මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

4. රාජ වර්ගය

89. ධම්මචෙතිය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි මෙකලුපනම් නියම් ගම වැඩ වෙසෙති. එකල්හි පසෙනදි කොසොල්රජ කිසියම් කටයුත්තක් සඳහා නගරක් නම් නියම් ගමට පැමිණියේ වෙයි. ඉක්බිති කොසොල් රජ දීඝකාරායණ නම් සේනාපතියාට කථාකළේය. “මිත්‍ර කාරායණ, යහපත් යහපත් යානාවන් පිළියෙල කරව්. උයන් සිරි දකිනු පිණිස උයනට යමුයි කීය.

“දෙවයන් වහන්ස, එසේයයි” දීඝකාරායණතෙම පසෙනදි කොසොල් රජහට උත්තරදී, යහපත් යහපත් යානාවන් පිළියෙලකොට පසෙනදි කොසොල් රජහට “දෙවයන් වහන්ස, යහපත් යහපත් යානා පිළියෙල කරන ලදහ. ඔබ වහන්සේ යමක් අදහස් කෙරේනම් දැන් ඊට කාලයයි දැන්වීය. එවිට පසෙනදි කොසොල් රජ යහපත් යානාවකට නැග යහපත් යහපත් යානාවන්ගෙන් යුක්තව මහත් රාජානුභාවයෙන් නගරයෙන් පිටත්ව (උයන) යම් තෙනෙක්හිද එහි ගියේය. යානාවෙන් යා හැකි තැන දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පයින්ම උයනට ඇතුල්විය.

උයනෙහි පයින්ම ඇවිද යන්නාවූ ගමන් කරන්නාවූ පසෙනදි කොසොල් රජ දැකීමට ප්‍රිය සිත සතුටු කරන නිශ්ශබ්දවූ ඝොෂා නැති ජනවාතයෙන් (මිනිසුන් කෙරෙන් නටන වාතයෙන්) පහව ගිය රහස්කුමන්ත්‍රණ වලට සුදුසු විවේකයට යොග්‍ය ගස්මුල් දිටීය. දැක භාග්‍යවතුන් වහන්සේ අරභයාම සිහි උපන. දැකීමට ප්‍රිය පැහැදීම ඇති කරණ නිශ්ශබ්දවූ ඝොෂා රහිත ජනවාතයෙන් පහවගිය රහස් කුමන්ත්‍රණවල සුදුසු විවේකයට සුදුසු මේ ගස්මුල් වෙති, මෙවැනි තන්හිදී අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරමුයි සිතී.

ඉක්බිති පසේනදී කොසොල් රජ දීඝකාරායණට කථා කෙළේය. “යහළු කාරායණය දැකීමට ප්‍රිය සිත් පහදවන ශබ්ද රහිත ඝොෂානැති මිනිස් වාතයෙන් පහවූ මිනිසුගේ රහස් කීමට සුදුසු විවේකයට යොග්‍යවූ ඒ මේ රුක්මුල් වෙති. මෙවැනි තන්හිදී අපි ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ ඇසුරු කරමුයි” (කීහ)

“යහලු කාරායණය, දැන් ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන් කොහි වැඩ වෙසෙත්දැයි” ඇසී, “මහරජ, මෙකලුප නම් ශාක්‍යයන්ගේ නියම් ගමෙක් වෙයි.

“ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැන් එහි වැඩ වෙසෙතියි, කීය. “යහලු කාරායණය, මෙකලුප නම් ශාක්‍යයන්ගේ නියම්ගම මෙහි සිට කෙතෙක් දුරෙහි දැයි” ඇසී. “මහරජ, දුරෙහි නොවෙයි. තුන්යොදුනකි. ඉතිරි දවල්කාලයෙන් පැමිණීමට හැකියයි” කීය. “යහළු කාරායණය, එසේනම් යහපත් යහපත් යානාවන් පිළියෙල කරව. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දකිණ පිණිස අපි යමුයිකීය.” “දෙවයන් වහන්ස, එසේයයි දීඝකාරායණ තෙම පසෙනදි කොසොල් රජුට උත්තරදී, යහපත් යහපත් යානාවන් පිළියෙල කොට පසෙනදී කොසොල්රජුට “දෙවයන් වහන්ස, ඔබට යහපත් යහපත් යානාවෝ පිළියෙල කරණලදහ. යමක් පිණිස අදහස් කෙරෙහිනම් දැන් කාලය සුදුසුය” කියා දැන්වී.

ඉක්බිති පසෙනදි කොසොල් රජ යහපත් යානාවකට නැග යහපත් යහපත් යානාවන් විසින් පිරිවරණ ලදුව නගරම නම් නියම් ගමින් පිටත්ව ගොස් ශාක්‍යයන්ගේ මෙකලුපනම් නියම් ගම් යම් තෙනකද, දවල් කාලයේම ඒ ශාක්‍යයන්ගේ මෙකලුපනම් නියම්ගමට පැමිණ ආරාමය යම් තෙනෙක්හිද, එහි ගොස් යානාවෙන් යාහැකි තැන්දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පයින්ම ආරාමයට පැමිණියේය.

එකල්හි බොහෝ භික්ෂූහු එළිමහනෙහි සක්මන් කෙරෙති. එවිට පසෙනදී කොසොල් රජ ඒ භික්ෂූහු යම් තෙනකද, එහි පැමිණ ඒ භික්ෂූන්ට “ස්වාමීනි, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දැන් කොහි වෙසෙත්ද, අපි ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දකිනු කැමැත්තෙමුයි” කීය.

“මහරජ, ඒ දොර වසා තිබෙන්නේ විහාරයයි. නිශ්ශබ්දව එහි පැමිණ සෙමින් ආලින්දයට (පිලට) ඇතුල්ව කාරා දොර අගුල සමීපයට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ ඔබට දොර අරිතියි” කීහ. ඉක්බිති පසෙනදි කොසොල් රජ කඩුවද, නලල් පටද, එහිදීම දීඝකාරායණහට දුන්නේය.

ඉක්බිති දීඝකාරායනහට මෙසේ සිත්විය. ‘මහරජතෙම දැන් ශ්‍රමණ ගෞතමයන් සමග රහස් කියයි. එහෙයින් දැන් මා විසින් මෙහිම සිටිය යුතු වෙයි, කියායි. ඉක්බිති පසෙනදි රජ වසනලද දොර ඇති ඒ විහාරය යම් තෙනකද, එහි නිශ්ශබ්දව ගොස් සෙමින් පිලට ඇතුල්ව කාරා අගුල සමීපයට තට්ටු කෙළේය. භාග්‍යවතුන් වහන්සේ දොර ඇරිසේක. එවිට පසෙනදි කොසොල් රජ විහාරයට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිස තබා මුඛයෙන් පා සිඹීමද කරයි. දෙඅතින් පිරිමැදීමද කරයි. ‘ස්වාමීනි, මම පසෙනදි කොසොල් රජ වෙමි.” කියා නමද කියයි.

“මහරජ, නුඹ කෙබඳුවූ අර්ථයක් දක්නේ නම් ශරීරයට මෙතරම් බලවත් ගෞරවයක් කෙරෙහිද, බුහුමන් කිරීමක් දක්වන්නෙහිදැයි” ඇසූහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය ස්වාක්ඛ්‍යාය (මනාකොට දෙශනා කරන ලද්දකි.) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙමේ සුප්‍රතිපන්නය (මනා කොට පිළිපදින ලද්දේය.) කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පවත්නා අනුබුද්ධියෙක් ඇත්තේ (කාරණයන්ට අනුව දැනීමක්) යයි” කීය.

