මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

4. රාජ වර්ගය

88. බාහිතික සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කාලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි, අනේ පිඩු සිටුහුගේ ජෙතවනාරාමයෙහි වැඩ වෙසෙති. ඒ කාලයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පෙර වරුයෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරුගෙණ පිඩු පිණිස සැවැත්නුවරට පැමිණියේය. සැවැත් නුවර පිඩු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් වැලක සවස් කාලයෙහි මිගාරමාතු ප්‍රාසාදනම්වූ පූර්වාරාමය යම් තෙනකද, එහි දවල් විසීම පිණිස පැමිණියේය.

ඒ කාලයෙහි පසෙනදි කොසොල් රජ තෙමේ එක පුණ්ඩරීක නම් ඇතුපිට නැග මැදිදවල් සැවැත් නුවරින් පිටත් විය. පසෙනදි කොසොල් රජ තෙමේ වඩින්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන් දුරදීම දිටී. දැක සිරිවඞ්ඪනම් මහ ඇමතියාට කථාකොට “යහලු සිරිවඞ්ඪයිනි, මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝදැයි” (ඇසී) “මහරජ, එසේය, මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝයයි” කීය.

ඉක්බිති පසෙනදි කොසොල් රජතෙමේ අනික් පුරුෂයෙකු කැඳවී. “එම්බා පුරුෂය, මෙහි එව, නුඹ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණ මාගේ වචනයෙන් ‘ස්වාමීනි, පසෙනදි කොසොල් රජතෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ පාදයන් සිරසින් වඳියි’. කියා ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ පාදයන් සිරසින් වඳුව මෙසේද කියව්.

“ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කිසි ඉක්මන් කටයුත්තෙක් නොවේනම්, ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට මොහොතක් බලාපොරොත්තු වනසේක්වායිද කියන්නේය’ යනුයි.

“දෙවයෙනි, එසේය” කියා ඒ පුරුෂතෙම පසෙනදි කොසොල් රජහට උත්තරදී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තෙනෙක්හිද, එහි පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක්හි සිටියේය. එක් පසෙක සිටි ඒ පුරුෂතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට “ස්වාමීනි වහන්ස, පසෙනදි කොසොල් රජතෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් පාදයන් සිරසින් වඳියි.

“මෙසේද කියයි. ‘ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කිසිත් ඉක්මන් කටයුත්තක් නොවෙයි නම්, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පාකොට මොහොතක් බලාපොරොත්තු වෙන සේක්වා, යනුයි” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තුෂ්ණිම් භාවයෙන් ඉවසූහ.

ඉක්බිති පසෙනදි කොසොල් රජතෙමේ ඇතුපිටින් යාමට සුදුසු තැන් දක්වා ඇතුපිටින් ගොස් ඇතුපිටින් බැස පයින්ම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි පසෙනදි කොසොල් රජතෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට “ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කිසි ඉක්මන් කටයුත්තෙක් නොවේ නම් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට අචිරවතී ගංතෙර යම් තෙනකද එහි වඩිනු මැනවයි’ කීය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තුෂ්ණිම් භාවයෙන් ඉවසී.

අනතුරුව ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අචිරවතී ගංතෙර යම් තෙනකද එහි පැමිණ ගසක් මුල පැනවූ අස්නෙහි හිඳගත්හ. එවිට පසෙනදි කොසොල් රජතෙම ඇතුපිටින් යාමට සුදුසු තැන් දක්වා ඇතු පිටින් ගොස් ඇතු පිටින් බැස පයින්ම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ පසෙනදි කොසොල්රජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට ‘ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඇතුපිට එලන පලසෙහි හිඳිනා සේක්වායි” (කීයේය) මහරජ, කම්නැත ඔබ හිඳිනු මැනවි, මාගේ අස්නෙහි හුන්නේ වෙමියි” (කීහ) පසේනදී කොසොල් රජ පණවනලද අස්නෙහි හුන්නේය. හිඳගත් පසෙනදි කොසොල් රජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය.

