මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

3. පරිබ්‍රාජක වර්ගය

73. මහා වච්ඡගොත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වාසය කළහ. එකල්හි වච්ඡගොත්ත නම් පරිව්‍රාජකතෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූම, වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.

“මම භවත් ගෞතමයන් වහන්සේ හා බොහෝ කලක් කළ කථා ඇත්තේ වෙමි. භවත් ගෞතම තෙමේ මට කොටින් කුසල් හා අකුසල් දෙශනා කරත්වා.”

“වච්ඡය, මම තොපට කොටින්ද කුසල් අකුසල් දෙශනා කරන්නෙමි. වච්ඡය, මම තොපට විස්තර වශයෙන්ද කුසල් අකුසල් දෙශනා කරන්නෙමි. වච්ඡය, එතකුදු වුවත් මම තොපට කොටින් කුසල් අකුසල් දෙශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය.

“එසේය පින්වතුන් වහන්සැ”යි වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“වච්ඡය, ලොභය වනාහි අකුසල්ය, අලොභය කුසල්ය, වච්ඡය, ද්වේෂය වනාහි අකුසල්ය, අද්වේෂය කුසල්ය වච්ඡය, මොහය වනාහි අකුසල්ය, අමොහය කුසල්ය. වච්ඡය මෙසේ මේ ධර්ම තුන අකුසල් වෙත්. මේ ධර්ම තුන කුසල් වෙත්.

“වච්ඡය, සතුන් මැරීම අකුසල්ය, සතුන් මැරීමෙන් වැලකීම කුසල්ය. වච්ඡය සොරකම් කිරීම අකුසල්ය, සොරකම් කිරීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, කාමයන්හි වරදවා හැසිරීම අකුසල්ය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය; බොරුකීම අකුසල්ය; බොරු කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, කේලාම් කීම අකුසල්ය; කේලාම් කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, ඵරුෂ වචන කීම අකුසල්ය, ඵරුෂ වචන කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, හිස්බස් කීම අකුසල්ය, හිස්බස් කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, දැඩි ලොභය අකුසල්ය; දැඩි ලොභය නැතිවීම කුසල්ය. වච්ඡය, අනුන් නැසෙත්වායි සිතීම අකුසල්ය, අනුන් නැසෙත්වායි නොසිතීම කුසල්ය. වච්ඡය, මිථ්‍යා දෘෂ්ටිය අකුසල්ය, සම්‍යක් දෘෂ්ටිය කුසල්ය. වච්ඡය, මෙසේ වනාහි මේ ධර්ම දසය අකුසල් වෙත්. මේ ධර්ම දසය කුසල් වෙත්.

“වච්ඡය, යම්හෙයකින් වනාහි භික්ෂූහුගේ තෘෂ්ණාව ප්‍රහීණවූවා සිඳිනලද මුල් ඇත්තී මුදුන සුන්කළ තල්ගස මෙන් කරණ ලද්දී, විනාශ කරණ ලද්දී මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තී වේද, ක්ෂයවූ ආශ්‍රව ඇති, වැස නිමවන ලද බ්‍රහ්මචර්යාව ඇති, කරණ ලද කටයුතු ඇති, බහා තබනලද ස්කන්ධභාරය ඇති, පිළිවෙළින් පැමිණියාවූ අර්හත්වය ඇති, නැතිකළාවූ භවසංයොජනය ඇති, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ, ඒ භික්ෂුතෙම රහත්වූයේ වෙයි.”

“භවත් ගෞතමයන් හැර භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකවූ එක භික්ෂුවකුත් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද?”

“වච්ඡය මාගේ ශ්‍රාවකවූ යම් භික්ෂූහු ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරෙත්ද, ඔව්හු එක්සියයක්ද නොවෙයි. දෙසියයක්ද නොවෙයි. තුන්සියයක්ද නොවෙයි. හාරසියයක්ද නොවෙයි. පන්සියයක්ද නොවෙයි. බොහෝ වූවාහුම වෙත්.”

“භවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවූ එකභික්ෂුණියකුත් ආශ්‍රවයන් ක්ෂයකිරීමෙන් අනාශ්‍රවවූ අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද?”

“වච්ඡය, මාගේ ශ්‍රාවිකාවූ යම් භික්ෂුණීහු ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරෙත්ද, ඔව්හු එක්සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. හාරසියයක් නොවෙයි. පන්සියයක් නොවෙයි. බොහෝ වූවාහුම වෙත්.”

“භවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භික්ෂුණීන්ද හැර ගෘහස්ථවූ සුදු වස්ත්‍ර හඳනාවූ බ්‍රහ්මචාරීවූ ඔරම්භාගිය සංයොජන පස නැතිකිරීමෙන් ඔපපාතික ඉපදීම ඇත්තාවූ එහිදී පිරිනිවීම ඇත්තාවූ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තාවූ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකවූ එක උපාසකයෙකුත් ඇත්තේද?”

“වච්ඡය, ශ්‍රාවකවූ ගෘහස්ථවූ සුදුවත් හඳනාවූ බඹසර ඇත්තාවූ ඔරම්භාගිය සංයොජන පස නැසීමෙන් ඔපපාතිකවූ එහි පිරිනිවීම ඇත්තාවූ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තාවූ යම් උපාසකයෝ වෙත්ද, ඔව්හු එක් සියයක්ම නොවෙයි. දෙසියයක් නොවේ. තුන්සියයක් නොවේ. හාරසියයක් නොවේ. පන්සියයක් නොවේ. බොහෝ වූවාහුම වෙත්.”

“භවත් ගෞතමයන් හැර භික්ෂූන්ද හැර භික්ෂුණීන්ද හැර ගෘහස්ථවූ සුදුපිළි සඳනාවූ බ්‍රහ්මචාරීවූ උපාසකයන්ද හැර භවත් ගෞතමයන් වහන්සේගේ ගිහිවූ සුදු වස්ත්‍ර සඳනාවූ කම්සැප අනුභවකරන්නාවූ අනුශාසනාව කරන්නාවූ අවවාදයට අනුව පිළිපදින්නාවූ, විචිකිච්ඡාව දුරුකළාවූ පහවූ සැකය ඇති, විසාරද බවට පැමිණියාවූ ශාස්තෘශාසනයෙහි අන්‍ය ශාස්තෘවරයන්ගේ පිහිට නොසොයන එක උපාසකයෙකුත් ඇත්ද?”

“වච්ඡය, මාගේ ශ්‍රාවකවූ ගිහිවූ සුදුපිළි සඳනාවූ කම්සැප අනුභව කරන්නාවූ අනුශාසනාව කරන්නාවූ අවවාදය පිළිපදින්නාවූ නැති කළ විචිකිච්ඡාව ඇත්තාවූ පහකළ සැකය ඇත්තාවූ විසාරද බවට පැමිණියාවූ ශාස්තෘශාසනයෙහි අන් පිහිට නොසොයන්නාවූ යම් ඒ උපාසකයෝ වාසය කෙරෙත්ද, ඔව්හු එක්සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. සාරසියයක් නොවෙයි. පන්සියයක් නොවෙයි. බොහෝ වූවාහුමැයි.”

“භවත් ගෞතමයන්ද හැර භික්ෂූන්ද හැර, භික්ෂුණීන්ද හැර, සුදු වස්ත්‍ර හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුන්ද හැර, සුදුවත් හඳනාවූ කම් සැප අනුභව කරන්නාවූ, ගිහි උපාසක වරුන්ද හැර, භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවිකාවූ සුදුවත් හඳනාවූ බ්‍රහ්මචාරිනිවූ, ඔරම්භාගිය සංයොජන පස නැසීමෙන් ඔපපාතිකවූ එහි පිරිනිවන්පාන සුළුවූ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇති උපාසිකාවකුත් ඇත්තේද?”

