මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

3. පරිබ්‍රාජක වර්ගය

72. අග්ගි වච්ඡගොත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහ සිටුහුගේ ජෙතවන නම්වූ ආරාමයෙහි වාසය කළහ. එකල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පැත්තක උන්නේය. එක්පැත්තක උන්නාවූම වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලොකය සදාකාලිකය, මෙයම සත්‍යයි මෙයින් අන්‍යමත සිස්ය, යන මේ දෘෂ්ටිය ඇත්තේද?”

“වච්ඡය, මම ‘ලොකය සදාකාලිකය, මෙයම සත්‍යයි මෙයින් අන්‍ය මත සිස්ය, යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලොකය සදාකාලික නොවේ. මෙයම සත්‍යයි මෙයින් අන්‍ය මත හිස්ය, යන මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”

“වච්ඡය, මම ‘ලොකය සදාකාලික, නොවේ. මෙයම සත්‍යය මෙයින් අන්‍ය මත සිස්ය, යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලොකයේ කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටිය ඇත්තේද?”

“වච්ඡය, මම ‘ලොකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලොකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි මෙබඳු දෘෂ්ටිය ඇත්තේද?”

“වච්ඡය, මම ‘ලොකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘එයම ජීවය වේ, එයම ශරීරය වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”

“වච්ඡය මම ‘එයම ජීවය වේ, එයම ශරීරය වේ, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ජීවය අනිකක් වේ. ශරීරය අනිකක් වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”

“වච්ඡය, මම ‘ජීවය අනිකක් වේ. ශරීරය අනිකක් වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”

“වච්ඡය, මම ‘සත්වතෙම මරණින් මතු වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”

“වච්ඡය, මම ‘සත්ව තෙම මරණින් මත්තෙහි නොවේ. මෙයම සත්‍යය මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”

“වච්ඡය, මම ‘සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ‘සත්ව තෙම මරණින් මතු නොම වෙයි. නොවන්නේ නොවෙයි, මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”

“වච්ඡය, “මම සත්ව තෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේ නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ‘ලොකය සදාකාලික වේ. මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි මෙසේ විචාරණ ලද්දේ ‘වච්ඡය මම ලොකය සදාකාලිකය, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීවෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ලොකය ශාස්වත නොවේ. මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැ?’යි මෙසේ විචාරණ ලද්දේද ‘වච්ඡය, මම, ලොකය සදාකාලික නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද නොවෙමියි කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ, ලොකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද?’යි මෙසේ විචාරණ ලද්දේද ‘වච්ඡය, මම ලොකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නොවෙමියි’ කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ ලොකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි මෙසේ විචාරන ලද්දේද ‘වච්ඡය, මම ලොකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.

භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ එයම ජීවයවේ, එයම ශරීරයවේ, මෙයම සත්‍යයි. මෙයින් අන්‍ය මත හිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැ?’යි මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, මම එය ජීවය එය ශරීරය මෙයම සත්‍යය මෙයින් අන්‍ය මත සිස්යයි මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නෙවෙමියි’ කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ජීවය අනිකක, ශරීරය අනිකක, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, ජීවය අනිකක, ශරීරය අනිකක, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ, සත්වතෙම මරණින් මත්තෙහි වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, සත්වතෙම මරණින් මත්තෙහි නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි, මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද? මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, මම සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, සත්ව තෙම මරණින් මත්තෙහි නොම වෙයි. නොවන්නේත් නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද? මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේත් නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.

“භවත් ගෞතම තෙමේ කිනම් ආදීනවයක් දකිමින් මෙසේ මේ සියලු දෘෂ්ටි ගතිවලට නොපැමිණියේ වෙහිද?”

“වච්ඡය, ලොකය ශාස්වතය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිහුලය, දෘෂ්ටිචපලබව, දෘෂ්ටි සංයොජනය දුක් සහිතය, උවදුරු සහිතය, වෙහෙස සහිතය, දැවිලි සහිතය, කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැතිකිරීම පිණිස, සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබොධය පිණිස, නිර්වාණය පිණිස නොපවතියි.

“වච්ඡය, ලොකය අශාස්වතය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටි රැහැන දුක් සහිත වේ, උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබොධය පිණිස නිවන් පිණිස නොපවතියි.