“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් කීමට සුදුසුවූ යම් කාය සමාචාරයක් (කයේ පැවැත්මක්) වේද, එබඳු කාය සමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ පවත්වන්නේදැයි” ඇසී. “මහරජ, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස්කීමට සුදුසුවූ යම් කාය සමාචාරයෙක් වේද, එබඳු කාය සමාචාරයක් ඒ භාග්‍යවතුන් වහන්සේ නොපවත්නාහයි” කීය.

“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති, මහණ බමුණන් විසින් යම් වාක්සමාචාරයක් දොෂාරොපණයට සුදුසු වේද, එබඳුවූ, වාග්සමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ කීම කරන්නේදැයි” (ඇසීය.)“මහරජ, යම් වාක්සමාචාරයක් නුවණ ඇති, මහණ බමුණන් විසින් දොෂාරොපණය කළ යුත්තේද, එබඳුවූ, වාක්සමාචාරයෙක්හි ඒ භාග්‍යවතුන් වහන්සේ නොම හැසිරෙයි.”

“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් යම් මනොසමාචාරයක් දොෂාරොපණයට සුදුසු වේද, එබඳුවූ මනොසමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ කිම කරන්නේදැයි?” (ඇසීය.) “මහරජ, යම් මනොසමාචාරයක් නුවණ ඇති මහණ බමුණන් විසින් දොෂාරොපණය කරන ලද්දේද, එබඳුවූ, මනොසමාචාරයෙක්හි ඒ භාග්‍යවතුන් වහන්සේ නොම හැසිරෙයි.”

“ස්වාමීනි, ආශ්චර්යය, ස්වාමීනි පුදුමයි. ස්වාමීනි යම්වචනයක් ශ්‍රමණයන් යන වචනය හා යොදා සම්පූර්ණ කිරීමට අපට නොහැකිවීද? ස්වාමීනි, නුවණැති යන ඒ වචනය ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් විසින් ප්‍රශ්න විසඳීමේදී සම්පූර්ණ කරණ ලදී.

ස්වාමීනි, යම් අදක්ෂ නුවණැති කෙනෙක් නුවණින් නොවිමසා තීරණයකට නොබැස අනුන්ගේ ගුණ හෝ අගුණ කියද්ද? අපි ඒ කීම් සාරවසයෙන් නොපිළිගණිමු. ස්වාමීනි, පණ්ඩිතවූ දක්ෂවූ නුවණැති යම් ඒ කෙනෙක් නුවණින් විමසා තීරණයට බැස අනුන්ගේ ගුණ හෝ අගුණ හෝ කියද්ද? ඒ කීම අපි සාර වසයෙන් පිළිගණිමු.

“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් නැගිය යුතු කාය සමාචාරය (කය පිළිබඳ පැවැත්ම) කවරේද?” “මහරජ, යම් කායික පැවැත්මක් අකුසල් නම් එයයි.” “ස්වාමීනි කිනම්, කායික පැවැත්මක් අකුසල්ද?” “මහරජ, යම් කායික පැවැත්මක් වරද සහිත නම් එයයි.” “ස්වාමීනි, වරද සහිත කායික පවැත්ම නම් කවරේද?” “මහරජ, යම් ඒ කායික පැවැත්මක් දුක් සහිත නම් එයයි” “ස්වාමීනි, දුක් සහිත කායික පැවැත්මනම් කවරේද?” “මහරජ යම් කායික පැවැත්මක් දුක්වූ විපාක ඇත්නම් එයයි.” “ස්වාමීනි, දුක් විපාක ඇති කායික පැවැත්ම නම් කවරේද?”

