මජ්ඣිම නිකාය
මජ්ඣිම පණ්ණාසකය
3. පරිබ්‍රාජක වර්ගය
80. වෙඛණ සූත්‍රය
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජෙතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ විසූහ.
එකල්හි වේඛණස නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවියයුතු සිහිකටයුතු කථාකොට නිමවා එකත් පසක සිටියේය. එකත් පසක සිටියාවූ වේඛණස නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ‘මෙය උතුම් වර්ණය වේයයි’, ප්‍රීති වාක්‍ය පැවැත්වූයේය.
ඒ උතුම් වර්ණය කවරේදැයි භාග්‍යවතුන් වහන්සේ ඇසූහ. “භවත් ගෞතමයන් වහන්ස, යම් වර්ණයකට වඩා ඉතා උතුම්වූද ඉතා ප්‍රණීතවූද අනික් වර්ණයක් නැත්තේද එය උතුම් වර්ණය වේයි.” “කච්චානය, යම් වර්ණයකට වඩා උතුම්වූද උසස්වූද අනික් වර්ණයක් නැත්තේද ඒ වර්ණය කුමක්ද?” “භවත් ගෞතමයන් වහන්ස, යම් වර්ණයකට වඩා ඉතා උතුම්වූද ඉතා උසස්වූද අනික් වර්ණයක් නැත්තේද එය උතුම් වර්ණයවේයි”, “කච්චාණය යම් වර්ණයකට වඩා උතුම්වූද උසස්වූද අනික් වර්ණයක් නැත්තේනම් එය උතුම් වර්ණයයි කියන්නෙහි නම් තොපගේ මේ කීම දිගින්දිගට පැතිරෙන්නේය. ඒ වර්ණයද නොදක්වන්නෙහිය. කච්චානය, යම්සේ පුරුෂයෙක් මම මේ ‘ජනපදයෙහි යම් ජනපද කල්‍යාණියක් (රූපත් ස්ත්‍රීය) වේද, ඇය කැමැත්තෙමි ඇය පතමියි”. මෙසේ කියන්නේද ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, නුඹ යම් ජනපද කල්‍යාණියක්, කැමැත්තෙහිද පතන්නෙහිද, නුඹ ජනපද කල්‍යාණිය ක්ෂත්‍රීය ස්ත්‍රීයක් හෝ බ්‍රාහ්මණ ස්ත්‍රීයක් හෝ වෛශ්‍ය ස්ත්‍රියක් හෝ ශුද්‍ර ස්ත්‍රීයක් හෝ වේයයි දන්නෙහිද, මෙසේ අසන ලද්දේ ‘නැතැයි’ කියන්නේය. ඔහුට ‘එම්බල පුරුෂය, නුඹ යම් ජනපද කල්‍යාණියක් කැමැත්තෙහිද පතන්නෙහිද නුඹ ජනපද කල්‍යාණි තොමෝ මෙනම් ඇත්තීයයි හෝ මෙබඳු ගොත්‍ර ඇත්තීයයි හෝ දන්නෙහිදැයි, මෙසේ කියන්නාහුය. මෙසේ අසන ලද්දේ ‘නැතැයි’ කියන්නේය. දික්වූ තැනැත්තියක් හෝ මිටි තැනැත්තියක් හෝ මධ්‍යම තැනැත්තියක් හෝ වේයයි, කලුපාට තැනැත්තියක් හෝ එලලුපාට තැනැත්තියක් හෝ දුඹුරුපාට ඇත්තියක් හෝ වේයයි, දන්නෙහිද,යි මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේය. ‘අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ නගරයෙහි හෝ වූවායයි, දන්නෙහිදැයි, මෙසේ අසනලද්දෙ,’ නැතැයි කියන්නේය’. ඔහුට ‘එම්බල පුරුෂය, නුඹ යමක් නොදන්නෙහිද නොදක්නෙහිද, නුඹ එය කැමැත්තෙහිද, පතන්නෙහිදැයි, මෙසේ කියන්නාහුය. මෙසේ අසන ලද්දේ ‘එසේයයි’ කියන්නේය. කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ කථාව හිස්වූවක් නොවන්නේද?” “භවත් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන් එසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ කථාව හිස්වූවක් වේයයි’ කීය. “කච්චානය, යම් වර්ණයකට වඩා ඉතා උතුම්වූද ප්‍රණීතවූද අනික් වර්ණයක් නැත්තේ නම් එය උතුම් වර්ණයයි කියන්නෙහි නම් ඒ වර්ණයද නොදක්වන්නෙහි නම් ඒ කථාවද එසේමය.
