මජ්ඣිම නිකාය
මජ්ඣිම පණ්ණාසකය
5. බ්‍රහ්මණ වර්ගය
96. එසුකාරී සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු කරවූ ජෙතවන නම් ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි එසුකාරී නම් බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූද සිහි කටයුතුවූද කථාව කොට නිමවා පැත්තෙක හුන්නේය. පැත්තෙක උන්නාවූ එසුකාරී බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ සේවය කිරීම් හතරක් නියම කෙරෙති. බමුණාට සේවය කිරීම පණවත්, ක්ෂත්‍රියයාට සේවය කිරීම නියම කෙරෙති, වෛශ්‍යයාට සේවය කිරීම නියම කෙරෙති, ශුද්‍රයාට සේවය කිරීම නියම කෙරෙති. භවත් ගෞතමයන් වහන්ස, එහි මේ සේවය කිරීම බමුණෝ බමුණාට නියම කරති. බමුණෙක් හෝ බමුණාට සේවය කරන්නේය. ක්ෂත්‍රියයෙක් හෝ බමුණාට සේවය කරන්නේය. වෛශ්‍යයෙක් හෝ බමුණාට සේවය කරන්නේය යනුය. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ බමුණාට මේ වතාවත් කිරීමට නියම කරති.
“භවත් ගෞතමයන් වහන්ස, එහි මේ සේවය කිරීම බමුණෝ ක්ෂත්‍රියයාට නියමකරති. ක්ෂත්‍රියයෙක් හෝ ක්ෂත්‍රියයාට වතාවත් කරන්නේය. වෛශ්‍යයෙක් හෝ ක්ෂත්‍රියයාට වතාවත් කරන්නේය. ශ්‍රද්‍රයෙක් හෝ ක්ෂත්‍රියයාට වතාවත් කරන්නේය. භවත් ගෞතමයන් වහන්ස, මේ සේවය කිරීම් වනාහි බමුණෝ ක්ෂත්‍රියයාට නියම කරති. භවත් ගෞතමයන් වහන්ස, එහි මේ සේවය කිරීම බමුණෝ වෛශ්‍යයාට නියම කරති. වෛශ්‍යයෙක් හෝ වෛශ්‍යයාට වතාවත් කරන්නේය. ශුද්‍රයෙක් හෝ වෛශ්‍යයාට වතාවත් කරන්නේයයනුයි. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මේ සේවය කිරීම වනාහි ශුද්‍රයාට නියම කරති. ශුද්‍රයෙක් හෝ ශුද්‍රයාට වතාවත් කරන්නේය. අන් කවරෙක් හෝ ශුද්‍රයාට වතාවත් කරන්නේදැයි’ භවත් ගෞතමයන් වහන්ස, මේ සේවය කිරීම වනාහි බමුණෝ ශුද්‍රයාට නියම කරති. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මේ සේවය කිරීම් හතරක් නියම කරති. මෙහිදී භවත් ගෞතමයන් වහන්සේ කුමක් කියන සේක්ද?”
“බමුණ කිමෙක්ද? බමුණෝ සිව් වැදෑරුම් සේවය නියම කරතියි සියලු ලෝකයා එයට අනුදුසුද?” “භවත් ගෞතමයන් වහන්ස, මෙයට සියලු ලෝකයා කැමැති නොවේ”. “බමුණ, යම්සේ දිළිඳුවූ, ධන නැත්තාවූ සහල් නැළියක්වත් නැත්තාවූ පුරුෂයෙක් වේද, නොකැමතිවූ ඔහුට කොටස් නියම කරන්නාහුය. (එල්ලුහ) ‘එම්බා පුරුෂය, මෙහි තා විසින් මස් කෑ යුතුයි. මිලද දිය යුතුයි.’ (කියායි) මෙපරිද්දෙන් බමුණ, යම් ඒ මහණ බමුණන්ගේ කැමැත්තක් නැතිව බමුණෝ මේ සේවය කිරීම් සතර පණවත්.
“බමුණ, මම සියල්ල සේවය කළ යුතුයයි නොකියමි බමුණ, මම සියල්ල සේවය නොකළ යුතුයයි නොකියමි. බමුණ, යමක් සේවය කරන්නාහුට සේවය කිරීමේ හේතුවෙන් පවක් වන්නේද, වැඩක් නොවන්නේද, බමුණ, මම එය සේවය කළ යුතුයයි නොකියමි. බමුණ, යම් හෙයකින් වනාහි සේවය කරන්නහුට සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, එය මම සේවය කළ යුතුයයි කියමි.
