මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

5. බ්‍රහ්මණ වර්ගය

97. ධානඤ්ජානි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාපයෙහිවූ “වෙළුවන” නම් විහාරයෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග දක්ෂිණ ගිරි ජනපදයෙහි චාරිකාවේ හැසිරෙන සේක.

එකල්හි එක්තරා භික්ෂුවක් රජගහ නුවර වස් වැස නිමවූයේ, දක්ෂිණ ගිරිය යම් තැනෙකද, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටු වියයුතුවූත්, සිහි කටයුතුවූත්, කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක උන්නාවූ ඒ භික්ෂුවට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ. ඇවැත්නි, කිමෙක්ද? භාග්‍යවතුන් වහන්සේ නිරෝගිද බලවත්ද?” “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නිරෝගිය. බලවත්ය.” “ඇවැත්නි, කිමෙක්ද? භික්ෂු සංඝයා නිරෝගිද? බලවත්ද?” “ඇවැත්නි, භික්ෂු සංඝයා නිරෝගිය. බලවත්ය.”

“ඇවැත්නි, මෙහි තණ්ඩුලපාල ද්වාර නම් ගම් දොර ධානඤ්ජානීනම් බමුණෙක් ඇත.” “ඇවැත්නි, කිමෙක්ද? ධානඤ්ජානි බ්‍රාහ්මණයා නිරෝගිද? බලවත්ද?” “ඇවැත්නි, ධානඤ්ජානි බ්‍රාහ්මණ තෙමේද නිරෝගිය. බලවත්ය.” “ඇවැත්නි, කිමෙක්ද ධානඤජානි බ්‍රාහ්මණ තෙම අප්‍රමාද වූයේ වේද?” “ඇවැත්නි, කෙසේ නම් ධානඤ්ජානි බමුණා අප්‍රමාද වන්නේද? ඇවැත්නි, ධානඤ්ජානි බ්‍රාහ්මණයා රජුන් ඇසුරු කොට බ්‍රාහ්මණ ගෘහපතියන්ගේ වස්තුව පැහැරගනී. බ්‍රාහ්මණ ගෘහපතියන් ඇසුරුකොට රජුන් සතු වස්තුව පැහැර ගනී. ඔහුගේ ශ්‍රද්ධාවත් ශ්‍රද්ධා ඇති කුලයෙන් ගෙනා යම් භාර්යාවක් දෑ ඔහුගේ ඒ භාර්යාවද කළුරිය කළාය. ඔහුට ශ්‍රද්ධාව නැති අන්‍යවූ භාර්යාවක් අශ්‍රද්ධාවත් කුලයකින් ගෙනෙන ලද්දීය.” “ඇවැත්නි, එකාන්තයෙන් නපුරු ඇසීමක් ඇසීමු. ඇවැත්නි, එකාන්තයෙන් නපුරු ඇසීමක් ඇසීමු. අපි ප්‍රමාදවූ ධානඤ්ජානි බමුණා ගැන යමක් ඇසීමුද, ඒ අපි කිසිවිටෙක ධානඤ්ජානි බමුණා සමග එක් වන්නෙමු නම් හොඳය. කිසියම් කථා සල්ලාපයක් වන්නේ නම් හොඳය.” ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කීහ.

ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දක්ෂිණාගිරි ජනපදයෙහි කැමැතිතාක් කල් වාසය කොට රජගහනුවර යම් තැනෙක්හිද, එතැන්හි චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ, රජගහනුවර යම් තැනෙක්හිද එහි පැමිණියේය. එහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපයෙහි වෙළුවන නම්වූ විහාරයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවර පිඬු පිණිස වැඩියහ.

එසමයෙහි වනාහි ධානඤ්ජානි බ්‍රාහ්මණයා නගරයෙන් පිට ගවගාලෙහි දෙනුන්ගෙන් කිරි දොවයි.

ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහ නුවර පිඩු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුණේ ධානඤ්ජානි බ්‍රාහ්මණයා යම් තැනෙකද එතැනට පැමිණියහ. ධානඤ්ජානි බමුණා එන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙකද, එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය.

“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, බත් අනුභව කිරීමට කාලය එනතුරු මෙයින් කිරි බොනසේක්වා” ‘බමුණ, කම් නැත. මා විසින් අද බත් අනුභව කරන ලදී. අසුවල් ගස මුල මාගේ දවල් වාසය කිරීම වන්නේය. එහි එන්නෙහියයි” කීහ. “එසේය. පින්වතුන් වහන්සැයි” ධානඤ්ජානි බමුණා ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ට උත්තර දුන්නේය.

