මජ්ඣිම නිකාය
මජ්ඣිම පණ්ණාසකය
4. රාජ වර්ගය
86. අංගුලිමාල සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජෙතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි පසේනදි කොසොල් රජහුගේ ජනපදයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇත්තාවූ නැසීමෙහි වැනසීමෙහි යෙදුනාවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් වේ. ඔහු විසින් ගම් නොගම් කරණ ලද්දාහුය. නියම් ගම් අනියම් ගම් කරණ ලද්දාහුය. ජනපද අජනපද කරණ ලද්දාහුය. හෙතෙම මිනිසුන් මර මරා අඩ්ගුලීන් සම්බන්ධ මාලාවක් (ඇඟිලි මාලාවක්) දරයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවැත් නුවරට පිඬු පිණිස වැඩියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ සෙනාසනය තැන්පත්කොට තබා පාත්‍රා සිවුරු ගෙණ අඩ්ගුලිමාල සොරා යම් තැනෙක්හිද, එතැනට වැඩීම පිණිස දීර්ඝ මාර්ගයෙහි වැඩියහ. ගව පාලයෝද, සිව්පා සතුන් පාලයෝද, ගොවියෝද, මාර්ගයෙහි ගමන් කරන්නෝද, අඩ්ගුලිමාල සොරා යම් තැනෙක්හිද එතැනට පැමිණෙන දීර්ග මාර්ගයෙහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක භාග්‍යවතුන් වහන්සේට “ශ්‍රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි නොගිය මැනව. ශ්‍රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇති නැසීමෙහි වැනසීමෙහි යෙදුනාවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් වේ. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලිවලින් මාලාවක් කොට දරයි. ශ්‍රමණයන් වහන්ස, මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතලිස්, දෙනෙක්ද, පුරුෂයෝ පනස් දෙනෙක්ද, රන්චූ රන්චූ ගැසී ගමන් කරත්. ඔව්හුද අඩ්ගුලිමාල සොරුගේ අතට පැමිණ විනාශයට යෙත්යයි,’ කීවාහුය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
දෙවනුවද ගෝපාලයෝද, සිව්පා පාලයෝද, ගොවියෝද, මග යන්නෝද, භාග්‍යවතුන් වහන්සේට ‘ශ්‍රමණයන් වහන්ස මේ මග නොයනු මැනව, ශ්‍රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්‍ර, ලෙයින් තෙමුණු අත් ඇති, සත්ව ඝාතනයෙහි ඇලුනු, සත්වයන් කෙරෙහි දයා නැති, අඩ්ගුලිමාල නම් සොරෙක් වෙයි. ඔහු විසින් ගම් අගම් කළහ. නියම් ගම් අනියම් ගම් කළහ. ජනපද අජනපද කළහ. ඔහු මිනිසුන් මර මරා ඇඟිලිවලින් මාලයක් දරයි. ශ්‍රමණය, පුරුෂයෝ දස දෙනා, විසි දෙනා, තිස් දෙනා, හතළිස් දෙනා පණස් දෙනා, සමූහ සමූහව මේ මගෙහි යති. ඔවුහුද අඩ්ගුලිමාල සොරුගෙන් අතට පැමිණ විනාශයට යෙත්යයි,’ කිවාහුය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
තුන්වෙනුවද ගව පාලයෝද, සිව්පා පාලයෝද, ගොවියෝද, මගීහුද, භාග්‍යවතුන් වහන්සේට ‘ශ්‍රමණයන් වහන්ස, මේ මගෙහි නොයනු මැනවි. ශ්‍රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇති, නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් ඇත. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ. ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලි මාලාවක් කොට දරයි. ශ්‍රමණයන් වහන්ස, මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතළිස් දෙනෙක්ද, පුරුෂයෝ පණස් දෙනෙක්ද, එකතු එකතු වීයත්. ඔවුහුද අඩ්ගුලිමාල සොරුගේ අතට පැමිණ විනාශයට පැමිණෙත්යයි’ කීවාහුය. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
අඩ්ගුලිමාල නම් සොරතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ‘පින්වත ඒකාන්තයෙන් ආශ්චර්යයකි. පින්වත ඒකාන්තයෙන් පුදුමයකි. මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතළිස් දෙනෙක්ද, පුරුෂයෝ පනස් දෙනෙක්ද, එකතු එකතුවී ගමන් කරත්. ඔව්හුද මාගේ අතට පැමිණ විනාශයට යෙත්. එතකුදු වුවත් මේ ශ්‍රමණ තෙම තනිවම දෙවැන්නෙක් නැතිව බලහත්කාරයෙන් එන්නේයයි සිතමි. මම මේ ශ්‍රමණයා මරන්නෙම් නම් යෙහෙකැයි’, ඔහුට සිත්විය.
