මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

3. පරිබ්‍රාජක වර්ගය

78. සමණ මණ්ඩික සූත්‍රය

“මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වැසූහ. එකල්හි වනාහි සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙමෙ ආගම් පිළිබඳ

කථා කරන්නාවූ තිඹිරි ගස්වලින් වටවූ හෙයින් තින්දුකාචීර නම්වූ මල්ලිකා දේවියගේ උයනෙහි කරවනලද හෙයින් මල්ලිකාරාම නම් එක සාලකනම් ශාලාවෙහි සත්සියයක් පමණවූ මහත් පරිව්‍රාජක පිරිසක් හා සමග වාසය කරයි. එකල්හි (ආයුධ පසක් ඇතිහෙයින්) පඤ්චකංග නම් වඩුතෙම දවල් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත්නුවරින් නික්මුනේය. ඉක්බිති පඤ්චකංග නම් වඩුහට මෙබඳු සිතක් වූයේය. තවම භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කල් නොවේ. භාග්‍යවතුන් වහන්සේ පලසම යුක්තවූයේ වෙයි. සිත වැඩීමෙහි යෙදුනාවූ භික්ෂූන් වහන්සේලාගේ ද දැකීමට මෙය කාලය නොවෙයි. සිත දියුණු කරන්නාවූ භික්ෂුහුද ධ්‍යානයන්ට සමවැදී වාසය කරති. මම සමයප්පවාදක නම්වූද තින්දුකාවීර නම්වූද මල්ලිකාරාම නම් වූද එකසාලක නම් ශාලාව යම් තැනද සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම යම් තැනද එතැනට පැමිණෙන්නෙම් නම් යෙහෙකැයි යනුයි. ඉක්බිති පඤ්චකංග නම් ථපති තෙම සමයප්පවාදකවූද තින්දුකාචීර නම්වූද මල්ලිකාරාම නම්වූද එකසාලක නම්වූ ශාලාව යම් තැනෙක්හිද සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. එකල්හි වනාහි සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම උස්හඬ ඇත්තාවූ මහත්හඬ ඇත්තාවූ අනෙක ප්‍රකාර තිරිසන් කථා කියන්නා මහත්කොට ශබ්ද කරන්නාවූ මහත්වූ පරිව්‍රාජක පිරිස සමග හුන්නේ වෙයි. එනම් රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, බීම් පිළිබඳ කථාය, වස්ත්‍ර පිළිබඳ කථාය, සයන පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය ගම් පිළිබඳ කථාය. මහගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, දිය ගෙනෙනතැන් පිළිබඳ කථාය, මියගියවුන් පිළිබඳ කථාය, නොයෙක් දේ පිළිබඳ කථාය, ලොකය පිළිබඳ කථාය, සමුද්‍රය පිළිබඳ කථාය, දියුණුව, පිළිබඳ කථාය හානිය පිළිබඳ කථාය යන කථායි. සමණමණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකතෙම එන්නාවූ පඤ්චකංග නම් වඩුවා දුරදීම දුටුයේය. දැක ස්වකීය පිරිස තැන්පත් කෙළේය. ‘පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා, පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක්වූ පඤ්චකංග නම් වඩුතෙමේ එයි ශ්‍රමණ ගෞතමයන්ගේ ගිහිවූ සුදුවත් හඳින්නාවූ යම්තාක් ශ්‍රාවකයෝ සැවැත් නුවර වාසය කෙරෙත්ද, මේ පඤ්චකංග නම් ථපති තෙමේද ඔවුන්ගෙන් එක්තරා කෙනෙකි. ඒ ආයුෂ්මත්හු වනාහි ස්වල්ප ශබ්ද ඇත්තෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන් විසින් හික්මවන ලද්දෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන්ගේ ගුණ කියන්නෝය. ස්වල්ප ශබ්ද ඇති පිරිසකැයි සිතා මෙහි පැමිණීමට අදහස් කරන්නේ නම් මැනවයි” කියා පිරිස සන්සුන් කෙළේය. ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.

එකල්හි පඤ්චකංග නම් වඩුතෙම සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකයා සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ පඤ්චකංග නම් වඩුවාට සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගමාන නම් පරිව්‍රජාක තෙම මෙසේ කීයේය.