ඉක්බිති ධානඤ්ජානි බ්‍රාහ්මණයා උදේ ආහාර ගැනීම නිමවා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙකද එතැනට ගියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ ධානඤ්ජානි බ්‍රාහ්මණයාට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. “ධානඤ්ජානිය, කිමෙක්ද, අප්‍රමාද වූයේ වෙහිද?” “භවත් ශාරිපුත්‍රයන්වහන්ස, කෙසේ අපගේ අප්‍රමාදයක් වේද? අප විසින් අපගේ මවුපියන් පොෂ්‍ය කළයුතුය. අඹුදරුවන් පොෂ්‍ය කළයුතුය. දාසි දාස කම්කරුවන් පොෂ්‍ය කළයුතුය. අසල්වැසියන්ගේ අසල්වැසි කටයුතු කළයුතුය. නෑදෑයන්ගේ නෑදෑ කටයුතු කළයුතුය. ආගන්තුකයන්ගේ ආගන්තුක කටයුතු කළයුතුය. මියගියවුන්ගේ මියගියවුන් පිළිබඳ කටයුතු කළයුතුය. දෙවියන්ගේ දෙවියන් පිළිබඳ කටයුතු කළයුතුය. රජුන්ගේ රාජකාරි කළයුතුය. මේ කයද පිනවිය යුතුය. වර්ධනය කළ යුතුයයි” කීහ.

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් මව් පියන් නිසා විසම අධර්ම හැසිරීම් ඇත්තේ විසම හැසිරීම් ඇත්තේ වන්නේද, ඒ පුද්ගලයා අධර්ම හැසිරීම විසම හැසිරීම හේතුවෙන් නරකයට නිරයපාලයෝ අදින්නාහුය. ‘මම වනාහි මව් පියන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. මා නරකයට නිරයපාලයෝ නොඅදිත්වායයි වළක්වා ගැනීමට ඔහු හෝ සමර්ථ වේද, මව් පියෝ හෝ මොහු අප නිසා අධර්ම හැසිරීම විසම හැසිරීම ඇත්තෙක් වීයයි, නිරය පාලයෝ නිරයට නොඅදිත්වායි වළක්වා ගැනීමට සමර්ථ වෙත්ද?” “භවත් ශරිපුත්‍රය, මෙය නොවේ. එකල්හි ඔහු හඬද්දීම නිරය පාලයෝ නිරයෙහි ඇද දමන්නාහුය.”

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් අඹු දරුවන් නිසා අධර්ම හැසිරීම ඇත්තේ විසම හැසිරීම ඇත්තේ වන්නේද, ඒ පුද්ගලයා අධර්ම චරියා විසමචරියා හෙතුවෙන් නිරයට නිරයපල්ලෝ අදින්නාහුය. ‘මම වනාහි අඹු දරුවන් නිසා අධර්ම චර්යා විසම චර්යා ඇත්තේ වූයෙමි. මා නරකයට නිරයපල්ලෝ නො අදිත්වායයි වළක්වා ගැන්මට සමර්ථ වේද, මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නො අදිත්වායි’ ඔහුගේ අඹුදරුවෝ හෝ වළක්වා ගැනීමට සමර්ථ වෙද්ද?” “භවත් ශරිපුත්‍රයන් වහන්ස, නොහැකිය. එකල්හිම ඔහු අඬද්දීම නිරය පල්ලෝ නිරයෙහි ඇද දමන්නාහුය.”

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැසි කම්කරු පුරුෂයන් නිසා අධර්මචාරී විසමචාරී වන්නේය. ඒ පුද්ගලයා අධර්ම චරියා විසම චාරියා හේතුවෙන් නිරයපාලයෝ නිරයට අදින්නාහුය. ‘මම වනාහි දැසි දස් කම්කරු පුරුෂයන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. නිරයපල්ලෝ මා නිරයට නොඅදිත්වායි, වළක්වා ගැනීමට ඔහු හෝ සමර්ථ වේද?” මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වායි, වළක්වා ගැනීමට දැසි දස් කම්කරුවෝ හෝ සමර්ථ වෙත්ද?” “භවත් ශරිපුත්‍රයන් වහන්ස, එසේ නොහැකිය ඉක්බිති නිරය පල්ලෝ ඔහු අඬද්දීම නිරයෙහි ඇද දමන්නාහුය.”

ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අසල්වැසියන් නිසා අධර්ම හැසිරීම් ඒ සමහැසිරීම් ඇත්තේ වන්නේද, ඒ පුද්ගලයා අධර්මචාරී විසමචාරී හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. මම වනාහි අසල්වැසියන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. මා නිරයෙහි නිරයපල්ලෝ නිරයට නොඅදිත්වායි, ඔහු හෝ සමර්ථ වේද, ‘මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරය පල්ලෝ නිරයට නොඅදිත්වායි, වළක්වාගන්ට ඔහුගේ අසල් වැසියෝ හෝ සමර්ථ වෙද්ද?’ “භවත් ශාරිපුත්‍රය, එසේ නොහැකිය. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයෙහි ඇද දමන්නාහුය.”

