මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

3. පරිබ්‍රාජක වර්ගය

75. මාගන්දිය සූත්‍රය

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි කම්මාස්සදම්ම නම්වූ කුරුවැස්සන්ගේ නියම් ගමෙහි භාරද්වාජගොත්ත නම්වූ බ්‍රාහ්මණයාගේ ගිනිපුදන ශාලාවෙහි තණ ඇතිරියෙක්හි වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිව්රු රැගෙන කම්මාස්සදම්ම නම් ගමට පිණ්ඩපාතය පිණිස පැමිණියෝය. කම්මාස්සදම්ම නම් ගමෙහි පිඬු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන ලැහැබක් යම් තැනෙක්හිද දවල් වාසය පිණිස එතැනට පැමිණියෝය. ඒ වනලැහැබට ඇතුල්ව එක්තරා ගසක් මුල දවල් වාසය කිරීමෙන් වැඩහුන් සේක.

ඉක්බිති මාගන්දිය නම් පරිව්‍රාජක තෙම (පාගමනින්) සක්මන් කරණු ලබන්නේ, හැසිරෙනු ලබන්නේ භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණයාගේ ගිනි පුදන ශාලාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මාගන්දිය නම් පරිව්‍රාජක තෙම භාරද්වාජගොත්ත නම් පරිව්‍රාජිකයාගේ ගිනි පුදන ශාලාවෙහි පනවනලද තණ ඇතිරිය දුටුයේමය. දැක භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණයාට මෙය කීයේය. “පින්වත් භාරද්වාජගේ ගිනි පුදන ශාලාවෙහි ශ්‍රමණයෙකුගේ සයනයට සුදුසුවූවක් මෙන් පනවන ලද මේ තණ ඇතිරිය කවරෙකුටද?”

“පින්වත් මාගන්දිය, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ ගෞතම නම් කෙනෙක් ඇත්තේය. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙබඳු යහපත්වූ ගුණ ඝෝෂාවක් උස්ව නැංගේය. ඒ භාග්‍යවත් තෙම මේ කාරණයෙනුත් අර්හත්ය, සම්බුද්ධය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, නිරුත්තරවූ පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ථ වාහකයෙකු බඳුය, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙක. චතුස්සත්‍ය අවබොධ කෙළේය. සියලු කෙලෙසුන් දුරුකළ සේක යනුවෙනි. ඒ භවත් ගෞතමයන් වහන්සේට මේ සයනය පනවන ලද්දේය.”

“පින්වත් භාරද්වාජය, යම්බඳු අපි ඉන්ද්‍රියයන්ගේ වැඩීම නසන්නාවූ ඒ භවත් ගෞතමයන්ගේ සයනාසනය දුටුවෙමුද, ඒ අපි දැකීමට (නුසුදුසුවූවක්) දුටුවෙමුයි” කීය.

“මාගන්දිය, මේ වචනය රැකගනුව, මාගන්දිය මේ වචනය රැකගනුව, ඒ භවත් ගෞතමයන්ගේ පිරිසිදු කරුණු වූ කුශල ධර්මයෙහි පැහැදුනාවූද, හික්මුණාවූද ක්ෂත්‍රීය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද බොහෝ වෙත්යයි” කීය.

“පින්වත් භාරද්වාජය, ඉදින් අපි ඒ භවත් ගෞතමයන් ඉදිරියෙහි දක්නෙමුද, ශ්‍රමණ ගෞතම තෙමේ ඉන්ද්‍රියයන්ගේ වැඩීම නසන්නෙකැයි කියන්නෙමු, ඊට හේතු කවරේද, මෙසේ වනාහි අපගේ සූත්‍රයෙහි ඇතිහෙයිනි. ඉදින් භවත් මාගන්දිය හට එය බරක් නොවේ. නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මෙය කියන්නෙමියි,” (භාරද්වාජ තෙමේ කීය.) භවත් භාරද්වාජ තෙමේ මාරැකගැනීමට වෙහෙස නොවී මා කියනලද සේම කියවයි” කීය.

භාග්‍යවතුන් වහන්සේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ශ්‍රොතෘ ධාතුවෙන් (දිවකණින්) භාරද්වාජහොත්ත නම් බ්‍රාහ්මණයාගේ මාගන්දිය නම් පරිව්‍රාජකයා සමගවූ මේ කථාව ඇසුවෝය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණයාගේ ගිනි පුදන ශාලාව යම් තැනෙක්හිද, එතැනට පැමිණියහ. පැමිණ පනවනලද්දාවූම තණ ඇතිරියෙහි වැඩහුන්නේය. එකල්හි භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා, එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ මෙය කීවාහුය.

“භාරද්වාජය, මාගන්දිය පරිව්‍රාජකයා සමග මේ තණ ඇතිරිය අරබයා තොපගේ කිසියම් කතා බහක් වූයේද?” මෙසේ ඇසූ කල්හි භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණ තෙම ප්‍රීතියෙන් සංවෙගයට පැමිණියේ ලොමු ඩැහැ ගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.

“අපි භවත් ගෞතමයන් වහන්සේට මෙයම කියනු කැමැත්තෝ වෙමු. එතකුදු වුවත් භවත් ගෞතමයන් වහන්සේ නොකීම කළහ.” භාග්‍යවතුන් වන්සේ භාරද්වාජගොත්ත නම් බමුණා සමග මේ අතුරු කථාව කොට අවසාන නොකෙළේද.’ එකල්හි මාගන්දිය පරිව්‍රාජකතෙම ගමනින් සක්මන් කරණු ලබන්නේ හැසිරෙනු ලබන්නේ භාරද්වාජගොත්ත නම් බමුණාගේ ගිනි පුදන ශාලාව යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාවකොට නිමවා එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූම මාගන්දිය නම් පරිව්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

“මාගන්දිය ඇස වනාහි රූපය වාසස්ථාන කොට ඇත්තේය. රූපයෙහි ඇළුනේය. රූපයෙන් සතුටු වූයේය. තථාගතයන් වහන්සේ විසින් ඒ ඇස දමනය කරනලදී. භික්ෂුවගේ සංවරය පිණිසද, ධර්මය දෙශනාකරති. මාගන්දියය, තොප විසින් ශ්‍රමණ ගෞතමතෙම ඉන්ද්‍රියයන්ගේ වැඩීම නසන්නෙකැයි කියනලද්දේද මේ සඳහාද?”

“භවත් ගෞතමයන් වසන්ස, මා විසින් මේ සඳහාම ශ්‍රමණ ගෞතම තෙමේ ඉන්ද්‍රියයන්ගේ වැඩීම නසන්නෙකැයි කියන ලදී. ඊට හේතු කවරේද, මෙසේ වනාහි අපගේ සූත්‍රයෙහි ඇතුළත් වන හෙයිනි.

