මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

2. භික්ෂු වර්ගය

67. චාතුම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාතුමා නුවර නෙල්ලි වනයෙහි වාසය කළහ. එකල්හි වනාහි සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නුවරට පැමිණියාහු වෙත්. ඒ ආගන්තුක භික්ෂූහු නේවාසික භික්ෂූන් සමග සතුටු වෙමින් සෙනසුන් පනවන්නාහු පාසිවුරු තැන්පත් කර තබන්නාහු උස් ශබ්ද මහා ශබ්ද ඇත්තෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්‍දය, මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහා ශබ්ද කරන්නෝ කවරහුද?” “ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය” යි (කීය.) “ආනන්‍දය, එසේනම් ’ශාස්තෲන් වහන්සේ ආයුෂ්මකුන් කැඳවති’ යි මාගේ වචනයෙන් ඒ භික්‍ෂූන් කැඳවව” “එසේය ස්වාමීනි” යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූහු යම් තැනකද එහි පැමිණියේය. එහි පැමිණ, ’ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවති’ යි ඒ භික්‍ෂූන්ට කීය. ’එසේය ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියාහුය. එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාහුය. එක් පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීය. “මහණෙනි, කුමක් හෙයින් තොපි මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහත් ශබ්ද කරන්නහුද?” “ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ මේ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය” යි (කීහ.) “මහණෙනි, යව් තොප නෙරපමි. තොප මා වෙත නොවැසිය යුතුය” යි (වදාළහ). “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සෙනසුන් අකුලා තැන්පත්කර තබා පා සිවුරු ගෙන ගියාහුය.

එසමයෙහි වනාහි චාතුමා නුවර වැසි ශාක්‍යයෝ නගර ශාලාවෙහි රැස්ව හුන්නාහුය. (ඒ) චාතුමා නුවර වැසි ශාක්‍යයෝ දුරදීම එන ඒ භික්‍ෂූන් දුටුවාහුය. දැක ඒ භික්‍ෂූහු යම් තැනකද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් එතැනට පැමිණියාහුය. පැමිණ ඒ භික්ෂූන්ට “ආයුෂ්මත් නුඹවහන්සේලා මේ දැන් අවුත් මේ දැන් කොහි යන්නහුදැයි?” ඇසූහ.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූහු සංඝයා නෙරපන ලද්දේය.”

“එසේ නම්, ආයුෂ්මතුන් වහන්සේලා මොහොතක් හිඳිනු මැනව. අපි භාග්‍යවතුන් වහන්සේ පහදවන්ට හැකි වන්නෙමු නම් යෙහෙක” කීහ. “එසේය, ඇවැත්නි”යි ඒ භික්ෂූහු චාතුමා නුවර වැසි ශාක්‍යයන්ට පිළිතුරු දුන්නාහුය.

ඉක්බිති චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නාහුය. එක් පැත්තක හුන් චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවාහුය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් සේ පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හිත් අනුග්‍රහ කරණ සේක්වා. ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුත පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්ෂූන්ට ශ්‍රද්ධාවේ වෙනසක් වන්නේය. පෙරළීමක් වන්නේය. ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්ෂූන්ට වෙනසක් වන්නේය, පෙරළියක් වන්නේය, ස්වාමීනි, යම්සේ මව දකින්ට නොලැබෙන වසු පැටවෙකුට වෙනසක් වන්නේද, පෙරළියක් වන්නේද, එමෙන්ම ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ නොදක්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. පෙරළියක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමති වන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා, ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණසේක්වා.

ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳ කල්පනාව දැන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අත දිගුකෙරේද, දිගුකළ අත හකුලුවාද, එමෙන් බඹලොවෙහි අතුරුදන්වී (නොපෙනී ගොස්) භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය. ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම උතුරු සළුව එකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඟිලි එකට තබා වැඳ නමස්කාර කොට මේකාරණය කීය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන ලදද එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සේක්වා. ස්වාමීනි, ළඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුත පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය. ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ළඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය.