“ථපතිය, මම කරුණු සතරකින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණවූ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති උත්තම පැමිණීමට පැමිණියාවූ වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයා යයි කියමි. කවර සතරකින්ද යත්? ථපතිය, මේ ලොකයෙහි කයින් පව්කම් නොකෙරේද, ලාමකවූ වචන නොකියයිද, පවිටු වූ කල්පනා කල්පනා නොකෙරේද, ලාමකවූ ජීවිකාවෙන් ජීවිකාව නොකෙරේද, ථපතිය, මම වනාහි මේ කරුණු සතරින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් ඇති උතුම් කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණියාවූ වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයායි ප්‍රකාශ කරමියි” කීය.

ඉක්බිති පඤ්චකංග නම් ථපති තෙම සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහ මාන නම් පරිව්‍රාජකයාගේ කීමට සතුටුද නොවිය. ප්‍රතික්ෂෙපද නොකෙළේය. සතුටු නොවී ප්‍රතික්ෂෙප නොකොට හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් මේ කියමනේ අර්ථය දැන ගන්නෙමියි. (සිතා) ගියේය.

ඉක්බිති පඤ්චකංග නම් ථපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනා කොට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ පඤ්චකංග නම් ථපති තෙම සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක සමග කථාබහ යම් පමණ වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට දැන්වූයේය.

මෙසේ දැන්වූ කල්හි භාග්‍යවතුන් වහන්සෙ පඤ්චකංග නම් වඩුවාට මෙසේ වදාළේය. ‘සමණ මණ්ඩිකා උග්ගහමාන නම් පරිව්‍රාජකයාගේ කීම පරිද්දෙන් ථපතිය, පුත්‍රවූ එසේ නම් ලදරුවූ බාලවූ උඩුකුරුවූ සයනය කරන කුමාර සම්පූර්ණ කුසල් ඇත්තෙක් උතුම්වූ කුසල් ඇත්තෙක් උතුම් පැමිණීමට පැමිණියෙක් වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයෙක් වන්නේය. ථපතිය, ලදරුවූ බාලවූ උඩුකුරුව සයනය කරන්නාවූ කුමාර තෙම වනාහි පව් කිරීමට තරම් ශරීරයක්ද නැත කෙසේනම් සෙලවීම් මාත්‍රය හැර කයින් පව්කම් කරන්නේද, ථපතිය, ළදරුවූ බාලවූ උඩුකුරුව සයනය කරන්නාවූ කුමාරයා හට වනාහි වචනයක්ද නැත. කෙසේ නම් හැඬීම පමණක් හැර වචනයෙන් ලාමක වචන කියන්නේද, ථපතිය, බාලවූ ළදරුවූ උඩුකුරුව සයනය කරන්නාවූ කුමාරයාහට කල්පනාවක්ද නැත. කෙසේනම් සිනාසීම් මාත්‍රයක් හැර පවිටු කල්පනා කල්පනා කරන්නේද, ථපතිය, ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ කුමාරයාහට වනාහි ජීවිකාවක්ද නැත. කෙසේනම් මවගේ කිරි බීම හැර ලාමකවූ ජීවිකාවෙන් ජීවිකාව කරන්නේද, ථපතිය, මෙසේ ඇති කල්හි වනාහි සමණමණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකයාගේ කීම පරිදි ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ කුමාරතෙම සම්පූර්ණ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණියාවූ වාදකොට ජය ගත නොහැකි ශ්‍රමණයෙක් වෙයි.

“ථපතිය, මම වනාහි කුසල් නැත්තාවූද උතුම් කුසල් නැත්තාවූද උතුම් පැමිණීමට නොපැමිණියාවූද වාදකොට සෙලවිය නොහැක්කාවූද තවද මේ ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ කුමාරයාට වඩා විශෙෂවූ කරුණු සතරකින් යුක්තවූ සම්පූර්ණවූ පුරුෂ පුද්ගලයෙකු ප්‍රකාශ කරමි.

“කවර සතරකින්ද යත්, ථපතිය, මේ ලොකයෙහි කයින් පව්කම් නොකෙරේද, ලාමක වචන නොකියාද, ලාමකවූ කල්පනා කල්පනා නොකෙරේද, ලාමකවූ ජීවිකාවෙන් ජීවිකාව නොකෙරෙයිද, ථපතිය, මම වනාහි මේ කරුණු සතරින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් නැත්තාවූද, උතුම් කුසල් නැත්තාවූද, උතුම් පැමිණීමට නොපැමිණියාවූද, වාදයෙන් සෙලවිය නොහැක්කාවූද, තවද ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ මේ කුමාරයාට වඩා විශෙෂවූද ශ්‍රමණයෙකැයි ප්‍රකාශ කරමි.

