මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

4. රාජ වර්ගය

81. ඝටීකාර සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සමූහයක් සමග කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩිනාසේක. ඒ කාලයෙහි මාර්ගයෙන් ඉවත්ව එක් පෙදෙසෙක්හි වැඩසිටියාවූ භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කෙළේය.

එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙබඳු සිතෙක් විය. ‘භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහළකිරීමට හේතුව කිමෙක්ද? ප්‍රත්‍යය (කරුණ) කිමෙක්ද? තථාගතවරයෝ කරුණක් නැතිව සිනහ පහල නොකෙරෙති’යි (කියාය.)

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ සිව්ර එකාංශකොට පොරවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද ඒ දෙසට ඇඳිලිබැඳ වැඳ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහළ කිරීමට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? තථාගත වරයෝ නොකරුණෙහි සිනහ පහල නොකෙරෙති”යි කියාය.

“ආනන්දය, පෙර වූවක් කියමි. එනම් මේ ප්‍රදෙශයෙහි සමුර්ධවූ සම්පත් ඇති, සැපතින් පිරී ගියාවූ බොහෝ ජන සමූහයා ඇති, මිනිසුන්ගෙන් ගැවසීගත් වෙහලිංග නම් නියම්ගමෙක් විය.

“ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ වෙහලිංග නම් නියම්ගම ඇසුරුකොට විසූහ. ආනන්දය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ මෙහි වැඩහිඳ, භික්ෂු සංඝයාට අවවාද කෙරේයයි” (වදාළහ.)

එකල්හි ආයුෂ්මත් ආනන්දතෙමේ දෙපට සිවුර සතරට නමා අසුනක් පණවා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ. “ස්වාමීනි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ හිඳිනාසේක්වා. එසේ කල්හි මේ බිම් කොටස අර්හත්වූ සම්‍යක් සම්බුදුවරු දෙදෙනෙකුන් වහන්සේ විසින් පරිභොග කරණ ලද්දේ වන්නේයයි” කීහ.

භාග්‍යවතුන් වහන්සේ පැණවූ අස්නෙහි වැඩඋන්හ හිඳගත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන්ට කථාකළහ. “ආනන්දය, පෙර දවස මේ ප්‍රදෙශයෙහි ධනයෙන් පිරුණු සැපතෙන් පිරීගිය බොහෝ ජනයන් ඇති, මිනිසුන්ගෙන් ගහණවූ වෙහලිංග නම් නියම්ගමක් වූයේය.

“ආනන්ද්‍ය, වෙහලිංග නම් නියම්ගම ඇසුරුකොට භගවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ වැඩවිසූහ. ආනන්දය, මෙහි වූකලී භගවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය වූයේය. ආනන්දය, මෙහි වැඩහුන්නාවූ භගවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ භික්ෂු සංඝයාට අවවාද දෙයි.

“ආනන්දය, වෙහලිංග නම් ගමෙහි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ උපස්ථායකවූ ඝටීකාර නම් කුම්භකාරයෙක් වූයේය. (ඔහු) අග්‍රවූ උපස්ථායක කෙනෙකි.

“ආනන්දය, ඝටීකාර නම් කුම්භකාරයාගේ යහළුවූ ජොතිපාල නම් තරුණයෙක්ද වූයේය. හේ ප්‍රියවූ යහළුවෙකි. ඒ කාලයෙහි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට කථා කෙළේය.

“යහළු ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිස යමු. මාගේ ඒ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම් යහපතැයි සම්මත වූයේමය. එබැවින් යමු’යි (කීහ.)

“ආනන්දය, මෙසේ කීකල්හි ජොතිපාල මානව තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැතැයි, කීහ.

“ආනන්දය, දෙවනුවද, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මේ කාරණය කීයේය. “යහලු ජොතිපාලය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යතවතුන් වහන්සේ දැකීම පිණිස යමු. මාගේ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැකීම මැනවැයි සම්මත වූයේ එය (එබැවින්) යමු”යි (කීය.) ආනන්දය, දෙවනුවත් ජොතිපාල මානවක තෙම ඝටීකාර කුම්භකාරයාට මෙසේ කීය යහලු ඝටීකාරය, ඒ හිස මුඩු ශ්‍රමණයාගේ දැකීමෙන් කුමන ප්‍රයෝජනයක්ද? ඉන් වැඩක් නැතැයි (කීය.)