ඉක්බිත්තෙන් අඩ්ගුලිමාල නම් සොරතෙම කඩු පළිහ ගෙණ දුන්න ඇදගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන්ලුහු බැන්දේය. එකල්හි ප්‍රකෘති ගමනින් වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ කරා සියලු ශක්තියෙන් යන්නාවූ අඩ්ගුලිමාල නම් සොරාට පැමිණෙන්නට යම්සේ නොහැකි වේද, භාග්‍යවතුන් වහන්සේ එබඳුවූ ඍද්ධියක් දැක්වූහ. එකල්හි අඩ්ගුලිමාල නම් සොරා ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්යක. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මම වනාහි පෙර දුවන්නාවූ ඇතෙකුදු එළවා අල්වා ගොස් ගණිමි. දුවන්නාවූ අශ්වයෙකුදු එළවා ගොස් අල්වා ගණිමි. දුවන්නාවූ රථයකුදු එළවා ගොස් අල්වා ගණිමි. දුවන්නාවූ මුවෙකුදු එළවා ගොස් අල්වා ගණිමි. එතකුදු වුවත් ප්‍රකෘති ගමනින් යන්නාවූ මේ ශ්‍රමණයාකරා සියලු ශක්තියෙන් දුවන්නාවූ මම පැමිණෙන්ට නොහැකි වෙමියි’, සිතුණේය. එහෙයින් නැවතී සිටගෙන භාග්‍යවතුන් වහන්සේට “ශ්‍රමණය සිටුව, ශ්‍රමණය සිටුවයි” කීයේය. “අඩ්ගුලිමාලය, මම සිටියෙමි. තෝද සිටුවයි” වදාළේය.
ඉක්බිත්තෙන් අඩ්ගුලිමාල නම් සොරාට මෙබඳු අදහසක් විය. ‘ශාක්‍ය පුත්‍රවූ මේ ශ්‍රමණයෝ වනාහි සත්‍ය වචන ඇත්තාහ. සත්‍යවූ ප්‍රතිඥා ඇත්තාහ. එතකුදු වුවත් මේ ශ්‍රමණ තෙම යමින්ම “අඩ්ගුලිමාලය මම සිටියෙමි. තෝ සිටුවයි” කියන්නේය. මම මේ ශ්‍රමණයාගෙන් අසන්නෙම් නම් යෙහෙක, කියායි.
ඉක්බිති අඩ්ගුලිමාල නම් සොර තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීයේය.
[1] “ශ්‍රමණයන් වහන්ස, යමින් සිටියෙමියි කියන්නෙහිය, සිටියාවූ මටද නොසිටියේයයි කියන්නෙහිය. ශ්‍රමණයන් වහන්ස, මේ කාරණය ඔබවහන්සේගෙන් අසමි. ‘කෙසේනම් ඔබ සිටියෙහිද, කෙසේ නම් මම නොසිටියේදැයි’ ඇසීය.