“ස්වාමීනි, මම මෙහි ඇතැම් මහණ බමුණන් දකිමි. ඔවුහු දසවසක් හෝ විසිවසක් හෝ තිස්වසක් හෝ හතළිස් වසක් හෝ සීමාකොට බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙති. පසුකලෙක ඔවුහු මොනවට නෑවාහු, මොනවට සුවඳ විලවුන් ඇඟ ගැල්වූවාහු, අන්දම් තබා සැරසූ කෙස් රැවුල් ඇත්තෝව, පස්කම් ගුණ වලින් යුක්තව ඉඳුරන් පිනවන්නාහ. ස්වාමීනි, මම මේ ශාසනයෙහි දිවිතෙක් මරණය දක්වා සම්පූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන ශ්‍රාවකයන් දකියි. ස්වාමීනි, මම මේ ශාසනයෙන් පිට මෙසේ සම්පූර්ණවූද පිරිසිදු, අනික් බ්‍රහ්මචරියාවක් නොම දකිමි. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට දෙශිතය. සංඝ තෙමේ සුප්‍රතිපන්නිය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමක් වෙයි.

“ස්වාමීනි, නැවත අන් කරුණක් (කියමි) රජහුද රජුන් සමග කලහ කෙරෙති. ක්ෂත්‍රියෝද, ක්ෂත්‍රියන් සමග කලහ කෙරෙති. බමුණෝද, බමුණන් සමග කළහ කෙරෙති. ගෘහපතියෝද, ගෘහපතියන් සමග කලහ කෙරෙති. මව්ද පුතා සමග කලහ කෙරෙති. පුතාද මව් සමග කලහ කෙරෙයි. පියාද පුතු සමග කලහ කෙරෙයි. පුතාද, පියා සමග කලහ කෙරෙයි. සොහොයුරාද සොහොයුරා සමග කලහ කෙරෙයි. සොහොයුරාද සොහොයුරිය සමග කලහ කෙරෙයි. සොහොයුරීද සොහොයුරා සමග කලහ කෙරෙයි. මිත්‍රතෙමේද මිත්‍රයා සමග කලහකෙරෙයි. ස්වාමීනි, මම මේ සස්නෙහි භික්ෂූන් දකියි. සමගිව සතුටුව කලහ රහිතව කිරිත් වතුරත් මෙන් එක්වුවාහු ඔවුනොවුන් ප්‍රිය මුහුණින් බලන්නෝව වෙසෙති. ස්වාමීනි, මම මේ ශාසනයෙන් පිටත මෙලෙස සමගිවූ අන් පිරිසක් නොම දකිමි. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දෙශිතය, සංඝතෙමේ සුප්‍රතිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානු කූල වශයෙන් දැනීමක්වේ.

“ස්වාමීනි, නැවතද අනිකක් කියමි. මම ආරාමයෙන් ආරාමයට උයනෙන් උයනට පිළිවෙළින් යෙමි. ගමන් කරන්නෙමි. එහිදී මම වැහැරුණ රළුවූ ඉතා අවලක්ෂණ හටගත් පඬු පැහැති නහර ඉල්පුන ශරීර ඇති, දැකීමට මිනිසුන්ගේ ඇස් බැඳ නොගන්නාක් වැනිවූ සමහර මහණ බමුණන් දකිමි.