“මාගන්දියය, කණ වනාහි ශබ්දය (වාසස්ථාන) කොට ඇත්තේය. ශබ්දයෙහි ඇලුනේය, ශබ්දයෙන් සතුටුවිය. එය තථාගතයන් වහන්සේ විසින් ඒ කණ දමනය කරනලදී. රක්නාලදී සංවර කරනලදී. ඒ කණේද සංවරය පිණිස ධර්ම දෙශනා කරති. මාගන්දිය, ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්‍රියයන්ගේ වැඩීම් නසන්නෙකැ යන මෙය මේ සඳහා කියන ලද්ද?” “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්‍රියයන්ගේ වැඩීම් නසන්නෙකැයි මේ සඳහාම කියන ලදී. මෙසේ වනාහි අපගේ සූත්‍රයෙහි ඇතුළත්වන හෙයිනි.”

“මාගන්දිය, නාසය වනාහි ගන්ධය අරමුණු කොට ඇත්තේය. ගන්ධයෙහි ඇලුනේය. ගන්ධයෙන් සතුටු විය. එය තථාගතයන් විසින් දමනය කරනලදී. ආරක්ෂා කරණලදී. සංවර කරනලදී. ඒ නාසයේද සංවරය පිණිස ධර්ම දෙශනා කරති. මාගන්දියය, ශ්‍රමණ ගෞතමතෙම ඉන්ද්‍රියයන්ගේ වැඩීම නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද?” “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්‍රමණ ගෞතම තෙම වැඩීම නසන්නෙකැයි මේ සඳහාම කියන ලදී. මෙසේ වනාහි අපගේ සූත්‍රයෙහි ඇතුළත්වන හෙයිනි.”

“මාගන්දියය, දිව වනාහි රසය අරමුණු කොට ඇත්තේය. රසයෙහි ඇළුනේය. රසයෙන් සතුටුවිය. එම දිව තථාගතයන් විසින් දමනය කරනලදී. ආරක්ෂා කරනලදී. සංවර කරනලදී. ඒ ජිව්හාවගේද, සංවරය පිණිස ධර්මය දෙශනා කරති. මාගන්දියය, ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්‍රියන්ගේ වැඩීම් නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද?” “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්‍රියන්ගේ වැඩීම් නසන්නෙකැයි මේ සඳහාම කියනලද ඊට හෙතු කවරේද, මෙසේ වනාහි අපගේ සූත්‍රයෙහි ඇතුළත්වන හෙයිනි.”

“මාගන්දිය, කය වනාහි ස්පර්ශය අරමුණුකොට ඇත්තේය. ස්පර්ශයෙහි ඇලුනේය. ස්පර්ශයෙන් සතුටුවිය එය තථාගතයන්වහන්සේ විසින් දමනය කරනලදී. ආරක්ෂා කරනලදී. සංවර කරනලදී. ශරීරයේද සංවරය පිණිස ධර්මදෙශනා කරති. මාගන්දියය, ශ්‍රමණ තෙම ඉන්ද්‍රියයන්ගේ වැඩීම නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද? භවත් ගෞතමයන් වහන්ස මා විසින් ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්‍රියයන්ගේ වැඩීම නසන්නෙකැයි මේ සඳහාම කියන ලදී.

“මාගන්දියය, සිත වනාහි ධර්මාරමුණු ආරාමකොට ඇත්තේය. ධර්මාරම්මණයෙහි ඇළුනේය. ධර්මාරම්මණයෙහි සතුටුවූයේ වෙයි. සිත තථාගතයන් විසින් දමනය කරන ලදී. රක්ෂාකරන ලදී. සිතේ සංවරය පිණිස ධර්මය දෙශනා කරයි. මාගන්දියය, තොප විසින් ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්‍රියයන්ගේ වැඩීම් නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද?”

“භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්‍රියන්ගේ වැඩීම් නසන්නෙකැයි, මේ සඳහාම කියන ලදී. ඊටහෙතු කවරේද, මෙසේ වනාහි අපගේ ඇතුළත් වන හෙයිනියි (කීයේය.)

“මාගන්දියය, ඒ කුමකැයි හඟින්නෙහිද? මේ ශාසනයෙහි ඇතැමෙක් ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රියස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇළුම් කටයුතුවූ රූපවලින් පෙර සිත් පිනවන ලද්දෙක් වන්නේය. හෙතෙම පසු කලෙක්හි රූපයන්ගේ හටගැන්මද නැසීමද රසවිඳීමද දොෂයද දුරු කිරීමද තත්වූ පරිද්දෙන් දැන රූපයෙහි තෘෂ්ණාව හැර රුපය නිසා හටගත් දැවිල්ල දුරු කොට පහවූ පිපාස ඇත්තේ තමා තුළ සංසිඳවනලද සිත් ඇත්තේ වාසය කරන්නේය. මාගන්දියය, තොප විසින් මොහුට වනාහි කුමක් කියයුතු වන්නේද?”

“භවත් ගෞතමයන් වහන්ස, කිසිවක් නැත.”

“මාගන්දියය, ඒ කුමකැයි හඟින්නෙහිද, “මෙහි ඇතමෙක් කණින් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවවූ, ‘ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ ශබ්දයන්ගෙන් පෙර සිත් පිනවන ලද්දේත් වන්නේය. හෙතෙම පසු කාලයෙහි ශබ්දයන්ගේ හට ගැන්මද නැසීමද, රස විඳීමද, දොෂයද දුරු කිරීමද ඇති සැටියෙන් දැන ශබ්දයෙහි තණ්හාව හැර ශබ්දය නිසා හටගත් දැවිල්ල දුරු කොට පහවූ පිපාස ඇත්තේ, තමා තුළ සංසිඳවන ලද සිත් ඇත්තේ වාසය කරන්නේය. මාගන්දියය තොප විසින් මොහු ගැන කුමක් කියයුතු වන්නේද?” “භවත් ගෞතමයන් වහන්ස කිසිවක් නැත.”

“මාගන්දියය, ඒ කුමකැයි සිතන්නෙහිද? මෙහි ඇතැමෙක් නාසයෙන් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ ගන්ධයන්ගෙන් පෙර සිත් පිනවන ලද්දේ වන්නේය. හෙතෙම පසු කාලයෙහි ගන්ධයන්ගේ හටගැන්මද, නැසීමද, රස විඳීමද, දොෂයද, දුරු කිරීමද ඇති සැටියෙන් දැන ගන්ධයෙහි තණ්හාව හැර ගන්ධය නිසා හටගත් දැවිල්ල දුරු කොට පහවූ පිපාස ඇත්තේ, තමා තුළ සිත් ඇත්තේ වාසය කරන්නේය. මාගන්දිය, තොප විසින් මොහු ගැන කුමක් කියයුතු වන්නේද?”

