මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

4. රාජ වර්ගය

87. පිය ජාතික සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල එක් ගෘහපතියෙකුගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රතෙම කළුරිය කෙළේ වෙයි. පුත්‍රයාගේ මරණයෙන් ඒ ගෘහපතියාහට කර්මාන්ත රුචි නොවෙත්. ආහාරයද රුචි නොවෙයි. හෙතෙම සොහොණට ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද, එකම පුත්‍රය ඔබ කොහිදැයි’ කියමින් විලාප කියති.

ඉක්බිති ඒ ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එසේ උන් ඒ ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

“ගෘහපතිය, නුඹගේ ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘති ස්වභාවය නුඹගේ ඉන්ද්‍රියයන්ගේ වෙනස්බවක් ඇතැයි” වදාළේය.

“ස්වාමීන් වහන්ස, මාගේ ඉන්ද්‍රියන්ගේ වෙනස් බවෙක් කෙසේ නම් නොවන්නේද? ස්වාමීන් වහන්ස, මාගේ ප්‍රියවූ, මනාපවූ, එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් පසු මේ කර්මාන්තයද රුචි නොවෙති. ආහාරයද රුචි නැත. ඒ මම සොහොනට ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද? එකම පුත්‍රය, ඔබ කොහිද? කියමින් අඬමියි” කීය.

“ගෘහපතිය, ඒ එසේමය. ගෘහපතිය, ශොකය වැළපීම දුකය, දොම්නසය, බලවත් වෙහෙසය, යන මොහු පිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය.”

“ස්වාමීනි, ශොකය, වැළපීම, දුක, දොම්නස, දැඩි වෙහෙස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපන්නේය, යන මේ කාරණය කෙසේ නම් වන්නේද? ස්වාමීනි, ප්‍රිය දෙයින් සතුට සොම්නස හටගන්නේය. උපදනාහුයයි” කියා ඒ ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට නොසතුටුව ප්‍රතික්ෂෙප කොට ආසනයෙන් නැගිට ගියේය.

එකල්හි බොහෝ දාදු කෙළින්නෝ භාග්‍යවතුන් වහන්සේට සමීප තැනක දාදු කෙළිති. එවිට ඒ ගෘහපතිතෙම ඒ දාදු කෙළින්නෝ යම් තෙනකද එහි පැමිණ දාදු කෙළින්නන්ට මෙසේ කීය.

“පින්වතුනි, මෙහි මම ශ්‍රමණ ගෞතම තෙම යම් තෙනකද එහි ගියෙමි. ගොස් ශ්‍රමණ ගෞතමයන් වැඳ එකත් පසෙක හුනිමි. පින්වතුනි, ඒ පසෙක උන් මට ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ කීය.

“ගෘහපතිය, නුඹගේ ඉන්ද්‍රියයෝ පැහැදිලි නැත. නුඹගේ ඉන්ද්‍රියයන්ගේ වෙනස් බවක් ඇතැයි” කීය. “පින්වතුනි, මෙසේ කීකල්හි මම ශ්‍රමණ ගෞතමයන්ට, මෙසේ “ස්වාමීනි, මාගේ ඉන්ද්‍රියවෙනස් බවෙක් කෙසේ නම් නොවන්නේද? ස්වාමීනි මාගේය මනාප එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් මට කර්මාන්තද රුචි නොවෙති. ආහාරද රුචි නැත. ඒ මම සොහොනට ගොස් ‘එකම පුත්‍රය ඔබ කොහිද? එකම පුත්‍රය ඔබ කොහිද, කියමින් හඬමි’යි කීයෙමි.

එසේ කී කල්හි, ‘ගෘහපතිය, ඒ එසේමය. ගෘහපතිය ඒ එසේමය’ ගෘහපතිය, සොකය, හැඬීමය, දුකය, දොම්නසය දැඩි වෙහෙසය යන මොහු ප්‍රිය දෙයින් උපදනාහු වෙති. ප්‍රිය දෙයින් හටගන්නාහු වෙති” කීය. “ස්වාමීනි, සොකය, හැඬීම දුකය, දොම්නසය යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් හටගන්නාහුය. යන මේ කාරණය වනාහි කෙසේ වන්නේද?

