මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

4. රාජ වර්ගය

90. කණ්ණකත්ථල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුකා නගරාසන්නයෙහිවූ මිගදාය නම්වූ කණ්ණකත්ථලයෙහි වැඩ වෙසෙති.

එකල්හි පසෙනදි කොසොල් රජ කිසියම් කටයුත්තක් පිණිස උජුකා නගරයට පැමිණියේ වෙයි. එහිදී පසෙනදි කොසොල්රජ එක්තරා පුරුෂයෙක් කැඳවා, “එම්බා පුරුෂය, මෙහි එව, නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි යව. ගොස් මාගේවචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මුදුනෙන් වඳුව. ආබාධ රහිත බව, නිරෝග බව, සැහැල්ලුකම කායබලය, සැපවිහරණය අසව ‘ස්වාමීනි, පසෙනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වඳියි. ආබාධ රහිත බව, නිරෝග බව, සැහැල්ලුකම, කායබලය, සැප විහරණය විචාරයි’ කියාය. මෙසේද කියව.

ස්වාමීනි, අද පසෙනදි කොසොල්රජ දවල් ආහාර අනුභව කොට සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකින පිණිස පැමිණෙන්නේය. (කියාය.) “දෙවයන් වහන්ස, එසේය” කියා ඒ පුරුෂතෙම පසෙනදි කොසොල් රජහට උත්තර දී, භාග්‍යවතුන් වහන්සේ යම්තෙනකද, එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ පුරුෂතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, පසෙනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වඳියි. ආබාධ රහිත බව, නිරෝග බව, කය පිළිබඳ සැහැල්ලුකම, කායශක්තිය, සැපවිහරණය විචාරයි. මෙසේද කියයි. “ස්වාමීනි, අද පසෙනදි කොසොල්රජ දවල් ආහාර ගෙන සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණෙන්නේය” කියාය.

සොමා, සකුලා යන සොහොයුරියෝ දෙදෙන ‘අද පසෙනදි කොසොල්රජ දහවල් ආහාරගෙන සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණෙන්නේය’ කියා ඇසුවාහුය. එකල්හි සොමා සකුලා යන සොහොයුරියෝ දෙදෙන බත් එලවන තෙනෙහි (හුන්) පසෙනදි කොසොල් රජු වෙත පැමිණ මෙසේ කීහු. “එසේ නම් මහරජ, අපගේ වචනයෙන්ද, භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වැන්ද මැනව. ආබාධ නැති බව, නිරෝග බව, කාය සැහැල්ලුව, කාය බලය, සැපවිහරණය, විචාළ මැනව. ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නිරෝග බව, කයේ සැහැල්ලු බව, කාය බලය, සැපවිහරණය විචාරත්ය කියාය.”

ඉක්බිති පසෙනදි කොසොල්රජ අනුභව කළ දවල් බත ඇත්තේ සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ යම්තෙනකද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වැඳ, එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හුන් පසෙනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නිරෝග බව, කයේ සැහැල්ලු බව, කාය බලය, සැපවිහරණය අසත්යි” කීය. “කිමෙක්ද? මහරජ, සොමා, සකුලා යන සොහොයුරියෝ අනික් දූතයෙකු නොලැබුවාහුදැයි” වදාළහ.

“ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ අද පසෙනදි කොසොල්රජ අනුභව කළ දවල්බත ඇත්තේ, සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස යන්නේද, කියා ඇසුවාහුය. ඉක්බිති ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ බත් එලවන තෙනෙහිදී මා කරා පැමිණ මෙසේ කීවාහුය. ‘එසේ නම් මහරජ, අපගේ වචනයෙන්ද භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිනු මැනවි. ආබාධ රහිත බව, නිරෝග බව, කයේ සැහැල්ලු බව, කාය බලය, සැපවිහරණය විචාළ මැනව. ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නිරෝග බව, කයේ සැහැල්ලු බව, කායබලය, සැපවිහරණය අසතියි’ කියාය. “මහරජ, සොමා, සකුලා යන සොහොයුරියෝ සුව ඇත්තියෝ වෙත්වායි” වදාළහ.