“ස්වාමීනි, එසේ දක්නා මට ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු ඇලීමක් නැතිව හෝ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙති. ඔවුන් විසින් රහසිගතව කරණලද කිසි පාප කර්මයක් හෝ ඇත. එහෙයින් මේ ආයුෂ්මත්හු වැහැරුණාවූ රළු වූවාහු අවලක්ෂණ වෙති. හටගත් පඬු පැහැ ඇති නහර ඉල්පුනා ශරීර ඇත්තෝව දැකීමට මිනිසුන්ගේ ඇස් නොබැඳ ගන්නාක් වැනි වෙති. මම ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. කිමෙක්ද? ආයුෂ්මත්නි, නුඹ වහන්සේලා කාශවූවාහු රළුශරීර ඇත්තාහු, අවලක්ෂණ වූවාහු හටගත් පඬුපැහැ ඇති නහර ඉල්පුන ශරීර ඇතිව දැකීමට මිනිසුන්ගේ ඇස් නොබැඳ ගත්තාක් වැනි වත්ද? කියායි” “මහරජ, අපහට කුලරෝගයක් (පරම්පරාගත රෝගයක්) ඇත්තේයයි කීහ”. “ස්වාමීනි, මම මේ ශාසනයෙහි ශ්‍රාවකයෝ සතුටුව ඔද වැඩි වැඩී සිත් ඇතිව, මනාව ඇලුන ස්වභාව ඇති, පිනාගිය ඉඳුරන් ඇතිව, කටයුතු බහුල නැතිව, අහංකාර නැතිව, අනුන්දෙන දෙයින් යැපෙමින් මුවන්ට සමාන සිත් ඇතිව වාසය කරති.

“ස්වාමීනි, මට මේ කරුණෙහි මෙබඳු සිතක් වෙයි. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පළමුවද, පසුවද දතයුතුවූ විශෙෂයන් දනිත්. එහෙයින් මේ ආයුෂ්මත්හු සතුටුව ඔද වැඩි සිත් ඇතිව, මානව ඇලුන ස්වභාව ඇතිව, පිනාගිය ඉඳුරන් ඇතිව, වැඩ කටයුතු නැතිව, අහංකාර නොව අනුන් අයත් පැවතුම් ඇතිව, මුවන්ට බඳු සිතින් යුක්තව වෙසෙතිය කියාය.

“ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරණ ලද්දේ සංඝතෙමේ සුප්‍රතිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානු කූල දැකීමක් වෙයි.

“ස්වාමීනි, නැවත අනිකක්ද කියමි. ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජෙක්වූ මම මේ නැසිය යුත්තෙක. නැසීමට හෝ නිලධරාදියෙන් පහකළ යුත්තෙකු පහකිරීම හෝ රටින් නෙරපිය යුත්තෙකු නෙරපීමට හෝ හැකිවෙමි.

“ස්වාමීනි, විනිශ්චයාසනයෙහි හුන්නාවූ ඒ මටද අතරතුර කතා හෙලති, හෙවත් අතරෙන් කතා කරත. පින්වත්හු විනිශ්චයෙහි හුන් මට අතරතුර කතා නොකරව්. ‘පින්වත්හු කතාවේ අවසානය බලාපොරොත්තු වව’ කියාද ඔවුන් නැවැත්වීමට නොහැකි වෙමි. ස්වාමීනි, ඒ මට අතරින් අතර කතා කෙරෙති.

“ස්වාමීනි. මම මේ සාසනයෙහි භික්ෂූන් දකිමි. යම්කලෙක භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සියගණන් පිරිසෙහි දහම් දෙසත්ද, එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් කිඹිසින ශබ්දයක් හෝ කාරන ශබ්දයක් හෝ නොවෙයි. ස්වාමීනි, පෙර දවසක වූ දෙයක් නම් භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සියගණන් පිරිස් මැද දහම් දෙසූහ. එහිදී භාග්‍යවතුන් වහන්සේගේ එක්තරා ශ්‍රාවකයෙක් කෑරීය. ඔහුට අන් භික්ෂුවක් ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්ද වේවා. ආයුෂ්මත් තෙමේ ශබ්ද නොකෙරේවා. භාග්‍යවත් ශාස්තෘන් වහන්සේ අපහට ධර්මය දෙශනා කරන්නාහුයයි, දනෙක් ගැටීය.