“ආනන්දය, තුන්වෙනුවද ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මේ කාරණය කීහ. ‘යහලු ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිසයමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම මැනවයි සම්මත වූයේමය (එබැවින්) යමුයි’ කීය.

“තුන්වෙනුවත්, ආනන්දය, ජොතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මේ කාරණය කීය. ‘යහළුව ඝටීකාරය. ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර ප්‍රයොජනයක්ද, ඉන් වැඩෙක් නැතැයි’ කීය.

“එසේ නම් යහළු ජොතිපාලය, නහන සුණු ගෙන දියනාන්ට ගඟට යමුයි’ කීය. ආනන්දය, ජොතිපාල මානවක තෙමේ, ‘යහලුව එසේය’ කියා, ඝටීකාර කුම්භකාරයාහට උත්තර දුනි. ඉක්බිති ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේද, ජොතිපාල මානවකතෙමේද (කුරුවින්ද පාෂාණයෙන් කළ) නහන සුණු ගෙණ දිය නෑමට ගඟට ගියාහුය.

එහිදී ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට කථා කළේය. “යහලුව ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය මේ ළඟය. මිත්‍ර ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීමට යමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම යහපතයයි සම්මත වූයේමය. (එබැවින්) යමුයි,’ කීය.

“ආනන්දය, මෙසේ කී කල්හි ජොතිපාල තරුණ තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘යහලුව ඝටීකාරය, මුඩු ශ්‍රමණයා දැකීමෙන් කුමන වැඩෙක්ද, එයින් වැඩක් නැතැයි, කීය. ඝටීකාර කුම්භකාරතෙම ජොතිපාල මානවකයාට මෙසේ කීය. ‘යහලු ජෝතිපාලය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ආරාමය මේ ළඟය. යහලුව ජොතිපාලය, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දකින්ට එහි යමු’ මාගේ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැකීම යහපතැයි සම්මතය, එහෙයින් යමු. ආනන්දය, දෙවනුවද ජෝතිපාල මානවක තෙම ඝටීකාර කුම්භකාරයාට මෙසේ කීය. ‘යහලු ඝටීකාරය, ඒ හිස මුඩු මහණාගේ දැකීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද, එයින් වැඩක් නැතැයි’ කීය.

“ආනන්දය, දෙවනුවත් තුන්වනුවත් ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මෙසේ කීය. ‘යහලුව ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්බුදුන්ගේ ආරාමය මේ නුදුරුතන්හිය. යහලුව ජොතිපාලය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දකිනු පිණිස (එහි) යමු.’ ‘මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම මැනවයි සම්මතමය, එහෙයින් යමුයි කීය. තුන්වෙනුවද, ආනන්දය, තරුණ ජොතිපාල තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මේ කාරණය කීය.

“මිත්‍ර ඝටීකාරය, ඒ හිස මුඩු ශ්‍රමණයා දැකීමෙන් කුමණ ප්‍රයෝජනයෙක්ද? (එහෙයින්) වැඩක් නැත’ (යනුයි)

“එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මාණවකයාගේ ඔඩොක්කුවෙන් අල්වා ගෙන මෙසේ කීය. ‘යහළුව ජොතිපාලයිනි, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය මේ සමීපයෙහිය. යහළුව ජොතිපාලයිනි, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීමට (එහි) යමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම යහපතය කියා සම්මතය, (එහෙයින්) යමුයි’ කීය.

“එකල්හි ආනන්දය, ජොතිපාල තරුණ තෙමේ ඔඩොක්කුව අත්හැර ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘මිත්‍රය ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කුමන පලයෙක්ද? එයින් කම් නැතැයි’ කීහ. එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ නානලද හිසින් යුත් ජොතිපාල මානවකයාගේ කෙස් වැටියෙන් අල්වාගෙණ මෙසේ කීය.

“යහලුව ජොතිපාලයිනි, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ මේ ආරාමය ඉතා ආසන්නයෙහිය. යහලුව ජොතිපාලයිනි, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිස (එහි) යමු.’ ‘භාග්‍යවත්වූ අර්හත්වූ මාගේ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම සාධු සම්මතය. (එහෙයින්) යමුයි’ කීය.