ඉක්බිති පසෙනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, ‘යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය, සියල්ල දක්නේයයි ඉතිරි නොවූ සියල්ල නුවණින් දැකීම ප්‍රතිඥා කරන්නේද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට හේතු නැතැයි ශ්‍රමණ ගෞතමතෙම මෙසේ කියන්නේය, කියා මා විසින් අසනලදී.

“ස්වාමීනි, ‘යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය, සියල්ල දක්නේයයි ඉතිරි නොකොට සියල්ල නුවණින් දැකීම ප්‍රතිඥා කරන්නේද? එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට හෙතු නැතැයි ශ්‍රමණ ගෞත තෙම කියන්නේයයි යම් ඒ කෙනෙක් කීවාහුද, ස්වාමීනි, ඔව්හු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නාහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චොදනා නොකරන්නාහුද? කරුණු අනුවම කියන්නාහුද, කරුණු සහිතවූ කිසියම් වාදයක් නින්දාවට සුදුසු බවට නොපැමිණේද?

“මහරජ, යම් ඒ කෙනෙක් මෙසේකීහුද, ශ්‍රමණ ගෞතම තෙම මෙසේ කියන්නේය. යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය. සියල්ල දක්නේයයි ඉතිරි නොකොට සියල්ල නුවණින් දැකීම ප්‍රතිඥා කරන්නේද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට හෙතු නැත යනුවෙනි. එසේ කියන්නාවූ ඔව්හු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙති. ඔව්හු අසත්‍යයෙන් මට චොදනා කරන්නාහුයයි” වදාළහ.

එවිට පසෙනදි කොසොල්රජ විඩුඩභ සෙනාපතියාට කථාකොට “කවරෙක් අද රජුගේ අන්තඃපුරයෙහිදී මේ කථාව කීවේදැයි” ඇසී. “මහරජ, ආකාශ ගොත්‍රයෙහිවූ සඤ්ජය නම් බ්‍රාහ්මණයායයි” කීය.

ඉක්බිති පසෙනදි කොසොල්රජ එක්තරා පුරුෂයෙක් කැඳවී. “එම්බා පුරුෂය, මෙහි එව, නුඹ මාගේ වචනයෙන් ආකාශ ගොත්‍රයෙහි සඤ්ජය බ්‍රාහ්මණයා කැඳවව. ‘පින්වත, පසෙනදි කොසොල් රජ ඔබ කැඳවයි” කියාය. “දෙවයන් වහන්ස, එසේය” කියා ඒ පුරුෂයා පසෙනදි කොසොල් රජහට උත්තර දී ආකාශ ගොත්‍රයෙහිවූ සඤ්ජය බ්‍රාහ්මණයා යම් තෙනකද, එහි පැමිණ ආකාශ ගොත්‍ර ඇති සඤ්ජය බ්‍රාහ්මණයාහට මෙසේ කීය. ‘පින්වත, පසෙනදි කොසොල් රජ ඔබ කැඳවයි’ කියාය.

ඉක්බිති පසෙනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අන් කිසිවක් සඳහාම කියන ලද වචනයක් ඇත්තේද එයද මිනිස්සු වෙනස්ව වරදවා ගන්නාහුයයි” කීය. “මහරජ, එසේ කියන ලද වචනයක් දනිමියි” කීහ. “ස්වාමීනි, (ඒ) කියන ලද වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් කෙසේ කියන ලද්දක් දැයි” ඇසී “මහරජ, (ඒ) කියන ලද වචනය මෙසේය. ‘යමෙක් එකවරම සියල්ල දැනගණීද, දැකගණීද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට කරුණු නැත යනුයි. යමෙක් එකවරම සියල්ල දන්නේද, දක්නේද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට කරුණු නැතැයි” (කියාය)”. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හේතුසහගත වූවක්ම වදාළේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම වදාළේය.

“ස්වාමීනි, ක්ෂත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය, ශුද්‍රයෝය, කියා ජාති සතරක් වෙති. ස්වාමීනි, මේ සතර ජාතීන්ගේ වෙනසක් වන්නේද, වෙනස් බවට කරුණක් වන්නේද කියා” ඇසී.

