට අනුව පවතියි. ඉක්මණින් ඇවතින් නැඟීසිටීම කැමති වෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද එය කරමියි කියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය යම්සේ වහා සංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යෙහෙක කියායි, (ඉක්බිති) භද්දාලිය, භික්ෂූහු යම්සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා සංසිඳේද ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කරත්.

“භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් කෙරෙහි ඇති සුලු භක්තියකින් සුලු ආදරයකින් මහණ කම් කරයිද, භද්දාලිය, එහි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ඇවැත්නි, මේ භික්ෂුතෙම ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් කෙරෙහි ඇති සුලු භක්තියකින් සුලු ආදරයකින් මහණකම කරයි. භක්ති මාත්‍රයෙන් ප්‍රෙම මාත්‍රයෙන් මහණකම කරයි (කියායි.)

“භද්දාලිය, යම්සේ පුරුෂයෙකුගේ එක් ඇසක්වේද, ඔහුගේ මිත්‍රයන් හා එක ලේ ඇති නෑයෝ ඔහුගේ යම් ඒ ඇසක් වීද එයින්ද නොපිරිහෙවයි. ඒ එක ඇස රක්නාහුද, භද්දාලිය, එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂූවක් භක්ති මාත්‍රයකින් හා ප්‍රේම මාත්‍රයකින් මහණකම් කරයි. භද්දාලිය, එහි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ඇවැත්නි, මේ භික්ෂුව භක්ති මාත්‍රයකින් හා ප්‍රේමමාත්‍රයකින් මහණකම් කරයි. ඒ භික්ෂුවගේ යම් භක්තිමාත්‍රයක් ප්‍රේමමාත්‍රයක් වී ද එයින්ද නොපිරිහෙවයි. නැවත නැවත අවවාද කරන්නෙමු (කියායි.) භද්දාලිය, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට නැවත නැවත අවවාද කරයි නම් මේ ඊට හේතුවවේ. මේ ප්‍රත්‍යයවේ. භද්දාලිය, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට එසේ නැවත නැවත අවවාද නොකරත් නම් මේ ඊට හේතුවයි. මේ ප්‍රත්‍යයයි.

“ස්වාමීනි, යම් හෙයකින් පෙර ශික්ෂාපද ස්වල්පයක් වූහ. බොහෝ භික්ෂූහු රහත්වූහ. ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? දැන් ශික්ෂාපද බොහෝ වෙත්. භික්ෂූන් ටිකදෙනෙක් රහත් වෙත්. ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”

“භද්දාලිය, එය එසේ වෙයි සත්වයන් ධර්මයෙන් පිරිහෙන කල්හි, ප්‍රතිපත්තිය පිරිහෙන කල්හි, ශික්ෂාපද බොහෝ වෙත්. භික්ෂූහු ස්වල්ප දෙනෙක් රහත් වෙත්. භද්දාලිය, මේ ශාසනයෙහි සංඝයා කෙරෙහි ආශ්‍රවයන්ට හෙතුවූ ඇතැම් කරුණු පහළ නොවෙත්ද, ඒතාක් ශාස්තෲන් වහන්සේ ශ්‍රවකයන්ට ශික්ෂාපද නොපනවත්, භද්දාලිය, යම් දිනක පටන් සංඝයා කෙරෙහි ආශ්‍රවයන්ට හෙතුවූ කරුණු ඇති වෙත්ද, ශාස්තෲන් වහන්සේ ඒ වැරදි නැති කරණු පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.

“භද්දාලිය, මේ ශාසනයෙහි සංඝයා යම්තාක් බොහෝ බවට නොපැමිණියේද, ඒතාක් සංඝයා අතර වැරදි පහළ නොවෙත්. භද්දාලිය, යම් දිනෙක පටන් සංඝයා බොහෝ බවට පැමිණියේද, ඉක්බිති මේ ශාසනයෙහි ඇතැම් වැරදි ඇති වෙත්. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඒ වැරදි නැති කරණු පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.

“භද්දාලිය, යම්තාක් සංඝයා ලාභයෙන් අගතැන් නො පැමිණේද එතාක් මේ ශාසනයෙහි සංඝයා අතර වැරදි ඇති නොවෙත්. භද්දාලිය, යම් දිනෙක පටන් සංඝයා ලාභයෙන් අග්‍ර වේද, එකල්හි මේ ශාසනයෙහි සංඝයා අතර ඇතැම් වැරදි ඇති වෙත්. එකල්හි ශාස්තෲන් වහන්සේ ඒ දොෂයන් නැති කිරීම පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පණවත්.