“ස්වාමීනි, එහිදී මට මේ සිතවිය. ‘පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්ය පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමය පින්වත්නි, ඒකාන්තයෙන් දණ්ඩෙන් ආයුධයෙන් තොරව මෙතරම් හික්මුණු පිරිසක් වන්නේය, කියාය. ස්වාමීනි, මේ ශාසනයෙන් පිට මෙසේ හික්මුණු අන් පිරිසක් නොම දකිමි.

“භාග්‍යවතුන් වහන්ස, මේද භාග්‍යවත් තෙමේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දෙශිතය, සංඝතෙමේ සුප්‍රතිපන්නය, කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල දැනීමක් වෙයි.

“ස්වාමීනි, නැවත අනිකක්ද කියමි.මෙහි සියුම් නුවණ ඇති පුරුදු කළ අන්‍යවාද ඇති අස්ලොම් විදින්නාක් වැනි ස්වභාව ඇති තමන්ගේ නුවණින් අන්‍ය දෘෂ්ටීන් බිඳින්නෝ යයි සිතා සිටින ඇතැම් ක්ෂත්‍රිය පණ්ඩිතයෝ සිටිත්. ඔවුහු ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙන්නේයයි අසත්. ඔවුහු අපි ශ්‍රමණ ගෞතමයන් කරා පැමිණ මේ ප්‍රශ්නය අසමු. මෙසේ අසනලද ශ්‍රමණ ගෞතම

තෙමේ මෙසේ විසඳන්නේය. මෙසේද අපි ඔහුට වාදය නගන්නෙමියි. ප්‍රශ්න පිළියෙල කරත්. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණියේයයි ඔවුහු අසත්. ඔව්හු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යත්. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ධර්ම කථාවෙන් අවබොධ කරවත්. සමාදන් කරවයි. සිත් තියුණු කරවත්. පහදවත්. ධර්ම කථාවෙන් කරුණු දක්වනලද සමාදන් කරවනලද සිත් තියුණු කරනලද පහදවනලද ඔව්හු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න නො අසත්. වාද නැගීමක් කෙසේ කරත්ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙත්. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, ධර්මය මනාව දෙශනා කරන ලදී. සංඝයා මනාව පිළිපදිනලදැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පවත්නා කාරණානුකූල දැනීමක් වෙයි.

“ස්වාමීනි, නැවතද අනිකක් කියමි. මෙහි සියුම් නුවණ ඇති පුරුදු කරනලද අන්‍යවාද ඇති තමන්ගේ නුවණින් වැරදි ලබ්ධීන් බිඳින්නේ යයි සිතා සිටින ඇතැම් බ්‍රාහ්මණ පණ්ඩිතයන්ද දකිමි. පින්වත් ශ්‍රමණ ගෞතමයෝ අසුවල් නම් ගමට හෝ නියම් ගමට හෝ පැමිණියෝයයි ඔවුහු අසති. ඔවුහු ප්‍රශ්න සකස් කෙරෙති. අපි ශ්‍රමණගෞතමයන් වෙත පැමිණ මේ ප්‍රශ්නය අසමු. අප විසින් මෙසේ විචාරණලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හි අපි ඔහුට මෙසේ වාදය ආරොපනය කරමු. අප විසින් මෙසේද විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හිත් අපි ඔහුට වාදාරොපනය කරමු” (කියායි)

“පින්වත් ශ්‍රමණ ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණියෝයයි ඔවුහු අසති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්මකථාවෙන් කරුණු දක්වති, කරුණු ගන්වති, උනන්දු කරවති, සිත පහදවති. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්දු කරවන ලද, සිත පහදවන ලද, ඔවුහු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නද නොම අසති. කොයින් වාදාරොපනය කරත්ද, හුදෙක් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ වෙතින් අවසර ඉල්ලති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරවති. ඔවුහු එසේ පැවිදිවූවෝම තනිව වෙන්ව අප්‍රමාදව කෙලෙස් නසන වීර්ය ඇතිව අත්හරින ලද ආත්ම ආශාව ඇතිව වාසය කරන්නාහු නොබෝ දවසකින්ම, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි මනාකොට පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව අවසන්කොට ඇති ඒ උත්තම අර්හත් ඵලය මේ අත්බැව්හිම තෙමේ විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වෙසෙති.