“භවත් ගෞතමයන් වහන්ස, කිසිවක් නැත,”

“මාගන්දියය, ඒ කුමකැයි සිතන්නේද? මෙහි ඇතමෙක් ජිව්හා විඤ්ඤාණයෙන් (රස දැනගන්නා සිතින්) දත යුතුවූ යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවවූ ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ රසයන් ගෙන් පෙර සිත් අලවන ලද්දේ වන්නේය. හෙතෙම මෑත කාලයෙහි රසයන්ගේම හට ගැන්මද, නැසීමද, රසවිඳීමද, දොෂයද, දුරු කිරීමද ඇති සැටියෙන් දැන රසයෙහි තණ්හාව හැර, රස නිසා හටගත් දැවිල්ල දුරු කොට, පහවූ පිපාස ඇත්තේ, තමා කෙරෙහි සංසුන් සිත් ඇත්තේ වාසය කරන්නේය. මාගන්දිය, තොප විසින් මොහු ගැන කුමක් කිය යුතු වන්නේද?”

“භවත් ගෞතමයන් වහන්ස, කිසිවක් නැත,”

“මාගන්දියය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇතමෙක් මෙහි හෙතෙම පසු කාලයෙක්හි ස්පර්ශ කළ යුත්තවුන්ගේ හටගැන්මද විනාසයද ආශ්වාදයද ආදීනවයද විඳීමද තත්වූ පරිද්දෙන් දැන ස්පර්ශයෙහි වූ තෘෂ්ණාව හැර ස්පර්ශයෙන් හටගත් දැවිල්ල දුරුකොට පහව ගිය පිපාසා ඇත්තේ තමා තුළ සංසිඳුවන ලද සිත් ඇත්තේ වාසය කරන්නේය. මාගන්දියය තොප විසින් මොහුට වනාහි කුමක් කිය යුතු වන්නේද?

“භවත් ගෞතමයන් වහන්ස, කිසිවක් නැත”

“මාගන්දියය, මම වනාහි පෙර ගිහිගෙයි වූයේ ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තාවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ඵලවන්නාවූ, ඇළුම් කටයුතුවූ, රූපයන්ගෙන් යුක්තවූ, පංචකාම ගුණයන්ගෙන් යුක්ත වූයේ සැප විඳිමින් වාසය කෙළෙමි. කණින් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව වූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ, ගද්දයන්ගෙන් යුක්තවූ පංචකාම ගුණයන්ගෙන් යුක්ත වූයේ, සැප විඳීමෙන් වාසය කෙළෙමි. නාසයෙන් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ, ගන්ධයන්ගෙන් යුක්තවූ, පංචකාම ගුණයන්ගෙන් යුක්ත වූයේ සැප විඳිමින් වාසය කෙළෙමි. දිවෙන් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට, කරුණුවූ, ඇළුම් කටයුතුවූ රසයන්ගෙන් යුක්ත වූයේ සැප විඳිමින් වාසය කෙළෙමි. කයින් දතයුතුවූ, ඉෂ්ටවූ කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සැප එලවන්නාවූ, ඇළුම් කටයුතුවූ, ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් යුක්තවූ, පස්කම් ගුණයන්ගෙන් යුක්ත වූයේ සැප විඳිමින් වාසය කෙළෙමි. මාගන්දියය, ඒ මට වර්ෂා ඍතුවට එකෙක, හෙමන්ත ඍතුවට එකෙක, ග්‍රීෂ්ම ඍතුවට එකෙක යයි ප්‍රාසාද තුනක් වූහ. මාගන්දියය, ඒ මම වනාහි වර්ෂා ඍතුවට සුදුසුවූ ප්‍රාසාදයෙහි වර්ෂා ඍතුවෙහිවූ සාර මස පුරුෂයන් නැත්තාවූ තූර්යවාදනයන්ගෙන් සිත් පිනවනු ලබන්නේ ප්‍රාසාදයන් යටට නොබසිමි. ඒ මම පසු කලෙක්හි කාමයන්ගේ හට ගැණීමද නැසීමද රසවිඳීමද ද්වේෂයද දුරු කිරීමද තත්වූ පරිද්දෙන් දැන කාමයන්හි තෘෂ්ණාව හැර කාමයන්ගෙන් හටගත් දැවිල්ල දුරුකොට පහව ගියාවූ පිපාසා ඇත්තේ තමන් තුළ සංසිඳවන ලද සිත් ඇත්තේ වාසය කරමි. ඒ මම කාමයන්හි පහනොවූ රාගය ඇති කාම තෘෂ්ණාවලින් කරනු ලබන්නාවූ කාම දැවිල්ලෙන් දනු ලබන්නාවූ කාමයන් සේවනය කරන්නාවූ අන්‍යයන් දකිම්ද, ඒ මම ඒ සැපයට නොකැමැත්තෙමි එහි සිත් නොඅලවමි. ඊට හෙතු කවරේද? මාගන්දියය, කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් මේ ඇල්මක් දිව්‍යසැපය පවා යටත්කොට පවතීද, ඒ ඇල්මෙන් ඇලෙනු ලබන්නේ හීන සැපයට, නොකැමැත්තෙමි. එහි සිත් නො අලවමි.

“මාගන්දිය, වැඩුනාවූ මහත්වූ ධන ඇත්තාවූ මහත් සම්පත් ඇත්තාවූ ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ ඇසින් දැක යුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇළුම් කටයුතු වූ රූපයන්ගෙන් යුක්තව පංචකාම ගුණයන්ගෙන් යුක්තව වාසය කරන්නේද, කණින් දතයුතු වූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ ශබ්දයන්ගෙන් යුක්ත වූයේ, පංචකාම ගුණයන්ගෙන් යුක්තව වාසය කරන්නේද, නාසයෙන් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව වූ ආසාව ඉපැදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ, ගන්ධයන්ගෙන් යුක්ත වූයේ, පංචකාම ගුණයන්ගෙන් යුක්තව, වාසය කරන්නේද, දිවෙන් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණු වූ, ඇළුම් කටයුතුවූ රසයන්ගෙන් යුක්තව වාසය කරන්නේද, කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම් සැප එලවන්නාවූ ඇළුම් කටයුතුවූ, ස්පර්ශයෙන් යුක්තව පස්කම් සැපයෙන් යුක්තව වාසය කරන්නේය. හෙතෙම කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති පස්කම් සැපයෙන් යුත් දිව්‍ය ලොකයෙහි තව්තිසා වැසිදෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නේය. හෙතෙම එහි නන්දන වනයෙහි අප්සරා සමූහයා විසින් පිරිවරණ ලද්දේ දිව්‍යවූ පස්කම් ගුණවලින් යුක්ත වූයේ සතුටු වන්නේය. හෙතෙම පස්කම් ගුණවලින් යුක්ත සතුටු වන්නාවූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ දක්නේය.

“මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? නන්දන වනයෙහි අප්සරා සමූහයා විසින් පිරිවරණ ලද්දාවූ දිව්‍යවූ පස්කම් ගුණවලින් යුක්තවූ සතුටු වන්නාවූ ඒ දිව්‍යපුත්‍රතෙම මේ ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට හෝ මිනිසුන් අයත් පස්කම් ගුණයන්ට හෝ කැමැති වන්නේද, මිනිසුන් අයත්වූ කාමයන්ගෙන් හෝ ආපසු හැරෙන්නේද?

“භවත්ගෞතමයන් වහන්ස, එය නොවන්නේ මැයි, ඊට හෙතු කවරේද, භවත් ගෞතමයන් වහන්ස මිනිසුන් අයත්වූ කාමයන් දිව්‍යවූ කාමයෝ අතිශයින් සිත් අලවන්නාහුද, අතිශයින් ප්‍රණීතවූවාහුද වෙත්.”

“මාගන්දියය, එපරිද්දෙන්ම මම පෙර ගිහිගෙයි වූයේම යුක්තවූයේ ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රූපයන්ගෙන් යුක්තවූයේ පංචකාම ගුණයන්ගෙන් යුක්තවූයේ සැපවින්දෙමි. කණින් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ ගන්ධයන්ගෙන් යුක්තවූයේ, පංචකාම ගුණයන්ගෙන් යුක්තවූයේ සැපවින්දෙමි. දිවෙන් දතයුතුවූ, යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ රසයන්ගෙන් යුක්තවූයේ එක් වූයේම සැපවින්දෙමි. කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ස්පර්ශයන්ගෙන් යුක්තවූ පංචකාම ගුණයෙන් යුක්තව වාසය කළෙමි. ඒ මම මෑත කලෙක්හි කාමයන්ගේ හටගැණීම්ද විනාසයද රස විඳීමද දොෂයද විඳීම තත්වූ පරිද්දෙන් දැන කාම තෘෂ්ණාව හැර කාමයන්ගෙන්වූ දැවිල්ල දුරුකොට පහවූ පිපාසා ඇත්තේ තමන් තුළ සංසිඳුනු සිත් ඇත්තේ වාසය කරමි. ඒ මම කාමයන්හි පහනොවූ රාගය ඇති කාමතෘෂ්ණාවෙන් කරනු ලබන්නාවූ කාම දැවිල්ලෙන් දවනු ලබන්නාවූ කාමයන් සේවනය කරන්නාවූ අන්‍යයන් දකිමි. ඒ මම ඒ සැපයට නොකැමැත්තෙමි. එහි සිත් නොඅලවමි. ඊට හෙතු කවරේද? මාගන්දියය, යම් මේ ඇල්මක් වනාහි කාමයන්ගෙන් තොරවම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම දිව්‍යවූ සැපය පවා යට කොට සිටීද, ඒ ඇල්මෙන් ඇලෙනු ලබන්නේ හීනවූ සැපයට නොකැමැත්තෙමි. එහි සිත් නොඅලවමි

“මාගන්දියය, යම්සේ කුෂ්ටරොග ඇත්තාවූ පුරුෂයෙක් වණවූ සිරුර ඇත්තේ පැසවූ සිරුර ඇත්තේ පණුවන් විසින් කනු ලබන්නේ නියවලින් ව්‍රණමුඛයන් කසනු ලබන්නේ, අඟුරු වළෙක්හි සිරුර තවන්නේද, ඔහුගේ නෑදෑ මිත්‍රයෝ ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැඳවන්නාහුය. ඔහුට ඒ ශල්‍යවෛද්‍ය තෙම බෙහෙත් කරන්නේය. හෙතෙම ඒ බෙහෙත නිසා කුෂ්ටරොගයෙන් මිදෙන්නේය. නිරොග වූවෙක් සුව ඇත්තෙක් තනිව කටයුතු කළ හැක්කෙක් ශරීරය වසඟවූවෙක් කැමැති පරිදි යා හැක්කෙක් වන්නේය. හෙතෙම වණවූ සිරුර ඇති පැසවූ සිරුර ඇති පණුවන් විසින් කනු ලබන්නාවූ නියෙන් වණමුව කසනු ලබන්නාවූ අඟුරු වළෙක්හි සිරුර තවන්නාවූ කුෂ්ටරොගය ඇති අන් පුරුෂයෙකු දක්නේය. මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද, මේ පුරුෂ තෙම ඒ කුෂ්ටරොගය ඇති පුරුෂයාට කැමැති වන්නේද, අඟුරුවළට හෝ බෙහෙත් සේවනය කිරීමට හෝ කැමැති වන්නේද?”

“භවත් ගෞතමයන් වහන්ස, මෙය නොවන්නේ මැයි. ඊට හේතු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, රොගය ඇති කල්හිම බෙහෙතින් කටයුතුවේ. රොගය නැති කල්හි බෙහෙතින් කටයුත්තක් නැති හෙයිනි.

“මාගන්දියය, එපරිද්දෙන්ම මම පෙර ගිහිගෙයි වූයේම ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රූපයන්ගෙන් යුක්තවූයේ පංචකාම ගුණයන්ගෙන් යුක්තවූයේ කණින් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ ශබ්දයන්ගෙන් යුක්තවූයේ, පංචකාම ගුණයන්ගෙන් යුක්තවූයේ නාසයෙන් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ, ගන්ධයන්ගෙන් යුක්තවූයේ, පංචකාම ගුණයන්ගෙන් යුක්තවූයේ, සැපවින්දෙමි. දිවෙන් දතයුතුවූ, යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ, රසයන්ගෙන් යුක්තවූයේ එක් වූයේම සැපවින්දෙමි. කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ස්පර්ශයන්ගෙන් යුක්තවූ පඤ්චකාම ගුණයන්ගෙන් යුක්තව වාසය කෙළෙමි. ඒ මම පසු කලෙක්හි කාමයන්ගේ හටගැණීමද, නැසීමද, රසවිඳීමද, දෝෂයද දුරුකිරීමද තත්වූ පරිද්දෙන් දැන කාම තෘෂ්ණාව හැර කාමයෙන්වූ දැවිල්ල දුරුකොට පහවූ පිපාසා ඇත්තේ තමන් තුළ සංසිඳුවන ලද සිත් ඇත්තේ වාසය කරමි. ඒ මම කාමයන්හි පහ නොවූ රාග ඇති, කාම තෘෂ්ණාවලින් කරනු ලබන්නාවූ කාම දැවිල්ලෙන් දවනු ලබන්නාවූ කාමයන් සේවනය කරන්නාවූ, අන්‍ය සත්වයන් දකිමි. ඒ මම ඔවුන්ගේ සැපයට නොකැමැත්තෙමි. එහි සිත් නො අලවමි. ඊට හෙතු කවරේද? මාගන්දියය, කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් මේ ඇල්මක් දිව්‍යවූ සැපයද මැඩගෙන සිටීද, ඒ ඇල්මෙන් ඇලෙනු ලබන්නේ හීනවූ සැපයකට නොකැමැත්තෙමි. එහි සිත් නොඅලවමි.

