මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

4. රාජ වර්ගය

83. මඛාදෙව සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මිථිලා නම් නගරයෙහි මඛාදෙව නම් අඹ උයනෙහි වැඩ වෙසෙත්. ඒ කාලයෙහි ‘භාග්‍යවතුන් වහන්සේ එක්තරා තැනකදී සිනහ පහල කෙළේය. එහිදී ආයුෂ්මත් අනඳ තෙරුන්හට මේ සිත පහළ විය. භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහල කිරීමට හේතුව කිම? කරුණ කිම? කරුණක් නැති කල්හි තථාගතවරයෝ සිනහ පහළ නොකෙරෙත්ය” කියාය.

එහිදී ආයුෂ්මත් ආනන්ද තෙමේ සිවුර ඒකාංශකොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහල කිරීමට හේතුව කිම? කරුණු කිම? තථාගතවරයෝ හේතුවක් නැතිව සිනහ පහල නොකෙරෙතියි” කියාය.

“ආනන්දය, පෙර දවස මේ මිථිලා නගරයෙහිම මඛාදෙව නම් රජෙක් වූයේය. ධාර්මිකවූ ධර්මයෙන් රජකම් කරන ධර්මයෙහි පිහිටි මහ රජෙක්ව බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නියම් ගම් වැස්සන් කෙරෙහිද ජනපද වැස්සන් කෙරෙහිද ධර්මයෙන් පිළිපදියි.

“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද පසලොස්වක් දිනයෙහිද අටවක් දිනයෙහිද සිල්සමාදන්ව වාසය කරයි.

“ආනන්දය, ඒ කාලයෙහි අවුරුදු බොහෝ ගණනක් අවුරුදු සියගණනක් අවුරුදු දහස් ගණනක් ගතවීමෙන් පසු මඛාදෙව රජ තෙමේ හිස රැවුල් කපන්නාට කථා කෙළේය. යහලුව, යම් දවසක මාගේ හිසෙහි පැසුණු හිසකෙස් වූවාහුද එකල්හි මට කියවයි’ කීහ.

“ආනන්දය, ‘දෙවයිනි, එසේයයි’ හිස රැවුල් කපන්නා මඛාදෙව රජහට උත්තර දුන්නේය.

“ආනන්දය, බොහෝ අවුරුදු බොහෝ සියක් අවුරුදු බොහෝ දහසක් අවුරුදු ගතවීමෙන් හිස රැවුල් කපන්නා මඛාදෙව රජහුගේ හිසෙහි පැසුණු හිස කෙස් දිටීය, දැක මඛාදෙව රජහට දේවයන්හට දේවදූතයෝ පහල වූවාහුය. හිසෙහි පැසුණු හිස කෙස් දක්නා ලැබෙත්යි” කීය. එසේ නම් යහළු ඒ පැසුණු කෙස් අඬුවෙන් ප්‍රවේශම්ව උදුරා මාගේ අතෙහි තබවයි” කීහ.

“ආනන්දය, දෙවයිනි, එසේයි’ කියා ඇම්බැට්ට තෙමේ මඛාදෙව රජහට උත්තරදී ඒ පැසුණු කෙස් ප්‍රවේසමින් අඬුවෙන් උදුරා මඛාදෙව රජහුගේ අතෙහි තැබීය.

“ආනන්දය, එවිට රජවූ මඛදෙවතෙමේ ඇම්බැට්ටයාට ගම්වරයක්දී, වැඩිමහල් පුත් කුමරුට කථාකොට මෙසේ කීහ. දරුව කුමාරයිනි, මට දෙවදූතයෝ පහල වූහ. හිසෙහි පැසුණු කෙස් දක්නා ලැබෙත්. මා විසින් මිනිස් කාම සම්පත් අනුභව කරණලදී. දැන් දිව්‍ය කාම සම්පත් සෙවීමට කාලය වෙයි.

“දරුව කුමාරය, එව. නුඹ මේ රාජ්‍යය පිළිගනුව. මම වනාහි කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙමි. දරුව කුමාරය. එසේම නුඹත් යම් දවසක හිසෙහි පැසුණු හිස කෙස් දක්නෙහිද, එකල්හි ඇම්බැට්ටයාට ගම්වරක්දී දෙටු පුත් කුමරු යහපත් කොට රාජ්‍යයෙහි පිහිටුවා නොහොත් රජයෙන් අනුශාසනා කොට කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සාසනයෙහි පැවිදි වෙව. යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා නොවෙව.