[2] “අඩ්ගුලිමාලය, මම හැම කල්හි සියලු ප්‍රාණීන් කෙරෙහි දඬු බහා තබා සිටියේ වෙමි. තෝ වනාහි සතුන් කෙරෙහි සංවරයක් නැත්තෙක් වෙහිය. එහෙයින් මම සිටියේ වෙමි. තෝ නොසිටියේ වෙහියයි” (වදාළේය.)
[3] “(දෙවි මිනිසුන් විසින්) පුදන ලද්දාවූ මහාඉර්ෂිවූ මේ ශ්‍රමණයන් වහන්සේ බොහෝ කලකින් ඒකාන්තයෙන් මට කරුණාවෙන් මේ මහාවනයට පැමිණියහ. ඒ මම බොහෝ කලකිනුත් නුඹ වහන්සේගේ ධර්මයෙන් යුක්තවූ ගාථාවක් අසා අකුසලය දුරු කරන්නෙමි.”
[4] මෙසේ අඩ්ගුලිමාල සොර තෙම කඩුවද, ආයුධද, ප්‍රපාතයක ගැඹුරුව සෑරී ගිය මහ වළෙක්හි දැමූයේය. අඩ්ගුලිමාල සොර තෙම සුගතයන් වහන්සේගේ ශ්‍රීපාදයන් මනාකොට වැන්දේය. එහිදීම උන්වහන්සේගෙන් ප්‍රවුජ්‍යාවද ඉල්වූයේය.
[5] දෙවියන් සහිත ලෝකයාහට ශාස්තෘවූ කරුණා ඇත්තාවූ මහා ඉර්ෂිවූ ඒ සර්වඥයන් වහන්සේ ඔහුට “ මහණ මෙහි එවයි” එකල්හි වදාළේය. ඔහුට මේ වචනයට භික්ෂු භාවය වූයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පසු පසින් යන ආයුෂ්මත් අඩ්ගුලිමාල ස්ථවිරයන් සමග සැවැත් නුවර යම් තැනෙක්හිද එතැනට සැරිසරමින් වැඩියහ. පිළිවෙළින් සැරිසරා වඩිනුයේ සැවැත් නුවර යම් තැනෙක්හිද, එතැනට පැමිණියහ. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජෙතවන නම් අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි පසේනදී කොසොල් රජහුගේ මාලිගා දොරටුයෙහි මහජන සමූහයා රැස්ව “දෙවයන් වහන්ස, නුඹවහන්සේගේ රටෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇත්තාවූ සතුන් නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ, ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියාවූ, අඩ්ගුලිමාල නම් සොරෙක් වෙයි. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලිමාලාවක් දරයි. දෙවයන් වහන්සේ ඔහු වලක්වන සේක්වායි.” උස්වූ මහත්වූ ඝොෂා ඇතිව වෙසෙයි. එකල්හි පසේනදී කොසොල් රජතෙම පන්සියයක් පමණ අසුන් හා දවල් කාලයෙහි සැවැත් නුවරින් නික්ම ජෙතවනාරාමය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. යානාවෙන් යාමට සුදුසු තැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පා ගමනින්ම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ පසේනදී කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ“කිමෙක්ද මහරජ? තොපට සේනා ඇත්තාවූ මගධ රටට අධිපතිවූ බිම්බිසාර මහරජතෙම හෝ කිපුනේද? නොහොත් විසාලා මහනුවර වැසිවූ ලිච්ඡවි රජ දරුවෝ හෝ කිපුනාහුද? නොහොත් අන් සතුරු රජ කෙනෙක් හෝ කිපුනාහුදැයි ඇසූහ.”