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් නෑසහලේ නෑයන් නිසා අධර්මචරී විසමචාරී වන්නේද? ඒ පුද්ගලයා අධර්මචාරී විසමචාරී හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. ‘මම වනාහි නෑසහලේ නෑයන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. නිරය පාලයෝ මා නිරයට නොඅදිත්වායි’ වළක්වා ගන්ට ඔහු හෝ සමර්ථ වේද?” මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වායි, වළක්වා ගන්ට ඔහුගේ නෑසහලේ නෑයෝ හෝ සමර්ථ වෙද්ද?” භවත් ශරිපුත්‍රය, එසේ නොහැකිය. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයෙහි ඇද දමන්නාහුය.”

“ධානඤ්ජානිය, කුමක් හිතන්නහුද? මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් ආගන්තුකයන් නිසා අධර්මචාරී විසමචාරී වන්නේද, ඒ පුද්ගලයා අධර්මචාරී විසමචාරී හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. ‘මම වනාහි ආගන්තුකයන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. මා නිරයෙහි නිරයපල්ලෝ නොඅදිත්වායි වළක්වා ගන්ට ඔහු හෝ සමර්ථ වේද ‘මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරයපල්ලෝ, නිරයට නොඅදිත්වායි’ ඔහුගේ ආගන්තුකයෝ හෝ සමර්ථ වෙද්ද භවත් ශරිපුත්‍රය, එසේ නොහැකිය. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයෙහි ඇද දමන්නාහුය.”

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් මළගියවුන් නිසා අධර්මචාරී විසමචාරී වන්නේද, ඒ පුද්ගලයා අධර්මචාරී විෂමචාරී හේතුවෙන් නිරය පල්ලෝ නිරයට අදින්නාහුය. ‘මම වනාහි මළගියවුන් නිසා අධර්මචාරී විෂමචාරී වූයෙමි. මා නිරයට නොඅදිත්වා’ නිරය පල්ලෝ නොයයි වළක්වා ගැනීමට ඔහු හෝ සමර්ථ වේද? ‘මේ තෙමේ අප නිසා අධර්මචාරී විෂමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වායි’ වළක්වා ගැනීමට ඔහුගේ මළගිය අය හෝ සමර්ථ වෙත්ද?” “ශරිපුත්‍රයන් වහන්ස, එසේ නොහැකිය. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයට ඇද දමන්නාහුය”

“ධානඤ්ජානිය, කුමක් (සිතන්නෙහිද?) මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දෙවියන් නිසා අධර්මචාරී, විෂමචාරී වන්නේද, ඒ පුද්ගලයා අධර්මචාරී විෂමචාරී හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. ‘මම වනාහි දෙවියන් නිසා අධර්මචාරී විෂමචාරි වීමි. මා නිරයපල්ලෝ නොඅදිත්වායි’ වළක්වා ගැනීමට ඔහු හෝ සමර්ථවේද? ‘මේ තෙමේ අප නිසා අධර්මචාරී විෂමචාරීවිය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වායි වළක්වාගැන්මට ඔහුගේ දෙවියන් හෝ සමර්ථවෙත්ද?” භවත් ශාරිපුත්‍රයන් වහන්ස, එසේ නොහැකිය. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයට ඇද දමන්නාහුය”.

“ධානඤ්ජානිය, (ඔබ) මේ ගැන කෙසේ සිතන්නෙහිද? රජු නිසා එක් පුද්ගලයෙක් අධර්මචාරී විෂමචාරී වන්නේද, ඒ පුද්ගලයා අධර්මචාරී විෂමචාරී හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. ‘මම වනාහි රජු නිසා අධර්මචාරී විෂමචාරී වීමි. මා නිරයෙහි නිරයපල්ලෝ නො අදින්නහු යයි’ (කී කල්හි) ඒ පුද්ගලයා අදිනු ලබයිද?” ‘මේ තෙමේ අප නිසා අධර්මචාරී විෂමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදින්නහු යයි’ (කී කල්හි) වලක්වා ගැන්මට ඔහුගේ රජු හෝ සමර්ථ වෙත්ද”? “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, මෙය නොවේ. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයට ඇද දමන්නාහුය.