“භද්දාලිය මේ ශාසනයෙහි සංඝයා යම්තාක් යසසින් අග්‍ර බවට නොපැමිණේද ඒතාක් සංඝයා අතර වැරදි පහළ නොවෙත්. භද්දාලිය, යම් දිනක පටන් සංඝයා යසසින් අග්‍ර බවට පැමිණේද, එකල්හි මේ ශාසනයෙහි සංඝයා අතර ඇතැම් වැරදි ඇති වෙත්. එකල්හි ශාස්තෲන් වහන්සේ ඒ දොෂයන් නැති කිරීම පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.

“භද්දාලිය, මේ ශාසනයෙහි සංඝයා යම් තාක් බොහෝ දැන ඉගෙනගත් බවට නොපැමිණේද, ඒ තාක් සංඝයා අතර වැරදි පහළ නොවෙත්. භද්දාලිය, යම් දිනක පටන් සංඝයා දැන ඉගෙනගත් බවට පැමිණේද, එකල්හි මේ ශාසනයෙහි සංඝයා අතර වැරදි පහළ වෙත්. එකල්හි ශාස්තෲන් වහන්සේ ඒ දොෂයන් නැතිකිරීම පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.

“භද්දාලිය, මේ ශාසනයෙහි සංඝයා යම්තාක් කල් ගිය බවට නොපැමිණේද එතාක් සංඝයා අතර වැරදි පහළ නොවෙත්.

“භද්දාලිය, යම් දිනෙක පටන් සංඝයා කල්ගිය බවට පැමිණේද, එකල්හි මේ ශාසනයෙහි සංඝයා අතර ඇතැම් වැරදි ඇතිවෙත්. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඒ වැරදි නැති කරුණු පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.

“භද්දාලිය, යම් දිනෙක මම තොපට අජානීය අශ්වයාගේ උපමාව දේශනා කෙළෙම්ද ඒ කාලයෙහි තොපි ස්වල්පදෙනෙක්වූහ. භද්දාලිය එය ඔබට මතක ඇත්තෙහිද?”

“නැත. ස්වාමීනි”

“භද්දාලිය, එය කුමක් නිසාදැයි සිතන්නෙහිද?”

“ස්වාමීනි, ඒ මම ශාස්තෘ ශාසනයෙහි බොහෝ කාලයක් ශික්ෂාපද නොපුරන්නෙක් වීම්ද?” (ඒ නිසායයි සිතමි)

“භද්දාලිය, එයම හේතුව නොවේ. එයම ප්‍රත්‍යය (කරුණු) නොවේ. තවද භද්දාලිය, මේ හිස් පුරුෂ තෙම මා ධර්මය දෙශන කල්හි අර්ථයෙන් යුක්ත කොට සිතෙහි තබා ගෙන සියල්ල සිතට ඇතුලත් කරගෙන කන් යොමා බණ නොඅසා යයි ඔබගේ සිත මගේ සිතින් පිරිසිඳ දැන ගන්නා ලද්දේය. භද්දාලිය, නැවතත් අජානීය අශ්වයා උපමාකළ ධර්ම ක්‍රමය ඔබට දෙසමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. මම කියන්නෙමි.” “එසේය, වහන්සැ’යි ආයුෂ්මත් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

“භද්දාලිය, යම්සේ දක්ෂ අශ්වයන් දමනය කරන්නෙක් යහපත් ආජානීය අශ්වයකු ලැබ පළමු කොට කටකලියාව දැමීමේ හික්මවීම කරයි. ඒ කටකලියාව දැමීමෙන් හික්මවනු ලබන අශ්වයාගේ පෙර නොකරනු ලැබූ දෙයක් කරන කල්හි යම් යම් දැඟලුම් නොහික්මුම් ඇතිවෙත්. හික්මවීම නිසා ඒ කාරණයෙන් හික්මෙන්නේය.

“භද්දාලිය, යම් හෙයකින් යහපත් ආජානීය අශ්වතෙම නිතර හික්මවීමෙන් පිළිවෙළින් හික්මවීමෙන් ඒ කාරණයෙන් හික්මුණේ වේද අශ්වයන් දමනය කරන්නා ඒ අශ්වයා නැවත යුගය (-වියකර) තැබීමෙහි හික්මවයි, ඒ විය කර තැබීම පුරුදු කරන කල්හිද, පෙර නොකරන ලද දෙයක් කරවනු ලබන අශ්වයාගේ යම් යම් දැඟලුම් නොහික්මුම් ඇතිවෙත් . ඒ අශ්වයා නිතර කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් එහිද හික්මෙන්නේය.