“ථපතිය, මම වනාහි කරුණු දසයකින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ ‘කුසල් ඇත්තාවූද, උතුම් කුසල් ඇත්තාවූද, උතුම් පැමිණීමට පැමිණියාවූද, වාදයෙන් නොසෙල්විය හැක්කාවූද ශ්‍රමණයෙකැයි ප්‍රකාශ කරමි.

“ථපතිය, අකුශල ස්වභාවයෝ කවරහුදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ අකුශල ස්වභාවයෝ කුමක් හෙතුකොට ගෙන හටගත්තාහුදැයි දතයුතුදැයි කියමි. ථපතිය, මේ අකුශල ස්වභාවයෝ කොතැන්හි ඉතිරිනොවී නිරුද්ධ වෙත්දැයි දතයුතුයයි කියමි. ථපතිය, කෙසේ පිළිපදින්නාවූ තැනැත්තේ මේ අකුශල ස්වභාවයන්ගේ නිරොධය පිණිස පිළිපන්නේ වේදැයි දැනගත යුතුයයි කියමි.

“ථපතිය, මේ කුශල ස්වභාවයෝ කවරහුදැයි දත යුතුයයි කියමි. ථපතිය, මේ කුසල ස්වභාව කුමක් හටගන්නාහුදැයයි කියමි. ථපතිය මේ කුශල ස්වභාවයෙන් කොතැන්හි ඉතිරි නොවී නිරුද්ධ වෙත්දැයි දැනගත යුතුයි කියමි. ථපතිය, කෙසේ පිළිපදින මේ කුසල ස්වභාවයන්ගේ නිරොධය පිණිස පිළිපන්නේදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ අකුශල කල්පනා කවරහුදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ අකුශල කල්පනාවෝ කුමකින් හටගන්නාහුදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ අකුශල කල්පනාවෝ ඉතිරි නොවී කොතැන්හි නිරුද්ධ වෙත්දැයි දතයුතුයයි කියමි. ථපතිය, කෙසේ පිළිපන්නාවූ පුද්ගලතෙමේ මේ අකුසල කල්පනාවන්ගේ නිරොධය පිණිස පිළිපන්නේදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ කුසල කල්පනාවෝ කවරහුදැයි දතයුතුයි කියමි. ථපතිය, මේ කුසල කල්පනාවෝ කුමකින් හටගන්නාහුදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ කුසල කල්පනාවෝ කොතැන්හි ඉතිරි නැතිව නිරුද්ධ වෙත්දැයි දතයුතුයයි කියමි. ථපතිය, කෙසේ පිළිපන්නාවූ පුද්ගල තෙමේ මේ කුසල කල්පනාවන්ගේ නිරොධය පිළිපදින්නේදැයි දතයුතුයයි කියමි.

“ථපතිය, අකුසල ස්වභාවයෝ කවරහුද, අකුසල්වූ කාය කර්මය අකුසල්වූ වාග්කර්මය ලාමකවූ ජීවිකාවය යන මොහුයි. ථපතිය, මොව්හු අකුසල ස්වභාවයෝයයි කියනු ලැබෙත්. ථපතිය මේ අකුසල ස්වභාවයෝ කුමක් හේතු කොටගෙන හට ගන්නාහුද? ඔවුන්ගේ ඉපදීමට හෙතුව කියනු ලැබේ. සිත නිසා උපදින්නාහුයයි කියයුතු වෙත්. සිත කවරේද? සිත වනාහි බොහෝ වැදෑරුම්හ. නොයෙක් ආකාරය. ඒ සිත රාග සහිතදවේ. ද්වෙෂ සහිතදවේ. මෝහ සහිතද වේ. මේ අකුසල ස්වභාවයෝ මේ සිත නිසා හටගත්තාහුය. ථපතිය, මේ අකුසල ස්වභාවයෝ කොතැන්හි ඉතිරි නැතිව නිරුද්ධවෙත්ද, ඔවුන්ගේ නිරොධය කියනු ලැබේ. ථපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩාද, වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩාද, මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩාද මිථ්‍යා ආජීවය හැර යහපත් ජීවිකාවෙන් ජීවිකාව කෙරේද, මෙහි මේ අකුසල ස්වභාවයෝ ඉතිරි නොවී නිරුද්ධවෙත්. ගෘහපතිය, කෙසේ පිළිපදින්නාවූ පුද්ගල තෙමේ අකුසල සීලයන්ගේ නිරොධය පිණිස පිළිපන්නේවේද? ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද ව්‍යායාම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, වීර්ය කරයිද, උපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයිද, ව්‍යායාම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන්නාවූ කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, ව්‍යායාම කරයිද, වීර්ය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුලානොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත්බව පිණිස, දියුණු කිරීම පිණිස කැමැත්ත උපදවයිද, ව්‍යායාම කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, ගෘහපතිය, මෙසේ පිළිපදින්නාවූ පුද්ගල තෙමේ ස්වභාවයන්ගේ නිරොධය පිණිස පිළිපන්නේ වෙයි.