“ධානඤ්ජානිය, (ඔබ) මේ ගැන කෙසේ සිතන්නෙහිද? මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් ශරීරය පිනවීම් හා වැඩීම් හේතුවෙන් අධර්මචාරී විෂමචාරී වන්නේද, ඒ පුද්ගලයා අධර්ම චරියා විෂම චරියා හේතුවෙන් නිරය පල්ලෝ නිරයට අදින්නාහුය. ‘මම වනාහි කය පිනවීම හා වැඩීමේ හේතුවෙන් අධර්මචාරී වීමි. මා නිරයෙහි නිරය පල්ලෝ නොඅදින්නාහුයයි’ (කී කල්හි) ඒ පුද්ගලයා අදිනු ලබයිද? ‘මේ තෙමේ කයපිණවීම, වැඩීම නිසා අධර්මචාරී විෂමචාරී විය. ඔහු නිරයට නිරය පල්ලෝ නොඅදින්නාහුයයි (කී කල්හි) අන්‍යයෝ හෝ වළක්වා ගැනීමට සමත් වෙත්ද”? “භවත් ශාරිපුත්‍රය, මේ නොවේ. ඉක්බිති ඔහු අඬද්දීම නිරය පල්ලෝ නිරයෙහි ඇද දමන්නාහුය”.

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් මව් පියන් නිසා විෂම හැසිරීම් ඇත්තේ විසම හැසිරීම් නැත්තේ වන්නේද, ඒ පුද්ගලයා අධර්ම විසම හැසිරීම හේතුවෙන් නරකයට නිරය පාලයෝ අදින්නාහුය. මම වනාහි මව් පියන් නිසා අධර්මචාරී විෂමචාරී වූයෙමි. මා නරකයට නිරයපාලයෝ නොඅදිත්වායයි’ වළක්වා ගැනීමට ඔහු හෝ සමර්ථ වේද, මව් පියෝ හෝ මොහු අප නිසා අධර්ම හැසිරීම විසම හැසිරීම ඇත්තෙක් වීයයි නිරය පාලයෝ නිරයට නොඅදිත්වායි වළක්වා ගැනීමට සමර්ථ වෙත්?” භවත් ශාරිපුත්‍රය, මෙය නොවේ. එකල්හි නිරය පාලයෝ නිරයෙහි ඇද දමන්නාහුය.”

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් අඹු දරුවන් නිසා අධර්ම හැසිරීම් ඇත්තේ විසම හැසිරීම් නැත්තේ වන්නේද? ඒ පුද්ගලයා අධර්ම චරියා විසමචරියා හේතුවෙන් නිරයට නිරයපල්ලෝ අදින්නාහුය. ‘මම වනාහි අඹු දරුවන් නිසා අධර්මචර්යා විසම චර්යා ඇත්තේ වූයෙමි. මා නරකයට නිරය පල්ලෝ නොඅදිත්වායි’ වළක්වාගන්ට සමර්ථවේද? මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරය පල්ලෝ නිරයට නො අදිත්වායි ඔහුගේ අඹු දරුවෝ හෝ වළක්වා ගැනීමට සමර්ථ වෙද්ද?” ‘භවත් ශාරිපුත්‍රයන් වහන්ස නොහැකිය. එකල්හිම ඔහු අඬද්දීම නිරයෙහි වළක්වා ගැනීමට සමර්ථ වෙද්ද? භවත් ශාරිපුත්‍රයන් වහන්ස, නොහැකිය. ඇද දමන්නාහුය”.

“ධානඤ්ජානීය කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැසි කම්කරු පුරුෂයන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේය. ඒ පුද්ගලයා අධර්මචරියා විෂම චරියා හේතුවෙන් නිරයපාලයෝ නිරයට අදින්නාහුය. ‘මම වනාහි දැසි දස් කම්කරු පුරුෂයන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. නිරයපල්ලෝ මා නිරයට නොඅදිත්වායි’ වලක්වා ගැනීමට ඔහු හෝ සමර්ථවේද? ‘මේ තෙමේ අප නිසා අධර්මචාරී විෂමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වායි’ වළක්වා ගැනීමට දැසිදස් කම්කරුවෝ හෝ සමර්ථවෙත්ද?” (මොවුනතුරෙන්) කවරෙක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, දැසි දස් කම්කරුවන් නිසා යමෙක් අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවන්නේය. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යමෙක් දැසිදස් කම්කරුවන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම්ය. භවත් ශාරිපුත්‍රයන් වහන්ස අධර්මචර්යා විෂමචර්යා දෙකින් ධර්මචරියා සමචරියාව දෙකම උතුම්ය.”

“ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් දැසි දස් කම්කරුවන් පොෂණය කිරීමටද, පව්කම් නොකිරීමටද, කුසල පිළිවෙතෙහි පිළිපැදීමටද හේතුවන අන්‍යවූ ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.

“ධානඤ්ජානිය කුමක් සිතන්නෙහිද? යමෙක් අසල්වැසියන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද යමෙක් අසල්වැසියන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද (මොවුන් අතුරෙන්) කවරෙක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, අසල්වැසියන් නිසා යමෙක් අධර්මචාරී විසමචාරී වන්නේද ඔහු උතුම් නොවන්නේය. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, අසල්වැසියන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම්ය. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, අධර්මචර්යා විසමචර්යා දෙකින් ධර්මචර්යා සමචර්යා දෙකම උතුම්ය”.