“වච්ඡය, මාගේ ශ්‍රාවිකාවූ ගෘහස්ථ සුදු පිළි හඳනාවූ බ්‍රහ්මචාරිනීවූ ඔරම්භාගිය සංයොජන පස නැසීමෙන් ඔපපාතිකවූ එහි පිරිනිවෙන සුළුවූ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තාවූ යම් උපාසිකා කෙනෙක් වෙත්ද, ඒ උපාසිකාවරු එක්සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. සාරසියයක් නොවෙයි. පන්සියයක් නොවෙයි. බොහෝ වෙත්.”

“භවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භික්ෂුණීන්ද හැර, සුදුවත් සඳහා බඹසර රක්නාවූ ගිහි උපාසකවරුන්ද හැර, සුදුවත් හඳනාවූ කම් සැප අනුභව කරන්නාවූ ගිහි උපාසකවරුන්ද හැර, සුදුවත් හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසිකාවන්ද හැර, භවත් ගෞතමයන් වහන්සේගේ ගිහිශ්‍රාවිකාවූ සුදුවත් හඳනාවූ කම්සැප අනුභව කරන්නාවූ, අනුශාසනාව කරන්නාවූ අවවාදය පිළිපදින්නාවූ දුරුකළ විචිකිච්ඡා ඇත්තාවූ විසාරද බවට පැමිණියාවූ ශාස්තෘ ශාසනයෙහි අන් පිහිටක් නොසොයන එක උපාසිකාවකුත් ඇත්තේද?”

“වච්ඡය, මාගේ ගිහි ශ්‍රාවිකවූ සුදු පිළි හඳනාවූ කම්සැප අනුභව කරන්නාවූ අනුශාසනය කරන්නාවූ අවවාදය පිළිපදින්නාවූ දුරුකළ විචිකිච්ඡා ඇත්තාවූ, පහවූ සැකය ඇත්තාවූ විශාරද බවට පැමිණියාවූ ශාස්තෘ ශාසනයෙහි අන් පිහිටක් නොසොයන යම් උපාසිකාවෝ වෙත්ද එබඳු උපාසිකාවරු එක් සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. හාරසියයක් නොවෙයි. පන්සියක් නොවෙයි. බොහෝ වෙත්.”

“භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වන්සේම මේ ධර්මය සම්පූර්ණ කෙළේ නම් භික්ෂූහු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය.”

“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මේ ධර්මය භවත් ගෞතමයන් වහන්සේ සම්පූර්ණ කළෝය. භික්ෂූහුද සම්පූර්ණ කළහ. ඒ හෙතුවෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ වූයේය.”

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය.

“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.”

“භවත් ගෞතමයන් වහන්ස ඉඳින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද ගෘහස්ථ සුදු වස්ත්‍ර හඳනාවූ බ්‍රහ්මචාරිවූ උපාසකවරු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය.

“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකිනුත් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදු පිළිහඳනා බ්‍රහ්මචාරීවූ ගිහි උපාසක වරුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.”

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනාවූ කම් සැප අනුභව කරන්නාවූ ගිහි උපාසකවරු සම්පූර්ණ නොකළාහු නම්, මෙසේ ඒ කාරණයෙන් මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය.

“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා බ්‍රහ්මචාරී ගිහි උපාසකවරුන් සම්පූර්ණ කළාහුය, සුදුවත් හඳනා කම් සැප අනුභව කරන්නා වූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය’ ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් වනාහි මේ ධර්මය භවත් ගෞතම තෙමෙත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනා බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනා කම්සැප අනුභව කරන්නාවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනා බ්‍රහ්මචාරිනීවූ ගිහි උපාසිකාවරු සම්පූර්ණ නොකළාහු නම්, ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය. භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදු පිළි හඳනා බඹසර රක්නා ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදුපිළි හඳනා කම්සැප විඳින්නාවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදුපිළි හඳනා බඹසර රක්නා ගිහි උපාසිකාවරුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් වනාහි මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහූත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද, සුදුපිළි හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුපිළි හඳනාවූ බ්‍රහ්මචාරිනීවූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුද, සුදුපිළි හඳනා කම්සැප විඳින්නාවූ ගිහි උපාසිකාවෝ සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය. භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා කම්සැප විඳින්නාවූ බ්‍රහ්මචාරිනීවූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා කම්සැප විඳින්නාවූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.