“මහරජ, යම් කයේ පැවැත්මක් වනාහි තමා පෙළීම පිණිසත් පවතීද, අනුන් පෙළීම පිණිසත් පවතීද, තමා අනුන් යන දෙදෙනම පෙළීම පිණිසත් පවතීද, ඔහුගේ අකුශල ධර්මයෝ වැඩෙති. කුශල ධර්ම පිරිහෙති. මහරජ මෙබඳු කායික පැවැත්ම වනාහි නුවණැති මහණ බමුණන් විසින් දොස් නැගිය යුත්තේ වෙයි.”

“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, නුවණැති මහණ බමුණන් විසින් දොස් කිය යුතු වාග්සමාචාරය (වචනයේ පැවැත්ම) කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් අකුසල් ද එයයි.” “ස්වාමීනි, අකුසල වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් වරද සහිත නම් එයයි.” “ස්වාමීනි, වරද සහිත වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් දුක් සහිතද එයයි.” “ස්වාමීනි, දුක් සහිත වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් දුක් විපාක ඇත්තේද එයයි.” “ස්වාමීනි, දුක් විපාක ඇති වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් වනාහි තමා පෙළීම පිණිසත් පවතීද, අනුන් පෙළීම පිණිසත් පවතීද, තමා හා අනුන් යන දෙපසම පෙළීම පිණිසත් පවතීද, ඒ දුක් විපාක ඇති වාග්සමාචාරය ඇත්තාහට අකුශල ධර්ම වැඩෙති. කුශල ධර්ම පිරිහෙති. මහරජ, මෙබඳු වාග්සමාචාරය වනාහි නුවණැති මහණ බමුණන් විසින් දොස් නගන ලද්දේ වෙයි.”

“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් නැගිය යුතු.” මනොසමාචාරය (සිතේ පැවැත්ම) කවරේද? “මහරජ, යම් ඒ මානසික පැවැත්මක් අකුසල් නම්, එයයි. “ස්වාමීනි, අකුසල මනොසමාචාරය කවරේද?” “මහරජ, යම් ඒ මානසික පැවැත්මක් වරද සහිත නම් එයයි”.

“ස්වාමීනි, වරද සහිත මනොසමාචාරය (සිතේ පැවැත්ම) කවරේද?” “මහරජ, යම් මනොසමාචාරයක් දුක් සහිත නම් එයයි.” “ස්වාමීනි, දුක් සහිතවූ මනොසමාචාරය කවරේද?” “මහරජ, යම් මනොසමාචාරයක් දුක්වූ විපාක ඇත්තේ නම් එයයි.” “ස්වාමීනි, දුක් විපාක ඇති මනොසමාචාරය කවරේද?

“මහරජ, යම් මනොසමාචාරයෙක් තමා පෙළීම පිණිස පවතීද, අනුන් පෙළීම පිණිස පවතීද, තමාත් අනුනුත් පෙළීම පිණිස පවතීද, ඒ මනොසමාචාරයෙන් යුක්තවූවහුට අකුශල ධර්මයෝ වැඩෙති. කුශල ධර්මයෝ පිරිහෙති. මහරජ, මෙබඳු කායසමාචාරය, නුවණැති මහණ බමුණන් විසින් දොස් කීමට සුදුසු වෙයි.”

“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, කිමෙක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ, සියලුම අකුශල ධර්මයන්ගේ පහකිරීම වර්ණනා කෙරේදැයි” (ඇසී). “මහරජ, තථාගතයන් වහන්සේ සියලු අකුශල ධර්මයන් පහකළ කෙනෙක. සියලු කුශල ධර්මයන්ගේ යුක්තවූ කෙනෙක.