“එකල්හි ආනන්දය, ජොතිපාල මානවකයාහට මේ අදහස වූයේය. ‘පින්වත, ආශ්චර්යකි. පුදුමයකි. (එනම්) යම් කාරණයකින් මේ ඝටීකාර කුම්භකාර තෙමේ පහත් ජාති ඇත්තෙකුවද ස්නානය කළ හිසින් යුත් අපගේ කෙස් වැටිය ඇල්ලීමට තරම් සිතීද, ඒ කාන්තයෙන් මේ කාරණය සුළු දෙයක් නොවන්නේය’, කියා සිතීය. එසේ සිතා ඝටීකාර කුම්භකාරයාගෙන් ‘යහලුව ඝටීකාරය, ඒ කාරණය මෙතරම් උසස් දෙයක්දැයි, (ඇසීය.) ‘යහලුව ජොතිපාලයිනි, ඒ කාරණය එතරම් උසස් දෙයකියි’ උත්තර දුනි. ඒ මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම එසේම යහපත්යයි සම්මත කරන ලද්දේ වෙයි. ‘යහලුව ඝටීකාරය, එසේනම් (කෙස් වැටිය) මුදව. යන්නෙමැයි’ (කීය).

“එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේද ජෙතිපාල තරුණ තෙමේද භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ඝටීකාර කුම්භකාර තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඳ එක් පැත්තක හිඳ ගත්තේය.

“ජොතිපාල තරුණ තෙමේ වනාහි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවීමට නිසිවූ සිහි කිරීමට සුදුසුවූ කතාව කොට නිමවා එක් පැත්තක හිඳගත්තේය.

“ආනන්දය, එක් පසෙක උන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ ‘ස්වාමීනි, තරුණවූ මේ ජොතිපාල තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහුට ධර්ම දෙශනා කරණ සේක්වායි.’ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට කීය.

ආනන්දය, එකල්හි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජ තෙමේ ඝටීකාර කුම්භකාරයාටද ජොතිපාල මානවයාටද දහම් කතාවෙන් කරුණු දැක්වූයේය. කරුණු ගැන්වූයේය. කරුණෙහි සිත් තියුණු කරවූයේය. පැහැදවූයේය.

“ආනන්දය, එකල්හි භාග්‍යත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද්දාවූද කරුණු ගන්වන ලද්දාවූද, එහි සිත් තියුණු කරවන ලද්දාවූද පහදවන ලද්දාවූද ඝටීකාර කුම්භකාර තෙමේද ජොතිපාල මානව තෙමේද භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්බුදුන්ගේ දෙශනාවට ඉතා සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට වැඳ, පැදකුණු කොට ගියාහුය.

“එකල්හි ආනන්දය, ජොතිපාල මානවක තෙමේ ඝටීකාර කුම්භකාරයාගෙන් යහලුව ඝටීකාරය, නුඹ ධර්මය ඇසීම පමණක් කරන්නෙහිද, එපමණක් නොව ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිත් වන්නෙහිදැයි’ ඇසී ‘යහලුව, ජොතිපාලය, මා අන්ධවූ මහළුවූ මව්පියන් පොෂණය කරන බව නොදන්නෙහිද? ‘යහලු ඝටීකාරය, එසේනම් මම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙමි’යි කීය.

“එවිට ආනන්දය, ඝටීකාර නම් කුම්භකාර තෙමේද ජොතිපාල නම් මානවක තෙමේද, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුද්ධ තෙමේ යම් තැනෙක්හිද එතනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ එක් පසෙක හිඳගත්හ. ආනන්දය, එක් පසෙක හුන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට ‘ස්වාමීනි, මේ ජොතිපාල මානවක තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහු පැවිදි කරණ සේක්වායි කීය.’

“ආනන්දය, ජොතිපාල මානවක තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් සමීපයෙහි මහණකම් ලැබී උපසම්පදාව ලැබී.

ඉක්බිති ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ ජොතිපාල මානව උපසම්පදාවූ නොබෝ කලකින් උපසම්පදාවී අඩමසකින් වෙහලිංගයෙහි කැමතිතාක්කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එහි චාරිකාව සඳහා වැඩියේය. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනුයේ බරණැස යම් තැනෙක්හිද එහි පැමිණියේය.

“එහිදී ආනන්දය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුද්ධ තෙම බරණැස සමීපයෙහි මිගදාය නම් ඉසිපතනාරාමයෙහි වැඩවසයි.