“ස්වාමීනි, ප්‍රිය දෙයින් සතුට හා සොම්නස හටගන්නාහුය, උපදනාහුයයි’ කියා මම ශ්‍රමණ ගෞතමයන්ගේ කීමට සතුටු නොවී ප්‍රතික්ෂෙපකොට හුන් ආසනයෙන් නැගිට ගියෙමියි” කීය.

“ගෘහපතිය, ඒ කාරණය එසේමය. ගෘහපතිය, ඒ කාරණය එසේමය. ගෘහපතිය, සතුට හා සොම්නස යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් උපදනාහුයයි” (ඔව්හු කීහ.)

ඉක්බිති ඒ ගෘහපති තෙමේ මාගේ අදහස දාදු කෙළින්නන් හා සමවෙයි කියා ගියේය.

ඉක්බිති මේ කථාව පිළිවෙලින් රජුගේ මාලිගාවට පැමිණියාය.

ඉක්බිති පසෙනදි කොසොල් රජතෙමේ මල්ලිකා දේවිය කැඳවී. “මල්ලිකාවෙනි, සොකය, හැඬීමය, දුකය, දොම්නසය යන මොහු ප්‍රියදේ නිසා උපදනාහුය. ප්‍රියදේ නිසා හටගන්නාහුයයි තොපගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් කියනලදී.”

“ඉදින් මහරජතුමනි, ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද නම් එය එසේයයි” (කීවාය.)

“මේ මල්ලිකාව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් යමක් කියයි නම් ‘මහරජතුමනි, ඉදින් ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක්නම් ඒ එසේම වෙයි’ කියමින් ඒ එසේම පිළිගනියි.

“යම්සේ ගුරුවරයෙක් ගොලයාට යමක් කියයි නම් ‘ආචාර්යයන් වහන්ස, එය එසේයයි’ ගොලයා පිළිගනියි.

“එමෙන් මල්ලිකාවෙනි, නුඹද එලෙසම ශ්‍රමණ ගෞතම තෙමේ යමක් කියයි නම් ‘ඉදින් මහරජ’ ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළේ නම් ඒ එසේම වන්නේය’. කියා පිළිගන්නෙහිය. මල්ලිකාවෙනි, මෙතනින් ඉවත්ව යවයි කීය.

ඉක්බිති මල්ලිකා දේවිය, නාලිජංඝනම් බමුණා කැඳවී. “බ්‍රාහ්මණය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා මුදුනෙන් වඳුව. ආබාධ නැතිබව, රොග නැතිබව සැහැල්ලු පැවැත්ම කායබලය, සුඛ විහරණය විචාරව. ‘ස්වාමීන් වහන්ස, මල්ලිකා දේවී තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ පා මුදුනෙන් වඳියි. පීඩා නැතිබව ලෙඩ නැති බව කය පිළිබඳ සැහැල්ලුකම, කය පිළිබඳ ශක්තිය, සැප විහරණය අසායයි’ කියව.

“මෙසේද කියව ‘ස්වාමීන් වහන්ස, සොකපරිදෙව දුක් දොම්නස් උපායාස යන මේවා ප්‍රියදේ නිසා උපදනාහුය. ප්‍රියදේ නිසා හටගන්නාහුයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේද, කියාය. භාග්‍යවතුන් වහන්සේ නුඹට යම්සේ ප්‍රකාශ කෙරේද? ඒ එසේම යහපත්ව උගෙණ මට කියව. තථාගතයන් වහන්සේලා බොරු නොකියත් යයි” කීහ.

“එසේය”, කියා නාලිජංඝ බ්‍රාහ්මණතෙම මල්ලිකාදේවියට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතු සිහි කටයුතු කථාවකොට අවසන්ව, එක් පසෙක උන්නේය. එක් පසෙක හුන් නාලිජංඝ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී.

“භවත් ගෞතමයන් වහන්ස, මල්ලිකා දෙවිතොමෝ පින්වත් ගෞතමයන් වහන්සේ පා මුදුනෙන් වඳියි. ආබාධ නැතිකම, රෝග නැතිකම, කයේ සැහැල්ලු බව කාය බලය, පහසු විහරණය අසයි. මෙසේද කියයි. ස්වාමීනි, සොක, පරිදෙව, දුක් දොම්නස්, උපායාස යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් හටගන්නාහුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ දැයි’ ඇසී.