“ස්වාමීන් වහන්ස, මට මහත් සේනා ඇත්තාවූ මගධ රටට අධිපතිවූ බිම්බිසාර රජතෙමේද නොකිපියේ වෙයි. විසාලාමහනුවර වැසිවූ ලිච්ඡවි රජදරුවෝද නොකිපියාහුමය. අන් සතුරු රජ කෙනෙක්ද නොකිපියාහුමය. ස්වාමීන්වහන්ස, මාගේ ජනපදයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇති සතුන් නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් ඇත. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇගිලි මාලාවක් දරයි. ස්වාමීන් වහන්ස, මම ඔහු වැළක්වීමට යන්නෙමියි” කීය. “මහරජ, හිසකේ රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූ, සතුන් මැරීමෙන් වැලකුනාවූ සොරකම් කිරීමෙන් වැලකුනාවූ, බොරු කීමෙන් වැලකුනාවූ, එක්වේල අනුභව කරන්නාවූ, බ්‍රහ්මචාර්යාවෙහි හැසිරෙන සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාවූ අඩ්ගුලිමාලයා ඉදින් නුඹ දකින්නෙහි නම් ඔහුට කුමක් කරන්නෙහිදැයි” ඇසූහ. “ස්වාමීන් වහන්ස, වැඳීම හෝ කරම්හ. දැක හුනස්නෙන් නැගිටීම හෝ කරම්හ ආසන දීම හෝ කරම්හ. තවද උන්වහන්සේට චීවරය, පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් පැවරීම හෝ කරම්හ. උන්වහන්සේට ධාර්මිකවූ ආරක්ෂාව හෝ පිළියෙල කරම්හ. ස්වාමීන් වහන්ස, දුස්සීලවූ ලාමක ස්වභාව ඇත්තාවූ මොහුට වනාහි මෙබඳුවූ සීලසංවරයක් කොයින් වන්නේදැයි?” ඇසීය.
“එසමයෙහි වනාහි ආයුෂ්මත්වූ අඩ්ගුලිමාල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට සමීප තැනෙක්හි හුන්නේ වේ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ දකුණුඅත දිගුකොට කොසොල් රජහට ‘මහරජ, මේ තෙමේ අඩ්ගුලිමාලයයි” වදාළේය. ඉක්බිති පසේනදී කොසොල් රජහට බියක් වූයේය. තැති ගැන්මක් වූයේය. ලොමුඩැහැගැන්මද වූයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බියපත්වූ, තැතිගත්තාවූ, ලොමුඩැහැගත්තාවූ පසේනදී කොසොල් රජහු දැක පසේනදී කොසොල් රජහට “මහරජ, බිය නොවෙව, මහරජ බිය නොවෙව. තොපට මොහුගෙන් භයක් නැතැයි” වදාළේය. ඉක්බිති පසේනදී කොසොල් රජහට යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුඩැහැගැන්වීමක් හෝ වීද, එය සංසිඳුනේය. ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජතෙම ආයුෂ්මත් අඩ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් අඩ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේට “ස්වාමීනි, ආර්යයන් වහන්සේ අඩ්ගුලිමාල ස්ථවිරදැයි” ඇසීය. ‘මහරජ, එසේයයි,” ප්‍රකාශ කෙළේය. “ස්වාමීනි ආර්යන් වහන්සේගේ පියතෙම කෙබඳු ගොත්‍ර ඇත්තීදැයි මව් තොමෝ කෙබඳු ගොත්‍ර ඇත්තීදැයි” ඇසීය. මහරජ මාගේ පියතෙම ගර්ග නම් ගොත්‍ර ඇත්තේද? මව්තොමෝ මන්තානී නම් බැමිණියයි” ප්‍රකාශ කෙළේය. ‘ස්වාමීනි, ගර්ග නම් ගොත්‍ර ඇත්තාවූ මන්තානී නම් බැමිණියගේ පුත්‍රවූ ආර්යයන් වහන්සේ ශාසනයෙහි සිත් අලවා වාසය කෙරෙත්වා. මම ගර්ග නම් ගොත්‍ර ඇත්තාවූ මන්තානී පුත්‍රවූ ආර්යයන් වහන්සේට චීවරය පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් (පිදීමට) උත්සාහ වත් බව ඇතිකරන්නෙමියි” කීයේය.