“ආනන්දය, කිකී නම් කසීරජ භාග්‍යවත්වූ අර්හත්වූ සම්‍යක් කාශ්‍යප බුදුරජ තෙමේ බරණැසට පැමිණ, බරණැස මිගදාය නම් ඉසිපතනයෙහි වාසය කෙරේයයි ඇසුවේය.

එකල්හි ආනන්දය, කිකී කසී රජතෙම යහපත්වූ යහපත්වූ යානාවන් යොදවා, යහපත් යානාවක නැග, යහපත් යහපත් යානාවන්ගෙන් යුක්තව මහත් රාජානුභාවයෙන් භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිස බරණැසෙන් පිටත්ව ගියේය.

“යානාවෙන් යාමට සුදුසුතැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ යම් තැනෙක්හිද එතැනට පයින්ම ගියේය. ගොස්, භාග්‍යවත්වූ අර්හත්වූ, කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ, එක පසෙක උන්නේය.

“ආනන්දය, එක් පසෙක හුන් කිකී නම් කසීරජුට භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ ධර්ම කථාවෙන් මනාකොට කරුණු දැක්වීය. මනාව කරුණු ගැන්වීය. කරුණෙහි සිත මනාව තියුණු කරවීය. මනාකොට සිත පැහැද වීය.

“එකල්හි ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් විසින් දහම් කතාවෙන් කරුණු දක්වන ලද්දාවූ, සමාදන් කරවන ලද්දාවූ, තියුණු කරණ ලද්දාවූ, පහදවන ලද්දාවූ, කිකී කසී රජ තෙමේ භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග සෙට දවස පිණිස මාගේ බත ඉවසනසේක්වායි’ කීය. ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසීය.

“එකල්හි ආනන්දය, කිකී කසී රජතෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ඉවසීම දැන ආසනයෙන් නැගිට, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ, පැදකුණුකොට ගියේය.

“ඉක්බිති ආනන්දය, කිකී කසී රජතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් සිය නිවසෙහි මිටිබැඳ අහසෙහි එල්වා වියනලද කළුඇට ඉවත් කරනලද රත්ඇල් සහලින් බත් හා නොයෙක් ව්‍යඤ්ජනයෙන් යුත් ඛාද්‍ය භොද්‍යයන් පිළියෙල කරවා, ‘ස්වාමීනි, බත නිමියේය. (ඊට) කාලය (වෙයි)’ කියා භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන්ට සැලකර වීය.

“ඉක්බිති ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජ පෙරවරුයෙහි හැඳ පොරවා පා සිව්රු ගෙණ කිකී කසී රජුගේ මාලිගය යම්තැනකද එතැනට වැඩියේය. (එසේ) වැඩ භික්ෂු සංඝයා සමග පැනවූ අස්නෙහි වැඩහුන්සේක.

“ඉක්බිති ආනන්දය, කිකී නම් කසී රජතෙමේ බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා ප්‍රණීතවූ ආහාරපානවලින් සියතින් වැළඳ වීය. කැමතිතාක් වැළඳවීය.

“ඉක්බිති ආනන්දය, කිකී කසී රජතෙමේ, වළඳා අවසන්ව පාත්‍රය අතින් ඉවත තැබූ භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වෙත එක් මිටි අස්නක් ගෙණ හිඳගත්තේය.

“ආනන්දය, එක් පසෙක උන් කිකී නම් කසී රජ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට මේ කාරණය සැලකළේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ බරණැස් නුවර වස්විසීම ඉවසනසේක්වා. මෙබඳුවූ උපස්ථානයක් සංඝයාට එන්නේයයි’ කීය.

“කම් නැත. මහරජ, මා විසින් වස්විසීමක් ඉවසන ලද්දේය.’

දෙවනුවත් ආනන්දය, ‘කිකී’ නම් කසී රජතෙමේ භගවත්වූ අර්හත්වූ, කාශ්‍යප සම්මා සම්බුදුන්ට මේ කාරණය කීයේය. ‘ස්වාමීනි, භාග්‍යවත් තෙමේ මාගේ බරණැසෙහි වස්විසීම ඉවසනසේක්වා, සංඝයාට මෙබඳුවූ උපස්ථානයක් වන්නේයයි’ (කියායි)

තුන්වෙනුවත් ආනන්දය ‘කිකී’ කසී රජතෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට මේ කාරණය කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ බරණැස් නුවර වස්විසීම ඉවසන සේක්වා. සංඝයාට මෙබඳුවූ උපස්ථානයක් වන්නේයයි’ කියායි.