“භවත් ගෞතමයන් වහන්ස, යහපත්වූද, ජාතිමත්වූද අටැස් ඇත්තාවූ මනාව ඔපදමන ලද්දාවූ වෛඩූර්ය මාණික්‍යය පඩුවන් කම්බිලියෙහි බහන ලද්දේ බබලාද පැමිනියේද විශෙෂයෙන් බබලාද, මෙබඳු වර්ණ ඇත්තාවූ ආත්මය තෙම මරණින් මත්තෙහි උවදුරු රහිතව පවත්නේය.”
“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද, යහපත්වූ ජාතිමත්වූ අටැස් ඇත්තාවූ මනාව ඔපදමන ලද්දාවූ යම් වෛඩූර්ය මාණික්‍යයක් හෝ පඬුවන් කම්බිලියෙහි බහන ලද්දේ ආලොක පැතිරේද, දිලිසේද විශෙෂයෙන් බබලාද ඝනාන්ධකාරවූ රාත්‍රියෙහි යම් කණ මැදිරියෙක් හෝ වේද, මේ මේ වර්ණදෙකින් කවර වර්ණයක් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේ වේද”? “භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රිඝනාන්ධකාරයෙහි යම් මේ කණමැදිරියෙක් වේද? මෙම මේ වර්ණ දෙක අතුරෙන් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේත් වේයි.”
“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද? රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් කණමැදිරියෙක් වේද, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් තෙල් පහනක් හෝ වේද, මේ වර්ණ දෙකින් කවර වර්ණයක් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේත් වේද”? “භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රිඝනාන්ධකාරයෙහි යම් මේ තෙල් පහනක් වේද, මෙය මේ වර්ණ දෙක අතුරෙන් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතදවූයේත් වෙයි.”
“කච්චානය, ඒකුමකැයි හඟින්නෙහිද? රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් තෙල් පහනක් හෝ වේද, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් මහ ගිනි කඳක් හෝ වේද, මේ වර්ණ දෙකින් කවර වර්ණයක් අතිශයින් බබලන්නේත් හෝ අතිශයින් ප්‍රණීතවූයේත්වේද?” “භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් මේ මහ ගිනි කඳක්වේද මෙය මේ වර්ණය දෙකින් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතද වූයේත් වේයි”.
“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද? රාත්‍රි ඝනාන්ධකාරයෙහි මහ ගිනිකඳක් හෝ වේද, රාත්‍රි අළුයම් කාලයෙහි දුරුවූ වැස්ස ඇති, පහව ගිය වලාකුල් ඇති අහසෙහි යම් පහන් තරුවක් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර වර්ණයක් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේත්වේද?” භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රි අළුයම් කාලයෙහි දුරුවූ වැස්ස ඇති පහවූ වලාකුල් ඇති අහසෙහි යම් මේ පහන් තරුවක් වේද, මෙය මේ වර්ණ දෙකින් ඉතා බබලන්නේත් ඉතා ප්‍රණීතවූයේත් වෙයි”
“කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද? රාත්‍රි අළුයම් කාලයෙහි දුරුවූ වැස්ස ඇති, පහව ගියාවූ වලාකුල් ඇති අහසෙහි යම් පහන් තරුවක් හෝ වේද, එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි දුරුවූ වැස්ස ඇති පහව ගියාවූ වලාකුල් ඇති අහසෙහි මධ්‍යම රාත්‍රි කාලයෙහි යම් චන්ද්‍රයෙක් හෝ වේද, මේ වර්ණ දෙකින් කවර වර්ණයක් ඉතා බබලන්නේත් ඉතා ප්‍රණීතවූයේත් වේද?” භවත් ගෞතමයන් වහන්ස, එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි දුරුවූ වැස්ස ඇති, පහවූ වලාකුල් ඇති, අහසෙහි මධ්‍යම රාත්‍රිකාලයෙහි යම් චන්ද්‍රයෙක් වේද, මෙය මේ වර්ණ දෙකින් ඉතාම බබලන්නේත්, ඉතා ප්‍රණීත වූයේත් වෙයි”.
“කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද? එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි, දුරුවූ වැස්ස ඇති, පහවූ වලාකුල් ඇති අහසෙහි මධ්‍යම රාත්‍රිකාලයෙහි යම් චන්ද්‍රයෙක් හෝ වේද, වර්ෂා මාසයන්හි අන්තිම මාසයවූ සරත් කාලයෙහි දුරුවූ වැස්ස ඇති පහව ගිය වලාකුල් ඇති අහසෙහි ඉරමුදුන් කාලයෙහි යම් සූර්යයෙක් හෝ වේද, මේ වර්ණ දෙකින් කවර වර්ණයක් ඉතා බබලන්නේත්, ඉතා ප්‍රණීත වූයේත් වේද?” “භවත් ගෞතමයන් වහන්ස, වර්ෂා මාසයවූ සරත් කාලයෙහි දුරුවූ වැස්ස ඇති පහවූ වලාකුල් ඇති අහසෙහි ඉරමුදුන් කාලයෙහි යම් මේ සූර්යයෙක් වේද, මෙය මේ වර්ණ දෙකින් ඉතා බබලන්නේත් ඉතා ප්‍රණීත වූයේත් වෙයි. කච්චායනය, තවද මේ දෙවිකෙනෙක් මේ චන්ද්‍ර සූර්යයන්ගේ ආලොකයෙන් ආලොක නොවන්නාවූද ඒ දෙවියෝ බොහෝ වෙති. ඉතා බොහෝ වෙති. මම ඔවුන් දනිමි. එතකුදු වුවත් මම යම් වර්ණයකට වඩා ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද අන්‍යවූ වර්ණයක් නැත්තේයයි නොකියමි. කච්චායනය එතකුදු වුවත් නුඹ යම් මේ වර්ණයක් තෙම කණාමැදිරියෙකුටත් වඩා අතිශයින් හීනවූයේද, අතිශයින් පිළිකුල් වූයේද, ඒ වර්ණය තෙම උතුම් වර්ණය වේයයි කීයෙහිය. ඒ වර්ණයද නොදක්වන්නෙහිය.
“කච්චායනය, මේ කාම ගුණ පසක් වෙත්. කවර පසක්ද යත්? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝද, කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝද, නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝද, දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝද, කයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ, ස්පර්ශයෝද යන මොහුයි. කච්චායනය, මොහු වනාහි පඤ්චකාම ගුණයෝ වෙත්. කච්චායනය, මේ පස්කම් ගුණයන් නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මෙය කම්සැපයයි කියනු ලැබේ. මෙසේ කාම ගුණයන් කරණකොට කාම සැපය වේ. කාම සැපයට වඩා කාමයෙන් අග්‍රවූ සැපය (නිවණ) උතුම්යයි කියනු ලැබේ.
මෙසේ වදාළ කල්හි වේඛනස නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්ය. භවත් ගෞතමයන් වහන්ස, පුදුමය. භවත් ගෞතමයන් වහන්සේ විසින් කාමගුණයන් කරණකොට කාම සැපය වේ. කාම සැපයට වඩා කාමයෙන් අග්‍ර සැපය (නිවණ) උතුම්යයි කියනු ලැබේය යන කීම යහපත් කොට කියන ලද්දකි. කච්චායනය, අන්‍ය දෘෂ්ටි ඇත්තාවූ අන්‍ය ඇදහීම් ඇත්තාවූ, අනික් ධර්මයක් කැමති වන්නාවූ, අන් ධර්මයක යෙදෙන්නාවූ, අන් ගුරුවරුන් ඇත්තාවූ තොපට කාමයන් හෝ කාම සැපය හෝ කාමයෙන් අග්‍ර සැපය හෝ දැනගැනීම දුෂ්කර වේ. කච්චායනය, රහත්වූ ක්ෂය කළ ආශ්‍රව ඇත්තාවූ, වැස නිමවූ, බ්‍රහ්මචර්යාව ඇත්තාවූ සතර මගින් කළයුතු කටයුතු කොට නිමවූ, බහා තබනලද කෙලෙස් බර ඇති, පිළිවෙළින් පැමිණියාවූ අර්හත්වය ඇති, නැති කළාවූ භවයෙහි බැඳීම් ඇති, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ යම් මේ භික්ෂුහු වෙත්ද, ඔව්හු කාමයන්ද, කාම සැපයද, කාමයෙන් අග්‍ර සැපයද දන්නාහුයයි” (වදාළේය.)