“ස්වාමීනි, මව දකින්නට නොලැබෙන වසුපැටවෙකුට අමුත්තක් වන්නේද, වෙනස්කමක් වන්නේද එමෙන්ම ස්වාමීනි, ළඟදී පැවිදිවූ මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නොදන්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරන සේක්වා. ස්වාමීනි යම්සේ භාග්‍යවතුන් වහන්සේ පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සේක්වා.”

චාතුමෙය්‍යක ශාක්‍යයෝ හා සහම්පතී බ්‍රහ්මයා බීජොපමාවෙන් හා තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදවන්ට හැකිවූහ. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් කැඳවූහ. “ඇවැත්නි, නැගිටිව්, පාසිවුරු ගනිව්, චාතුමෙය්‍යක ශාක්‍යයන් විසින්ද, සහම්පතී බ්‍රහ්මයා විසින්ද, බීජොපමාවෙන් සහ තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදවන ලදහ”. “එසේය ඇවැත්නි”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට උත්තර දී හුන්තැනින් නැගිට පා සිවුරු ගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන් ඇවැත්වූ සැරියුත් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීහ. “ශාරීපුත්තය, මා විසින් භික්ෂූන් නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේද?’ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂු සංඝයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය. ‘භාග්‍යවතුන් වහන්සේ දැන් මද උත්සාහ ඇතිව ඵල සමවත් විහරණයෙහි යෙදී වාසය කරති. අපිදු දැන් මද උත්සාහ ඇතිව ඵලසමවත් විහරණයෙහි යෙදී වාසය කරමු’ (කියායි)

“ඉවසව සාරිපුත්ත, ඉවසව සාරිපුත්ත, ඔබ විසින් නැවතත් මෙබඳු සිතක් නොඉපදවිය යුතුය.” ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මහ මුගලන් තෙරුන්ට කථාකළහ. “මොග්ගල්ලානය, මා විසින් භික්ෂු සංඝයා නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේ ද?” “භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය. “භාග්‍යවතුන් වහන්සේ දැන් මද උත්සාහ ඇත්තාහ. ඵලසමවත් සැප විහරණයෙහි යෙදී වාසය කරති. මම ද ආයුෂ්මත් සැරියුත් තෙරහු ද භික්ෂු සංඝයා පරිහරණය කරමු කියායි.”

“මොග්ගල්ලානය, යහපති යහපති, මොග්ගල්ලානය, මම හෝ භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි, සැරියුත් මුගලන් දෙදෙනා හෝ පරිහරණය කරන්නාහුය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ. “මහණෙනි, දියට බසින්නවුන් විසින් බිය සතරක් කැමති විය යුත්තාහුය. ඒ සතර කවරහු ද? රළ වේගයෙන් ඇතිවන බිය, කිඹුලන්ගෙන් ඇති වන බිය, දිය සුළි වලින් ඇති වන බිය, සැඩ මසුන්ගෙන් වන බිය යන මොහුය. දියට බස්නහු විසින් කැමති විය යුතු මේ බිය සතර වෙත්. මහණෙනි, එමෙන්ම ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදිවන්නහු කෙරෙහි මේ බිය සතරක් කැමති විය යුතුයි. ඒ සතර කවරහු ද? රළ බය, කිඹුල් බය, දිය සුළි බය, සැඩ මසුන් බය (යන සතරයි)