“කම් නැත, මහරජ, මා විසින් වස් විසීම ඉවසන ලද්දේයයි’ වදාළේය.

“ඉක්බිති ආනන්දය, භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ බරණැස් නුවර වස් විසීම නොඉවසන්නාහයි කිකී නම් කසී රජහට නොසතුට පහළ වූයේය. දොම්නස පහළ වූයේමය.

ඉක්බිති ආනන්දය, කිකී කසී රජතෙම කාශ්‍යප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන්ට මෙසේ කීය.

“ස්වාමීනි, නුඹවහන්සේට මට වඩා උපස්ථානකරන්නාවූ අන් කිසිවෙක් ඇත්තේදැයි’ විචාළේය.

“මහරජ, වෙහලිංගනම් නියම් ගමෙක් ඇත. එහි ඝටීකාර නම් කුම්භකාරයෙක් වාසය කෙරෙයි. හෙතෙම මාගේ උපස්ථායක කෙනෙක. අග්‍ර උපස්ථායක කෙනෙක. මහරජ, තොපට වනාහි භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මාගේ වස්විසීම නොඉවසුහයි නොසතුට පහළ විය. දොම්නස පහළ විය. එය ඝටීකාර කුම්භකාරයාට නැත. ඇතිද නොවන්නේය.

“මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ වනාහි බුදුන් සරණ ගියේය. දහම් සරණ ගියේය. සංඝයා සරණ ගියේය.

“මහරජ, ඝටීකාර කුම්භකාරතෙම වනාහි ප්‍රාණඝාතයෙන් වැළකුණේය. සොරකමින් වැළකුණේය. කාමයෙහිවරදවා හැසිරීමෙන් වැළකුණේය. මුසාවාදයෙන් වැළකුණේය. සුරාපානයෙන් වැළකුණේය.

“මහරජ, ඝටීකාර කුම්භකාරතෙම වනාහි බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ආර්යයන් විසින් කැමතිවන ලද සීලයන්ගෙන් යුක්ත වූයේ වෙයි.

“මහරජ, ඝටීකාර කුම්භකාරතෙමේ වනාහි දුක්ඛ සත්‍යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛසමුදය සත්‍යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛ නිරොධසත්‍යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛ නිරොධ ගාමිණි ප්‍රතිපදා සත්‍යයෙහි සැක නැත්තේ වෙයි.

“මහරජ, ඝටීකාර කුම්භකාරතෙම වනාහි එක් වේලෙහි වළඳනා බ්‍රහ්මචර්යාවෙන් යුක්තවූ සිල්වත්වූ යහපත් ධර්මයෙන් යුක්ත වූවෙක් වෙයි.

“මහරජ, ඝටීකාර කුම්භකාරතෙමේ වනාහි රන් රුවන් ඉවත් කළ මසු කහවනු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. මහරජ, ඝටීකාර කුම්භකාරතෙමේ වනාහි බහා තැබූ අවි ආයුධ ඇත්තේ සියතින් පොළොව නොම හාරයි. ගං ඉවුරු බිඳීගිය තන්හි වූ යම් පසක් වේද- මීයන් සුනඛයන් විසින් ඇද දමන ලද යම් පසක් වේද ඒ පස කැමති සේ ගෙණවුත් වලන් සාදා මෙසේ කියන්නේය. මෙහි යමෙක් කැමැත්තේ නම් සහල් හෝ මුං හෝ කඩල හෝ ගෙණවුත් තබා යමක් කැමති වේද එය ගෙණ යවයි (කියාය)

“මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ වනාහි ඇස් අන්ධ වූ මහලු මව් පියන් පොෂණය කරන්නෙක. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ වනාහි කාම ලොකය භජනය කරන්නාවූ ඔරංභාගියසංයොජන (බැඳුම්) පස නැතිකොට (බඹලොව) ඔපපාතිකව උපදින ඒ බඹලොවෙන් නැවත ඉපදීම් වශයෙන් මෙහි නොඑන ඒ බ්‍රහ්ම ලොකයෙහිදීම පිරිණිවෙන ස්වභාව ඇත්තෙකැයි’ (වදාළහ.)