“මහරජ, ක්ෂත්‍රියය, බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය කියා මේ ජාති සතරක් වෙති. මහරජ, මේ සතර ජාතිය ක්ෂත්‍රියය, බ්‍රාහ්මණය යන දෙජාතිය වැඳීම, හුනස්නෙන් නැගිටීම, දොහොත් මුදුන්දීම, ගරුකිරීම යන මොවුන් පිළිබඳ උතුම්යයි කියන්නේය.’

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ආත්මය පිළිබඳ වූවක් නොඅසමි. ස්වාමීනි, පරලොව පිළිබද වූවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මම අසමි. ස්වාමීනි, ක්ෂත්‍රියය බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය කියා මේ ජාති සතරෙක් වෙති. ස්වාමීනි, මේ ජාති සතර පිළිබඳව විශෙෂයක් වෙනස් බවක් ඇත්තේදැයි” (ඇසී).

“මහරජ, වීර්ය කිරීම පිළිබඳව මේ අංග පසක් වෙති. කවර පසක්ද යත්. මහරජ, මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධා ඇත්තේ වෙයි.

“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු නිසා අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විජ්ජාචරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, අනුත්තරයහ, පුරුෂදම්‍යසාරථිහ, දිව්‍යමනුෂ්‍යයන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ කියා තථාගතයන් වහන්සේගේ බොධිය (බුද්ධඥානය) අදහන්නේය.

“අඩු වැඩි නොවූ වීර්යයට යොග්‍ය මධ්‍යම සමව ආහාර පැසවන ගින්නෙන් යුක්තව ආබාධ රහිතවූ නිරොගවූයෙක් වෙයි. කපටි නොවූ මායා විරහිත ශාස්තෘන් වහන්සේටද, නැණවත් භික්ෂූන්ටද ඇති සැටියෙන් තමා හෙලිකරන්නෙක් වෙයි.

“අකුසල් පහකිරීම පිණිසද, කුසල් වැඩීම පිණිසද, උත්සාහවත්ම දැඩි වීර්ය ඇතිව කුශලධර්මයන්හි බිම නොතැබූ බර ඇත්තේ ආර්ය භාවය පිණිසවූ නිර්වෙදය පිණිසවූ මනාව දුක නැතිකිරීමට පමුණුවන්නාවූ,

“විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවත් කෙනෙක් වෙයි. මහරජ, මේ වීර්ය පිණිස වූ අංග පස වෙති. මහරජ, ක්ෂත්‍රිය බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍රයයි ජාති හතරකි, ජාති සතරෙහි වූවෝද වීර්යය පිණිස පවත්නා මේ අංගපසින් යුක්ත වූවාහු වෙත්නම් ඒ කාරණය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වන්නේයයි” වදාළහ.

“ස්වාමීනි, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණය වෛශ්‍යය, ශුද්‍රය, යන සතර ජාතියට අයත් වූවෝ වීර්ය පිණිසවූ මේ අංග පසින් යුක්ත වූවාහුද, ස්වාමීනි, මේ කරුණෙහිදී ඔවුන්ගේ වෙනසෙක් ඇත්තේ දැයි” (ඇසී). “මහරජ, මෙහිදී ඔවුන්ගේ වීර්යය පිළිබඳ වෙනස කියමි.

“මහරජ, යම්සේ මොනවට දැමුණු මොනවට හික්මුණු නාඹු ඇතුන් දෙදෙනෙක් හෝ අසුන් දෙදෙනෙක් හෝ නාඹු ගවයන් දෙදෙනෙක් හෝ වෙත්ද, නොදැමුණු නොහික්මුණු නාඹු ඇතුන් දෙදෙනෙක් හෝ නාඹු අසුන් දෙදෙනෙක් හෝ නාඹු ගවයන් දෙදෙනෙක් හෝ වෙත්ද, මහරජ, ඒ කිමැයි සිතන්නෙහිද? ඔවුන් අතුරෙන් යහපත්වූ දැමුණු යහපත්ව හික්මුණු ඒ නාඹු ඇතුන් දෙදෙනම හෝ නාඹු අසුන් දෙදෙනම හෝ නාඹු ගවයන් දෙදෙනම හෝ දැමුණවුන් බවට දැමුණවුන් තැනට කිම පැමිණෙන්නාහුද?”