මෙසේ වදාළ කල්හි වෙඛනස නම් පරිව්‍රාජක තෙම කිපියේ නොසතුටුවූයේ භාග්‍යවතුන් වහන්සේටම ක්‍රොධ කරමින් භාග්‍යවතුන් වහන්සේටම ගරහමින් භාග්‍යවතුන් වහන්සේට කියනු ලබන්නේ “ශ්‍රමණ ගෞතම තෙමේද නොදන්නෙක් වන්නේයයි” කියමින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “මෙසේම වනාහි මේ ලොකයෙහි සමහර මහණ බමුණෝ අතීතයද නොදන්නාහු, අනාගතයද නොදක්නාහු වෙත්. එසේද වුවත් ජාතිය ක්ෂය කරන ලද්දීය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කටයුත්ත කරන ලද්දේය. මෙන් මතු කළ යුතු අනිකක් නැතැයි දනිමුයි ප්‍රකාශ කෙරෙත්. ඔවුන්ගේ මේ කීම සිනහවක් බවටම පැමිණෙයි. නාම මාත්‍රයක් බවටම පැමිණෙයි. හිස්වූවක් බවටම පැමිණෙයි.” “කච්චායනය, යම් මේ මහණ බමුණෝ අතීතය නොදන්නාහු අනාගතය නොදක්නාහු, ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළයුත්ත කරණ ලද්දේය. මින්පසු කළ යුතු අනිකක් නැතැයි දනිමුයි ප්‍රකාශ කෙරෙත්නම් ඒ ඒ මහණ බමුණන්ට මේ යහපත්වූ නිග්‍රහනයක්වේ. කච්චානය, තවද අතීතය තිබේවා, අනාගතය තිබේවා, කෛරාටික නොවූ මායා නැත්තාවූ ඍජු ස්වභාව ඇති නුවණැති පුරුෂයෙක් පැමිණෙත්වා, මම අනුශාසනා කරමි. මම ධර්මය දෙශනා කරමි. අනුශාසනා කළ පරිද්දෙන් පිළිපදිනු ලබන්නේ නොබෝ කලකින්ම මෙසේ වනාහි මනා කොට අවිද්‍යා (නොදැනීම්) බැම්මෙන් මිදුනේයයි තෙමේම දන්නේය. තෙමේම දක්නේය. කච්චානය, යම්සේ බාලවූ උඩුකුරුව සයනය කරන්නාවූ ළදරු දරුවෙක් අත් පා සහ බෙල්ල නූල් බැමිවලින් (ඔහුගේ ආරක්ෂාව පිණිස) බඳනා ලද්දේ, ඔහු වැඩිවියට පැමිණ ඉන්ද්‍රයයන් මේරූ කල්හි ඒ බැමිවලින් මිදෙන්නේද, හෙතෙම මිදුනේ වෙමියි බැඳීමක් නැතැයි දන්නේද, කච්චානය, එපරිද්දෙන්ම කෛරාටික නොවූ මායා නැත්තාවූ ඍජු ස්වභාව ඇති නුවණැති පුරුෂයෙක් පැමිණෙත්වා, මම අනුශාසනා කරමි. මම ධර්මය දෙශනා කරමි. යම්සේ අනුශාසනා කරණ ලද්දේද, එසේ පිළිපදින්නේ නොබෝ කලකින්ම මෙසේ වනාහි මනා කොට අවිද්‍යා බැම්මෙන් මිදුනේ වෙමියි’ තෙමේම දන්නේය, තෙමේම දක්නේයයි, (වදාළේය.)
මෙසේ වදාළ කල්හි වෙඛනස නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක්, උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් අරින්නේ හෝ වේද මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්ම දෙශනා කරන ලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි, දරණ සේක්වා.
දහවෙනිවූ වෙඛනස සූත්‍රය නිමි. (3-10)
පරිබ්‍රාජක වර්ගයයි.
තෙවිජ්ජවච්ඡගොත්ත සූත්‍රය, අග්ගිවච්ඡගොත්ත සූත්‍රය, මහාවච්ඡගොත්ත සූත්‍රය, දීඝනක සූත්‍රය, මාගන්දිය සූත්‍රය, සන්දක සූත්‍රය, මහාසකුළුදායි සූත්‍රය, සමණමණ්ඩික සූත්‍රය, වෙඛණ සූත්‍රය යන සූත්‍ර දසයවූ