“බමුණ, ක්ෂත්‍රියයාගෙන්ද, මෙසේ විචාරන්නාහු යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් නොවන්නේද, යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මෙහිද කුමක් සේවය කරන්නට කැමැතිවෙහිදැයි’ බමුණ, ක්ෂත්‍රියයාද මනාව ප්‍රකාශ කරමින් මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘යමක් සේවය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් නොවන්නේද, මම එය සේවය නොකරමි. යමක් සේවනය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද පවක් වන්නේද, එය මම සේවය කරමි. බමුණ, බමුණාගෙන් මෙසේ විචාරන්නාහුය. යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන්, පාපයක් වන්නේද, යහපත් නොවන්නේද, යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මෙහිදී කුමක් සේවය කරන්නාට කැමැත්තෙහිදැයි බමුණ, බමුණාද මනාව ප්‍රකාශ කරමින් මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘යමක් සේවය කරන්නාවූ මට (එම) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද යහපත් නොවන්නේද, මම එය සේවය නොකරමි. යමක් සේවය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මම එය සේවය කරමි. ‘බමුණ, වෛශ්‍යයාගෙන්ද මෙසේ විචාරන්නාහුය. ‘යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් වන්නේද යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මෙහිදී කුමක් සේවය කරන්ට කැමැත්තේහිදැයි’ ‘බමුණ, වෛශ්‍යයාද මනාව ප්‍රකාශ කරමින් මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘යමක් සේවය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් නොවන්නේද මම එය සේවය නොකරමි. යමක් සේවය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, යහපතක් නොවන්නේද එය මම සේවය කරමි’.
“බමුණ, ශුද්‍රයාගෙන්ද මෙසේ විචාරන්නාහුය. ‘යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පවක් නොවන්නේද මෙහිදී කුමක් සේවය කරන්නට කැමැති වෙහුදැයි’. ශුද්‍රයාද මනාව පවසමින් මෙසේ පවසන්නේය. ‘යමක් සේවය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් වන්නේද, මම එය සේවය නොකරමි. සේවනය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, එය මම සේවය කරමි’.
“බමුණ, මම උසස් කුල ඇති බව උසස්යයි නොකියමි. බමුණ, මම වනාහි උසස් කුල ඇති බව පහත්යයි නොකියමි. බමුණ, මම පහත් වර්ණ ඇතිබව උසස්යයි නොකියමි. බමුණ, මම වනාහි පහත් වර්ණ ඇති බව පහත්යයි නොකියමි. බමුණ, මම මහත් භෝග ඇති බව උසස්යයි නොකියමි බමුණ, මම වනාහි මහත් භෝග ඇතිබව පහත්යයි නොකියමි.
“බමුණ, මේ ලොකයෙහි උසස් කුල ඇත්තාවූ ඇතැමෙක් පරපණ නසන්නේ වෙයිද, නොදුන් දෙය ගන්නේවෙයි. කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි, බොරු කියන්නේ වෙයි, කේලම් කියන්නේ වෙයි, රළු වචන කියන්නේද වෙයි, හිස් වචන කියන්නේද වෙයි, දැඩි ලෝභය ඇත්තේ වෙයි, බද්ධවෛරයෙන් යුක්ත සිත් ඇත්තේ වෙයි, වැරදි දැකීම් ඇත්තේ වෙයි, එහෙත් උසස් කුල ඇති බව උසස් යයි” නොකියමි.
“බමුණ, පහත් වර්ණ ඇත්තේ වනාහි මේ ලොකයෙහි සමහරෙක් පරපණ නැසීමෙන් වැළකුණේ වේ, නුදුන් දෙය ගැන්මෙන් වැලකුණේ වේ, කාමයන්හි වරදවා නොහැසිරෙන්නේ වේ, බොරු කීමෙන් වෙන්වූයේ වේ, කේලාම් කීමෙන් වැලකුණේ වේ, රළුවචනයෙන් වැලකුණේ වේ, හිස්වචන කීමෙන් වැලකුණේ වේ, දැඩි ලොභය නැත්තේ වේ, බද්ධවෛරය නැත්තේ වේ. හරිදැකීම ඇත්තේ වේ, එහෙයින් උසස් වර්ණ ඇති බව පහත්යයි නොකියමි.
“බමුණ, මහත් භෝග ඇත්තාවූ මේ ලෝකයෙහි සමහරෙක් පරපණ නසන්නේ වේද, නොදුන් දෙය ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේ, බොරු කියන්නේ වේ, කේළාම් කියන්නේ වේ, රළු වචන කියන්නේ වේ, හිස් වචන කියන්නේ වේ, දැඩි ලෝභය ඇත්තේ වේ, බද්ධවයිරයෙන් යුක්ත සිත් ඇත්තේ වේ. මිසදිටු ඇත්තේ වේ, එහෙයින් මහත් භෝග ඇති බව උසස්යයිද නොකියමි.