“මාගන්දියය, යම් සේ වණවූ ශරීර ඇති පැසවූ ශරීර ඇති කුෂ්ටරොග ඇති පුරුෂයෙක් තෙම පණුවන් කනු ලබන්නේ නියවලින් වණ මුඛයන් කසනු ලබමින් අඟුරු වළෙක්හි ශරීරය තවන්නේද, ඔහුගේ නෑදෑ හිත මිතුරෝ වෛද්‍යයෙකු කැඳවන්නාහුය. ඒ ශල්‍ය වෛද්‍ය තෙම ඔහුට බෙහෙත් කරන්නේය. හෙතෙම ඒ බෙහෙත් නිසා කුෂ්ට රොගවලින් මිදුනේ නිරොග වූයේ සුවපත් වූයේ තනිව හැසිරිය හැක්කේ ශරීරය වසඟ කර ගත හැක්කේ කැමති පරිදි යාම් ඊම් හැක්කෙක් වන්නේය. ඔහු ශක්තිමත් පුරුෂයෝ දෙදෙනෙක් දෙඅතින් අල්වා

ගෙණ අඟුරු වළකට අදින්නාහුය. මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂ තෙම එහාට මෙහාට සිරුර නමන්නේද?”

“භවත් ගෞතමයන් වහන්ස, එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, මේ ගින්න වනාහි දුක්වූ ස්පර්ශද, මහත්වූ තැවීමද, මහත්වූ දැවිල්ල’ ඇති හෙයිනි.” මාගන්දිය, කුමකැයි සිතන්නෙහිද? දැන් පමණක්ම ඒ ගින්න දුක්වූ ස්පර්ශ ඇත්තේත් මහත්වූ තැවීම ඇත්තේත් මහත්වූ දැවිල්ල ඇත්තේත් වේද, නොහොත් පෙරත් ඒ ගින්න දුක්වූ ස්පර්ශ ඇත්තේත් මහත්වූ තැවීම ඇත්තේත් මහත්වූ දැවිල්ල ඇත්තේත් වේද?”

“භවත් ගෞතමයන් වහන්ස, දැනුදු ඒ ගින්න දුක්වූ ස්පර්ශ ඇත්තේත් මහත්වූ තැවීම ඇත්තේත් මහත්වූ දැවිල්ල ඇත්තේත් වෙයි. පෙරත් ඒ ගින්න දුක්වූ ස්පර්ශ ඇත්තේත් මහත්වූ තැවීම ඇත්තේත් මහත්වූ දැවිල්ල ඇත්තේත් වේ. භවත් ගෞතමයන් වහන්ස, මේ කුෂ්ටරොග ඇති පුරුෂ තෙමේද, වණවූ ශරීර ඇත්තේ පැසවූ ශරීර ඇත්තේ පණුවන් විසින් කනු ලබන්නේ නියවලින් වණ මුඛයන් කසනු ලබන්නේ නැසුණු කායෙන්ද්‍රිය ඇත්තේ දුක්වූ ස්පර්ශ ඇති ගින්නෙහි සැපය යන විපරිත සංඥාව ලැබුයේය.” “මාගන්දිය, එපරිද්දෙන්ම ඉකුත්වූ කාලයෙහිද කාමයෝ දුක් සර්පශ ඇත්තාහුද, මහත් තැවීම ඇත්තාහුද, මහත් දැවිල්ල ඇත්තාහුද වූහ. මතු කාලයෙහිද කාමයෝ දුක්වූ ස්පර්ශ ඇත්තාහුද, මහත්වූ තැවීම ඇත්තාහුද, මහත්වූ දැවිල්ල ඇත්තාහුද, වන්නාහුය. දැනුදු මේ කාලයෙහි කාමයෝ දුක්වූ ස්පර්ශ ඇත්තාහුද මහත්වූ තැවීම ඇත්තාහුද, මහත්වූ දැවිල්ල ඇත්තාහුද වෙත්. මාගන්දියය, මේ සත්වයෝද කාමයන්හි පහනොවූ රාග ඇත්තාහු කාම තෘෂ්ණාවලින් කනු ලබන්නාහු කාම දැවිල්ලෙන් දවනු ලබන්නාහු නසනලද ප්‍රඥොන්ද්‍රිය ඇත්තාහු දුක් ස්පර්ශ ඇත්තාවුම කාමයන්හි සැපය යන විපරීත සංඥාව ලැබුවාහුය.

“මාගන්දිය, යම්සේ කුෂ්ටරෝග ඇත්තාවූ පුරුෂයෙක් වණවූ සිරුර ඇත්තේ පැසවූ සිරුර ඇත්තේ පණුවන් විසින් කනු ලබන්නේ නියවලින් වණ මුඛයන් කසනු ලබන්නේ අඟුරු වළෙක්හි කය තවාද, මාගන්දියය, යම් යම් ආකාරයකින් මේ කුෂ්ට රොග ඇති පුරුෂතෙම වණවූ සිරුර ඇත්තේ පැසවූ සිරුර ඇත්තේ පණුවන් විසින් කනු ලබන්නේ නියවලින් වණ මුඛයන් කසනු ලබන්නේ අඟුරු වළෙක්හි සිරුර තවාද, ඒ ඒ ආකාරයෙන් මොහුගේ ඒ වණ මුඛයෝ අතිශයින් අපවිත්‍ර වූවාහුද, අතිශයින් දුර්ගන්ධ වූවාහුද, අතිශයින් කුණුවූවාහුද, වෙත්. වණ මුඛයන් කැසීම හෙතු කොට ගෙණ කිසියම් ස්වල්ප සැපයක් ස්වල්ප ආශ්වාදයක් වේමය. මාගන්දියය, එපරිද්දෙන්ම කාමයන්හි පහ නොවූ රාගය ඇති සත්වයෝ කාමතෘෂ්ණාවලින් කනු ලබන්නාහු කාම දැවිල්ලෙන් දවනු ලබන්නාහු, කාමයන් සේවනය කරත්. මාගන්දිය, යම් යම් ආකාරයකින් කාමයන්හි පහ නොවූ රාග ඇති සත්වයෝ කාමතෘෂ්ණාවලින් කරනු ලබන්නාහු කාම දැවිල්ලෙන් දවනු ලබන්නාහු කාමයන් සේවනය කරත්ද, ඒ ඒ ආකාරයෙන් ඒ සත්වයන්ගේ කාමතෘෂ්ණාවද වැඬේ. කාම දැවිල්ලෙන්ද දැවෙත්. පස්කම් ගුණයන් නිසා කිසියම් සැප මාත්‍රයක්ද, රසවිඳීම් මාත්‍රයක්ද වේමැයි.

“මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? පස්කම් ගුණවලින් පිනවනු ලබන්නාවූ පස්කම්ගුණ සේවනය කරනු ලබන්නාවූ රජෙක් හෝ රාජමහාමාත්‍යයෙක් හෝ කාම තෘෂ්ණාව නොහැර කාම දැවිල්ල දුරු නොකොට පහවූ පිපාසය ඇතිව, තමන් තුළ සංසිඳුණ සිත් ඇතිව වාසය කෙළේයයි හෝ වාසය කෙරේයයි හෝ වාසය කරන්නේයයි හෝ, තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?”

“භවත් ගෞතමයන් වහන්ස, එය නොවේමැයි.”

“මාගන්දිය, යහපත, මා විසිනුදු පඤ්චකාමගුණයන්ගෙන් යුක්තවූයේ පඤ්චකාමගුණ සේවනය කරනු ලබන්නාවූ රජෙක් හෝ රජ මහඇමතියෙක් හෝ කාමතෘෂ්ණාව නොහැර කාම දැවිල්ල දුරු නොකොට පහවූ පිපාසා ඇතිව තමා තුළ සංසිඳුණු සිත් ඇතිව වාසය කෙළේයයි හෝ වාසය කෙරේයයි හෝ වාසය කරන්නේයයි හෝ, යන මෙය නොමදක්නා ලදී, නොඅසනලදී.

“මාගන්දිය, තවද යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ, පහවූ පිපාසා ඇතිව තමන් තුළ සංසුන් සිත් ඇතිව වාසය කළාහුද, වාසය කරත්ද, වාසය කරන්නාහුද, ඒ සියල්ලෝ කාමයන්ගේ හටගැන්මද, නැසීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් දැන කාමතෘෂ්ණාව හැර කාම දැවිල්ල දුරුකොට පහවූ පිපාසා ඇතිව තමන් තුළ සංසුන් සිත් ඇතිව වාසය කළාහුය. වාසය කෙරෙත්. වාසය කරන්නාහුයයි” වදාළේය.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වේලායෙහි මේ ප්‍රීති වාක්‍යය පහළකළ සේක. “නිරොගි බව උතුම්ම ලාභය වෙයි. නිර්වාණය උතුම්ම සැපය වෙයි. නිවණට පමුණුවන්නාවූ මාර්ගයන් අතුරෙන් භය රහිතවූ නිර්වාණයට පමුණවන අංග අටකින් යුත් මාර්ගයම උතුම් වන්නේය.”

මෙසේ කී කල්හි මාගන්දිය පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට, ‘භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යය, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතය, භවත් ගෞතමයන් වහන්සේ විසින් “නිරොගිබව උතුම්ම ලාභයවේ, නිවන උතුම්ම සැපය වේ”යයි ඉතා යහපත් වචනයක්ම කියන ලදැයි” කීය.

“භවත් ගෞතමයන් වහන්ස, පෙර සිටි ආචාර්ය ප්‍රාචාර්ය වූ පරිව්‍රාජකයන් විසින් ‘නිරොගිබව උතුම්ම ලාභයවේ. නිවන උතුම්ම සැපය වේයයි කියන ලද මේ වචනය මා විසිනුදු අසන ලදී. එයට මෙය සමවේයයි” කීය.

“මාගන්දිය, පූර්වයෙහිවූ ආචාර්ය ප්‍රාචාර්යවූ පරිව්‍රාජකයන් විසින් කියන ලද ‘නිරොගිබව උතුම්ම ලාභය වෙයි. නිවන උතුම්ම සැපය වෙයි, යන යම් වචනයක් තොප විසින් අසන ලද්දේද, එහි කුමක්නම් නිරොගිබවද, කුමක්නම් නිවනද?”

මෙසේ වදාළ කල්හි මාගන්දිය පරිව්‍රාජක තෙමේ ස්වකීයවූම ශරීරාවයවයන් අතින් පිරිමදියි. “භවත් ගෞතමයන් වහන්ස, ඒ නිරොගීබව නම් මෙය වේ. ඒ නිවන නම් මෙය වේ. භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දැන් නිරොගිව සුවසේ වසමි. මට කිසි රොගයක් පීඩා නොකෙරේ යයි” කීය.

“මාගන්දිය, ජාත්‍යන්ධවූ (උත්පත්තියෙන්ම ඇස් නොපෙනෙන) පුරුෂ තෙම කලු සුදු රූප නොදක්නේය. නිල්පැහැ ඇති රූප නොදක්නේය, රන්වන්වූ රූප නොදක්නේය, ලේපාට රූප නොදක්නේය, මදටියපාට රූප නොදක්නේය, වල ගොඩැලි නොදක්නේය, තාරකා නොදක්නේය, සඳ හිරු දෙදෙන නොදක්නේය. හෙතෙම පින්වත්නි, ඒකාන්තයෙන් සුදු වස්ත්‍රය පිරිසිදුය, ලක්ෂණය, නිර්මලයයි කියන්නාවූ පුරුෂයෙකුගෙන් අසයි. හෙතෙම සුදු වස්ත්‍රයක් සෙවීමෙහි ඇවිදින්නේය. එක්තරා පුරුෂයෙක් තෙල් දැලි තැවරුනාවූ දළ වස්ත්‍රයකින්, ‘පින්වත් පුරුෂය, නුඹගේ මේ සුදු වස්ත්‍රය ලක්ෂණය, නිර්මලය, පිරිසිදුයයි’ ඔහු වඤ්චා කරන්නේය. හෙතෙම එය පිළිගන්නේය. පිළිගෙණ පොරවන්නේය. පොරවාගෙණ සතුටුව, ‘පින්වත, ඒකාන්තයෙන් සුදුවූ වස්ත්‍රය, ලක්ෂණය, නිර්මලය, පිරිසිදුයයි’ සතුටු වාක්‍යය ප්‍රකාශ කරන්නේය. මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද, ඒ ජාත්‍යන්ධවූ පුරුෂ තෙම දනිමින් දකිමින් මේ තෙල් දැලි තැවරුණු දළ වස්ත්‍රය පිළිගන්නේද, පිළිගෙණ පොරවන්නේද, පොරවා සතුටුව, ‘පින්වත, ඒකාන්තයෙන් සුදුවස්ත්‍රය ලක්ෂණය, නිර්මලය, පිරිසිදුය’ සතුටු වචන කියන්නේද? නොහොත් ඇස් ඇත්තහු ඇදහීමෙන් කියන්නේද?”