“බ්‍රාහ්මණය, ඒ එසේමය. බ්‍රාහ්මණය, එසේමය. බ්‍රාහ්මණය ශොක පරිදෙව දුක් දොම්නස් උපායාස යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් හටගන්නාහු වෙති. බ්‍රාහ්මණය සොක පරිදෙව දුක් දොම්නස්, උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ක්‍රමයෙන් ද දතයුතුය. කෙසේද? පෙරදවස බ්‍රාහ්මණය, මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ මව් කළුරිය කළාය. මවගේ මරණයෙන් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රී තොමෝ වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ මෙසේ කියයි. ‘මාගේ මව් දුටුවාහුද? මාගේ මව් දුටුවොහුද? යනුයි.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්ඛ, දොම්නස්ස, උපායාස යන මොහු ප්‍රිය දෙයින් හට ගන්නාහුය, දෙයින් උපදනාහුය, ප්‍රිය යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතු කෙසේද? බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ පියතෙම මැරිණි. ඒ පියාගේ මරණින් උමතුවූ සිත පෙරළුනු ඒ ස්ත්‍රිය වීථියෙන් විථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, මාගේ පියා දුටුවාහුද? මාගේ පියා දුටුවාහුදැ’යි කියයි.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රියදෙයින් හටගන්නාහුය, ප්‍රියදෙයින් උපදනාහුය යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ සොහොයුරා මළේය. ඒ සොහොයුරාගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ සොහොයුරා දුටුවාහුද? මගේ සොහොයුරා දුටුවාහුදැයි’ කියයි.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ සොහොයුරිය මළහ. ඒ සොහොයුරියගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ සොහොයුරිය දුටුවාහුද? මගේ සොහොයුරිය දුටුවාහුදැ’යි කියයි.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය. මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුයි. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ පුත්‍රයා මළේය. ඒ පුත්‍රයාගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ පුත්‍රයා දුටුවාහුද? මගේ පුත්‍රයා දුටුවාහුදැයි’ කියයි.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුය. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ දුවක් මළහ. ඒ දුවගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ දුව දුටුවාහුද? මගේ දුව දුටුවාහුදැයි’ කියයි.

“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුයි. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ හිමියා මළේය. ඔහුගේ මරණයෙන් උමතුව සිත පෙරළුණ ඕ තොමෝ වීථියෙන් වීථිය, හන්දියෙන් හන්දිය වෙත පැමිණ, මෙසේ කියයි. ‘මාගේ හිමියා දුටුවාහුද? මාගේ හිමියා දුටුවොහුද?’ කියයි.

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුක්ඛය දොමනස්සය උපායාසය යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය. යන මේ කාරණය මේ ක්‍රමයෙන්ද දත යුතුවෙයි. කෙසේද?

“බ්‍රාහ්මණය, පෙරකලෙක මේ සැවැත් නුවරෙහිම එක්තරා පුරුෂයෙකුගේ මවු මිය ගියාය. ඇගේ මරණයෙන් උමතුව සිත පෙරලුණ ඒ පුරුෂතෙම වීථියෙන් වීථිය හන්දියෙන් හන්දිය වෙත පැමිණ මෙසේ කීය. මාගේ මෑණියන් දුටුවාහුද? මාගේ මෑණියන් දුටුවාහුද?” (කියාය.)

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මේවා ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය යනු මේ ක්‍රමයෙන්ද දත යුතුය.

“බ්‍රාහ්මණය, පෙරදවස මේ සැවැත් නුවරම එක්තරා පුරුෂයෙකුගේ පියා මළේය. ඒ පියාගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ පියා දුටුවාහුද? මගේ පියා දුටුවාහුදැ’යි කියයි.