“ධානඤ්ජානිය, යම්කර්මාන්තයකින් අසල්වැසියන්ගේ කටයුතු කුසල පිළිවෙතෙහි පිළිපැදීම කරන්ටද, පව්කම් නොකරන්ටද, කුශල පිළිවෙතෙහි පිළිවිසීමටද හැක්කේ වේද හේතුසහිත අන්‍යවූ හේතු සහිත ධාර්මික කර්මාන්තයෝ, ඇත්තාහ.

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් නෑ සහලේ නෑයන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, යමෙක් නෑ සහලේ නෑයන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, (මොවුන් අතුරෙන්) කවරෙක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, නෑ සහලේ නෑයන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවේ. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යමෙක් නෑ සහලේ නෑයන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම්ය, භවත් ශාරිපුත්‍රයන් වහන්ස, අධර්මචර්යා විෂමචර්යා දෙකින් ධර්මචර්යා සමචර්යා දෙකම උතුම්ය.”

“ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් නෑ සහලේ නෑයනට කළයුතු කටයුතු නෑ සහලේ නෑයන්ට කරන්නටද, පව්කම් නොකරන්නටද, කුසල් පිළිවෙතෙහි පිළිපදින්නටද, හැක්කේවේද (එබඳු) අන්‍යවූ සහෙතුකවූ ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් ආගන්තුකයන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, යමෙක් ආගන්තුකයන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද (මොවුනතුරෙන්) කවරෙක් උතුම්ද?’ “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යමෙක් ආගන්තුකයන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවේ. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යමෙක් ආගන්තුකයන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම්ය, භවත් හාරිපුත්‍රයන් වහන්ස, අධර්මචර්යා, විෂමචර්යා දෙකින් ධර්මචර්යා සමචර්යා දෙකම උතුම්ය.”

“ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් ආගන්තුකයන්ට කළයුතු කටයුතු ආගන්තුකයන්ට කරන්නටද, පව්කම් නොකිරීමටද, කුසල් පිළිවෙතෙහි පිළිපදින්නටද, හැක්කේවේද (එබඳු) අන්‍යවූ සහේතුක ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.”

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් මළගියවුන් නිසා අධර්මචාරී විසමචාරී වන්නේද, යමෙක් මළගියවුන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, මොවුනතුරෙන් කවරෙක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යමෙක් මළගියවුන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවන්නේය. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යමෙක් මළගියවුන් නිසා ධර්මචාරී, සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම් වන්නේය. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, අධර්මචරියා ධර්මචරියා දෙකින් ධර්මචරියා සමචරියා දෙකම උතුම්ය.” “ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් මළගියවුන්ට කළයුතු කටයුතු මළගියවුන්ට පව්කම් නොකරන්නටද කුසල් පිළිවෙතෙහි පිළිපන්නටද වේද (එබඳු) අන්‍යවූ සහේතුක ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් දෙවියන් හෙතුකොට ගෙන අධර්මචාරී විෂමචාරී වන්නේද? යමෙක් දෙවියන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද (මොවුනතුරෙන්) කවරෙක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යමෙක් දෙවියන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවන්නේය. යමෙක් දෙවියන් නිසා ධර්මචාරී විසමචාරී වන්නේද, ඔහු උතුම් වන්නේය. යමෙක් දෙවියන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම් වන්නේය. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, අධර්මචර්යා විෂමචර්යා දෙකින් ධර්මචර්යා සමචර්යා දෙකම උතුම්ය” “ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් දෙවියන්ට කළයුතු කටයුතු දෙවියන්ට කරන්ටද, පව්කම් නොකරන්ටද, කුසල් පිළිවෙතෙහි පිළිපදින්ටද, හැක්කේවේද (එබඳු) අන්‍යවූ සහෙතුක ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් රජු නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, යමෙක් රජු නිසා ධර්මචාරී සමචාරී වන්නේද, (මොවුනතුරෙන්) කවරෙක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යමෙක් රජු නිසා අධර්මචාරී විසමචාරී වන්නේද, ඔහු උතුම් නොවන්නේය. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යමෙක් රජු නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම් වන්නේය. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, අධර්මචර්යා විෂමචර්යා දෙකින් ධර්මචර්යා සමචර්යා දෙකම උතුම්ය”. “ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් රජුට කළ යුතු කටයුතු රජුට කරන්නටද, පව්කම් නොකරන්නටද කුසල් පිළිවෙතෙහි පිළිපදින්නටද හැක්කේ වේද, එබඳුවූ හෙතු සහිත ධාර්මික අන්‍ය කටයුතු ඇත්තාහ.