“භවත් ගෞතමයන් වහන්ස, නොදැන නොදැක මේ ජාත්‍යන්ධවූ පුරුෂ තෙම මේ තෙල් දැලි තැවරුණාවූ දළ වස්ත්‍රය පිළිගන්නේය. පිළිගෙණ පොරවන්නේය. පොරවා සතුටුව, ‘පින්වත්නි, ඒකාන්තයෙන් සුදු වස්ත්‍රය ලක්ෂණය, නිර්මලය, පිරිසිදුයයි’ ඇස් ඇත්තහුගේ වචනය ඇදහීමෙන් සතුටු වචන කියන්නේය.”

“මාගන්දිය, එපරිද්දෙන්ම අන්‍ය තීර්ථවූ පරිව්‍රාජකයෝ අන්ධවූවාහු. ඇස් නැත්තාහු නිරොගබව නොදැන, නිවණ නොදැන, නිරොගිබව උතුම්ම ලාභය වේ. නිවණ උතුම්ම සැපය වෙයි’ යන ගාථාව කියත්.

“මාගන්දිය, පූර්වයෙහිවූ අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයන් විසින් නිරොගිබව උතුම්ම ලාභයවේ. නිවණ උතුම්ම සැපවේ. මාර්ගයන්ගෙන් භය රහිතවූ, අමෘතය කරා ගමන් කරන්නාවූ, අංග අටකින් යුත් මාර්ගයම ශ්‍රෙෂ්ඨවන්නේය” යන ගාථාව කියන ලදී.

“ඒ ගාථාව මේ කාලයෙහි පිළිවෙළින් පෘථග්ජනයන් අතට පැමිණියාය. මාගන්දිය, මේ ශරීරය වනාහි රොගයක් වූයේය, ගඩක් වූයේය, හුලක් වූයේය, විනාසයක් වූයේය, ලෙඩක් වූයේය. ඒ නුඹ රොගයක්වූ, ගඩක්වූ, හුලක්වූ, විනාශයක්වූ, ලෙඩක්වූ මේ ශරීරය, ‘භවත් ගෞතමයන් වහන්ස, නිරොගි බවකි නිවණකි’යි කීයෙහිය. මාගන්දිය, නුඹ මේ පිරිසිදුවූ ඇසකින් නිරොගබව දැනගන්නෙහිද, නිවණ දක්නෙහිද, ඒ පිරිසිදුවූ ඇස තොපට නැත්තේය”යි (වදාළේය.)

“යම්සේ මම නිරොගිබව දැනගන්නෙම්ද, නිවණ දකින්නෙම්ද, භවත් ගෞතමයන් වහන්සේ එසේ මට ධර්මය දෙශනා කිරීමට පොහොසත් නම් එයින් මම භාග්‍යවතුන් වහන්සේට පැහැදුනෙක් වන්නෙමි.”

“මාගන්දිය, ජාත්‍යන්ධවූ පුරුෂ තෙම කළු සුදු රූප නොදක්නේය. නිල්පාට ඇති රූප නොදක්නේය. රන්වන් රූප නොදක්නේය. ලේපාට රූප නොදක්නේය. මදටිය පාට රූප නොදක්නේය. වල ගොඩැලි නොදක්නේය. තාරකා නොදක්නේය. සඳ හිරු දෙදෙන නොදක්නේය. ඔහුගේ නෑදෑ මිතුරෝ ශල්‍යවෛද්‍යයෙකු කැඳවන්නාහුය. ඔහුට ඒ වෛද්‍යතෙම බෙහෙත් කරන්නේය. හෙතෙම ඒ බෙහෙත් නිසා ඇස් නොලබන්නේය. ඇස පිරිසිදු නොවන්නේය. මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ වෙදතෙම ඉතාමත්ම ක්ලාන්තයට වෙහෙසවීමට පැමිණෙන්නේ නොවේද?”

“භවත් ගෞතමයන් වහන්ස, එසේය”

“මාගන්දිය, එපරිද්දෙන්ම මමද තොපට මේ නිරොගබවය, මේ නිර්වාණයයි, ධර්මය දෙශනා කරන්නෙමි. ඒ නුඹ නිරොගිබව නොදන්නෙහි නම් නිවණ නොදක්නෙහි නම් ඒ මට ක්ලාන්තයෙක් වන්නේය. එය මට වෙහෙසක් වන්නේය.”

“යම්සේ මම නිරොගබව දැනගන්නෙම්ද, නිවණ දකින්නෙම්ද, භවත් ගෞතම තෙමේ මට එසේ ඒ ධර්මය දෙශනා කරන්ට පොහොසත් නම් මම භවත් ගෞතමයන් වහන්සේට මෙසේ ප්‍රසන්නවූයේ වෙමි,”