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ සහෝදරයා මළේය. ඒ සහෝදරයාගේ මරණින් උමතුවූ සිත පෙරළුනු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ සහෝදරයා දුටුවාහුද? මගේ සහෝදරයා දුටුවාහුදැයි?’ කියයි,

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය, මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුය. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා පුරුෂයෙකුගේ සහෝදරිය මළාය. ඒ සහෝදරියගේ මරණයෙන් උමතුවූ, සිත පෙරළුණ ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, මගේ සහෝදරිය දුටුවාහුද? මගේ සහෝදරිය දුටුවාහුදැයි?’ කියයි,

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුය. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ පුතා මළේය. ඒ පුතාගේ මරණයෙන් උමතුවූ සිත පෙරළුනු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ පුතා දුටුවාහුද? මගේ පුතා දුටුවාහුදැයි?’ කියයි,

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ දුව මළාය. ඒ දුවගේ මරණයෙන් උමතුවූ සිත පෙරළුනු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ දුව දුටුවාහුද? මගේ දුව දුටුවාහුදැයි?’ කියයි,

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ භාර්යාව මළාය. ඇගේ මරණයෙන් උමතුවූ පෙරළුනු සිත් ඇති ඒ පුරුෂතෙම වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධිය කරා ගොස් මෙසේ කියයි. ‘මගේ භාර්යාව දුටුවාහුද? මගේ භාර්යාව දුටුවාහුද?’ කියාය,

“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය යන මේ ආකාරයෙන්ද දතයුතුය. කෙසේද?

“බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියාවක් නෑගෙට ගියාය. ඇගේ නෑයෝ ඇය හිමියාගෙන් වෙන්කොට අනිකෙක්හට දෙනු කැමැත්තේය. ඇයද ඒ පුරුෂයාට කැමති නොවීය. ඉක්බිති ඔතොමෝ (සිය) හිමියාට ‘ස්වාමිපුත්‍රය, මේ නෑයෝ මා ඔබගෙන් වෙන්කොට අනිකෙක්හට දෙනු කැමැත්තෝය. මමද ඔබට කැමති නොවෙමියි,’ කීවාය. ඉක්බිති ඒ පුරුෂතෙම ඒ ස්ත්‍රිය දෙපලු කොට තමාගේද බඩ පලාගෙන දෙදෙන පරලොවදී එක්වෙමු යයි මළේය. බ්‍රාහ්මණය, මේ කාරණයෙන්ද සොකය පරිදෙවය, දුකය, දොම්නසය යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය යන බව දත යුතුයයි,” වදාළේය.

“ඉක්බිති නාලිජංග බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට මල්ලිකාදේවී යම්තැනකද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග යම් පමණ කථාවක් වීද, ඒ සියල්ල මල්ලිකා දේවියට දැන්වී.

ඉක්බිති මල්ලිකාදේවී, පසෙනදී කොසොල් රජතෙම යම් තැනකද, එහි පැමිණ පසෙනදී කොසොල් රජහට මෙසේ කීය. “මහරජ, ඔබ කුමකැයි සිතන්නෙහිද? ඔබට වජිරී කුමාරිකාව ප්‍රියදැයි” ඇසී.

“මල්ලිකාවෙනි, එසේය. වජිරී කුමාරිකාව මට ප්‍රියයයි” කීය. “මහරජ තුමනි, ඒ ඔබ කුමකැයි සිතන්නෙහිද? වජිරී කුමරියගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ ඔබට ශොකය, පරිදෙවය, දුකය, දොම්නස්ස යන මේවා උපදින්නාහුදැයි” ඇසී.

“මල්ලිකාවෙනි, වජිරී කුමරියගෙ මරණයෙන් හෝ පලායාමෙන් මාගේ ජීවිතය පවා වෙනස්වන්නේය. කෙසේ නම් සොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, යන මොහු නූපදින්නාහුදැයි” (ඇසී).

“මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, ඒ අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සොකපරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සඳහා වදාරණ ලදී.

“මහරජාණෙනි, කුමක් සිතන්නෙහිද? ඔබට වාසභඛත්තියාව ප්‍රියදැයි” (ඇසී). මල්ලිකාවෙනි, එසේය වාසභඛත්තියා මට ප්‍රියයි කීය.