“මහණෙනි, (සස්නෙහි) රළ වේග බය නම් කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ඉපදීමෙන්, ජරා මරණ දෙකින්, ශොකයන් ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුතු වූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. එසේ පැවිදිවූම ඔහුට එක්ව මහණදම් පුරන භික්ෂූහු අවවාද කරත්. අනුශාසනා කරත්. ඔබ මෙසේ ඉදිරියට යා යුතුය. ඔබ මෙසේ පසු හැරී යා යුතුය. ඔබ මෙසේ ඉදිරි දෙස බැලිය යුතුය. ඔබ මෙසේ අනුදිසා බැලිය යුතුය. ඔබ මෙසේ අත් පා දිගු කළ යුතුය. ඔබ මෙසේ දෙපට සිවුර පාත්‍රය තනිපට සිවුර හැඳ පෙරවිය යුතුය. (කියායි.) ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘පෙර ගිහිගෙයි විසූ අපි අනුන්ට අවවාද කෙළෙමු. අනුශාසනා කෙළෙමු. අපගේ පුත්‍රයන් පමණයි සිතිය හැකි අපගේ මුණුපුරන් පමණයයි සිතිය හැකි මොව්හු අප අවවාද කළ යුත්තන් කොට අනුශාසනා කළ යුත්තන් කොට සිතත්” (යයි කියා) ඔහු ශික්ෂාව හැර දමා (-සිවුරු හැර) ගිහිවෙයි. මහණෙනි, ‘මෙතෙම (සස්නෙහි) රළ වේගයට බයවූයේ ශික්ෂාව හැර දමා (-සිවුරු හැර) ගිහි වූයේ යයි’ කියනු ලැබේ. මහණෙනි, රළ වේග බිය යනු ක්‍රොධ උපායාසට (-බලවත් ක්‍රොධයට) නමකි.

“මහණෙනි, කිඹුල් බිය කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ඉපදීමෙන් ජරා මරණ දෙකින්, ශොකයන්ගෙන් වැලපීම් වලින් දුක් වලින්, දොම්නස් වලින්, උපායාසයන්ගෙන් යුතුවූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාශියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි. ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. එසේ පැවිදිවූම ඔහුට සමාන බඹසර ඇත්තාහු අවවාද කරත්. අනුශාසනා කරත්. ‘ඔබ මෙය කෑයුතුය. ඔබ මෙය නොකෑයුතුය. ඔබ මෙය අනුභව කළ යුතුය. ඔබ මෙය අනුභව නොකළ යුතුය. ඔබ මෙය රස විඳිය යුතුය. ඔබ මෙය රස නොවිඳිය යුතුය. ඔබ මෙය පානය කළ යුතුය. ඔබ මෙය පානය නොකළ යුතුය. ඔබ කැප දෙය කෑ යුතුය. ඔබ අකැප දෙය නොකෑ යුතුය. ඔබ කැප දෙය අනුභව කළ යුතුය. ඔබ අකැප දෙය අනුභව නොකළ යුතුය. ඔබ කැප දෙය රස විඳිය යුතුය. ඔබ අකැප දෙය රස නොවිඳිය යුතුය. ඔබ කැප දෙය පානය කළ යුතුය. ඔබ අකැප දෙය පානය නොකළ යුතුය. ඔබ කාලයෙහි කෑ යුතුය. ඔබ නොකල්හි නොකෑ යුතුය. ඔබ කාලයෙහි අනුභව කළ යුතුය. ඔබ නොකල්හි අනුභව නොකළ යුතුය. ඔබ කාලයෙහි රස විඳිය යුතුය. ඔබ නොකල්හි රස නොවිඳිය යුතුය. ඔබ කාලයෙහි පානය කළ යුතුය. ඔබ නොකල්හි පානය නොකළ යුතුය, (කියායි.) ඔහුට මෙබඳු සිතක් වෙයි. පෙර ගිහිගෙයි විසූ අපි යමක් කැමති වෙමුද, එය කෑවෙමු. යමක් නොකැමැත්තෙමුද, එය නොකෑවෙමු, යමක් කැමති වෙමුද, එය අනුභව කෙළෙමු. යමක් නොකැමැති වෙමුද, එය අනුභව නොකෙළෙමු. යමක් කැමති වෙමුද, එය රස වින්දෙමු, යමක් කැමති වෙමුද, එය පානය කෙළෙමු. යමක් කැමති නොවෙමුද, එය පානය නොකෙළෙමු. කැප දෙයද කෑවෙමු. අකැප දෙයද කෑවෙමු. කැප දෙයද අනුභව කෙළෙමු. අකැප දෙයද අනුභව කෙළෙමු. කැප දෙයද රස වින්දෙමු. අකැප දෙයද රස වින්දෙමු. කැප දෙයද පානය කෙළෙමු. අකැප දෙයද පානය කෙළෙමු. කාලයෙහිද කෑවෙමු. නොකල්හිද කෑවෙමු. කාලයෙහිද අනුභව කෙළෙමු. නොකල්හිද අනුභව කෙළෙමු. කාලයෙහිද රස වින්දෙමු. නොකල්හිද රස වින්දෙමු. කාලයෙහිද පානය කෙළෙමු. නොකල්හිද පානය කෙළෙමු. අපට සැදැහැවත් ගෘහපතියෝ දවල් නොකල්හි යම් රසවත් කන දෙයක් අනුභව කළ යුතු දෙයක් (-කන බොන දෙයක්) දෙත්ද, එහිදු මාගේ කටවැසීමක් කරන්නාක් මෙන් වැටහේය’යි ඔහු ශික්ෂාව හැර (-සිවුරු හැර) ගිහිවෙයි. මහණෙනි, මොහු කිඹුල් බයට බයව ශික්ෂාව හැරදමා ගිහිවූයේයයි කියනු ලැබේ. මහණෙනි, කිඹුල් බය යනු කෑදර කමට නමකි.