“එසමයෙහි වනාහි ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ ආරණ්‍යකාංගයද, පිණ්ඩපාතිකාංගයද, පංශුකූලිකාංගයද, තෙචීචරිකාංගයද රකින්නාහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරතෙමේ පසේනදී කොසොල් රජහට “මහරජ, කම්නැත. මා හට තුන්සිවුර සම්පූර්ණයයි” කීයේය. ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ආශ්චර්ය, පුදුමය, භාග්‍යවතුන් වහන්සේ දමනය කළ නොහැක්කවුන් දමනය කරන්නෙක, නොසංසුන් සත්වයන් සංසිඳුවන්නෙක, කෙලෙස් නිවීම නොකළාවූ සත්වයන් නිවන්නෙක, ස්වාමීන් වහන්ස, අපි වනාහි යමෙක් දඬුවලින්ද, ආයුධවලින්ද දමනය කරන්ට නොහැකි වෙමුද, ඒ පුද්ගලතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දණ්ඩෙන් තොරව, ආයුධයෙන් තොරව, දමනය කරණ ලද්දේය. ස්වාමීන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තම්හ. බොහෝ වැඩපල ඇත්තම්හ. එබැවින් දැන් අපි යම්හයි කීයේය.” “මහරජ, නුඹ ඊට සුදුසු කාලය දැනගනුවයි” වදාළේය. ඉක්බිත්තෙන් පසෙනදී කොසොල් රජතෙම හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියේය.
“ඉක්බිත්තෙන් ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන්වහන්සේ පෙරවරු වේලෙහි හැඳපොරවා පාත්‍ර සිවුරුගෙණ සැවැත්නුවරට පිඩුපිණිස ගියහ. ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස යන්නේ සරසට සිටි ගැබයක් උවදුරු සහිත දරු ගැබක් ඇති එක්තරා ස්ත්‍රියක් දුටුයේය. දැක උන්වහන්සේට “පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසන්නාහුය. පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසෙන්නාහුයයි” සිතුනේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීන් වහන්ස, මම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙණ සැවැත්නුවරට පිඬු පිණිස ගියෙමි. සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු පිණිස යන්නෙම් සරසට සිටි දරු ගැබක් ඇති උවදුරු සහිත දරු ගැබක් ඇති එක්තරා ස්ත්‍රියක් දුටුවෙමි. දැක ‘පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසෙන්නාහුය. පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසෙන්නාහුය,’ යන සිතක් පහළවූයේයයි” කීය. “අංගුලිමාලය, එසේ වීනම් නුඹ සැවැත් නුවර යම් තැනෙක්හිද, එතැනට පැමිණෙව, පැමිණ ඒ ස්ත්‍රියට “නැගණිය, මම යම්තැනක පටන් මේ ජාතියෙහි උපන්නෙම්ද, එතැන් පටන් දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය කරණ කොටගෙණ තිට සැපක් වේවා. දරු ගැබටද සැපක්වේවායි’ කියවයි” වදාළේය. “ස්වාමීන් වහන්ස, මා විසින් වනාහි දැන දැන බොහෝ ප්‍රාණීහු ජීවිතයෙන් තොර කරණ ලද්දාහ. ස්වාමීන් වහන්ස, එහෙයින් මාගේ ඒ කීම ඒකාන්ත බොරු කීමක් වන්නේයයි, කීයේය” “අංගුලිමාලය, එසේ වීනම් නුඹ සැවැත්නුවර යම් තැනෙක්හිද එතැනට යව, ගොස් නැගණිය, මම යම් තැනක පටන් ආර්යවූ ජාතියෙහි උපන්නේවෙම්ද, (එතැන් පටන්) දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය හෙතු කොට ගෙණ තිට සැපවේවා, දරු ගැබටද සැපවේවායි, ඒ ස්ත්‍රියට කියවයි” වදාළසේක. “එසේය, පින්වතුන් වහන්සැයි” කීය. ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තරදී සැවැත් නුවර යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් ඒ ස්ත්‍රියට “නැගණිය, මම යම් තැනක පටන් ආර්යවූ ජාතියෙහි උපන්නේ වෙම්ද, (එතැන් පටන්) දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය හෙතු කොට ගෙණ තිට සැපවේවා. දරු ගැබටද සැපවේවායි”, කීයේය. ඉක්බිත්තෙන් ඒ ස්ත්‍රියට සැපවූයේය. දරු ගැබටද සැපවූයේය.
“ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ තනිව විවේකව අප්‍රමාද කෙලෙස් තවන වීර්ය ඇතිව හරණලද ආත්මාලය ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යා කෙළවර කොට ඒ උතුම් රහත් බව මේ ආත්මයෙහිම තෙමේ විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය විනාශ කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිම වන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුත්ත කරණ ලද්දේය. මෙයින් පසු කළ යුත්තක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත්හු අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහතන්ගෙන් එක්තරා කෙනෙක් වූහ.
“ඉක්බිති ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාසිවුරුගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියේ. එකල්හි වනාහි, අන් දිසාවකට ගසනලද ගලක්ද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. අන් දිසාවකට ගසනලද්දාවූ දණ්ඩක්ද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. අන්දිසාවකට ගසන ලද්දාවූ කැට කැබලිතිද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ බිඳුනාවූ හිසින් යුක්ත ගලන්නාවූ ලේ ඇතිව බිඳුනාවූ පාත්‍රයෙන් යුක්තව විසර ගියාවූ සඟල සිවුරෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිඳ එන්නාවූ ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් දුටහ. දැක ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන්ට “බ්‍රාහ්මණය, තෝ ඉවසව, බ්‍රාහ්මණය, තෝ ඉවසව, යම් කර්මයක්හුගේ විපාකයෙන් බොහෝ අවුරුදු බොහෝ සිය ගණන් අවුරුදු සිය දහස් ගණන් අවුරුදු සිය දහස් ගණන් අවුරුදු නරකයෙහි පැසෙන්නෙහිද, බ්‍රාහ්මණය, තෝ ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහිම විඳින්නෙහියයි” වදාළහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහසිගතවූයේ සිත එකඟ කිරීමට පැමිණියේ නිවන් සුව විඳින්නේ ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කෙළේය.
[1] “යමෙක් වනාහි පළමුව ප්‍රමාද වී හෙතෙම පසුව ප්‍රමාද නොවේද, ඒ පුද්ගලතෙම වළාකුලෙන් මිදුනාවූ සඳමෙන් මේ ලොකය බබුළුවයි.
[2] යමකු විසින් කරණ ලද්දාවූ අකුසල කර්මය කුසල කර්මයෙන් වැසෙන ලැබේද, ඒ පුද්ගලතෙම වළාකුළෙන් මිදුනාවූ චන්ද්‍රයා මෙන් මේ ලොකය බබලයි.
[3] යම් තරුණ මහණෙක් වනාහි සර්වඥ ශාසනයෙහි වීර්යයෙන් යුක්තව වාසය කෙරේද, හෙතෙම වලාකුලින් මිදුනාවූ චන්ද්‍රයා මෙන් මේ ලොකය බබලයි.
[4] මාගේ සතුරෝ වනාහි ධර්මයෙන් යුක්තව කථාව අසත්වා. මාගේ සතුරෝ වනාහි සර්වඥ ශාසනයෙහි වීර්යයෙන් යුක්ත වෙත්වා. සත්පුරුෂවූ යම් මිනිස් කෙනෙක් ධර්මය හැර ගණිත්ද, මාගේ සතුරෝ වනාහි එබඳු සත්වයන් භජනය කෙරෙත්වා.