“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, නුවණැති මහණ බමුණන් විසින් දොස් නොකියයුතු කායසමාචාරය කවරේද?” “මහරජ යම් කායසමාචාරයෙක් කුශල් නම් එයයි.’ “ස්වාමීනි, කුශල්වූ කායසමාචාරය කවරේද?” “මහරජ, යම් කායසමාචාරයෙක් වරද නොවේනම් එයයි.” “ස්වාමීනි, වරද නැති කායසමාචාරය කවරේද?” “මහරජ, යම් කායසමාචාරයෙක් දුක් රහිත නම් එයයි.” “ස්වාමීනි, දුක් නැති කායසමාචාරය කවරේද?” “මහරජ, යම් කායසමාචාරයෙක් සැප විපාක ඇත්තේ නම් එයයි.” “ස්වාමීනි, සැප විපාක ඇති කායසමාචාරය කවරේද?”

“මහරජ, යම් ඒ කායසමාචාරයෙක් තමාපෙළීම පිණිසත් නොපවතීද, අනුන් පෙළීම පිණිසත් නොපවතීද තමාත් අනුනුත් පෙළීම පිණිසත් නොපවතීද, ඔහුගේ අකුශල ධර්ම පිරිහෙති. කුශල ධර්ම වැඩෙති. මහරජ, මෙබඳු කායසමාචාරය වනාහි නැණවත් මහණ බමුණන් විසින් දොස් නොකිය යුත්තේ වෙයි.”

“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, නුවණැති මහණ බමුණන් විසින් දොස් නොකියයුතු වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් කුසල්ද එයයි”. “ස්වාමීනි, කුශල වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් වරද රහිත නම් එයයි”. “ස්වාමීනි, වරද රහිත වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් දුක් රහිතද එයයි.” “ස්වාමීනි, දුක් රහිත වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් සැප විපාක ඇත්තේද එයයි.” “ස්වාමීනි, සැප විපාක ඇති වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් තමා පෙළීම පිණිස නොපවතීද, අනුන් පෙළීම පිණිසත් නොවතීද, තමා හා අනුන් යන දෙපසම පෙළීම පිණිසත් නොපවතීද, ඒ සැප විපාක ඇති වාග්සමාචාරය ඇත්තාහට කුශල ධර්මයෝ වැඩෙති. අකුශල ධර්මයෝ පිරිහෙති. මහරජ, මෙබඳු වාග්සමාචාරය වනාහි නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් නොකිය යුත්තේ වෙයි.”

“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණබමුණන් විසින් දොස් නොකිය යුතු මනොසමාචාරය කවරේදැයි” (ඇසී)

“මහරජ, යම් මනොසමාචාරයක් කුශල් නම් එයයි.” “ස්වාමීනි, කුශල මනොසමාචාරය කවරේද?” “මහරජ යම් මනොසමාචාරයෙක් නිවරද නම් එයයි.” “ස්වාමීනි, නිවරද මනොසමාචාරය කවරේද?” “මහරජ, යම් මනොසමාචාරයෙක් දුක් රහිත නම් එයයි.” “ස්වාමීනි, දුක් රහිත මනොසමාචාරය කවරේද?” “මහරජ, යම් මනොසමාචාරයෙක් සැප විපාක ඇත්තේ නම් එයයි.” “ස්වාමීනි, සැප විපාක ඇති මනොසමාචාරය කවරේද?”

“මහරජ! යම් ඒ මනොසමාචාරයෙන් තමා පෙළීම පිණිසද නොපවතී නම්, අනුන් පෙළීම පිණිසද නොපවතී නම්, තමාත් අනුනුත් පෙළීම පිණිසද නොපවතී නම්,ඒ පුද්ගලයාගේ අකුශල ධර්මයෝ පිරිහෙති. කුශල ධර්මයෝ වැඩෙති. මහරජ, මෙබඳු මනොසමාචාරය වනාහි නුවණැති මහණබමුණන් විසින් දොෂාරෝපණය නොකළ යුත්තේ වෙයි.

“කිමෙක්ද ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේ සියලුම කුශලධර්මයන්ගේ වැඩීම වර්ණනා කෙරේද?” “මහරජ! තථාගතයන් වහන්සේ සියලු අකුශල ධර්ම ප්‍රහීණ කෙළේ කුශල ධර්මයන්ගෙන් යුක්තවූයයි” කීය.