“වච්ඡය ලොකය කෙළවර ඇත්තේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටි චපලබව දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නො ඇලීම පිණිස, දුක් නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි.

“වච්ඡය, ලොකය කෙළවර නැත්තේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටි චපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබොධය පිණිස නිවන් පිණිස, නොපවතියි.

“වච්ඡය, එය ජීවයවේ. එය ශරීරයවේය යන මේ දෘෂ්ටිය දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටි චපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි.

“වච්ඡය, ජීවය අනිකක, ශරීරය අනිකක යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩිවෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි.

“වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි වේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිත වේ. දැඩිවෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස යහපත් දැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි.

“වච්ඡය, සත්වතෙම මරණින් මත්තෙහි නොවේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩිවෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි.

“වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටි රැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබොධය පිණිස නිවන් පිණිස නොපවතියි.

“වච්ඡය, සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේත් නොවෙයි යන මේ දෘෂ්ටිය දෘෂ්ටිකැලය, දෘෂ්ටිකාන්තාරය, දෘෂටිහුල, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිසංයොජනය, දුක්සහිතවේ. උවදුරු සහිතවේ. වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැතිකිරීම පිණිස, සංසිඳීම පිණිස, නුවණින් දැනීම පිණිස, අවබොධය පිණිස, නිර්වාණය පිණිස නොපවතියි. වච්ඡය, මම මේ දොෂය දකිමින් මේ දෘෂ්ටිවලට සියලු ආකාරයෙන් නොඑළඹුනේ වෙමියි” කීහ.

“භවත් ගෞතමයන් වහන්සේගේ කිසියම් දෘෂ්ටි ගතියක් ඇද්ද?” “වච්ඡය, දෘෂ්ටිගතිය යන මෙය තථාගතයන් විසින් බැහැර කරන ලදී. වච්ඡය, තථාගතයන් විසින් රූපය මේය, රූපයාගේ හෙතුව මේය. රූපයාගේ විනාසය මේය, වෙදනාව මේය, වෙදනාවගේ හෙතුව මේය. වෙදනාවගේ විනාසය මේය. සංඥාව මේය, සංඥාවගේ හෙතුව මේය. සංඥාවගේ විනාසය මේය. සංස්කාරයෝ මොහුය. සංස්කාරයන්ගේ හේතුව මේය. සංස්කාරයන්ගේ විනාසය මේය. විඤ්ඤාණය මේය, විඤ්ඤාණයාගේ හෙතුව මේය. විඤ්ඤාණයාගේ විනාසය මේයයි. දන්නා ලද්දේමය. එහෙයින් තථාගත තෙම සියලු මඤ්ඤිතයන්ගේ (තණ්හාදිට්ඨිමානයන්ගේ) සියලු මථතයන්ගේ (තණ්හාදිට්ඨිමානයන්ගේ) මමයයි ගන්නා දෘෂ්ටිය මගේයයි ගන්නා තෘෂ්ණාව මමයයි හඟින මානය යන අනුශයයන්ගේ නැසීමෙන් දුරුකිරීමෙන් නිරුද්ධ කිරීමෙන්, හැරදැමීමෙන්, උපාදාන රහිතව මිදුනේයි කියමියි” වදාළේය.

“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනාවූ සිත් ඇති භික්ෂුතෙම වනාහි කොහි උපදීද? “වච්ඡය, උපදී යනු නොයෙදෙයි. “භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් නූපදීද?”

“වච්ඡය, නූපදී යනුද නොයෙදෙයි (සුදුසු නොවෙයි)”

“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් උපදීද, නූපදීද?”

“වච්ඡය, උපදීද, නූපදීද යනුද නොයෙදෙයි.”

“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම්, නොමඋපදියි, නූපදින්නේත් නොවේද?”

“වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවෙයි යනුද නොයෙදේයයි වදාළේය.

“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනු සිත් ඇති භික්ෂුතෙම වනාහි කොහි උපදීද?’ මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, උපදියි යනු නොයෙදේ යයි” කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් නූපදීද? මෙසේ විචාරණ ලද්දේද “වච්ඡය, නූපදියි යනු නොයෙදේයයි” කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් උපදීද නූපදීද?” මෙසේ විචාරණ ලද්දේද “වච්ඡය, උපදීද නූපදීද යනු නොයෙදේයයි” කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, නොම උපදියි, නූපදින්නේත් නොවේද?”