[5] මාගේ සතුරෝ වනාහි ඉවසීම ප්‍රකාශ කරන්නාවූ මෛත්‍රියට ප්‍රශංසා කරන්නවුන්ගේ ධර්මය සුදුසු කාලයෙහි අසත්වා ඒ ධර්මයටද අනුව කටයුතු කෙරෙත්වා.
[6] හෙතෙම ඒකාන්තයෙන් මට හිංසා නොකරන්නෙක් වේවා. අන්කිසිවෙකුටත් (හිංසා නොකෙරේවා) උතුම්වූ නිවණට පැමිණ කෙලෙස් සහිත සත්වයන් හා කෙලෙස් රහිතවූ සත්වයන්ද රක්නේය.
[7] දිය ගෙනයන්නෝ වනාහි ජලය පමුණුවත්. හී වඩුවෝ ඊ දඬු නමා ඇදහරිත්. වඩුවෝ දැව දඬු සැස ඇදහරිත්, නුවණැත්තෝ තමා දමනය කරත්.
[8] සමහර කෙනෙක් දණ්ඩෙන්ද, හෙන්ඩුවෙන්ද, කස සැමිටියෙන්ද දමනය කරත්. තාදී (අෂ්ටලොක ධර්මයෙන් කම්පානොවන) ගුණයෙන් යුක්තවූ සර්වඥයන් වහන්සේ විසින් දණ්ඩක් නැතිව ආයුධයක් නැතිව මම දමනය කරණ ලද්දේවෙමි.
[9] පෙර සත්ව හිංසා කරන්නාවූ මට අහිංසකයයි නමක්වූයේය. අද මම (අහිංසකය යන) සත්‍යවූ නම ඇත්තේ වෙමි. කිසිවකුටත් හිංසාවක් නොකරමි. පෙර මම අංගුලිමාලයයි ප්‍රසිද්ධවූ සොරෙක් වූයෙමි. කාමාදී මහ වතුරෙන් ගසාගෙණ යනු ලබන්නේ බුදුන් සරණ කොට ගියෙමි.
[10] පෙර අංගුලිමාලයයි ප්‍රසිද්ධවූ ලේ තැවරුණු අත් ඇත්තෙක් වීමි. (ඔහුගේ) සරණයාම බලව (ඔහු විසින්) භව ආශාව නැති කරනලදී.
[11] දුර්ගතිවලට පමුණුවන්නාවූ බොහෝ එබඳු අකුසල කර්ම කොට මාර්ග කුසල විපාකයට පැමිණෙන ලද්දේ නය නැත්තෙක්ව ආහාර වළඳමි.
[12] අඥානවූ බාලජනයෝ ප්‍රමාදයෙහි යෙදී වාසය කරත්. නුවණැත්තේ උතුම් ධනයක් මෙන් අප්‍රමාද රක්ෂා කරයි.
[13] ප්‍රමාදයෙහි නොයෙදෙව්. පස්කම් සැපයෙහි ඇල්මට නොපැමිණෙව්. අප්‍රමාදව නුවණින් බලන තැනැත්තේ වනාහි මහත්වූ සැපයට පැමිණේ.
[14] ‘මාගේ යම් පැමිණීමක් ඇද්ද එය ලාමක පැමිණීමක් මම පැවිදි වන්නෙමි යන නොවන්නේය’. යම් වචනයක් කියන ලදද එය අයහපත් කීමක් නොවන්නේය. බුදුවරයන් වහන්සේලා විසින් බෙදා වදාළ ධර්මයන් අතුරෙහි ඒ ධර්මයට පැමිණියෙමි. යම් ධර්මයක් උත්තමද
[15] මාගේ යම් පැමිණීමක් ඇද්ද, එය ලාමකවූ පැමිණීමක් මා විසින් යම් වචනයක් කියනලදද එය නොවේ. ත්‍රිවිද්‍යාවන්ට පිළිවෙළින් පැමිණියෙමි. අයහපත් වචනයක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කරණලදියි”. ප්‍රකාශ කෙළේය.
අංගුලිමාල සූත්‍රය නිමි. (4-36)