“භද්දාලිය, යම් හෙයකින් යහපත් ආජානීය අශ්වතෙම නිතර කිරීමෙන්, පිළිවෙළින් කිරීමෙන් එහි හික්මුණේ වෙයිද, අශ්වයන් දමනය කරන්නා ඒ අශ්වයා නැවත සිවුපා එකට ඔසවා තැබීමෙහිද, (බිම වැටුනු දෙයක් ගත හැකිසේ) නැමීමෙහිද, ඛුර අගින් යාමෙහිද, සීඝ්‍ර ධාවනයෙහිද, (යුදයෙහි ඇතිවන) ශබ්දයන්ට බිය නොවීමෙහිද, රජු විසින් දතයුතු ගුණයෙහිද, අශ්වරාජ වංශයෙහිද, ජවසම්පත්තියෙන් (-ශ්‍රෙෂ්ඨ වේගයෙහි) ශ්‍රෙෂ්ඨ අශ්වයෙක් වීමෙහිද, මෘදු වචනයට කීකරු වීමෙහිද, (යන කරුණු දසය) පුරුදු කරවයි. ජවසම්පත්තියෙහි හික්මවීමෙහිද ශ්‍රෙෂ්ඨ අශ්වයෙක් කිරීමෙහිද, මෘදු වචනයට කීකරු කිරීමෙහිද පෙර නොකළ දෙයක් කරන අශ්වයාටද යම් යම් දැඟලීම් නොහික්මීම ඇතිවෙත්මය. ඒ අශ්වයා නිතර කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් එහි නික්මෙන්නේය, භද්දාලිය යම්හෙයකින් අශ්වතෙමේ නිතර කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් අශ්වයා හික්මුනේවෙයිද අසුන් දමනය කරන්නා නැවත ඒ අශ්වයා තැලීම විදීම ආදී අශ්ව දමන කර්ම විශෙෂයන්ට ඇතුල් කරයි. (-යොදවයි) භද්දාලිය, මේ දශ අංගයන් ගෙන් යුත් යහපත් ආජානීය අශ්වයා රජුන්ට සුදුසු වේ රජු විසින් පරිභොග කළ යුතුවේ. රජුගේ අංගය යන සංඛ්‍යාවට ඇතුළත් වෙයි.

“භද්දාලිය, එමෙන්ම දසවිධ ධර්මයන්ගෙන් යුත් භික්ෂුව ආහුනෙය්‍ය (-දුරසිට ඇවිත් පිදියයුතු) වෙයි, පාහුණෙය්‍ය (-අභිනව දෙයින් පිදියයුතු) වෙයි, දක්ෂිණෙය්‍ය (-පින් කැමතිව පිදියයුතු) වෙයි, වැඳියයුතු වෙයි, ලෝකයාට උතුම් පිංකෙත වෙයි, කවර දසයකින්ද, භද්දාලිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම අසෙඛ (-හික්මී අවසානවූ) සම්මාදිට්ඨියෙන් (-යහපත් දැකීමෙන්) යුතු වෙයි, අසෙඛ සම්මාසංකප්පයෙන් (-යහපත් කල්පනාවෙන්) යුතු වෙයි, අසෙඛ සම්මාවාචායෙන් (-යහපත් වචනයෙන්) යුතුවෙයි. අසෙඛ සම්මාකම්මන්තයෙන් (-යහපත් කර්මාන්තයෙන්) යුතුවෙයි. අසෙඛ සම්මා ආජීවයෙන් (-යහපත් දිවි පැවැත්මෙන්) යුතුවෙයි අසෙඛ සම්මාවායාමයෙන් (-යහපත් උත්සාහයෙන්) යුතුවෙයි. අසෙඛ සම්මාසතියෙන් (යහපත් සිහියෙන්) යුතුවෙයි. අසෙඛ සම්මාසාමධියෙන් (-යහපත් සිත එකඟ කිරීමෙන්) යුතුවෙයි අසෙඛ සම්මාඤාණයෙන් යුතු වෙයි, අසෙඛ සම්මාවිමුත්තියෙන් යුතුවෙයි. භද්දාලිය මේ දසවිධ ධර්මයන්ගෙන් යුත් භික්ෂුව ආහුණෙය්‍ය (-දුරසිට ඇවිත් පිදියයුතු) වෙයි, පාහුණෙය්‍ය (-අභිනව දෙයින් පිදියයුතු) වෙයි, දක්ඛිණෙය්‍ය (පින් කැමතිව පිදියයුතු) වෙයි, වැඳියයුතු වෙයි, ලොවට උතුම් පින් කෙත වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දෙසූ සේක සතුටු සිත් ඇති ආයුෂ්මත් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු විය.

පස්වෙනිවූ භද්දාලි සූත්‍රය නිමි. (2-5)