“ඔවුහු මෙසේ කීහ. ‘පින්වත්නි, ඒකාන්තයෙන් අපි නැසුනෝ වෙමු. පින්වත්නි, අපි ඒකාන්තයෙන් වැනසුනෝ වෙමු. පෙර අපි වනාහි අශ්‍රමණ වූවෝම ශ්‍රමණ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. අබ්‍රාහ්මණ වූවෝම බ්‍රාහ්මණ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. රහත් නුවූවෝම රහත් වෙමුයි ප්‍රකාශ කෙළෙමු. දැන් වනාහි ශ්‍රමණ වෙමු, බ්‍රාහ්මණ වෙමු, රහතන් වෙමු, (කියායි). ස්වාමීනි මේද භාග්‍යවත් තෙම සම්‍යක්සම්බුද්ධය. භාග්‍යවතුන් විසින් ධර්මය මනාව දෙශනා කරන ලදී. සංඝ තෙමේ සුප්‍රතිපන්නයයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල දැනීමක් වෙයි.

“ස්වාමීනි, නැවතද අනිකක් කියමි. මෙහි සියුම් නුවණ ඇති පුරුදු කරණ ලද අන්‍ය වාද ඇති, තමන්ගේ නුවණින් වැරදි ලබ්ධින් බිඳින්නෝයයි සිතා සිටින ඇතැම් ගෘහපති පණ්ඩිතයන්ද දකිමි. පින්වත් ශ්‍රමණ ගෞතමයෝ අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙන්නෝයයි ඔවුහු අසති. ඔවුහු ප්‍රශ්න සකස් කරති. අපි ශ්‍රමණ ගෞතමයන් වෙත පැමිණ මේ ප්‍රශ්නය අසමු. අපි විසින් මෙසේ විචාරන ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හි අපි ඔහුට මෙසේ වාදය නගමු. අප විසින් මෙසේද අසන ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හිත් අපි ඔහුට වාදය නගමු? (කියායි).

“පින්වත් ශ්‍රමණ ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියේයයි ඔවුහු අසති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ධර්ම කථාවෙන් කරුණු දක්වති. කරුණු ගන්වති. උනන්දු කරවති, සිත පහදවති, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද උනන්දු කරවන ලද සිත පහදවන ලද ඔවුහු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නද නොම අසති. කොයින් වාද නගත්ද? හුදෙක් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙතින් අවසර ඉල්ලති. ඔවුහු එසේ පැවිදිවූවෝම තනිව අප්‍රමාදව කෙලෙස් නසන වීර්ය ඇතිව ආත්ම ආශාව දුරුකොට වාසය කරන්නාහු නොබෝ දවසකින්ම යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි මනාකොට පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව අවසන්කොට ඇති ඒ උත්තම අර්හත්ඵලය මේ අත්බැව්හිම තෙමේ විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වෙසෙති.

“ඔවුහු මෙසේ කීහ, “පින්වත්නි. එකාන්තයෙන් අපි නැසුනෝ වෙමු. පින්වත්නි, අපි ඒකාන්තයෙන් වැනසුනෝ වෙමු. පෙර අපි වනාහි අශ්‍රමණ වූවෝම ශ්‍රමණ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. අබ්‍රහ්මණ වූවෝම බ්‍රාහ්මණ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. රහත් නුවූවෝම රහත් වෙමුයි ප්‍රකාශ කෙළෙමු. දැන් වනාහි ශ්‍රමණ වෙමු. බ්‍රාහ්මණ වෙමු, රහත් වෙමු. (කියායි) ස්වාමීනි, මේද භාග්‍යවත්තෙම සම්‍යක්සම්බුද්ධය, භාග්‍යවතුන් විසින් ධර්මය මනාව දෙශිතය සංඝතෙම සුප්‍රතිපන්නයයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල දැනීමක් වෙයි.