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් තමාගේ කය පිනවීම සහ වැඩීම නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, (මොවුනතුරෙන්) කවරෙක් උතුම්ද?”

“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යමෙක් කය පිණවීම හා වැඩීම නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවන්නේය. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යමෙක් කය පිණවීම හා වැඩීම නිසා ධර්මචාරී සමචාරීවන්නේද, ඔහුම මෙහි උතුම්ය”. “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යම් කර්මාන්තයකින් කය පිණවීම හා වැඩීමටද, පව්කම් නොකිරීමටද, කුසල් පිළිවෙතෙහි පිළිපැදීමටද, හැක්කේද (එබඳු) අන්‍යවූ සහෙතුක ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.”

ඉක්බිති ධානඤ්ජානි බ්‍රාහ්මණයා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ කථාවට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට ගියේය. අනතුරුව පසු කාලයෙක්හි ධානඤ්ජානි බමුණා රොගීව දුකට පැමිණියේ දැඩි ගිලන් ඇත්තෙක් විය. එකල්හි ධානඤ්ජානි බමුණා එක් පුරුෂයෙකුට කථා කළේය. “එම්බා පුරුෂය නුඹ මෙහි එව. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි යව. ගොස් ‘ස්වාමීනි, ධානඤ්ජානි බමුණා ආබාධ ඇතිව, දුකට පත්ව, දැඩි ගිලන්ව සිටී. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳීයයි (කියා) මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳුව.

“ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම් තැනෙකද, එහි යව ගොස් ‘ස්වාමීනි, ධානඤ්ජානි බමුණා රෝගීව දුකට පත්ව දැඩි ගිලන්ව සිටී. හෙතෙම ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියයි’ මාගේ වචනයෙන් වඳුව. වැඳ මෙසේද කියව ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ධානඤ්ජානි බමුණන්ගේ ගෙදර යම් තැනෙකද, එතැනට අනුකම්පාකොට පැමිණෙන සේක්නම්, හොඳය (කියායි)”

“ඒ පුරුෂයා, එසේය ස්වාමීනි”යි ධානඤ්ජානි බමුණාට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ පුරුෂයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, ධානඤ්ජානි බමුණා රෝගීව දුකට පත්ව දැඩි ගිලන්ව සිටී. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වැඳීයයි.” (කියායි) ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම් තැනෙකද එහි ගියේය. ගොස් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ඒ පුරුෂයා ආයුෂ්මත් සැරියුත් තෙරුනට මෙසේ කීය. ‘ස්වාමීනි, ධානඤ්ජානි බමුණා රොගීව දුකට පත්ව දැඩි ගිලන්ව සිටී. හෙතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳී (ඔහු) මෙසේද කියයි. ‘ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ ධානඤ්ජානි බමුණාගේ ගෙදර යම් තැනෙකද එහි අනුකම්පා කොට එළඹෙන සේක්නම් හොඳය” (කියායි)

ආයුෂ්මත් සැරියුත් තෙරුණුවෝ නිශ්ශබ්ද වීමෙන් ඉවසූහ.

අනතුරුව ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හැඳපොරවා පාත්‍ර සිවුරු ගෙන ධානඤ්ජානි බමුණාගේ ගෙදර යම් තැනෙකද, එතැනට වැඩිසේක. වැඩ පැනවූ ආසනයෙහි උන්හ. වැඩහිඳ ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ ධානඤ්ජානි බමුණාට මෙසේ කීහ. “ධානඤ්ජානිය, කිමෙක්ද? තොප විසින් ඉවසිය හැකිද? කිමෙක්ද යැපිය හැකිද? දුක් වේදනාවෝ අඩු වෙත්ද, නොවැඩෙත්ද, අඩුවීමක් පෙනේද? නොවැඩීමක් පෙනේද?”

“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, මා විසින් ඉවසිය නොහැක. යැපිය නොහැක. මගේ දැඩි දුක් වෙදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීමක් මිස අඩුවීමක් නොපෙනේ. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු හුලකින් මුදුනට ගසන්නේද, එපරිද්දෙන්ම භවත් ශාරිපුත්‍රයන්වහන්ස, මාගේ නපුරු වාතයෝ හිස් මුදුනට අනිත්. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. දැඩි දුක් වේදනාවෝ මට වැඩෙත්. පහව නොයත්. වැඩීමක් මිස අඩුවීමක් නොපෙනේ.

“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, බලවත් පුරිසයෙක් දැඩිවූ හම් පටකින් හිසෙහි හිස් වෙළුමක් බඳින්නේද, මෙපරිද්දෙන්ම ශාරිපුත්‍රයන්වහන්ස, හිසෙහි නපුරු හිස් වේදනාවක් වෙයි. භවත් ශාරිපුත්‍රයන් වහන්ස, ඉවසිය නොහැක යැපිය නොහැක. මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩුනොවෙත් වැඩීම මිස අඩුවීමක් නොපෙනේ.