“ස්වාමීනි, ආශ්චර්යයි, ස්වාමීනි පුදුමයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් විසින් මේ කාරණය කොතරම් යහපත්ව කියන ලද්දේදයත්, ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන්ගේ මේ යහපත් කීමෙන් අපි සතුට ප්‍රකාශකරන්නෝ වෙමු. ස්වාමීනි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ යහපත් කීමෙන් අපි මෙසේ සතුට ප්‍රකාශකරන්නෝ වෙමු.

“ඉදින් වහන්ස, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ හට හස්ති රත්නයක් කැපවන්නේ නම්, අපි හස්ති රත්නය කුදු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ හට දෙන්නෙමු. ඉදින් ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේහට අශ්ව රත්නයක් කැපවන්නේනම්, අපි අශ්ව රත්නයකුදු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට දෙන්නෙමු. ඉදින් ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේහට ගම්වරක් කැප වන්නේ නම් අපි ගම්වරයකුදු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේහට දෙන්නෙමු.

“ස්වාමීනි, එසේ නමුදු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේහට මේ අකැපය කියා අපිම ඒ කාරණය දනිමු.

“ස්වාමීනි, දිගින් සොළොස් රියනක්ද, පළලින් අටරියනක්ද, වූ බාහිත රටෙහි උපන් මේ වස්ත්‍රය වෙදෙහි පුත් මගධරට අජාසත් රජ විසින් මට දෙන ලද්දකි.

“ඒ වස්ත්‍රය ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට පිළිගන්නා සේක්වායි” කීය. “මහරජ කම්නැත. මාගේ තුන්සිවුර සම්පූර්ණයයි” කීය.

“ස්වාමීනි, මේ අචිරවතී ගංගාව ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින්ද දක්නා ලද්දීය. යම් දවසක පර්වත මුදුනෙහි මහා වැස්ස මොනවට වසීද, එවිට මේ අචිරවතී නදිය දෙපස ඉවුරුමනාව උතුරවන්නී ගලා බසියි.

“ස්වාමීනි, එමෙන්ම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ බාහිත රටෙහි උපන් වස්ත්‍රයෙන් තමාට තුන් සිවුරක් කරන්නේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ යම් පලමු තුන් සිවුරක්වේද, එය සබ්‍රම්සරුන් අතර බෙදන්නෝය. එසේකල අපගේ මේ දානය උතුරා ගලායන්නේයයි සිතමි. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් බාහිත රටෙහිවූ වස්ත්‍රය පිළිගන්නා සේක්වායි” කීය.

ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බාහිතරට උපන් වස්ත්‍රය පිළිගත්හ. ඉක්බිති පසෙනදි කොසොල් රජ තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි ආනන්ද ස්ථවිරයෙනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ කටයුතු ඇති කටයුතු බහුලවූවෝ වෙමුයි” කීය. ‘මහරජ, ඔබ දැන් යමක් සිතයි නම් ඊට කාලයයි” (කීහ.)

ඉක්බිති පසෙනදි කොසොල් රජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ පැදකුණු කොට පිටත්ව ගියේය.

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පසෙනදි කොසොල් රජ පිටත්ව ගිය නොබෝ කල් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හිඳගත්හ. එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පසෙනදි කොසොල් රජු සමග යම් පමණ කථාවක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේහට දැන්වී. ඒ බාහිත රට වස්ත්‍රයද භාග්‍යවතුන් වහන්සේහට පිදීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකොට මහණෙනි, මේ පසෙනදි කොසොල් රජ විසින් ආනන්දයන්ගේ දැකීම ආනන්දයන්ගේ අගය පසෙනදි කොසොල් රජහට ලාභයෙක. පසෙනදි කොසොල් රජහට මහත් ලාභයෙකැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුවූහ.

බාහිතික සූත්‍රය නිමි (4-8)