“බමුණ, මහත් භෝග ඇත්තාවුද මේ ලොකයෙහි සමහරෙක් පරපණ නැසීමෙන් වෙන්වූයේ වේ, නුදුන් දෙය ගැන්මෙන් වැලකුණේ වේ, කාමයන්හි වරදවා නොහැසිරෙන්නේවේ, බොරු කීමෙන් වෙන් වූයේ වේ, කේළාම් කීමෙන් වැලකුණේ වේ, රළු වචනයෙන් වැලකුණේ වේ, හිස් වචන දෙඩීමෙන් වැලකුණේ වේ, දැඩි ලෝභය නැත්තේ වේ බැඳගත් වයිර නැත්තේ වේ, හරිදැකීම් ඇත්තේ වේද, එහෙයින් උසස් භෝග ඇති බව ලාමකයයිද නොකියමි.
“බමුණ, මම සියල්ලන් සේවය කළ යුතුයයිද නො කියමි. බමුණ, මම වනාහි සියල්ලන් සේවය නොකළයුතුයයිද නොකියමි. යමකු සේවය කරන්නාවූ ඔහුට ඒ සේවය කිරීමේ හෙතුවෙන් ඇදහීම වැඩෙයිද, සීලය වැඩෙයිද, ඇසූ තැන් ඇති බව වැඩෙයිද, දීම වැඩෙයිද, නුවණ වැඩෙයිද මම ඔහු සේවය කළ යුතුයයි කියමි.”
මෙසේ කී කල්හි එසුකාරී බමුණා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ සතර ධනයක් නියම කරති. බමුණාට සිය ධනය නියම කරති. ක්ෂත්‍රියයාට සිය ධනය නියම කරති. වෛශ්‍යයාට සිය ධනය නියම කරති. ශුද්‍රයාට සිය ධනය නියම කරති. භවත් ගෞතමයන් වහන්ස, ඔවුන් බමුණෝ බමුණාට මේ පිණ්ඩපාතයේ හැසිරීම සිය ධනයකොට නියම කරත්. පිණ්ඩපාතයේ හැසිරීම සිය ධනයකොට ඇත්තාවූ බමුණු තෙම ආරක්ෂකයා විසින් තමන් රැක්කයුතු දෙය සොරා ගන්නාක් මෙන් නොකටයුතු දේ කරන්නේ වේ. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ වනාහි බමුණාට මේ ස්වකීය ධනය නියම කරත්”
“භවත් ගෞතමයන් වහන්ස, ඔවුන් බමුණෝ ක්ෂත්‍රියාට දුන්න සහ හී කොපුව සිය ධනය සේ නියම කරත්. දුන්න සහ හී කොපුව සිය ධනය කොට ඇත්තාවූ ක්ෂත්‍රියතෙම ආරක්ෂකයා විසින් රැකියයුතුදේ සොරාගන්නාමෙන් නොකටයුතු දේ කරන්නේ වේ. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ වනාහි ක්ෂත්‍රියයාට මේ සිය ධනය නියම කරත්.
“භවත් ගෞතමයන් වහන්ස, ඔවුන් අතුරෙන් බමුණෝ වෛශ්‍යයාට සී සෑම සහ ගවයන් රැකීම සිය ධනයසේ නියම කරති. සී සෑම සහ ගවයන් රැකීම සිය ධනය කොට ඇත්තාවූ වෛශ්‍යයා විසින් රැකිය යුතු දේ සොරාගන්නා මෙන් නොකටයුතු දේ කරන්නේ වේ. නොකටයුතු දේ කරන්නේ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ වනාහි වෛශ්‍යයාට මේ සිය ධනය නියමකරත්.
“භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ ශුද්‍රයාට මේ තණ කපන දෑකැත්ත හා කදද සිය ධනය කොට නියමකරති. තණ කපන දෑකැත්ත හා කද සිය ධනය කොට ඇත්තාවූ ශුද්‍රයා වනාහි රැකිය යුතු දේ සොරා ගන්නාක් මෙන් නොකටයුතු දේ කරන්නේ වේ. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ ශුද්‍රයාට මෙය සිය ධනය නියම කරති. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මේ සතර ධනයන් නියම කරත්.
“භවත් ගෞතමයන් වහන්සේ මේ කරුණෙහිදී කුමක් කියන සේක්ද?”
“බමුණ, කිමෙක්ද? බමුණෝ මේ සතර ධනය නියම කෙරෙත්ද? සියලු ලෝකයා එය අනුදනීද?”
“භවත් ගෞතමයන් වහන්ස, එයට සියලු ලෝකයා කැමති නොවේ.” “බමුණ, දිළිඳුවූ අසරණවූ නිර්ධනවූ පුරුෂයෙක් ඔහුගේ අකැමැත්තෙන්, ‘එම්බා පුරිසය, මෙය තාගේය. මස් කෑයුතුයි. මිළද දිය යුතුයයි,’ කොටස නියම කරන්නේ යම්සේද, බමුණ, එපරිද්දෙන්ම මහණ බමුණන්ගේ අනුදැකීමක් පිළිගැනීමක් නැතිව මේ සතර ධනයන් වනාහි (ඒ බමුණෝ) නියමකරත්.”