“භවත් ගෞතමයන් වහන්ස, යම්සේ ගංගානම් නදිය සමුද්‍රය වෙත නැමී සමුද්‍රයට හැරී, සමුද්‍රයට බරවී, සමුද්‍රයට වැද සිටීද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ ගිහි පැවිද්දන් සහිතවූ මේ පිරිස නිවණට හැරී, නිවණට බරවී නිවණට වැද සිටී. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස ඉතා යහපත භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුලාවූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ ද, එපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරනලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ කරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණ කොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” (කීයේය.)

“වච්ඡය, පෙර අන්‍යතීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි මහණකම් කැමැති වේද, උපසම්පදාව කැමැති වේද, හෙතෙම සාරමසක් පිරිවෙස් (පුරුදුවෙමින්) වසයි. සාරමසක්හුගේ ඇවෑමෙන් සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු, භික්ෂුභාවය පිණිස මහණ කරවත්, උපසම්පදා කරවත්. එතකුදු වූවත් මෙහි මා විසින් පුද්ගලයන්ගේ වෙනස් බව දැනගන්නා ලදැයි” කීය.

“ස්වාමීනි, ඉදින් පෙර අන්‍යතීර්ථක වූවෝ මේ ශාසනයෙහි මහණකම කැමැතිවන්නාහු, උපසම්පදාව කැමැතිවන්නාහු සාරමසක් පිරිවෙස් වසත්ද, සාරමසක්හුගේ ඇවෑමෙන් සතුටුසිත් ඇත්තාවූ භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කරවත් නම්, උපසම්පදා කරවත් නම්, මම සතර අවුරුද්දක් පිරිවෙස් වසන්නෙමි. සතර අවුරුද්දක්හුගේ ඇවෑමෙන් සතුටුසිත් ඇත්තාහු භික්ෂූහු මා භික්ෂුභාවය පිණිස පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වායි” කීය.

වච්ඡගොත්ත පරිව්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිවීම ලැබූයේය. උපසම්පදාව ලැබූයේය.

උපසපන්ව නොබෝ කල් ඇති ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ වනාහි උපසම්පදාවූ අඩමස් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ, භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළෙය. “ස්වාමීනි, ශෛක්ෂවූ (සෝවාන් සකෘදාගාමි අනාගාමි) ඥානයෙන්, ශෛක්ෂවූ විද්‍යාවෙන් යම් තැනකට පැමිණිය යුතුද, මා විසින් එයට පැමිණෙන ලදී. භාග්‍යවතුන් වහන්සේ මතුධර්මයන් උදෙසා මට ධර්මය දෙශනා කරණ සේක්වා.”

“වච්ඡය, එසේවීනම්, නුඹ සමථයත්, විදර්ශනාවත් යන දෙක වැඩියත් වඩව. වච්ඡය, තොප විසින් වැඩියත් වඩන ලද්දාවූ සමථයද, විදර්ශනාවද යන ධර්ම දෙක නොයෙක් ඥාන විශෙෂයන් අවබොධ කිරීම පිණිස පවත්නාහුය.

“වච්ඡය, ඒ නුඹ යම්විටෙක ‘අනෙකප්‍රකාරවූ ඍද්ධිවිධිය අනුභව කරන්නෙමි’යි, කැමති වන්නෙහිද, එකෙක්ව බොහෝ දෙනෙකුවන්නෙම්, බොහෝ දෙනෙක්ව එකෙක් වන්නෙමි. ප්‍රකාශ බවට මුවහ වීමට බිත්තියෙන් පිටතට ප්‍රාකාරයෙන් පිටතට අහසෙහි මෙන් නොගැටෙමින් යන්නෙමි. පොලොවෙහිද දියෙහිමෙන් මතුවීම ගැලීම කරන්නෙමි, දියෙහිද පොලොවෙහිමෙන් නොබිඳිමින් යන්නෙමි. අහසෙහිද පියාපත් ඇති ලිහිණියෙකු මෙන් පර්යංකයෙන් හිඳ ගමන් කරන්නෙමි. මෙසේ මහත් ඍද්ධි ඇත්තාවූ මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ මේ සඳ හිරු දෙදෙනද අතින් අල්වන්නෙමි. පිරිමදින්නෙමි. බඹලොව දක්වාද කයින් වසඟයෙහි පවත් වන්නෙමි’යි කැමති වන්නෙහි නම් ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.