“මහරජුනි, ඒ කුමක් සිතන්නෙහිද? වාසභඛත්තියාවගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ ඔබට සොක පරිදෙව දුක්ඛ දොමනස්ස යන මොහු උපදින්නාහුදැයි” (ඇසී)

“මල්ලිකාවෙනි, වාසභඛත්තියාවගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස්වෙයි. සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු කෙසේ නම් නූපදින්නාහුද?”

“මහරජතුමනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත් වූ ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි, මේ සඳහා වදාරණ ලදී.

“මහරජතුමනි! ඔබ කුමක් සිතන්නෙහිද? විඩුඩභ සේනාපතිතෙම ඔබට ප්‍රියවේද?” “මල්ලිකාවෙනි, එසේය විඩුඩභ සෙනාපති මට ප්‍රියයි” කීය. “මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද? විඩුඩභ සෙන්පතිගේ මරණයෙන් හෝ පලා යාමෙන් හෝ ශොක පරිදෙව දුක්ඛ දොමනස්ස යන මේවා ඔබට උපදින්නාහුද?”

“මල්ලිකාවෙනි, විඩුඩභ සේනාපතිගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. ශොක පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු කෙසේ නම් නූපදින්නාහුද?

“සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් සොක, පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදිනාහුයයි මේ සඳහා වදරණ ලදී.

“මහරජතුමනි, ඒ කුමක් සිතන්නෙහිද? ඔබට මා ප්‍රියද?” “මල්ලිකාවෙනි, එසේය. මට නුඹ ප්‍රියවෙහිය.” “මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද? මාගේ මරණයෙන් පලායාමෙන් හෝ ඔබට ශොකය, පරිදෙවය, දුක්ඛය දොමනස්සය යන මොව්හු උපදින්නාහුද?” “මල්ලිකාවෙනි, නුඹගේ මරණයෙන් පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. සොක පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු මට කිමනූපදින්නාහුද?”

“මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස, යන මොව්හු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සඳහා වදාරණ ලදී.”

“මහරජතුමනි, ඒ කුමකැයි, සිතන්නෙහිද? කසී, කොසොල් දෙරට ඔබට ප්‍රියවේද?” “මල්ලිකාවෙනි, එසේය කසී කොසොල් දෙරට මට ප්‍රියයයි” කීය.

“මල්ලිකාවෙනි! කසී කොසොල් දෙරටෙහි ආනුභාවයෙන් කසී කොසොල් දෙරටෙහිවූ කාසික චන්දනා නම්වූ සඳුන් භාවිතා කරමු. මල්ගඳ විලවුන් දරමුයි” කීය.

“මහරජතුමනි, ඒ කුමක් සිතන්නෙහිද? කසී, කොසොල් දෙරට අත්හැරීමෙන් හෝ සතුරන්ට අත්වීමෙන් ඔබට ශොක, පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු උපදින්නාහුද?”

“මල්ලිකාවෙනි, කසී, කොසොල් දෙරට අත්හැරීමෙන් හෝ සතුරන්ට අත්වීමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු කිම නූපදින්නාහුද?”

“මහරජතුමනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ ඒ අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් ශොක පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු ප්‍රිය දෙයින් හට ගන්නාහුය, ප්‍රිය දෙයින් උපන්නාහුයයි මේ සඳහා වදාරණ ලදැයි” කීය.

“මල්ලිකාවෙනි, ආශ්චර්යයයි! මල්ලිකාවෙනි පුදුමයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් (දතයුතු) යම් පමණද (ඒ සියල්ල) අතිශයින් අවබෝධ කොට දක්නාහුයයි සිතමි. මල්ලිකාවෙනි, මෙහි එව අත්පාසෝදන ජලය ගෙනෙවයි’ කීය.”

ඉක්බිති පසෙනදි කොසොල් රජතෙම උන් ආසනයෙන් නැගිට උතුරු සළුව එක් අංශයෙක්හි කොට භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවෙක්හිද ඒ දිශාවට දොහොත් මුදුන් දී නමස්කාර කොට ‘ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවායි’ තුන්වරක් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කෙළේය.

සත්වැනිවූ පියජාතික සූත්‍රය නිමි. (4-7)