“ගෘහපතිය, කුසල ස්වභාවයෝ කවරහුද? ගෘහපතිය කාය කර්මයද, කුසලවූ කර්යද, පිරිසිදු ජීවිකාවද මම සීලයයි කියමි. ගෘහපතිය, මොව්හු කුසල ස්වභාවයෝයයි කියනු ලැබෙත්. ගෘහපතිය, මේ කුසල ස්වභාවයෝ කුමක් හෙතුකොටගෙන උපදින්නාහුද, ඔවුන්ගේ උත්පත්ති හෙතුව කියනු ලැබේ. හිත නිසා උපදින්නාහුයයි කියයුතු වෙත්. සිත කවරේද, සිත බොහෝ වැදෑරුම්ය, නානාප්‍රකාරය. ඒ සිත පහවූ රාග ඇත්තේද, පහවූ ද්වේෂ ඇත්තේද පහවූ මොහ ඇත්තේද වෙයි. කුසල ස්වභාවයෝ මේ සිත නිසා හටගත්තාහු වෙත්. ගෘහපතිය, මේ කුසල ස්වභාවයෝ කොහිදී ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද? ඔවුන්ගේ නිරොධය කියතහොත් ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම සිල්වත් වේද, මින්පසු රැක්කයුතු තවත් සීලයක් නැත්තේද යම්තැනක ඔහුගේ ඒ කුසල ස්වභාවයෝ ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද ඒ අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැනගනියි.

“ගෘහපතිය, කෙසේ පිළිපදින්නේ කුසල ස්වභාවයන්ගේ නිරොධය පිණිස පිළිපන්නේ වේද? ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද ව්‍යායාම කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද උපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුලානොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත් බැව් පිණිස, දියුණුව පිණිස, කැමැත්ත උපදවයිද, ව්‍යායාම කරයිද , වීර්ය පටන්ගනියිද, සිත ඔසොවයිද, උත්සාහ කරයිද, ගෘහපතිය, මෙසේ පිළිපදින පුද්ගල තෙමේ ස්වභාවයන්ගේ නිරොධය පිණිස පිළිපන්නේ වේ.

“ගෘහපතිය, අකුසල කල්පනාවෝ කවරහුද? කාම කල්පනාය, ව්‍යාපද කල්පනාය, විහිංසා කල්පනාය. ගෘහපතිය, මොව්හු අකුසල කල්පනාවෝයයි කියනු ලැබෙත්. ගෘහපතිය, මේ අකුසල කල්පනාවෝද කුමකින් හටගන්නාහුද? ඔවුන්ගේ හටගැනීමට හෙතුවද කියනු ලැබේ. සංඥාව නිසා හටගන්නාහුයයි කියයුතු වෙත්. සංඥාව නම් කවරීද? සංඥාවද බොහෝ වැදෑරුම්ය, නානාප්‍රකාරය. කාම සංඥාවෝය, ව්‍යාපද සංඥාය, විහිංසා යන මොහුයි. අකුසල කල්පනාවෝ මේ හෙතුකොටගෙන හටගන්නාහු වෙත්. ගෘහපතිය, මේ අකුසල සංකල්පනාවෝ කොහිදී ඉතිරි නැතිව නිරුද්ධ වෙත්ද, ඔවුන්ගේ නිරොධය ද කියනු ලැබේ. ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙහි මේ අකුශල සංකල්පනාවෝ ඉතිරිනැතිව නිරුද්ධ වෙත්. ගෘහපතිය, කෙසේ පිළිපදින පුද්ගල තෙමේ අකුශල සංකල්පනාවන්ගේ නිරොධය පිණිස පිළිපන්නේ වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුලානොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත්බැව් පිණිස, දියුණුව පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. ගෘහපතිය, මෙසේ පිළිපදින පුද්ගල තෙමේ අකුසල කල්පනාවන්ගේ නිරොධය පිණිස පිළිපන්නේ වේ.