“එසේය ස්වාමීනි”,

“යම් ඒ දමනය නොවූ නොහික්මුණු නාඹු ඇතුන් දෙදෙනෙක් හෝ නාඹු අසුන් දෙදෙනෙක් හෝ නාඹු ගවයන් දෙදෙනෙක් හෝ වෙත්ද, ඔවුහු හොඳින් දමනය වූ හොඳින් හික්මුණු නාඹු ඇතුන් දෙදෙනා හෝ නාඹු අසුන් දෙදෙනා හෝ නාඹු ගවයන් දෙදෙනා හෝ මෙන් දැමුනවුන් බවට හික්මුන වුන්ගේ තැනට පත්වන්නාහුද?” “ස්වාමීනි, එයනොවන්නේය.”

“මහරජ, එපරිද්දෙන්ම, යම් තැනකට ශ්‍රද්ධා ඇත්තහු විසින් නිරොගි වූවාවූ විසින් කපටි නොවූවකු විසින් මායා නැත්තෙකු විසින් පටන්ගත් වීර්ය ඇත්තෙකු විසින් නුවණ ඇත්තෙකු විසින් පැමිණිය යුතුද, එයට අශ්‍රද්ධාවත් රෝගීවූ කපටිවූ මායාකාරවූ කම්මැලිවූ අඥාන පුද්ගලයා පැමිණෙන්නේය. යන මේ කාරණ නොසිදුවන්නේය.”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍යය, ශුද්‍රයයයි මේ ජාතිසතරට අයත්වූවෝ වීර්යය පිණිස පවත්නා මේ අංග පසෙන් යුක්තවූවාහු වෙත්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වූවාවූ වෙත්ද, ස්වාමීනි, මෙහි ඔවුන්ගේ වෙනසක් වන්නේද?” “මහරජ, නිවණට පැමිණියාවූ ඔවුන්ගේ මෙහි කිසි වෙනසක් ඇතැයි මම නොකියමි. මහරජ, යම්සේ පුරුෂයෙක් වියලුන සාක ලීයක් ගෙන ගිනි උපදවන්නේය. ගිනි පහල කරන්නේය. නැවත අන් පුරුෂයෙක් වියලුන සල් ලීයක් ගෙන ගිනි උපදවන්නේය. ගිනි පහල කරන්නේය. නැවත අන් පුරුෂයෙක් වියලුන අඹලීයක් ගෙන ගිනි උපදවන්නේද, ගිනි පහල කරන්නේය. නැවත අන් පුරුෂයෙක් වියලුන ඉඹුල් ලීයක් ගෙන ගිනි උපද වන්නේය. ගිනි පහල කරන්නේය. මහරජ, ඒ කුමකැයි හඟින්නේද? වෙන වෙන ලී වලින් උපදවන ලද ඒ ගිනි, ගින්නෙන් ගින්න හෝ වර්ණයෙන් වර්ණය හෝ ආලොකයෙන් ආලොකය හෝ කිම කිසියම් වෙනසක් වන්නේද?” “නැත ස්වාමීනි,” ‘මහරජ යම් ඒ පසුව උපන් ගින්නද උත්සාහයෙන් පැතිරේද එපරිද්දෙන්ම යම් මේ නිවණට පැමිණියාහු වෙත්ද (ඔවුන්ගේ) වෙනසක් ඇතැයි මම නොකියමි.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිතවූවක්ම කියන්නාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, කිමෙක්ද දෙවියෝ ඇත්තාහුද?” “මහරජ, තොප කුමක් හෙයින් ‘ස්වාමීනි, කිමෙක්ද දෙවියෝ ඇත්තාහුදැයි, කියන්නෙහිද?” “ස්වාමීනි, දෙවියෝ මෙලොවට පැමිණෙන්නාහු හෝ වෙත්ද, නොපැමිණෙන්නාහු හෝ වෙත්ද?”

“මහරජ, ව්‍යාපාද (ද්වෙෂය) සහිතවූ යම් ඒ දෙවිකෙනෙක් වෙද්ද, ඔවුහු මේ ලොකයට පැමිණෙති, ව්‍යාපාද රහිතවූ යම් ඒ දෙවිකෙනෙක් වෙත්ද, ඔවුහු මේ ලොකයට නොපැමිණෙති”.

මෙසේ වදාළ කල්හි විඩුඩභ නම් සේනාපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, ව්‍යාපාද රහිතවූ මේ ලොකයට නොපැමිණෙන යම් ඒ දෙවිකෙනෙක් වෙත්ද, ඔවුන් එතනින් චුතකරන්නාහු හෝ වෙත්ද නෙරපන්නාහු හෝ වෙත්ද?” කියායි.

එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මේ අදහස විය. මේ විඩුඩභ සෙනාපති තෙම වනාහි පසේනදි කොසොල් රජුගේ පුත්‍රයාය. මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයාය. පුත්‍රයා විසින් පුත්‍රයා කැඳවීමට දැන් සුදුසු කාලය,’ (කියායි) ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විඩුඩභ සේනාපතියාට කථා කෙළේය. “සෙනාපතිය, එසේනම් මේ කාරණය නුඹගෙන්ම අසන්නෙමි. තොප යමක් කැමති වේද, එසේ එය ප්‍රකාශ කරව. සේනාපතිය, ඒ කුමකැයි හඟින්නේද? පසේනදි කොසොල් රජුගේ රාජ්‍යය යම් පමණ වේද, පසේනදි කොසොල් රජ යම් ප්‍රදෙශයක අධිපතිකම් කරවයිද, එහි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරී වූවෙකු බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහකිරීමට හෝ රටින් නෙරපීමට හෝ පසේනදි කොසොල් රජ සමර්ථවේද?” “පින්වතුන් වහන්ස, පසේනදි කොසොල් රජ යම් ප්‍රදෙශයක අධිපතිකම් කරවයිද, එහි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරීවූවෙකු හෝ බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහකිරීමට හෝ රටින් නෙරපීමට හෝ පසේනදි කොසොල් රජ සමර්ථ වෙයි.” සේනාපතිය,ඒ කුමකැයි හඟින්නෙහිද?

“යම් පමණ පසේනදි කොසොල් රජුගේ රාජ්‍යය නොවේද, යම් ප්‍රදෙශයක පසේනදි කොසොල් රජතෙම අධිපතිකම් නොකරයිද, එහි ශ්‍රමණයෙකුහෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචරීවූවෙකු හෝ බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ, ඉන් පහකිරීමට හෝ රටින් නෙරපීමට හෝ සමර්ථ වේද?” “පින්වතුන් වහන්ස, යම් පමණ පසේනදි කොසොල් රජුගේ රාජ්‍ය නොවේද, යම් ප්‍රදෙශයක පසේනදි කොසොල් රජතෙම අධිපතිකම් නොකරයිද එහි යම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරීවූවෙකු හෝ බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහ කිරීමට හෝ රටින් නෙරපීමට හෝ පසේනදී කොසොල් රජතෙම සමර්ථ නොවෙයි.”

“සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? තොප තව්තිසා දෙවියන් ගැන ඇසුවෙහිද,” “එසේය, පින්වත. තව්තිසා දෙවියන් ගැන මා අසා තිබේ. පින්වත, මෙහිදී පසේනදි කොසොල් රජුගෙන්ද තව්තිසා දෙවියන් ගැන අසනලදී?” “සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද, තව්තිසා දෙවියන් ඉන් පහ කිරීමට හෝ නෙරපීමට හෝ පසේනදි කොසොල් රජතෙම සමර්ථවේද?” “පින්වත තව්තිසා දෙවියන් දැකීමටවත් පසේනදි කොසොල් රජතෙම අසමර්ථය, කෙසේනම් තව්තිසා දෙවියන් ඉන් පහකිරීමට හෝ නෙරපීමට හෝ සමර්ථ වෙයිද?” “සෙනාපතිය, එපරිද්දෙන්ම මේ ලොකයට පැමිණෙන්නාවූ යම් ඒ ව්‍යාපාද සහිත දෙවිකෙනෙක් වෙත්ද, මේ ලොකයට නොපැමිණෙන්නාවූ යම් ඒ ව්‍යාපාද රහිත දෙවිකෙනෙක් වෙත්ද, ඒකාන්තයෙන් ඒ දෙවියන් දැකීමටද නොහැකි වෙත් කෙසේ නම් ඉන් පහකරන්නේ හෝ නෙරපන්නේ හෝ වේද?”