“බමුණ, මම ආර්යවූ ලොකොත්තර ධර්මය පුරුෂයාට සිය ධනය කොට නියම කරමි. පුරාණ මව්පිය කුලවංසය වනාහි සිහිකරන්නාවූ ඔහුගේ යම් යම් තැනෙක්හි ආත්ම භාවයාගේ ඉපදීම වේද, ඒ ඒ ආත්මභාවයෙන්ම වංසය ව්‍යවහාරයට යයි. ඉදින් ක්ෂත්‍රිය කුලයෙහි ආත්ම භාවයාගේ ඉපදීම වේද (ඔහු) ක්ෂත්‍රිය යන ව්‍යවහාරයට යයි. ඉදින් බමුණු කුලයෙහි ආත්ම භාවයාගේ ඉපදීම වේද, (ඔහු) බ්‍රාහ්මණ යන ව්‍යවහාරයටයයි. ඉදින් වෛශ්‍ය කුලයෙහි ආත්මභාවයාගේ ඉපදීමවේද, (ඔහු) වෛශ්‍යය යන ව්‍යවහාරයටයයි ශුද්‍ර කුලයෙහි ආත්ම භාවයාගේ ඉපදීම වේද, (ඔහු) ශුද්‍ර යන ව්‍යවහාරයටයයි.
“බමුණ, යම්සේ යම් යම් උපකරණයක් නිසා ගිනි දල්වයිද, ඒ ඒ උපකරණයෙන්ම වර්ග ව්‍යවහාරයටයි. දර නිසා ගිනි දල්වයිද, (එය) දර ගින්නය යන ව්‍යවහාරයටයයි. පතුරු නිසා ගිනි දල්වයිද (එය) පතුරු ගින්න යන ව්‍යවහාරයටයයි. තණ නිසා ගිනි දල්වයිද (එය) තෘණාග්නි යන ව්‍යවහාරයටයයි. ගොම වැරටි නිසා ගිනි දල්වයිද (එය) ගෝමයාග්නි යන ව්‍යවහාරයටයයි.
“බමුණ මෙපරිද්දෙන් මම වනාහි ආර්යවූ ලොකොත්තර ධර්මයන් පුරුෂයාගේ සිය ධනයසේ නියමකරමි. පුරාණවූ මව්පිය සතු වූ කුලවංස සිහිකරන්නාවූ යම් යම් තන්හිම ආත්ම භාවයාගේ ඉපදීම වේද, ඒ ඒ ආත්ම භාවයෙන්ම වංශ ව්‍යවහාරයටයයි. ඉදින් ක්ෂත්‍රියකුලයෙහි ආත්මභාවයාගේ ඉපදීම වේද (ඔහු) ක්ෂත්‍රියයා ව්‍යවහාරයටයි. ඉදින් බමුණු කුලයෙහි ආත්ම භාවයාගේ ඉපදීම වේද, (ඔහු) බ්‍රාහ්මණයාය යන ව්‍යවහාරයටයයි. වෛශ්‍ය කුලයෙහි ආත්ම භාවයාගේ ඉපදීම වේද, (ඔහු) වෛශ්‍යයාය යන ව්‍යවහාරයටයයි. ඉදින් ශුද්‍ර කුලයෙහි ආත්ම භාවයාගේ ඉපදීම වේද, (ඔහු) ශුද්‍රයාය ව්‍යවහාරයට යයි.