“ස්වාමීනි, නැවතද අනිකක් කියමි. මෙහි සියුම්වූ නුවණ ඇති, පුරුදුකළ අන්‍ය වාද ඇති, තමන්ගේ නුවණින් වැරදි ලබ්ධීන් බිඳින්නෝයයි සිතා සිටින ඇතැම් ශ්‍රමණ පණ්ඩිතයන්ද දකිමි.

“පින්වත් ශ්‍රමණ ගෞතම තෙමේ අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණේය කියා ඔව්හු අසති. ඔව්හු අපි ශ්‍රමණ ගෞතමයන් වෙත පැමිණ මේ ප්‍රශ්නය අසමු. අප විසින් මෙසේ විචාරණ ලද්දේ නම් මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හි අපි ඔහුට මෙසේ වාදය නගමු. අප විසින් මෙසේද විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හිත් අපි ඔහුට වාදාරෝපණය කරන්නෙමුයි ප්‍රශ්න පිළියෙල කරති.

“පින්වත් ශ්‍රමණ ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නිගමයට පැමිණියේද, කියා ඔව්හු අසති. ඔව්හු භාග්‍යවතුන් වහන්සේ යම්තෙනෙක්හිද, එහි පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්ම කතාවෙන් කරුණු දක්වයි, කරුණු ගන්වයි, සිත් තියුණු කරවයි, පහදවයි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද සිත් තියුණු කරණ ලද, සිත පහදවන ලද, ඔව්හු භාග්‍යවතුන් වහන්සේ අතින් ප්‍රශ්න නොම අසති. කොයින් වාදරෝපණය කෙරෙත්ද? හුදෙක් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ අතින්ම අවසර ඉල්ලති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරවත්. ඔව්හු එසේ පැවිදිවූවෝම ගණාවාසයෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් නසන වීර්ය ඇතිව ආත්මපරිත්‍යාගයෙන් වාසය කරන්නාහු නොබෝ දවසකින්ම යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි මනාකොට පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව අවසන්කොට ඇති ඒ උත්තම අර්හත්ඵලය මේ අත්බැව්හිම තෙමේ විශෙෂ ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වෙසෙති.

“ඔව්හු මෙසේ කියන්නාහුය. ‘පින්වත්නි, ඒකාන්තයෙන් අපි නැසුනෝ වෙමු. පින්වත්නි, ඒකාන්තයෙන් අපි වැනසුනෝ වෙමු.

“පෙර අපි වනාහි අශ්‍රමණ වූවෝම ශ්‍රමණයෝ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. අබ්‍රාහ්මණ වූවෝම බ්‍රාහ්මණයෝ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. රහත් නොවූවෝම රහතන් වෙමුයි ප්‍රකාශ කෙළෙමු. දැන් වනාහි ශ්‍රමණ වෙමු. බ්‍රාහ්මණ වෙමු. රහතුන් වෙමුය, කියායි.

“ස්වාමීනි, මේද භාග්‍යවත් තෙම සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් විසින් ධර්මය මනාව වදාරනලදී. සංඝ තෙමේ සුප්‍රතිපත්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල දැනීමක් විය.

“ස්වාමීනි, අන් කරුණක්ද කියමි. මේ ඉසිදත්තය පුරාණය යන දෙදෙන මාගේ බතින් යැපෙන මාගේ යානාවෙන් ගමන් කරන්නෝ වෙති. ඔවුන්ගේ ජීවිකාවෘත්තිය දුන්නේද, යසසට පැමිණවූයේද, මම (වෙමි.) එනමුදු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම්බඳු ගෞරව ආදර භක්තියෙක් වේද මා කෙරෙහි එබඳු ගෞරව ආදර භක්තියෙක් නැත.