“ගෘහපතිය, කුසල කල්පනාවෝ කවරහුද? නෛෂ්ක්‍රම්‍ය කල්පනාය, අව්‍යාපද කල්පනාය, අවිහිංසා කල්පනාය යන මොහුයි. ගෘහපතිය, මොව්හු කුසල සංකල්පයෝයයි කියනු ලැබෙත්. ගෘහපතිය, මේ කුසල කල්පනාවෝ කුමකින් හටගන්නාහු වෙත්ද, ඔවුන්ගේ හටගැනීමද කියනලදී. සංඥාව නිසා හටගන්නාහුයයි කියයුතු වෙත්. සංඥා තොමෝ කවරීද? සංඥාවෝද බොහෝ වැදෑරුම්ය, නානාප්‍රකාරය. කාමයන්ගෙන් සිත නික්මවීම පිළිබඳ සංඥාවය, අනුන්ට වෛර නොකිරීම පිළිබඳ සංඥාවය, හිංසා නොකිරීම පිළිබඳ සංඥාවය යන මොහුයි. කුසල කල්පනාවෝ මේ සංඥා නිසා හටගන්නාහු වෙත්. ගෘහපතිය, මේ අකුසල සංකල්පනාවෝ කොහිදී ඉතිරි නැතිව නිරුද්ධ වෙත්ද, ඔවුන්ගේ නිරොධයද කියනලදී. ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම් විතර්ක විචාරයන්ගෙන් සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති හිතේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර සහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙහි මේ කුසල කල්පනාවෝ ඉතිරිනොවී නිරුද්ධ වෙත්. ගෘහතිය, මෙසේ පිළිපදින්නේ කුසල කල්පනාවන්ගේ නිරොධය පිණිස පිළිපන්නේ වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන්නාවූ ලාමකවු අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුළා නොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත් බැව් පිණිස, දියුණුව පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්ය පටන්ගනියි, සිත ඔසවයි, උත්සාහ කරයි. ගෘහපතිය, මෙසේ පිළිපන්නේම කුසල කල්පනාවන්ගේ නිරොධය පිණිස පිළිපන්නේ වේ.

“ගෘහපතිය, මම කවර නම් කරුණු දසයකින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් ඇති, උතුම් කුසල් ඇති, උතුම් පැමිණීමට පැමිණියාවූ, වාදයෙන් නොසෙල්විය හැකිවූ ශ්‍රමණයයි ප්‍රකාශ කරම්ද? ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂු තෙම අශෛක්ෂ වූ (රහත්වූ) සම්‍යක් දෘෂ්ටියෙන් (යහපත් දැකීමෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්වූ) සම්‍යක් සංකල්පනයෙන් (යහපත් කල්පනාවෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් වචනයෙන් (යහපත් වචනයෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් කර්මාන්තයෙන් (යහපත් කිරීමෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ආජීවයෙන් (යහපත් ජීවිකාවෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ව්‍යායාමයෙන් (යහපත් උත්සාහයෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ස්මෘතියෙන් (යහපත් සිහියෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් සමාධියෙන් (යහපත් සිතේ එකඟබවෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ඥානයෙන් (යහපත් නුවණින්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් විමුක්තියෙන් (යහපත් මිදීමෙන්) යුක්තවූයේ වේද, ගෘහපතිය, මම වනාහි මේ කරුණු දහයෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති, උතුම්වූ පැමිණීමට පැමිණියාවූ වාදයෙන් නොසෙල්විය හැකි ශ්‍රමණයෙකැයි ප්‍රකාශ කරමි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක සතුටු සිත් ඇත්තාවූ පඤ්චකංග නම්ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

අටවෙනිවූ සමණමණ්ඩික සූත්‍රය නිමි (3-8)