බමුණ, ඉදින් “ක්ෂත්‍රිය කුලිකයෙක් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වේද, හෙතෙමේද තථාගතයන් විසින් ප්‍රකාශ කළ ධර්ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වැලකුණේ වෙයි, හොරකමින් වෙන්වූයේ වෙයි, ස්ත්‍රී සේවනයෙන් වෙන්වූයේ වෙයි, බොරු කීමෙන් වෙන්වූයේ වෙයි, කේළාම් කීමෙන් වෙන්වූයේ වෙයි. රළු වචනයෙන් වෙන්වූයේ වෙයි, හිස් වචනයෙන් වෙන්වූයේ වෙයි, දැඩි ලොභ නැත්තේ වෙයි, බැඳගත් වයිර නැත්තේ වෙයි, හරිදැකීම් ඇත්තේ වෙයි, මාර්ග කුසලය සම්පූර්ණ කරන්නේ වෙයි. බමුණ, ඉදින් බමුණු කුලිකයෙක් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වේද, හෙතෙමේද තථාගතයන් වහන්සේ පැවසූ ධර්මවිනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ, හොරකමින් වෙන්වූයේද, අබ්‍රහ්මචර්යාවෙන් වෙන්වූයේද, බොරුකීමෙන් වෙන්වූයේද, කේළාම් කීමෙන් වෙන් වූයේද, රළු වචනයෙන් වෙන්වූයේද වේ, හිස් වචනයෙන් වෙන්වූයේ වේ, දැඩි ලෝභ නැත්තේවේ, බැඳගත් වයිර නැත්තේ වේ, හරිදැකීම් ඇත්තේ වේ, මාර්ග කුලය සම්පූර්ණ කරන්නේ වෙයි. බමුණ, වෛශ්‍ය කුලිකයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වේද, හෙතෙමේද තථාගතයන් විසින් පැවසූ ධර්ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වැලකුණේ වෙයි. හොරකමින් වෙන්වූයේද, අබ්‍රහ්මචර්යාවෙන් වෙන් වූයේද, බොරු කීමෙන් වෙන්වූයේද, කේළාම් කීමෙන් වෙන් වූයේද, රළු වචනයෙන් වෙන් වූයේවේ, හිස් වචනයෙන් වෙන් වූයේද වේ, දැඩි ලෝභ නැත්තේවේ, හරිදැකීම් ඇත්තේ වෙයි. මාර්ග කුසලය සම්පූර්ණ කරන්නේ වෙයි. බමුණ, ශුද්‍රකුලිකයෙක් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වේද, හෙතෙමේද තථාගතයන් විසින් පැවසූ ධර්ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. හොරකමින් වෙන්වූයේ වෙයි. ස්ත්‍රී සේවනයෙන් වෙන් වූයේ වෙයි. බොරු කීමෙන් වෙන්වූයේ වෙයි. කේළාම් කීමෙන් වෙන්වූයේ වෙයි. රළු වදනින් වෙන් වූයේවෙයි. හිස් වචනයෙන් වෙන් වූයේවෙයි. දැඩි ලෝභය නැත්තේ වෙයි. බැඳගත් වයිර නැත්තේ වෙයි. හරි දැකීම ඇත්තෙක් වෙයි. මාර්ග කුසලය සම්පූර්ණ කරන්නේ වෙයි.
“බමුණ, මේ ප්‍රදේශයෙහි වෛර නැත්තාවූ ක්‍රොධ මෛත්‍රි සිත වඩන්නට බමුණාම පොහොසත් වේද, ක්ෂත්‍රියයෙක්, වෛශ්‍යයෙක්, ශුද්‍රයෙක් පොහොසත් නොවේද”? “භවත් ගෞතමයන් වහන්ස, එය එසේ නොවේ. භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රියයාද මේ ප්‍රදේශයෙහි වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ මෛත්‍රි සිත වඩන්නට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයාද, මේ ප්‍රදේශයෙහි වෛර නැති ක්‍රොධනැති මෛත්‍රි සිත වඩන්ට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, වෛශ්‍යයාද මේ ප්‍රදේශයෙහි වෛරනැති ක්‍රොධනැති මෛත්‍රී සිත වඩන්නට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍රයාද මේ ප්‍රදේශයෙහි වෛර නැති ක්‍රොධනැති මෛත්‍රි සිත වඩන්නට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, සියලු සතර ජාතීද මේ ප්‍රදේශයෙහි වෛරනැති ක්‍රොධනැති මෙත් සිත වැඩීමට පොහොසත් වෙති.”