“එකල්හි පසෙනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, මේ භික්ෂුව කවරෙක්ද” “මහරජ, ඒ ආනන්දය,” “පින්වත්නි, එකාන්තයෙන් සතුටකි, පින්වත්නි, එකාන්තයෙන් සතුටුවීමට කරුණකි. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ හේතු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කරුණු සහිත වූවක්ම කියන්නාහ. කිමෙක්ද ස්වාමීනි, බ්‍රහ්මයෝ ඇද්ද?” “මහරජ කිමෙක්ද? තොප කුමක් හෙයින් ස්වාමීනි බ්‍රහ්මයෝ ඇද්දැයි, කියන්නහුද?”

“ස්වාමීනි, බ්‍රහ්මයෝ මේ ලොකයට එන්නාහු වෙත්ද, නොඑන්නාහු හෝ වෙත්ද?” “මහරජ, යම් ඒ බ්‍රහ්මයෙක් ව්‍යාපාද සහිත වේද, හෙතෙම මේ ලොකයට පැමිණෙයි. යම් ඒ බ්‍රහ්මයෙක් ව්‍යාපාද රහිත වේද, හෙතෙම මේ ලොකයට නොපැමිණෙයි.”

“එකල්හි එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජුට මෙසේ කීයේය. “මහරජ ආකාශ ගොත්‍ර ඇති සඤ්ජය බ්‍රාහ්මණතෙම ආයේය” (කියායි) ඉක්බිති පසේනදි කොසොල් රජතෙම ආකාශගොත්‍ර ඇති සංජය බ්‍රාහ්මණයාට මෙසේ කීය. “බ්‍රාහ්මණය, රජුගේ අන්තඃපුරයේදී මේ කථාව උපදවා කථා කළේ කවරෙක්ද,” “මහරජ, විඩුඩභ සෙනාපති තෙමේය.” විඩුඩභ සේනාපති තෙම මෙසේ කීය. “මහරජ, ආකාශගොත්‍ර ඇති සංජය බ්‍රාහ්මණයාය.”

ඉක්බිති එක්තරා පුරුෂයෙක් පසෙනදි කොසොල් රජුට මෙසේ කීය. “මහරජතුමනි, දැන් ගමනට සුදුසු කාලයයි.” එකල්හි පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් සර්වඥභාවය ගැන ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ සර්වඥභාවය විස්තර කළහ. එයද අපට රුචිවිය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝවීමු. ස්වාමීනි, සතර ජාතීන්ගේ සුද්ධිය ගැන අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ සතර ජාතීන්ගේ සුද්ධිය විස්තර කළහ. එයද අපට රුචිවිය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝවීමු. ස්වාමීනි, උසස් දෙවියන් ගැන අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ උසස් දෙවියන් ගැන විස්තර කළහ. එයද අපට රුචි විය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝවීමු ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් උසස් බ්‍රහ්මයන් ගැන ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ උසස් බ්‍රහ්මයන් ගැන විස්තර කළහ. එයද අපට රුචිවිය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝවීමු ස්වාමීනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු”යි කීය. “මහරජ, තොප යමක් කැමැත්තෙහි නම් ඊට කල් දනුව”යි වදාළහ.

ඉක්බිති පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට ගියේය.

දහවෙනිවූ කණ්ණකත්ථල සූත්‍රය නිමි. (4-10)

සතරවෙනි රාජ වර්ගයයි.

ඝටීකාර සූත්‍රය, රට්ඨපාල සූත්‍රය, මඛාදෙව සූත්‍රය, මාධුර සූත්‍රය, බොධිරාජ කුමාර සූත්‍රය, අංගුලිමාල සූත්‍රය, පිය ජාතික සූත්‍රය, බාහිතික සූත්‍රය, ධම්මචෙතිය සූත්‍රය, කණ්ණකත්ථල සූත්‍රය යන සූත්‍ර දසයවූ