“මහණෙනි, දියසුලි බය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන්, ජරා මරණ දෙකින් ශොකයන්ගෙන් වැළපීම්වලින් දුක්වලින් දොම්නස්වලින් උපායාසයන්ගෙන් යුතුවූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි’ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. ඔහු මෙසේ පැවිදිවූයේම පෙරවරු කල හැඳ පොරවා පා සිවුරු ගෙණ ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින්, නොරක්නාලද වචනයෙන්, නොඑළඹී සිහියෙන් අසංවර ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව, පිඩු පිණිස පිවිසෙයි, ඔහු එහි පස්කම් ගුණයෙන් යුක්තව කම් සැප විඳින ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ දකී. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘අපි පෙර ගිහි වූවාහුම පස්කම් ගුණයෙන් සම්පූර්ණ වූවාහු’ යුක්ත වූවාහු කම්සැප වින්දෙමු. ගෙදර සම්පත්ද වෙත්. සම්පත් අනුභව කරන්ටද පින් කරන්ටද පුළුවන’ කියායි. ඔහු ශික්ෂාව හැර (-සිවුරු හැර) ගිහි වෙයි. මොහු දියසුලි බයට බයවූයේ ශික්ෂාව හැර (සිවුරු හැර) ගිහිවූයේයයි කියනු ලැබේ. මහණෙනි, දියසුලි බය යනු පස්කම් ගුණයට නමකි.

“මහණෙනි, සැඩමස් බය කුමක්ද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් (මෙසේ සිතයි) ‘ඉපදීමෙන් ජරා මරණ දෙකින්, ශොකයන්ගෙන්, වැළපීම්වලින් දුක් වලින්, දොම්නස් වලින් යුතුවූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි,’ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. ඔහු මෙසේ පැවිදිවූයේම, පෙරවරුකල හැඳ පොරවා පා සිවුරු ගෙණ ගමට හෝ නියම් ගමට හෝ නොරක්නාලද කයින් නොරක්නාලද වචනයෙන්, නොඑළඹි සිහියෙන්, අසංවර ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. ඒ භික්ෂුව ඒ ගමෙහි හරිහැටි නොහැන්ද, හොඳට නොපෙරෙවූ ස්ත්‍රියක් දැක රාගය තෙමේ භික්ෂුවගේ සිත නසයි. ඒ භික්ෂුව රාගයෙන් විනාශ කළ සිතින් යුක්තව, ශික්ෂාව හැර (-සිවුරු හැර) ගිහි වෙයි. මහණෙනි, සැඬමස් බය යනු මාගමට (-ස්ත්‍රියට) නමකි.

“මහණෙනි, ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදිවූ මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයන් වෙත මේ බය සතර කැමැති විය යුත්තාහ.”

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු වූහ.

සත්වෙනිවූ චාතුම සූත්‍රය නිමි. (2-7)