“මහරජ, එක් කලෙක මම වෙහලිංග නම් නියම් ගම්හි වාසය කරමි. මහරජ එකල්හි මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රසිවුරු ගෙණ ඝටීකාර කුම්භකාරයාගේ මව් පියන් යම්තෙනකද එහි පැමිණියෙමි. පැමිණ ඝටීකාර කුම්භකාරගේ මව්පිය දෙදෙනාගෙන් මේ මේ පින්වත් තැනැත්තේ කොහි ගියේදැයි ඇසීමි. ස්වාමීන් වහන්ස, ඔබගේ උපස්ථායක තෙම බැහැර ගියේය. මේ සැළියෙන් බත් ගෙණ මේ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වැළඳුව මැනවයි (කීහු.)

“ඉක්බිති මහරජ, මම සැළියෙන් බත් ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට ගියෙමි. මහරජ, අනතුරුව ඝටීකාර කුම්භකාර තෙම මව්පියන් යම් තෙනකද එහි පැමිණ මව්පියන්ගෙන් කවරෙක් සැළියෙන් බත් ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ අනුභවකොට ආසනයෙන් නැගිට බැහැර ගියේදැ’යි ඇසීය.

“පුත්‍රය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සැළියෙන් බත් ගෙණ ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට බැහැර වැඩියේය’යි (කීහු.) ‘එහිදී මහරජ, ඝටීකාර කුම්භකාරයාහට ‘ඒකාන්තයෙන් මට ලාභයෙක. ඒකාන්තයෙන් මා විසින් යහපත්වූ ලාභයක් ලබන ලදී. භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ මට මෙසේ විශ්වාස වූවෝය’ යන සිත් පහළ විය. ‘මහරජ, ඝටීකාර කුම්භකාරයාට අඩ මසක්ද මව්පියන්ට සත් දවසක්ද මෙයින් උපන් ප්‍රීති සැපය නොනැසී පැවතුණේය.

‘මහරජ, එක් කලෙක මම ඒ වෙහලිංග නම් ගමෙහිම වෙසෙමි. ඉක්බිති මම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ ඝටීකාර කුම්භකාරයාගේ මවුපියන් යම් තෙනකද එහි පැමිණියෙමි. පැමිණ ඝටීකාර කුම්භකාරයාගේ මව්පියන් ගෙන් පින්වතුනි, මේ පින්වත් තෙමේ කොහි ගියේදැ’යි ඇසීමි. ‘පින්වතුන් වහන්ස, ඔබගේ උපස්ථායක තෙම බැහැර ගියේය. මේ සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් (ව්‍යංජන ගෙණ වළඳනු මැනවයි’ (කීහු) ‘මහරජ, එහිදී මම සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට ගියෙමි.

“ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාරතෙම මව්පියන් යම් තෙනකද එහි පැමිණියේය. පැමිණ මව්පියන් ගෙන් සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ අනුභව කොට ගියේ කවරෙක්දැයි ඇසීය. ‘දරුව, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට වැඩියෝයයි’ (කීහු)

“ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාරයාහට, ‘මට ඒකාන්තයෙන් ලාභයෙක. මා විසින් ඒකාන්තයෙන් යහපත් ලාභයක් ලබන ලදී. මට භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ විශ්වාස වූයේයයි, සිත් විය. මහරජ, ඝටීකාර කුම්භකාරයාට අඩ මසක්ද මව්පියන්ට සත් දවසක්ද එයින් උපන් ප්‍රීති සැපය, නොනැසී පැවතුණේය.

‘මහරජ, මම එක් කලෙක්හි ඒ වෙහලිංග නම් නියම් ගමෙහි වෙසෙමි. ඒ කාලයෙහි වනාහි ගන්ධ කුටිය වැස්සෙන් තෙමෙයි. එහිදී මහරජ. මම භික්ෂූන්ට කථාකොට ‘මහණෙනි, යව් ඝටිකාර කුම්භකාරයාගේ ගෙහි තණ දනිව්ය’යි කීයෙමි.

“මහරජ, මෙසේ කී කල්හි භික්ෂූහු මට ‘ස්වාමීන් වහන්ස, ඝටීකාර කුම්භකාරයාගේ ගෙහි තණනැත්තේය. එනමුදු ඔහුගේ ගෘහය අලුත සොයන ලද පිදුරු ඇත්තේය. ‘මහණෙනි, යව්. ඝටීකාර කුම්භකාරයාගේ ගෘහය සෙවිලි කළ පිදුරු ගෙණ එව’යි කීයෙමි.’