“ඉදින් බමුණ, මෙපරිද්දෙන් වනාහි ක්ෂත්‍රිය කුලිකයෙක්ද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ, හොරකමින් වෙන්වූයේ වේ, ස්ත්‍රී සේවනයෙන් වෙන්වූයේවේ, බොරුකීමෙන් වෙන්වූයේවේ, කේලාම් කීමෙන් වෙන්වූයේවේ, රළු වචනයෙන් වෙන්වූයේවේ, හිස් වචනයෙන් වෙන්වූයේවේ, දැඩි ලෝභ නැත්තේවේ, බැඳගත් වයිර සිත් නැත්තේවේ, හරිදැකීම් ඇත්තෙක්වේ, මාර්ග කුශලය සම්පූර්ණ කරන්නේවෙයි. බමුණ, බ්‍රාහ්මණ කුලිකයෙක්ද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්මවිනයට පැමිණ, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ, හොරකමින් වෙන්වූයේ වේ, ස්ත්‍රී සේවනයෙන් වෙන්වූයේ වේ, බොරුකීමෙන් වෙන්වූයේ වේ, කේලාම් කීමෙන් වෙන් වූයේවේ, රළු වචනයෙන් වෙන්වූයේ වේ හිස් වචනයෙන් වෙන්වූයේ වේ, දැඩි ලෝභ නැත්තේ වේ, බැඳගත් වයිර නැත්තේ වේ, හරිදැකීම් ඇත්තෙක් වේ, මාර්ග කුශලය සම්පූර්ණ කරන්නේ වෙයි. වෛශ්‍යකුලිකයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්මවිනයට පැමිණ, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ, හොරකමින් වෙන්වූයේ වේ, ස්ත්‍රී සේවනයෙන් වෙන්වූයේ වේ, බොරුකීමෙන් වෙන්වූයේ වේ, කේලාම් කීමෙන් වෙන්වූයේ වේ, රළු වචනයෙන් වෙන්වූයේ වේ, හිස් වචනයෙන් වෙන්වූයේ වේ, දැඩිලෝභ නැත්තේ වේ, බැඳගත් වයිර සිත් නැත්තේ වේ, හරි දැකීම් ඇත්තෙක් වේ, මාර්ග කුශලය සම්පූර්ණ කරන්නේ වෙයි. ශුද්‍රකුලිකයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්මවිනයට පැමිණ, සතුන් මැරීමෙන් වැළකුණේවේ. නුදුන් දෙය ගැන්මෙන් වැළකුණේවේ මුසාවාදයෙන් වැළකුණේවේ, කේලාම් කීමෙන් වැළකුණේවේ, ඵරුෂවචනයෙන් වැළකුණේවේ. හිස්වචන කථාවෙන් වැළකුණේවේ, දැඩිලෝභයෙන් නොමැඩුනේවේ, බැඳගත් වෛර නැත්තේවේ, හරිදැකීම් ඇත්තෙක්වේ, මාර්ග කුශලය සම්පූර්ණ කරන්නේ වෙයි.
“බමුණ, කුමක් සිතන්නෙහිද? බමුණාම ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් ගඟට කුණු දූවිලි සෝදා හරින්ට පොහොසත් වේද? ක්ෂත්‍රියයා අපොහොසත් වේද? වෛශ්‍යයා අපොහොසත් වේද? ශුද්‍රයා අපොහොසත් වේද”? “භවත් ගෞතමයන් වහන්ස, එය එසේ නොවේ. භවත් ගෞතමයන් වහන්ස. ක්ෂත්‍රියයාද ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් කුණු දූවිලි සෝදා හරින්නට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයාද, ඇග උලන ගල් හා කල්ක ගෙන නදියට ගොස් කුණු දූවිලි සෝදා හරින්නට පොහොසත්ය. වෛශ්‍යයාද, ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් බැඳුනු කුණු දූවිලි සෝදා හරින්නට පොහොසත්ය. ශුද්‍රයාද, ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් කුණු දූවිලි සෝදා හරින්නට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, සියලුම සතර ජාතීහුම ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් කුණු දූවිලි සෝදා හරින්නට පොහොසත් වෙති. බමුණ, මෙපරිද්දෙන් ක්ෂත්‍රියෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වේද, හෙතෙමේද තථාගතයන් වදාළ ධර්ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන් වූයේ වෙයි. හොරකමින් වෙන්වූයේ වෙයි. ස්ත්‍රීසේවනයෙන් වෙන්වූයේ වෙයි. බොරු කීමෙන් වෙන්වූයේ වෙයි. ඵරුෂ වචනයෙන් වෙන් වූයේ වෙයි, කේලාම් කීමෙන් වෙන්වූයේ වෙයි. හිස් වචනයෙන් වෙන්වූයේ වෙයි. දැඩි ලෝභ නැත්තේ වෙයි. හරි දැකීම් ඇත්තෙක් වෙයි. මාර්ග කුශලය සම්පූර්ණ කරන්නේ වෙයි. බමුණ, බ්‍රාහ්මණයෙක්ද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද, තථාගතයන් පැවසූ ධර්ම විනයට පැමිණ, සතුන් මැරීමෙන් වෙන්වූයේ වෙයි. හොරකමින් වෙන් වූයේ වෙයි. බොරුකීමෙන් වෙන් වූයේ වෙයි. කේලාම් කීමෙන් වෙන් වූයේ වෙයි. ඵරුෂ වචනයෙන් වෙන් වූයේ වෙයි. හිස් වචනයෙන් වෙන්වූයේ වෙයි. දැඩි ලෝභ නැත්තේ වෙයි. හරිදැකීම් ඇත්තෙක් වෙයි. මාර්ග කුසලය සම්පූර්ණ කරන්නේ වෙයි. වෛශ්‍යයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්මවිනයට පැමිණ, සතුන් මැරීමෙන් වෙන් වූයේ වෙයි. හොරකමින් වෙන්වූයේ වෙයි. බොරුකීමෙන් වෙන්වූයේ වෙයි. කේලාම් කීමෙන් වෙන්වූයේ වෙයි. ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වෙයි. හිස් වචනයෙන් වෙන්වූයේ වෙයි. දැඩිලෝභ නැත්තේ වෙයි. හරි දැකීම් ඇත්තෙක් වෙයි. මාර්ග කුසලය සම්පූර්ණ කරන්නේ වෙයි. ශුද්‍රයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්මවිනයට පැමිණ සතුන් මැරීමෙන් වැලකුණේ වෙයි. හොරකමින් වෙන්වූයේ වෙයි. බොරු කීමෙන් වෙන්වූයේ වෙයි. කේලාම් කීමෙන් වෙන්වූයේ වෙයි. ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වෙයි. හිස්වචනයෙන් වෙන්වූයේ වෙයි. දැඩිලෝභ නැත්තේ වෙයි. හරිදැකීම් ඇත්තෙක් වෙයි. මාර්ග කුසලය සම්පූර්ණ කරන්නේ වෙයි. ශුද්‍රයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්ම විනයට පැමිණ සතුන් මැරිමෙන් වැලකුණේ වේද, හොරකම් කිරීමෙන් වෙන් වූයේ වෙයි. බොරු කීමෙන් වෙන් වූයේ වෙයි. කේළාම් කීමෙන් වෙන් වූයේ වෙයි. ඵරුෂ වචනයෙන් වෙන් වූයේ වෙයි. හිස් වචනයෙන් වෙන් වූයේ වෙයි. දැඩි ලෝභ නැත්තේ වෙයි. හරි දැකීම් ඇත්තෙක් වෙයි. මාර්ග කුසලය සම්පූර්ණ කරන්නේ වෙයි.
“බමුණ, කුමක් සිතන්නෙහිද? මෙහි ඔටුනු පැළඳවූ ක්ෂත්‍රිය රජෙක් නොයෙක් ජාති ඇති පුරිසයන් අතුරෙන් පුරිසයයන් සියයක් හෝ රැස්කරන්නේය. (රැස් කොට) පින්වත්හු එත්වා, ක්ෂත්‍රිය කුලයේ හෝ, බ්‍රාහ්මණ කුලයේ, හෝ ප්‍රදේශ රජ කුලයේ හෝ, උපන්නාවූ යමෙක් සල්රුකක හෝ, හොර රුකක හෝ, සඳුන් රුකක හෝ, පදුම රුකක හෝ, උඩගාන දණ්ඩක් ගෙන ගිනි උපදවත්වා, ගිනි පහළ කරත්වා. නැවතද පින්වත්හු එත්වා, සැඩොල් කුලයේ, වැදි කුලයේ, වේණ කුලයේ, රථකාර කුලයේ, පුක්කුස කුලයේ, උපන්නාවූ යමෙක් බල්ලන් බොන ඔරුවක හෝ ඌරන් බොන ඔරුවක හෝ රෙදි සෝදන ඔරුවක හෝ එරඬු ලීයක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි උපදවත්වා. ගිනි පහළ කරත්වා.
“බමුණ, කුමක් කරන්නෙහිද? යම් ඒ ගින්නක් වේද, ඒ ගින්න ක්ෂත්‍රිය කුලයේ, බමුණු කුලයේ, ප්‍රදේශ රජ කුලයේ උපන්නාහු විසින් සල් රුකක හෝ, හොර රුකක හෝ, සඳුන් රුකක හෝ, පදුම රුකක හෝ, උඩගාන දණ්ඩක් ගෙන ගිනි උපදවන ලද්දේ, ගිනි පහළ කරන ලද්දේ, ඒ ගින්නම ගිනිදලු ඇත්තේද? වර්ණවත්ද? පැහැ ඇත්තේ වේද? ඒ කරණකොට ගෙන ගින්නෙන් කළ හැකි වූ දෙය කරන්නට හැක්කේ වේද, යම් ඒ ගින්නක් වනාහි සැඩොල්, කුලයේ වැදි කුලයේ, වේණ කුලයේ, රථකාර කුලයේ, පුක්කුස කුලයේ, උපන්නාහු විසින් බල්ලන් බොන ඔරුවක හෝ ඌරන් බොන ඔරුවක හෝ රෙදි සෝදන ඔරුවක හෝ එරඬු ලීයක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි උපදවන ලද්දේ, ගිනි පහළ කරන ලද්දේ, ඒ ගින්නම ගිනිදැල් ඇත්තේද? වර්ණවත්ද? පැහැ ඇත්තේද? ඒ කරණකොට ගින්නෙන් කළ හැකි දේ කරන්නට හැක්කේ වේද, භවත් ගෞතමයන් වහන්ස, එය එසේ නොවේ. භවත් ගෞතමයන් වහන්සේ යම් ඒ ගින්නක් ක්ෂත්‍රිය කුලයේ, බමුණු කුලයේ, ප්‍රදේශ කුලයේ උපන්නාහු විසින් සල් රුකක හෝ, හොර රුකක හෝ. පදුම රුකක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි නිපදවන ලද්දේද, ඒ ගින්න පහළ කරන ලද්දේද, ඒ ගින්නද, ගිනි දැල් ඇත්තේද, වර්ණවත්ද, පැහැ ඇත්තේද ඒ ගිනි කරණකොට ගෙන ගින්නෙන් කළ හැකි සියල්ල කරන්නට ද හැක්කේ වේ. යම් ඒ ගින්නක් සැඩොල් කුලයේ, වැදි කුලයේ, වේණ කුලයේ, රථකාර කුලයේ උපන්නවුන් විසින් බල්ලන් බොන ඔරුවක හෝ ඌරන් බොන ඔරුවක හෝ රෙදි සෝදන ඔරුවක හෝ එරඬු ලීයක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි නිපදවන ලද්දේද ගිනි පහළකරන ලද්දේ, ඒ ගින්නද ගිනිදැල් ඇත්තේද, වර්ණවත්ද, පැහැ ඇත්තේද, ඒ ගින්න කරණ කොටගෙන ගින්නෙන් කළ හැකි සියල්ල කරන්නටද හැක්කේ වේ. භවත් ගෞතමයන් වහන්ස, සියලුම ගිනි ගිනිදැල් ඇත්තේ ද, වර්ණවත් ද, පැහැ ඇත්තේ ද වේ. සියලුම ගිනි කරණ කොට ගෙන ගින්නෙන් කළහැකි සියල්ලක් කරන්නට හැකිය”. “බමුණ, එපරිද්දෙන් වනාහි ක්ෂත්‍රිය කුලිකයෙක්ද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයිද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්මවිනයට පැමිණ සතුන් මැරීමෙන් වැළකුණේවේ. හොරකමින් වෙන් වූයේවේ, බොරු කීමෙන් වෙන් වූයේවේ, කේලාම් කීමෙන් වෙන් වූයේවේ, පරුෂ වචනයෙන් වෙන් වූයේ වේ, හිස් වචනයෙන් වෙන් වූයේවේ, දැඩි ලොබ නැත්තේවේ, හරි දැකීම් ඇත්තේවේ, මාර්ග කුශලය සම්පූර්ණ කරන්නේ වෙයි. බමුණ, ඉදින් බමුණු කුලිකයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වේද, හෙතෙමේ ද තථාගතයන් පැවසූ ධර්මවිනයට පැමිණ, සතුන් මැරීමෙන් වෙන් වූයේවේ, හොරකමින් වෙන් වූයේවේ, බොරු කීමෙන් වෙන් වූයේවේ, කේලාම් කීමෙන් වෙන් වූයේවේ, පරුෂ වචනයෙන් වෙන්වූයේ වේ, හිස් වචනයෙන් වෙන්වූයේවේ, දැඩි ලොභ නැත්තේ වේ. හරි දැකීම් ඇත්තෙක්වේ, මාර්ග කුශලය සම්පූර්ණ කරන්නේ වෙයි.”
“ඉදින් බමුණ, වෛශ්‍ය කුලිකයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්මවිනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේවේ, හොරකමින් වෙන් වූයේවේ, බොරුකීමෙන් වෙන්වූයේවේ, කේලාම් කීමෙන් වෙන්වූයේවේ, පරුෂ වචනයෙන් වෙන් වූයේවේ, හිස් වචනයෙන් වෙන් වූයේවේ, දැඩි ලෝභ නැත්තේවේ, හරි දැකීම් ඇත්තේ වේද, ශුද්‍රකුලිකයෙක්ද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වේද, හෙතෙමේද, තථාගතයන් පැවසූධර්ම විනයට පැමිණ, සතුන් මැරීමෙන් වෙන් වූයේ වේ, නුදුන් දෙය ගැන්මෙන් වැළකුණේ වේ, ස්ත්‍රී සේවනයෙන් වැළකුණේ වේ, බොරු කීමෙන් වැළකුණේද, කේලාම් කීමෙන් වැළකුණේවේ. රළු වචනයෙන් වැළකුණේ වේ, හිස් වචන දෙසීමෙන් වැළකුණේ වේ, දැඩි ලෝභයෙන් වෙන් වූයේ වෙයි. බැඳගත් වයිර නැත්තේ වේ. හරි දැකීම, ඇත්තේ වේ, මාර්ග කුසලය සම්පූර්ණ කරන්නේ වෙයි.”
“මෙසේ කී කල්හි එසුකාරී බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් හරින්නේද, මං මුලාවූවෙකුට මග හෝ කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද භික්ෂු සංඝයාද සරණ කොට යමි.
“අද පටන් දිවිහිම්ව සරණගිය උපාසකයකුසේ භවත් ගෞතමයන් වහන්සේ මා දරණසේක්වා.”
සවැනිවූ එසුකාරී සූත්‍රය නිමි (5-6)