මෙසේ විචාරණ ලද්දේ “වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවේය යනු නොයෙදේයයි” කීයෙහිය.

“භවත් ගෞතමයන් වහන්ස, මෙහි මම නොදැනීමට පැමිණියෙමි. මෙහි මුළාවට පැමිණියෙමි. භවත් ගෞතමයන් වහන්සේගේ පළමු කථාවෙන් මා හට යම් ප්‍රසාද මාත්‍රයක් ඇතිවීද, එයද දැන් මට නැතිවිය.”

“වච්ඡය, තාගේ නොදැනීමට සුදුසුය. මුළාවීමට සුදුසුය. වච්ඡය, මේ ධර්මය තෙමේ ගැඹුරුය. දැකීම දුෂ්කරය අවබොධ කිරීම දුෂ්කරය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක්කේය. සියුම්ය. පණ්ඩිතයන් විසින් දත යුතුය. අන්‍ය දෘෂ්ටිකවූ අනික් දෘෂ්ටියක් පිළිගන්නාවූ අනික් දෘෂ්ටියක් කැමතිවන්නාවූ අනික් දෘෂ්ටියෙක්හි යෙදෙන්නාවූ අනික් දෘෂ්ටියක ගුරුවරුන් ඇත්තාවූ තා විසින් ඒ ධර්මය දැනගැණීම දුෂ්කරය.

“වච්ඡය, එසේවීනම් මෙහිලා තගෙන්ම අසමි. තොපට යම්සේ කැමැති වන්නේද එපරිද්දෙන් එය ප්‍රකාශ කරව. වච්ඡය ඒ කුමකැයි හඟින්නෙහිද?”

“ඉදින් තොපගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේය. නුඹ ‘මාගේ ඉදිරියෙහි මේ ගින්න ඇවිලේ යයි දන්නෙහිද?

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මාගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේ නම් මේ ගින්න මා ඉදිරියෙහි ඇවිලේයයි මම දනිමි.”

“වච්ඡය, ඉදින් වනාහි තගෙන් ‘යම් මේ ගින්නක් තොප ඉදිරියේ ඇවිලේද, මේ ගින්න කුමක් නිසා ඇවිලේද?” මෙසේ අසන්නේ නම් වච්ඡය මෙසේ අසන ලද්දාවූ නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?

“භවත් ගෞතමයන් වහන්ස, ‘යම් මේ ගින්නක් තොප ඉදිරියේ ඇවිලේද, මේ ගින්න කුමක් නිසා ඇවිලේදැයි, ඉදින් මගෙන් මෙසේ අසන්නේ නම් භවත් ගෞතමයන් වහන්ස, මෙසේ අසනු ලැබූ මම ‘යම් මේ ගින්නක් මා ඉදිරියෙහි ඇවිලේද, මේ ගින්න තෘණ දැව දර නිසා ඇවිලේයයි මෙසේ ප්‍රකාශ කරන්නෙමි.

“වච්ඡය, ඉදින් තොප ඉදිරියෙහි මේ ගින්න නිවෙන්නේ නම් මේ ගින්න මා ඉදිරියෙහි නිවුනේ යයි දන්නෙහිද?”

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මා ඉදිරියෙහි ඒ ගින්න නිවුනේ නම්, මේ ගින්න මා ඉදිරියේ නිවුනේ යයි මම දනිමි.”

“වච්ඡය, ‘යම් මේ ගින්නක් තොප ඉදිරියෙහි නිවුනේද ඒ ගින්න මෙතැනින් නැගෙනහිර දිශාවට හෝ බස්නාහිර දිශාවට හෝ උතුරු දිශාවට හෝ දකුණු දිශාවට හෝ කවර නම් දිසාවකට ගියේදැයි, ඉදින් තගෙන් මෙසේ අසන ලද්දේ නම් වච්ඡය, මෙසේ අසන ලද්දාවූ නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?”

“භවත් ගෞතමයන් වහන්ස, එසේ කීම නොයෙදෙයි. භවත් ගෞතමයන් වසන්ස, ඒ ගින්න තෘණ දර ආදී යමක් නිසා ඇවිලුනේද, එය කෙළවර වීමෙන්, දැවීමට අන් දෙයක්ද නැති හෙයින් නිවුණේයයි කියයුතු බවට පැමිණේයයි” (කීයේය.)