“ස්වාමීනි, මම පෙර දවසක් සෙනා සන්නද්ධ වූයේම මේ ඉසිදත්තය, පුරාණය - යන මොවුන් විමසමින් එක්තරා කුඩා ගෙයක විසීමට පැමිණියෙමි. ස්වාමීනි, ඉක්බිති මේ ඉසිදත්ත පුරාණය දෙදෙනා රාත්‍රි බොහෝ වේලාවක් දහම් කතාවෙන් කල්ගෙවා යම් දිශාවෙක භාග්‍යවතුන් වහන්සේ වී නම්’ ඒ දිශාවෙහි හිසකොට මා දෙසට පා දමා නිදාගත්හ. ස්වාමීනි, ඒ කාරණය පිළිබදව මට මේ අදහස විය. ‘පින්වත්නි, ආශ්චර්යයි. පුදුමයි.”

“මේ ඉසිදත්ත පුරාණ යන දෙදෙන මාගේ බතින් යැපෙන මාගේ යානාවෙන් ගමන් කරන්නෝය. ඔවුන්ගේ ජීවිකා වෘත්තිය දුන්නේද, යසසට පැමිණවූයේද, මම (වෙමි.) එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙන් ගෞරව ආදර භක්තියෙක් මා කෙරෙහි නැත. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පෙරවිසූ විශෙෂය දනිතියි (කියාය.)

“ස්වාමීනි, නැවතද අනිකක් (කියමි) භාග්‍යවතුන් වහන්සේද ක්ෂත්‍රිය වෙති. මමද ක්ෂත්‍රිය වෙමි. භාග්‍යවතුන් වහන්සේද කොසොල් රට උපන්නෙකි. මමද කොසොල් රට උපන්නෙක් වෙමි. භාග්‍යවතුන් වහන්සේ අසූවයස් ඇත්තේ වෙත්. මමද අසූවයස් ඇත්තේවෙමි. ස්වාමීනි යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේත් ක්ෂත්‍රිය වෙත්ද, මමත් ක්ෂත්‍රිය වෙම්ද, භාග්‍යවතුන් වහන්සේත් කොසොල් රට උපනෙක් වෙත්ද, මමත් කොසොල් රට උපන්නෙක් වෙම්ද, භාග්‍යවතුන් වහන්සේත් අසූවස් ඇත්තේ වෙත්ද මමත් අසූවයස් ඇත්තේ වෙම්ද- ස්වාමීනි මේ කරුණෙන්ද මම භාග්‍යවතුන් වහන්සේට උසස්ම ගෞරවය කිරීමට සිතින් බුහුමන් දක්වන්ට සුදුසු වෙමි.

“ස්වාමීනි, එසේනම් දැන් අපි යමු. අපි කටයුතුවූ බොහෝ ඇත්තෙමු. කෘත්‍ය බහුල කොට ඇත්තෝ වෙමුයි කීය. මහරජ, ඔබ දැන් යමකට කැමති වෙහිනම්, ඊට කාලයවෙයි” වදාළහ.

ඉක්බිති පසෙනදී කොසොල් රජ ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේය.

ඉක්බිති පසේනදී කොසොල් රජ ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ.

“මහණෙනි, මේ පසෙනදි කොසොල් රජ ධර්මයට බොහෝ ගෞරව වචන කියා ආසනයෙන් නැගිට ගියේය. මහණෙනි ධර්මගරුක වචනයන් උගනිව්. මහණෙනි, ධර්මගරුක වචනයන් පුරුදු කරව්. මහණෙනි, ධර්මගරුක වචනයන් සිත්හිලා දරව් මහණෙනි, පූර්වභාග ප්‍රතිපත්තියවූ ධර්මගරුක වචන අර්ථයෙන් යුක්ත වෙති.”

භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ. සතුටුසිත් ඇති භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුවූහ.

ධම්මචෙතිය සූත්‍රය නිමි. (4-9)