“දරුව කුමාරය, (මාගේ) වංශයෙහි උපන් යම් පුරුෂයෙකුගේ කාලයෙහි මේ යහපත් පැවතුමගේ සිඳීම වෙයි නම් හෙතෙම ඔවුන්ගේ අන්තිම පුරුෂයා වෙයි. දරුව කුමාරය, එහෙයින් ඔබට මම මෙසේ කියමි. යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංසයෙහි) අන්තිම පුරුෂයා නොවෙව’යි කීහ.

“එකල්හි ආනන්දය, මඛාදෙව රජතෙමේ ඇම්බැට්ටයාහට ගම්වර දී වැඩිමහල් පුත් කුමරු යහපත්ව රජයෙහි පිහිටුවා කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා මේ මඛාදෙව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදි වූයේය.

“හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවැනි දිසාවදැයි මෙසේ උඩද යටද සරස දැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලොකය මෛත්‍රිය සමග පවත්නාවූ මහත්වූ උසස් බවට පැමිණියාවූ ප්‍රමාණ නොකොට හැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙළේය.

“කරුණාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛරනැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාව එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛරනැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. මුදිතාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවෙනි දිසාවද මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය, එසේම දෙවෙනි දිසාව, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. උපෙක්ෂාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද මෙසේ උඩද යටද, සරසදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ උසස් බවට ගියාවූ ප්‍රමාණ කළ නොහැක්කාවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කෙළේය.

“ආනන්දය, මඛාදෙව රජතෙමේ වනාහි අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කෙළේය. අසූහාර දහසක් අවුරුදු යුවරජකම කෙළේය. අසූහාර දහසක් අවුරුදු රජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදෙව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදිව බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණේය. හෙතෙමේ සතර බ්‍රහ්ම විහාර ධර්මයන් වඩා ශරීරයාගේ බිදීමෙන් මරණින් මතු බ්‍රහ්මලොකයට පැමිණියෙක් වූයේය.

“ඉක්බිති ආනන්දය, මඛාදෙව රජුගේ පුත්‍රතෙමේ බොහෝ අවුරුදු බොහෝ සියක් අවුරුදු බොහෝ දහසක් අවුරුදු ඉක්මවා ඇම්බැට්ටයාහට කථා කෙළේය.

“යහලුව, යම් දිනක මාගේ හිසෙහි පැසුණු කෙස් දක්නෙහිද? එවිට මට කියවයි’ කීය.

“ආනන්දය, ‘දෙවයෙනි එසේය’ කියා ඇම්බැට්ට තෙමේ මඛාදෙව රජුගේ පුත්‍රයාහට උත්තර දුන්නේය.

“ආනන්දය, බොහෝවූ අවුරුදු බොහෝවූ සියක් අවුරුදු බොහෝවූ දහස් අවුරුදු ඉක්ම ගිය තැන ඇම්බැට්ට තෙමේ මඛාදෙව රාජ පුත්‍රයාගේ හිසෙහි පැසුණ හිසකේ දිටීය. දැක මඛාදෙව රාජ පුත්‍රයාට දෙවයන් වහන්සේට දෙවදූතයෝ පහලවූහ. හිසෙහි පැසුණු හිසකේ දක්නා ලැබෙත්යයි’ කීය.

“යහලුව, එසේ නම් ඒ පැසුණු හිසකේ ප්‍රවේශමින් අඬුවෙන් උදුරා මාගේ අතෙහි තබවයි’ කීය.

“ආනන්දය, ‘දෙවයෙනි, එසේය කියා ඇම්බැට්ටතෙම මඛාදෙවරාජ පුත්‍රයාහට උත්තරදී පැසුණු හිසකේ අඬුවෙන් ප්‍රවේසමින් උදුරා මඛාදෙවරාජ පුත්‍රයාගේ අතෙහි තැබීය.