“භවත් ශාරිපුත්‍රයන්වහන්ස, යම්සේ දක්ෂ ගෝඝාතකයෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ තියුණුවූ ගෙරිමස් කපන කැත්තෙන් බඩ කපන්නේද, එපරිද්දෙන්ම භවත් ශාරිපුත්‍රයන්වහන්ස, දරුණු වාතයෝ කුස කපත්. භවත් ශාරිපුත්‍රයන්වහන්ස, ඉවසිය නොහැක. යැපිය නොහැක. මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. වැඩීම මිස අඩු වීමක් නොපෙනේ.

“භවත් ශරිපුත්‍රයන්වහන්ස, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයකු අත්වලින් අල්ලාගෙන අඟුරු වළෙහි තවන්නාහුද, නැවත තවන්නාහුද, එපරිද්දෙන්ම භවත් ශාරිපුත්‍රයන් වහන්ස, මාගේ ශරීරයෙහි දැවීම අධිකය. භවත් ශාරිපුත්‍රයන්වහන්ස, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම මිස අඩුවීමක් නොපෙනේ.”

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? නිරය, තිරිසන් යොනිය (යන දෙකින්) කවරක් උතුම්ද? “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, නිරයට වඩා තිරිසන්යොනිය උතුම්ය.” ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? තිරිසන් යොනිය ප්‍රෙතවිෂය (යන දෙකින්) කවරක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, තිරිසන්යොනියට වඩා ප්‍රෙතවිෂය උතුම්ය.” “ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? ප්‍රෙත විෂය, මනුෂ්‍යලොකය (යන දෙකින්) කවරක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන්වහන්ස, ප්‍රෙත විෂයට වඩා මනුෂ්‍ය ලොකය උතුම්ය.

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මනුෂ්‍ය ලොකය හා චාතුර්මහාරාජික දෙවියන් (යන දෙකින්) කවරක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, මනුෂ්‍යයන්ට වඩා චාතුර්මහාරාජික දෙවියෝ උතුම් වෙති.” “ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? චාතුර්මහාරාජික දෙවියන් තව්තිසා දෙවියන් (යන දෙකොටසින්) කවරක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, චාතුර්මහාරාජික දෙවියන්ට වඩා තාවතිංස දෙවියෝ උතුම් වෙත්.”

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? තාවතිංස දෙවියන් යාමදෙවියන් (යන දෙකොටසින්) කවරක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, තාවතිංස දෙවියන්ට වඩා යාමදෙවියෝ උතුම්වෙත්”.

“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යාමදෙවියන් තුසිත දෙවියන් (යන දෙකොටසින්) කවරක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, යාමදෙවියන්ට වඩා තුසිත දෙවියෝ උතුම් වෙත්.” “ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? තුසිත දෙවියන් නිම්මාණරතී දෙවියන් (යන දෙකොටසින්) කවරක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, තුසිත දෙවියන්ට වඩා නිම්මාණරතී, දෙවියෝ උතුම්හ”. “ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? නිම්මාණරති දෙවියන් පරනිම්මිතවසවර්ති දෙවියන් (යන දෙකොටසින්) කවරෙක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, නිම්මාණරතී දෙවියන්ට වඩා පරනිම්මිතවසවර්ති දෙවියෝ උතුම්හ”. “ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? පරනිම්මිතවසවර්තියද, බ්‍රහ්මලොකද (යන දෙකින්) කවරක් උතුම්ද?” “භවත් ශාරිපුත්‍රයන් වහන්සේ බ්‍රහ්මලොක යයිකියයිද, භවත් ශාරිපුත්‍රයන් වහන්සේ බ්‍රහ්මලොකයි කියයිදැයි” කීය.

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙබඳු සිතෙක් විය. ‘මේ බමුණෝ බ්‍රහ්මලොකයෙහි ඇලුනෝය. ධානඤ්ජානි බමුණාට බ්‍රහ්මයන් හා එක්වීමට පැමිණෙන මාර්ගය මම දෙසන්නෙම් නම් හෙයෙකි. (කියාය), “ධානඤ්ජානිය, නුඹට බ්‍රහ්මයන් හා එක්වීමට පැමිණෙන මාර්ගය දෙසන්නෙමි, එය අසව මනාව සිත්හි කරව් කියන්නෙමි. ධානඤ්ජානි බමුණ, “එසේය පින්වතුන් වහන්සැයි” ආයුෂ්මත් සැරියුත්තෙරුන්ට උත්තර දුන්නේය.

ආයුෂ්මත් ශාරිපුත්‍රතෙමේ මෙසේ වදාළේය. “ධානඤ්ජානිය, බ්‍රහ්මයන් සහවාසයට මාර්ගය කවරේද? ධානඤ්ජානිය, මෙහි භික්ෂුතෙම මෛත්‍රීසහගත සිතින් එක් දිසාවක පතුරුවා වාසය කරයිද, එසේ දෙවැනි තෙවැනි, සතරවැනි දිසාවලට පතුරුවා වාසය කරයිද, මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතිර පවත්නා අයුරින් සියල්ල ඇතුළත් ලෝකය මහත්වූ මහග්ගතවූ අප්‍රමාණවූ අචෛරීවූ අව්‍යාපාදවූ මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරයිද, මේද ධානඤ්ජානිය බඹුන්ගේ සහවාසයට මාර්ගයයි.

“නැවතද ධානඤ්ජානිය, භික්ෂුතෙම කරුණාසහගතසිතින් එක් දිසාවක පතුරුවා වාසය කරයිද, එසේ දෙවෙනි, තෙවෙනි, සතරවැනි දිසාවලට පතුරුවා වාසය කරයිද, මෙසේ උඩ, යට, සරස (යන) සියලු තන්හි, සියලු තන්හි පැතිර පවත්නා අයුරින් සියල්ල ඇතුළත් ලෝකය මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණවූ, අවෛරීවූ, අව්‍යාපාදවූ, මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසයකරයිද, මේද, ධානඤ්ජානිය, ඔවුන්ගේ සහවාසයට මාර්ගයයි.

“මුදිතා සහගත සිතින් එක් දිසාවක පතුරුවා වාසය කරයිද, එසේ දෙවෙනි, තෙවෙනි, සතරවැනි දිසාවලද පතුරුවා වාසය කරයිද, මෙසේ උඩ, යට, සරස (යන) සියලු තන්හි. සියලු තන්හි පැතිර පවත්නා අයුරින් සියල්ල ඇතුළත් ලොකය මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණවූ, අවෛරීවූ, අව්‍යාපාදවූ, මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරයිද, මේද ධානඤ්ජානිය, බඹුන්ගේ සහවාසයට මාර්ගයයි.

“උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක පතුරුවා වාසය කරයිද, මෙසේ උඩ, යට, හරහ (යන) සියලු තන්හි, සියලු තන්හි පැතිර පවත්නා ලෙසින් සියල්ල ඇතුලත් ලොකය මහත්වූ මහග්ගතවූ, අප්‍රමාණවූ අවෛරීවූ, අව්‍යපාදවූ, උපෙක්ඛා සහගත සිතින් පතුරුවා වාසය කරයිද, මෙයද ධානඤ්ජානිය බඹුන්ගේ සහවාසයට මාර්ගයයි.”

“භවත් ශාරිපුත්‍රයන් වහන්ස, එසේ නම් මාගේ වචනයෙන් භාග්‍යවතුන්ගේ පාදයන් සිරසින් වඳිනු මැනව. “ස්වාමීනි, ධානඤ්ජානි, බමුණා රොගීව, දුකට පත්ව දැඩි ගිලන්ව සිටී හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියයි, (කියායි)”

ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙමේ ධානඤ්ජානි බමුණා මත්තෙහි කළයුතු දේ තිබියදී හීනවූ බඹලොව පිහිටුවා හුනස්නෙන් නැගිට ගියේය. අනතුරුව ධානඤ්ජානි බමුණා ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඩි නොබෝ වෙලාවකින් කලුරිය කෙළේය. බඹලොවද උපන්නේය.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළසේක. “මහණෙනි, මේ සාරිපුත්‍රතෙමේ ධානඤ්ජානි බමුණා මත්තෙහි කළයුතු දේ තිබියදී හීනවූ බඹලොව පිහිටුවා හුනස්නෙන් නැගිට ගියේයයි” වදාළේය. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, ධානඤ්ජානි බමුණා, රොගීව දුකට පත්ව දැඩි ගිලන් වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳීයයි” කීය.

“කිමෙක්ද? ශාරිපුත්‍රය, ධානඤ්ජානි බමුණා මත්තෙහි කළයුතු දේ තිබියදී හීනවූ බඹලොව පිහිටුවා හුනස්නෙන් නැගිට ගියේදැයි? ඇසූහ”. “ස්වාමීනි. මට වනාහි මේ අදහසවිය. ‘මේ බමුණෝ බඹ ලොව ඇලුනෝය. ධානඤ්ජානි බමුණාට බ්‍රහ්මයන්ගේ සහවාසයට පැමිණෙන මාර්ගය මම දෙසන්නෙම් නම් යෙහෙක” (කියායි). “ශාරිපුත්‍රය, ධානඤ්ජානි බමුණා කළුරිය කෙළේය. බඹලොව උපන්නේය.

සත්වැනිවූ ධානඤ්ජානි සූත්‍රය නිමි. (5-7)