“වච්ඡය, මෙපරිද්දෙන්ම යම් රූපයක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද, ඒ රූපය තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලද්දේය. මුල් සිඳින ලද්දේය, කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, රූපය කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙම මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුවූයේ ප්‍රමාණ කළ නොහැක්කේ බැස ගැනීමට නොහැකිවූයේ වෙයි. උපදීයයි කීමටද නුසුදුසුය නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද, කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේද නොවේයයි කීමටද නුසුදුසුය.

“යම් වෙදනාවක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද, ඒ වෙදනාව තථාගතයන් විසින් පහකරණ ලදී. මුල් සිඳින ලදී කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, වේදනාවයයි කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙමේ මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුවූයේ, ප්‍රමාණ කළ නොහැක්කේ, බැසගැණීමට දුෂ්කරවූයේ වෙයි. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේ නොවේ යයිද කීමටද නුසුදුසුය.

“යම් සංඥාවක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද ඒ සංඥාව තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදී. මුල් සිඳින ලදී, කරටිය සුන් කළ තල් ගසක් මෙන් කරණලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, සංඥාවයයි කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙමේ මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුය. ප්‍රමාණ කළ නොහැක්කේය. බැසගැණීමට දුෂ්කරය. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේ නොවේයයිද කීමටද නුසුදුසුය.

“යම් සංස්කාරයක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවනු ලබන්නේද, කියනු ලබන්නේද, ඒ සංස්කාරයෝ තථාගතයන් විසින් පහකරණ ලදහ. සිඳින ලදහ. කරටිය සුන් කළ තල් ගසක් මෙන් කරණ ලද්දාහ. විනාශ කරණ ලද්දාහ. මතු නූපදනා බවට පමුණුවනලදහ. වච්ඡය, සංස්කාරයයි කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙමේ මහමුහුද මෙන් ගුණයෙන් ගැඹුරුය, ප්‍රමාණ කළ නොහැක්කේය. බැස ගැණීමට දුෂ්කරය. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි, කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද කීමට නුසුදුසුය නොම උපදියි නූපදින්නේ නොවේය කීමටද නුසුදුසුය.

“යම්විඤ්ඤාණයක් නිසා තථාගතයන් වහන්සේ සත්වයකැයි පනවනු ලබන්නේද, කියනු ලබන්නේද ඒ විඤ්ඤාණය තථාගතයන් විසින් පහකරනලදී. මුල් සිඳින ලදී. කරටිය සුන්කළ තල් ගසක් මෙන්කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවනලදී. වච්ඡය, විඤ්ඤාණ යයි කියන ස්වභායෙන් මිදුනාවූ තථාගත තෙමේ මහ මුහුද මෙන් ගුණයෙන් ගැඹුරුය. ප්‍රමාණ කළ නොහැක්කේය. බැස ගැණීමට දුෂ්කරය. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය, උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය නොම උපදියි නූපදින්නේ නොවේයයි කීමටද නුසුදුසුයි.” (වදාළේය.)

මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “භවත් ගෞතමයන් වහන්ස, යම්සේ ගමකට හෝ නියම් ගමකට හෝ නුදුරු තන්හි මහසල් රුකක් වේද, එය අනිත්‍ය බැවින් අතු පතර බිඳෙන්නේය. සිවිය හා පතුරු බිඳෙන්නාහුය. ඵලය බිඳෙන්නේය. ඒ ගස පසු කලෙක්හි පහව ගිය අතු පතර ඇත්තේ, ගැලවුන සිවිය හා පතුරු ඇත්තේ, සැලුනු ඵලය ඇත්තේ පිරිසිදුවූ සාරයෙහි පිහිටන්නේය. මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ මේ ධර්මය පහව ගිය අතු පතර ඇති පහවූ සිවිය හා පතුරු ඇති පහවූ ඵලය ඇති පිරිසිදුවූ සාරයෙහි පිහිටියේ වෙයි.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් හරින්නේද මං මුලාවූවෙකුට හෝ මග කියන්නේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ප්‍රකාරයෙන් ධර්මය දෙශනා කරණ ලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි) භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවිහිම්කොට සරණ ගියාවූ උපාසකයෙකැයි, දරණසේක්වා”යි (කීය)

දෙවෙනිවූ අග්ගි වච්ඡගොත්ත සූත්‍රයයි.