“ඉක්බිති ආනන්දය, මඛාදෙවරාජ පුත්‍ර තෙමේ ඇම්බැට්ටයාට ගම්වරක් දී, වැඩිමහල් පුත් කුමරුට කථාකොට, පුත්‍රය, කුමාරයෙනි, මාහට දේවදූතයෝ පහලවූහ. හිසෙහි පැසුණු හිසකේ පෙණෙනි. මා විසින් මිනිස් කාමසම්පත් විඳින ලදී. දැන් දිව්‍ය කාම සම්පත් සොයන්නට කාලය වෙයි. පුත්‍ර කුමාරය, එව. නුඹ මේ රාජ්‍යය බාරගණුව. මම වනාහි කෙස් රැවුල් කපා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමියි’ කීය.

“පුත්‍ර කුමාරයෙනි, එසේම යම්කලෙක නුඹද හිසෙහි පැසුණු කෙස් දක්නෙහිද එකල්හි ඇම්බැට්ටයාහට ගම්වරදී වැඩිමහල් පුත් කුමරු යහපත්සේ රාජ්‍යයෙහි පිහිටුවා කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදිවෙව. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා නොවේවා. පුත්‍ර කුමාරයිනි, (මාගේ) වංශයෙහි උපන් යම් පුරුෂයෙකුගේ කාලයෙහි මේ යහපත් පැවතුමගේ සිඳීම වේ නම් හෙතෙම ඔවුන්ගේ අන්තිම පුරුෂයා වෙයි. එබැවින් දරුව කුමාරය, නුඹට මෙසේ කියමි. එහෙයින් නුඹ මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා නොවේවයි’ කීය.

“ඉක්බිති ආනන්දය, මඛාදෙව රජුගේ පුත්‍ර තෙමේ ඇම්බැට්ඨයාහට ගම්වරක් දී වැඩිමහල් කුමරු යහපත්ව රාජ්‍යයෙහි පිහිටුවා කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම මේ මඛාදෙව අඹ උයනෙහිදීම පැවිදි බවට පැමිණියේය.

“හෙතෙම මෛත්‍රිසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩද යටද සරසදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලොකය මෛත්‍රිය සමග පැවැත්තාවූ මහත්වූ උසස් බවට ගියාවූ ප්‍රමාණ කළ නොහැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙළේය.

“කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාව එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ, උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.

“උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩද යටද සරසද යන සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලොකය උපෙක්ඛා සහගතවූ මහත්වූ උසස් බවට ගියාවූ පමණ කළ නොහැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙළේය.

“ආනන්දය, මඛාදෙව රජුගේ පුත්‍ර තෙමේ වනාහි අවුරුදු අසූහාර දහසක් කුමාර ක්‍රීඩා කෙළේය. අසූහාර දහසක් අවුරුදු යුවරජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු රජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු ගිහිගෙන් නික්ම ශාසන පැවිදිව මේ මඛාදෙව අඹ උයනෙහිම බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණේය.

“හෙතෙම සතර බ්‍රහ්ම විහාර ධර්මයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි බඹලොව පැමිණියෙක් වූයේය.

“ආනන්දය, මඛාදෙව රජුගේ දරුවන්ගේ දරුවන් පටන් කොට ඇති ඔහුගේ අසූහාර දහසක් පරම්පරාව මේ මඛාදෙව අඹ වනයෙහිම කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදි විය.

“ඔව්හු මෛත්‍රි සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවන දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම සතරුවැනි දිසාවද, මෙසේ උඩද යටද සරසද සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලොකය මෛත්‍රී සහගතවූ විපුලවූ උසස්වූ ප්‍රමාණයක් නැත්තාවූ වෛර රහිතවූ ක්‍රොධ නැත්තාවූ සිතින් පතුරුවා වාසය කළහ.

“කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාව එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.

“මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාව එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක් පැතිර විසූහ. එසේම දෙවන දිසාවද, එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවැනි දිසාවද, මෙසේ උඩද යටද සරසද සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නාවූ බැවින් සියල්ල ඇත්තාවූ ලොකය විපුලවූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ සිතින් පැතිර විසූහ.

“ඒ පරපුරෙහිවූ රජදරුවෝ අවුරුදු අසූහර දහසක් කුමාර ක්‍රීඩාකළහ. අසූහාරදහසක් අවුරුදු උපරජකම් කළාහුය. අසූහාර දහසක් අවුරුදු රජකම් කළාහුය. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදෙව අඹ වෙනෙහිම ගිහිගෙන් නික්ම පැවිදි වූවාහු බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණාහුය.