“ඉක්බිති මහරජ, ඒ භික්ෂූහු ඝටීකාර කුම්භකාරයාගේ ගෘහයෙහි සෙවිලි කරන ලද තණ ගෙණ ආවාහුය. එකල්හි මහරජ, ඝටීකාර කුම්භකාරයාගේ මව්පියෝ භික්ෂූන්ගෙන් ‘කවරහු ගෘහයෙහි සෙවිලි කළ පිදුරු ගෙණ යෙත්දැ’යි ඇසූහ.

භික්ෂූහු, ‘සොහොයුරිය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජුන්ගේ ගඳකිළිය තෙමේය’යි කීහු. ‘ස්වාමීනි දරුවෙනි, ගෙණයනු මැනව. සත්පුරුෂවරුනි, ගෙණයනු මැනව’යි කීහු.

ඉක්බිති මහරජ, ඝටීකාර, කුම්භකාරතෙමේ මව්පියන් යම් තෙනෙක්හි නම් එහි එළඹියේය. එළඹ මව්පියන්ගෙන් ගෙන සෙවිලි කළ පිදුරු ගෙන ගියෝ කවුරුදැ’යි ඇසීය.

“දරුව, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ගඳකිළිය තෙමෙන්නේය කියා භික්ෂූහු ගෙණ ගියෝය’යි කීහු.

“එකල්හි මහරජ, ඝටීකාර කුම්භකාරයා හට ඒකාන්තයෙන් මට ලාභයෙක. ඒකාන්තයෙන් මා විසින් යහපත් ලාභයක් ලබන ලදී. මට භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මෙසේ විශ්වාස වූවෝය’යි සිත්විය. ‘අනතුරුව මහරජ, ඝටීකාර කුම්භකාරයාහට අඩ මසක්ද මව්පියන්ට හත් දවසක්ද එයින් උපන් ප්‍රීති සැපය නොනැසී පැවැත්තේය.

“ඉක්බිති මහරජ, ඒ භාගය තෙමසක් මුලුල්ලෙහිම අහසම පියස්ස කොට සිටියේය. වැස්සෙන්ද නොතෙමියේය. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ මෙබඳු වූ ගුණ ඇත්තෙක් වේයයි වදාළහ.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ විශ්වාස වීමෙන් ඝටීකාර කුම්භකාරයාහට ලාභයෙක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඝටීකාර කුම්භකාරයා විසින් යහපත් ලාභයක් ලබන ලදී.

“ඉක්බිති ආනන්දය, කිකී නම් කසී රජ තෙමේ ඝටීකාර නම් කුම්භකාරයාහට මිටිකොට බැඳ වියනලද රත්හැල් සහල් ගැල් පන්සියයක්ද, ඊට සුදුසු ව්‍යංජන පිණිස ගත යුතු දේද පිටත්කොට යැවීය. ඉක්බිති ආනන්දය, ඒ රාජ පුරුෂයෝ ඝටීකාර නම් කුම්භකාරයා වෙත පැමිණ මෙසේ කීවාහුය.

“පින්වත, මිටිකොට බැඳ වියලන ලද රත්හැල් සහල් ගැල් පන්සියයක්ද ඊට සුදුසු ව්‍යංජන පිණිස ගතයුතුදේද කිකී නම් කසී රජ විසින් එවන ලද්දාහ.

“පින්වතුන් වහන්ස, ඒ භාණ්ඩයන් පිළිගත මැනව. රජ තෙමේ වනාහි බොහෝ වැඩ ඇත්තේ කටයුතු බහුල වූයේ වේය’යි කීහු. ඝටීකාර කුම්භකාර තෙමේ මට (එයින්) ප්‍රයෝනයෙක් නැත. රජහටම වේවා’යි කීය.

“ආනන්දය, නුඹට මෙබඳු අදහසෙක් ඇතිවිය හැක. ඒ කාලයෙහි තරුණ ජෝතිපාල වූයේ ඒකාන්තයෙන් අනිකෙක කියාය.

“ආනන්දය, මේ කාරණය වනාහී එසේ නොදත යුතුය. ඒ කාලයෙහි තරුණ ජෝතිපාල වූයෙම් මම්මයයි’ වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු වූහ.

පළමුවෙනිවූ ඝටීකාර සූත්‍රය නිමි. (4-1)