“වච්ඡය, ඒ නුඹ යම් විටක ‘පිරිසිදුවූ මිනිස්බව ඉක්ම පවත්නාවූ දිව්‍ය ශ්‍රොත්‍රයෙන් දිව්‍යවුද, මනුෂ්‍යවූද දුරවූද ලඟ වූද, යම් ශබ්දයෝ වෙත්ද, ඒ දෙවදෑරුම් ශබ්දයන් අසන්නෙමි’යි, කැමති වන්නෙහිද, ඒ ඒ තන්හිම කරුණ ඇති ඇති කල්හි පැමිණෙන්නෙහිය.

“වච්ඡය, ඒ නුඹ යම්තාක්ම ‘අන්සතුන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැනගන්නෙමි, රාග සහිතවූ හෝ සිත රාග සහිත සිතයයි දැනගන්නෙමි පහවූ රාගය ඇති සිත හෝ පහවූ රාගය ඇති සිතයයි දැනගන්නෙමි. ද්වේෂ සහිතවූ සිත හෝ ද්වේෂ සහිත සිතයයි දැනගන්නෙමි. පහවූ ද්වේෂය ඇති සිත හෝ පහවූ ද්වේෂය ඇති සිතයයි දැනගන්නෙමි. මොහ සහිතවූ සිත හෝ මොහ සහිත සිත යයි දැනගන්නෙමි. පහවූ මොහය ඇති සිත හෝ පහවූ මොහය ඇති සිතයයි දැනගන්නෙමි. හැකුළුනාවූ සිත හෝ හැකුළුනාවූ සිතයයි දැනගන්නෙමි. විසුරුනාවූ සිත හෝ විසුරුනාවූ සිතයයි දැනගන්නෙමි. මහද්ගතවූ (මහත් බවට පැමිණි) සිත හෝ මහද්ගතවූ සිතයයි දැනගන්නෙමි. මහද්ගතනොවූ සිත හෝ මහද්ගත නොවූ සිතයයි දැනගන්නෙමි. උත්තර සහිතවූ සිත හෝ උත්තර සහිතවූ සිතයයි දැනගන්නෙමි. නිරුත්තරවූ සිත හෝ නිරුත්තරවූ සිතයයි දැනගන්නෙමි. එකඟවූ සිත හෝ එකඟවූ සිතයයි දැනගන්නෙමි. එකඟ නොවූ සිත හෝ එකඟ නොවූ සිතයයි දැනගන්නෙමි. මිදුනාවූ සිත හෝ මිදුනාවූ සිතයයි දැන ගන්නෙමි. නොමිදුනාවූ සිත හෝ නොමිදුනාවූ සිතයයි දැන ගන්නෙමි’යි කැමති වන්නෙහිද ඒ ඒතන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.

“වච්ඡය, ඒ නුඹ යම් විටෙක ‘අනෙකප්‍රකාරවූ පෙරවිසූ භව පිළිවෙල සිහි කරන්නෙමි’යි කැමති වන්නෙහිද, එනම්, ‘එක ජාතියක්ද, ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්ද ජාති පසක්ද ජාති දසයක්ද ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්තකල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තන්හි මෙබඳු නම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම ඉන් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි, මෙසේ ආකාර සහිතවූ උද්දෙස සහිතවූ අනෙක ප්‍රකාරවූ පෙරවිසූ භවපිළිවෙළ සිහිකරන්නෙමි’යි කැමති වන්නෙහිද ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.