“ඔව්හු සතර බ්‍රහ්ම විහරණයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් පසු මරණින් මත්තෙහි බඹලොව උපන්නෝ වූහ.

“ඒ රජුන් අතරෙහි අන්තිම තැනැත්තේ නිමිනම් රජ වූයේය. හෙතෙම ධාර්මිකවූ දැහැමින් රජකරන්නාවූ කුශල ධර්මයෙහි පිහිටියාවූ මහ රජෙකි. බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නියම් ගම් වාසීන් කෙරෙහිද ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙන් හැසිරෙයි. පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද, සිල් සමාදන්ව වෙසෙයි.

“ආනන්දය, පෙරවූවක් නම් සුධර්මානම් දිව්‍ය සභාවෙහි තව්තිසා දෙවියන් අතර මේ කථාව පහළවිය. ‘පින්වත්නි, විදෙහ වැසියන්ට ඒකාන්තයෙන් ලාභයෙක. පින්වතුනි විදෙහරට වැසියන් විසින් යහපත් ලාභයක් ලබනලදී. ඔවුන්ගේ ධාර්මිකවූ ධර්මයෙන් රජකම් කරන්නාවූ තෙමේ කුසල ධර්මයෙහි පිහිටියාවූ මහ රජෙක්වූ නිමිරජ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වාසීන් කෙරෙහිද, ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙන් හැසිරෙයි. පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද සිල්සමාදන්ව වාසය කරයි.

“එකල්හි ආනන්දය, සක්දෙව්රජතෙම තව්තිසා දෙවියන්ට කථාකෙළේය. කථාකොට ‘නිදුකාණෙනි, තෙපි නිමිරජ දක්නට කැමතිවන්නහුදැයි’ (ඇසීය).

“එකල්හි වනාහි හිස සිට ස්නානය කළාවූ නිමි රජතෙමේ පසලොස්වක් පොහොදිනයෙහි උපොසථ සිල්සමාදන්ව ප්‍රාසාදයෙහි මතුමහල් තලයෙහි හුන්නේ වෙයි.

ආනන්දය, එකල්හි සක්දෙව් රජතෙමේ යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අත හෝ දික්කරන්නේද දික්කරණ ලද අත හෝ හකුළන්නේද එපරිදි තව්තිසා දෙවියන් අතරෙන් අතුරුදන්ව නිමි රජු ඉදිරියෙහි පහළ විය.

“එකල්හි ආනන්දය, සක්දෙව්රජ තෙම නිමි රජුට මේ කාරණය කීයේය.

“මහරජ, ඔබට ලාභයෙක, මහරජ ඔබ විසින් යහපත් ලාභයක් ලබන ලදී. මහරජ තව්තිසා දෙව්ලොව දෙවියෝ සුධර්මා නම් දිව්‍යසභාවෙහි ඔබගේ ගුණ කියමින් හුන්නාහුය.

“පින්වත්නි, විදෙහ වැස්සන්ට ඒකාන්තයෙන් ලාභයෙක. පින්වත්නි, විදෙහ වැසියන් විසින් යහපත් ලාභයක් ලබන ලදී. ඔවුන්ගේ ධාර්මිකවූ ධර්මයෙන් රජකම් කරන්නාවූ කුශලධර්මයෙහි පිහිටියාවූ මහරජවූ නිමි රජතෙම බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නිගමවාසීන් කෙරෙහිද ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙන් හැසිරෙයි.

“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද, උපොසථ සිල් සමාදන්ව වාසය කරයි (යනුවෙනි) මහරජ, තව්තිසාදෙවියෝ ඔබ දකිනු කැමැත්තෙ වෙති. මහරජ, ඒ ඔබට මම දහසක් අසුන් යොදනලද උතුම් රථයක් එවන්නෙමි. මහරජ, දිව්‍යයානාවට බයක් නැතිව නගිනු මැනවැයි’ කීය.

“ආනන්දය, නිමි රජ තෙමේ තුෂ්ණිම් භාවයෙන් ඉවසීය.

“එවිට ආනන්දය, සක්දෙව් රජතෙමේ නිමි රජුගේ ඉවසීම දැන බලවත් පුරුෂයෙක් තෙම යම්සේ හකුලන ලද අත හෝ දික්කරන්නේද, දික්කරණ ලද අත හෝ හකුලන්නේද එපරිද්දෙන් නිමි රජු ඉදිරියෙහි අතුරුදන්වූයේ තව්තිසාවෙහි දෙවියන් අතරෙහි පෙණී ගියේය.