“මාගන්දිය, යම්සේ උත්පත්තියෙන් අන්ධවූ පුරුෂතෙම කළු සුදු රූපයන් නොදක්නේය. නිල්පාට ඇති රූප නොදක්නේය. රන්වන්වූ රූප නොදක්නේය. ලේපාට රූප නොදක්නේය. මදටියපාට රූප නොදක්නේය. වල ගොඩැලි දෙක නොදක්නේය. තාරකා නොදක්නේය. සඳු හිරු දෙදෙනා නොදක්නේය. හෙතෙම ‘පින්වත, ඒකාන්තයෙන් සුදු වස්ත්‍රය ලක්ෂණය, නිර්මලය, පිරිසිදුයයි, කියන්නාවූ ඇස් ඇත්තෙකුගේ කීම අසන්නේය. එක්තරා පුරුෂයෙක් තෙල් දැලි තැවරුනාවූ දලවස්ත්‍රයකින් ‘පින්වත් පුරුෂය, මේ සුදුවූ වස්ත්‍රය ලක්ෂණය, නිර්මලය, පිරිසිදුය’ කියා ඔහු වඤ්චා කරන්නේය. හෙතෙම එය පිළිගන්නේය. පිළිගෙණ පොරවන්නේය. ඔහුගේ නෑදෑ මිත්‍රයෝ ශල්‍යවෛද්‍යවරයෙකු කැඳවන්නාහුය. ඔහුට ඒ ශල්‍යවෛද්‍යතෙම ලය විරේක, බඩ විරේක, අඳුන් ගැල්වීම, නැවත අඳුන් ගැල්වීම, නස්‍යකිරීම යන බෙහෙත් කරන්නේය. හෙතෙම ඒ බෙහෙත නිසා ඇස් ලබන්නේය. ඇස් පිරිසිදු කරන්නේය. ඇස් පහලවීම සමගම මේ තෙල් දැලි තැවරුනාවූ දළවස්ත්‍රයෙහි යම් ඇල්මෙක් වීද, ඒ ඇල්ම ප්‍රහීන වේ. ඔහුද, ඒ පුරුෂයා සතුරෙකු වශයෙන්ද තබන්නේය. පසමිතුරකු වශයෙන්ද තබන්නේය. තවද ‘පින්වත්නි, මේ පුරුෂයා විසින් ඒකාන්තයෙන් මම බොහෝ කලක් තෙල් දැලි තැවරුනාවූ දළවස්ත්‍රයකින් ‘පින්වත් පුරුෂය, තොපගේ මේ සුදු වස්ත්‍රය, ලක්ෂණය නිර්මලය, පිරිසිදුයි, රවටන ලද්දෙම්, වඤ්චාකරණ ලද්දෙම් ප්‍රයොග කරණ ලද්දෙම් වෙමියි.’ ජීවිතයෙන් තොරකළ යුත්තෙකු කොටද හඟින්නේය. මාගන්දිය, එපරිද්දෙන්ම මමද තොපට මේ නිරොගි බවය, මේ නිර්වාණයයි, තොපට ධර්මය දෙශනා කරන්නෙම්, ඒ නුඹ නිරොග බව දන්නෙහි නම් නිර්වාණය දක්නෙහි නම්, ඒ නුඹගේ ඇස් පහලවීම සමගම පඤ්චූපාදානස්කන්ධයන්හි යම් ආලයෙක් වේද, ඒ දුරු වන්නේය. තවද තොපට ‘පින්වත, ඒකාන්තයෙන් මම බොහෝ කලක් මේ සිත විසින් රවටන ලද්දෙම් වඤ්චා කරණ ලද්දෙම් පොළඹන ලද්දෙම් වෙමි. මම වනාහි රූපයම මමයයි ගනිමින් අල්වා ගතිමි. වෙදනාවම මමයයි ගනිමින් අල්වා ගතිමි. සංඥාවම මමයයි ගනිමින් අල්වා ගතිමි. සංස්කාරයන්ම මමයයි ගනිමින් අල්වා ගතිමි. විඤ්ඤාණයම මමයයි ගනිමින් අල්වා ගතිමි. ඒ මට මමයයි අල්වා ගැනීම හෙතුකොටගෙන කර්මය ඇතිවිය. කර්මය හෙතුකොටගෙන ඉපදීම ඇතිවිය. ඉපදීම හෙතුකොටගෙන දිරීමය, මැරීමය, සොකකිරීමය, වැලපීමය, කායික දුකය, මානසික දුකය, ශොකයෙන් වන දැඩි වෙහෙසය යන මොහු හටගත්තාහ. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ හටගැණීම වේය” යන අදහස පහළ වන්නේය.

“භවත් ගෞතමයන් වහන්සේ යම්සේ මම මේ ආසනයෙන් අන්ධනොවී නැගිටින්නෙම්ද, එසේ මට ධර්මය දෙශනා කරන්ට සමර්ථවේ නම්, මම භවත් ගෞතමයන් වහන්සේට එසේ ප්‍රසන්න වූයේ වෙමි.”

“මාගන්දිය, එසේ වී නම්, නුඹ සත්පුරුෂයන් සේවනය කරව. මාගන්දිය, යම් හේතුවකින් නුඹ සත්පුරුෂන් සේවනය කරන්නෙහි නම්, මාගන්දිය, එහෙයින් නුඹ සද්ධර්මය අසන්නෙහිය. මාගන්දිය යම් හේතුවකින් නුඹ සද්ධර්මය අසන්නෙහි නම්, මාගන්දිය, එහෙයින් නුඹ ධර්මයට අනුකූලව පිළිපදින්නෙහිය. මාගන්දිය, යම් හේතුවකින් නුඹ ධර්මයට අනුකූලව පිළිපදින්නෙහි නම්, මාගන්දිය, එහෙයින් නුඹ, මොහු රොගය, ගඩය, හුල්ය, මෙහි රෝග ගඩ හුල් ඉතිරි නොවී නිරුද්ධ වෙත්. ඒ මාහට තණ්හාවෙන් අල්වා ගැණීම නිරුද්ධ කිරීම හේතුකොටගෙන කර්මභවය නිරොධය වේ. කර්ම භවය නිරුද්ධවීම හේතුකොටගෙන ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධවීම හේතුකොටගෙන ජරාවය, මරණය, ශොකය, වැලපීමය, කායික දුකය, චෛතසික දුකය, ශොකයෙන් හටගන්නා දැඩිවූ වෙහෙස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ නිරොධය වේයයි තෙමේම දැනගන්නෙහිය. තෙමේම දක්නෙහියයි” (වදාළේය).

මෙසේ වදාළ කල්හි මාගන්දිය පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන්වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුලාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූපදකිත්වායි, තෙල් පහනක් දරන්නේ ද, එපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරනලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණ කොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියි” (කීයේය.)

“මාගන්දිය, පෙර අන්‍යතීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි පැවිදිවීම කැමැති වේද, උපසම්පදාව කැමැති වේද, හෙතෙම සාරමසක් පිරිවෙස් වසයි. සාරමසක් ඇවෑමෙන් සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු, භික්ෂුභාවය පිණිස මහණකරවත්, උපසම්පදා කරවත්. එතකුදු වුවත් මෙහි පුද්ගලයන්ගේ වෙනස් බව දැනගන්නා ලදැයි” වදාළේය.

“ස්වාමීනි, ඉදින් පෙර අන්‍යතීර්ථකවූවෝ මේ ශාසනයෙහි පැවිදිවීම කැමැති වන්නාහු. උපසම්පදාව කැමැති වන්නාහු, සාරමසක් පිරිවෙස් වසත්ද, සාරමසක්හුගේ ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කරවත්ද, උපසම්පදා කරවත්ද, මම සතර අවුරුද්දක් පිරිවෙස් වසන්නෙමි. සතර අවුරුද්දක් ඇවෑමෙන් මා සතුටුසිත් ඇති භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වායි” කීය.

“මාගන්දිය, පරිව්‍රාජක තෙමේ වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලැබීය. උපසම්පදාව ලැබීය. උපසපන්වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් මාගන්දිය ස්ථවිර තෙමේ තනිව වෙන්වූ වාසය ඇත්තේ අප්‍රමාදවූයේ කෙලෙස් තවන වීර්ය ඇත්තේ, අත්හරින ලද ආත්මාලය ඇත්තේ, වාසයකර නොබෝ කලකින්ම, යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ රහත්බව මේ ආත්මයෙහිම තෙමේ විශෙෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය කෙළවර කරණ ලදී. මාර්ග බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. සතරමගින් කළ යුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස අනිකක් නැතැයි වෙසෙසින් දැනගත්තේය. ආයුෂ්මත් මාගන්දිය ස්ථවිර තෙමේ වනාහි රහතුන්ගෙන් එක්තරා කෙනෙක් වූහ.

5 වන මාගන්දිය සූත්‍රය නිමි. (3-5)