“වච්ඡය, ඒ නුඹ යම් විටක ‘පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද හොඳ ලොව උපන්නාවූද නරක ලොව උපන්නාවූද සත්වයන් දක්නෙමි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්තවූවාහු මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු ආර්යයන්ට දොස් කියන්නාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටීන්ගේ කර්ම සමාදන්වූවාහු වෙත්. ඔව්හු ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ නපුරුගති ඇත්තාවූ යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහු වෙත්. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහු වාග් සුචරිතයෙන් යුක්තවූවාහු මනො සුචරිතයෙන් යුක්තවූවාහු ආර්යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටිකයන්ගේ කර්ම සමාදන්වූවාහු වෙත්. ඔව්හු ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ දිව්‍ය ලොකයෙහි උපන්නාහු වෙත්යයි, මෙසේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද උපදිනු ලබන්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද හොඳ ලොව උපන්නාවූද නරක ලොව උපන්නාවූද කර්මයවූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් දැනගන්නෙමි’යි කැමතිවන්නෙහිද ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.

“වච්ඡය, ඒ නුඹ යම්විටක ‘ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවූ අර්හත්ඵලය හා යෙදුන සමාධිය හා ප්‍රඥාව කරණකොට මිදීමට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කරන්නෙමියි,’ කැමැති වන්නෙහිද, ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.”

ඉක්බිති ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකස් කොට වැඳ ප්‍රදක්ෂිණාකොට ගියේය. ඉක්බිති ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ තනිව, වෙන්වූ වාසය ඇත්තේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව හරිණ ලද ආත්ම ආලය ඇතිව වාසය කරමින් නොබෝ කලෙකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවරකොට ඇති අර්හත්වයට, මේ ආත්මයෙහි තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙළේය. ඉපදීම නැති කරණ ලදී. මාර්ග බ්‍රහ්ම චර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගත්තේය. ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ වනාහි රහතුන්ගෙන් එක්තරා නමක් වූයේය.

එසමයෙහි වනාහි බොහෝවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීමට යත්, ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ වනාහි යන්නාවූ ඒ භික්ෂූන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ඒ භික්ෂූන්ට මෙසේ කීයේය. “ආයුෂ්මත් නුඹවහන්සේලා කොහි යව්ද?” “ඇවැත්නි” අපි භාග්‍යවතුන් වහන්සේ දැකීමට යමුයි” කීහ.

“ආයුෂ්මත්නි, එසේ වීනම් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිනු මැනවි.

“ස්වාමීනි, වච්ඡගොත්ත නම් භික්ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි මෙසේද කියයි. මා විසින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරණ ලද්දේය. මා විසින් සුගතයන් වහන්සේට උපස්ථාන කරන ලද්දේය’ යනුයි.

“ඇවැත්නි, එසේයයි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිරයන්ට උත්තර දුන්හ. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාහුය. “ස්වාමීනි, ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේද කියයි. ‘භාග්‍යවතුන් වහන්සේට මා විසින් උපස්ථාන කරණ ලදී. සුගතයන් වහන්සේට මා විසින් උපස්ථාන කරණ ලද්දේ” යනුයි.

“මහණෙනි, පළමුව මා විසින් සිතින් සිත පිරිසිඳ වච්ඡගොත්ත භික්ෂුතෙම දන්නා ලද්දේය. වච්ඡගොත්ත භික්ෂුතෙම ත්‍රිවිද්‍යා ඇත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහත් ආනුභාව ඇත්තෙකැයි දැනගන්නා ලදී. දෙවතාවෝද කීවාහුය. ‘ස්වාමීනි වච්ඡගොත්ත නම් භික්ෂුතෙම ත්‍රිවිද්‍යා ඇත්තේය. මහත් ඍද්ධි ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය’යි මට මේ කාරණය කීවාහුය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ කීම සතුටින් පිළිගත්තාහුය.

තුන්වෙනිවූ මහා වච්ඡගොත්ත සූත්‍රය නිමි. (3-3)