“එකල්හි ආනන්දය, සක්දෙව් රජතෙමේ මාතලි දිව්‍යපුත්‍රයාට කථාකෙළේය. කථාකොට යහලුව මාතලිය, (මෙහි) එව නුඹ දහසක් අසුන් යොදනලද රථය පැදගෙණ ගොස් නිමි රජු කරා එළඹ මෙසේ කියව.

“මහරජ, දහසක් අසුන් යොදනලද මේ උතුම් රථය සක්දෙව්රජ විසින් ඔබට එවන ලදී. මහරජ, නිර්භයව දිව්‍ය රථයට නගිනු මැනව,’ කියාය. ‘පින්වතුන් වහන්ස එසේයයි’ මාතලි දිව්‍යපුත්‍රතෙමේ සක්දෙව් රජහට උත්තරදී දහසක්අසුන් යොදනලද රථය පැදගෙණ නිමි රජු කරා පැමිණ මේ කාරණය කීය.

“මහරජ, දහසක් අසුන් යොදනලද මේ රථය සක්දෙව්රජ විසින් එවනා ලද්දේය. මහරජ භය නැතිව දිව්‍ය රථයට නගිනු මැනව. මහරජ, තවද යම් මගක පව්කම් කළ සත්වයෝ පව්කම්වල විපාක විඳිත්ද, යම් මගක පින්කම් කළ සත්වයෝ පින්කම්වල විපාක විඳිත්ද (ඒ දෙමගින්) කවර මගකින් ඔබ ගෙණයම්ද?, ‘මාතලිය, ඒ දෙමගින්ම මා ගෙණයවයි’ කීය. “ආනන්දය මාතලි දිව්‍ය පුත්‍ර තෙමේ නිමි රජුහු සුධර්මානම් දිව්‍ය සභාවට පැමිණවීය.

“ආනන්දය, සක්දෙව්රජ තෙම එන්නාවූ නිමි රජ දුරදීම දිටීය. දැක නිමි රජුට මෙසේ කීය. මහරජ එනු මැනව. මහරජ ඔබගේ යහපත් පැමිණීමක්ය.

“මහරජ, තව්තිසා දෙවියෝ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි ඔබගේ ගුණ කියමින් හුන්නාහුය. (කෙසේදයත්) ‘පින්වතිනි, විදෙහ වැසියන්හට ඒකාන්තයෙන් ලාභයෙක පින්වත්නි, විදෙහ වැසියන් විසින් යහපත් ලාභයක් ලබනලදී.

“දැහැමිවූ ධර්මයෙන් රජකම් කරන්නාවූ කුසල ධර්මයෙහි පිහිටියාවූ මහරජවූ නිමි රජතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම්වාසීන් කෙරෙහිද, ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙහි හැසිරෙයි.

“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද අටවක් දිනයෙහිද උපොසථ සිල් සමාදන්ව වෙසෙයි.

“මහරජ තව්තිසා දෙවියෝ ඔබගේ දැකීම කැමැත්තෝය මහරජ දෙවියන් අතරෙහහි දෙවියන්ගේ ආනුභාවයෙන් සතුටු වන මැනවැයි’ (කීය)

“නිදුකානෙනි, කම්නැත. මා මිථිලා නුවරට නැවත ගෙණ යේවා. එහි බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නියම් ගම් වැස්සන් කෙරෙහිද ජනපද වැස්සන් කෙරෙහිද ධර්මයෙහි හැසිරෙන්නෙමි.

“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනහිද අටවක් දිනෙහිද, උපොසථ සිල් සමාදන්ව වෙසෙන්නෙමි.’

“ඉක්බිති ආනන්දය, සක්දෙව් රජතෙමේ මාතලි දිව්‍ය පුත්‍රයා කැඳවීය. ‘යහලු මාතලිය’ (මෙහි) එව. නුඹ දහසක් අසුන් යොදන රථයෙහි අසුන් යොදා නිමි රජ එහි මිථිලාවට ආපසු පමුණුවයි’ කීය.

“ආනන්දය, ‘පින්වත එසේය’ කියා මාතලී දිව්‍ය පුත්‍රතෙම සක්දෙව්රජ හට උත්තර දී දහසක් අසුන් යොදන රථයෙහි අසුන් යොදා නිමි රජු එහි මිථිලාවට ආපසු පැමිණවීය.

“ආනන්දය, එකල්හි වනාහි නිමි රජතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වැස්සන් කෙරෙහිද, ජනපද වැස්සන් කෙරෙහිද ධර්මයෙහි හැසිරෙයි. පක්ෂයෙහි තුදුස්වක් දිනෙහිද පසලොස්වක් දිනෙහිද අටවක් දිනෙහිද අෂ්ටාංග සීලය සමාදන්ව වාසය කරයි.

“එකල්හි ආනන්දය, නිමි රජතෙමේ බොහෝවූ අවුරුදු සියක් බොහෝ අවුරුදු බොහෝවූ දහසක් අවුරුදු ගතවීමෙන් ඇම්බැට්ටයාට කථා කළේය. ‘යහලුව, දවසක මාගේ හිසෙහි පැසුණු කෙහෙ දක්නෙහිනම් එකල්හි මට කියවයි’ කීය.

“ආනන්දය, ‘දෙවයෙනි එසේය’ කියා ඇම්බැට්ටතෙමේ නිමිරජහට උත්තර දුන්නේය. “ආනන්දය, බොහෝවූ අවුරුදු බොහෝවූ සියක් අවුරුදු බොහෝවූ දහසක් අවුරුදු ගතවීමෙන් පසු නිමි රජුගේ හිසෙහි පැසුණු හිසකේ දුටුවේය. දැක නිමි රජුට මේ කාරණය කීය.

“දෙවයන්හට දෙවදූතයෝ පහළවූහ. හිසෙහි පැසුණු හිසකේ දක්නට ලැබෙත්යි’ කීය. යහලුව, එසේනම් ඒ පැසුණු හිසකේ අඬුවෙන් ප්‍රවේසමින් උදුරා මාගේ අතෙහි තබවයි’ කීය.

“ආනන්දය, ‘දෙවයෙනි එසේය’ කියා ඇම්බැට්ටතෙම නිමි රජහට උත්තරදී ඒ පැසුණු හිසකේ ප්‍රවේසමින් අඬුවෙන් උදුරා නිමි රජුගේ අතෙහි තැබීය.

“එකල්හි ආනන්දය, නිමි රජ ඇම්බැට්ටයාට ගම්වරක් දී වැඩිමහලු පුත් කුමරු කැඳවා මෙසේ කීවාය.

“පින්වත් කුමර, මට දේවදූතයෝ පහළවූහ. හිසෙහි පැසුණු කෙස් දක්නා ලැබෙති. මා විසින් මිනිස් කාම සම්පත් විඳින ලද්දාහ. දිව්‍යමයවූ කාම සම්පත් සොයන්ට කාලයවේ. දරුව කුමාරය, එව මේ රාජ්‍යය පිළිගනුව. මම වනාහි කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා ගිහි ගෙන් නික්ම පැවිදි වන්නෙමි.

“පින්වත් කුමාරය, එසේම යම් කලෙක්හි නුඹත් හිසෙහි පැසුණු කෙහෙ දක්නෙහිද එකල්හි ඇම්බැට්ටයාහට ගම්වරක් දී වැඩිමහළු කුමරු රාජ්‍යයෙහි පිහිටුවා කෙස් රැවුල් කපා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙහිය.

“මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පැවතව. නුඹ මාගේ වංශයෙහි අන්තිම පුරුෂයා නොවෙව.

“දරුව කුමාරය, වංශයෙහිවූ යම් පුරුෂයෙකුගේ කාලයෙහි මේ යහපත් පැවතුමයාගේ සිඳීමෙක් වේද? හෙතෙම ඔවුන් අතරෙහි අන්තිම පුරුෂයා වෙයි. දරුව කුමර ඔබට ඒ නිසා මම මෙසේ කියමි.

“යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතුව. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා යනු වෙව’ (කියාය.)

“ඉක්බිති ආනන්දය, නිමි රජ තෙමේ ඇම්බැට්ටයාහට ගම්වරක්දී වැඩිමහලු පුත් කුමරු රාජ්‍යයෙහි පිහිටුවා මේ මඛාදෙව අඹවෙනෙහිම කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයට පැමිණියේය.

“හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක්දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තෙවෙනි දිසාවද, එසේම සිව්වෙනි දිසාවද, මෙසේ උඩද යටද හරහදැයි සියලු කාලයෙහි සියළු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලොකය මෛත්‍රී සහගතවූ, මහත්වූ උසස් බවට පැමිණියාවූ, ප්‍රමාණ නොකොට හැක්කාවූ, වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ, සිතින් පතුරුවා වාසය කෙළේය. කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.

“මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.

“උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තෙවෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, යන මෙසේ උඩද යටද හරහදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ උසස් බවට ගියාවූ ප්‍රමාණ කළ නොහැක්කාවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපෙක්ඛා සහගත සිතින් පතුරුවා වාසය කෙළේය.

“ආනන්දය, නිමි රජ වනාහි අවුරුදු සූඅසූසාරදහසක් කුමාර ක්‍රීඩා කෙළේය. අවුරුදු සූඅසූසාරදහසක් යුවරජකම් කෙළේය. අවුරුදු සූඅසූසාරදහසක් රජකම් කෙළේය. අවුරුදු සූඅසූසාරදහසක් මේ මඛාදෙව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදිව බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණේය.

“හෙතෙම සතර බ්‍රහ්ම විහාර ධර්මයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි බඹලොවට පැමිණියෙක් වූයේය.

“ආනන්දය, නිමි රජහට වනාහි කලාර ජනක නම් පුත්‍රයෙක් වී. හෙතෙම ගිහිගෙන් නික්ම පැවිදි නොවීය. හෙතෙම ඒ යහපත් පැවතුම සිඳදැමීය. හෙතෙම ඔවුන් අතර අන්තිම පුරුෂයා විය.

“ආනන්දය, ඔබට මෙබඳු අදහසෙක් විය හැක්කේය. (එනම්) ඒ කාලයෙහි යමෙක් ඒ යහපත් පැවතුම පිහිටු වූයේද (ඒ) මඛාදෙව රජ තෙමේ ඒකාන්තයෙන් අන් කෙනෙක් වූයේද (කියායි). ආනන්දය, ඒ කාරණය වනාහි එසේ නොදතයුතුය.

“ඒ කාලයෙහි මම මඛාදෙව රජවීමි. මම ඒ යහපත් පැවතුම ඇතිකෙළෙමි. මා විසින් පිහිටුවන ලද ඒ යහපත් පැවතුමට අනුව පසු ජනතෙම පැවතුනේය.

“ආනන්දය, ඒ යහපත් පැවතුම් කලකිරීමය පිණිස නොඇලීම පිණිස, භව නිරොධය කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂ ඤාණය පිණිස, අවබොධය පිණිස, නිර්වාණය පිණිස නොපවතී. යම්තාක් බ්‍රහ්මලෝකෝත්පත්තිය පිණිස වෙයි.

“ආනන්දය, දැන් වනාහි මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම වනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරොධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂ ඥාණය පිණිස, අවබොධය පිණිස, නිර්වාණය පිණිස පවතී.

“ආනන්දය, දැන් වනාහි මා විසින් පිහිටුවනලද ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරොධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂ ඥාණය අවබොධය පිණිස, නිර්වාණය පිණිස පවතින ඒ යහපත් පැවතුම කවරේද?

“මේ අංග අටක් ඇති ආර්ය මාර්ග එනම් යහපත් දැකීම යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් කර්මාන්තය යහපත් ජීවිකාව, යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සමාධිය යන මොව්හුය.

“ආනන්දය, දැන් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම් ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරොධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥාණය පිණිස, අවබොධය පිණිස, නිර්වාණය පිණිස පවතියි.

“ආනන්දය, මම වනාහි නුඹට මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයෝ නොවව්. ආනන්දය, (මාගේ) වංශයෙහිවූ යම් පුරුෂයෙකුගේ කල්හි මෙසේවූ යහපත් පැවතුමගේ සිඳීයාම වෙයිද? හෙතෙම ඔවුන් අතර අන්තිම පුරුෂයා වෙයි.

“ආනන්දය, එහෙයින් තොපට මම මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයෝ නොවව්.” (කියාය)

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටුවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.

මඛාදෙව සූත්‍රය නිමි (4-3)