මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

5. බ්‍රහ්මණ වර්ගය

98. වාසෙට්ඨ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානංගල නම් බමුණු ගමෙහි ඉච්ඡානංගල වනලැහැබෙහි වාසය කරන සේක. ඒ කාලයෙහි වනාහි ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි බ්‍රාහ්මණයෝ ඉච්ඡානංගල ජනපදයෙහි වාසය කරත්. ඔවුහු කවරේද? චංකීබ්‍රාහ්මණ තෙමේද, තාරක්ඛ බ්‍රාහ්මණතෙමේද, පොක්ඛරසාති බ්‍රාහ්මණ තෙමේද, ජානුස්සොණ බ්‍රාහ්මණ තෙමේද, තොදෙය්‍ය බ්‍රාහ්මණ තෙමේද, අන්‍යවූද ප්‍රසිද්ධ මහාසාර බ්‍රාහ්මණයෝ වෙති. එකල්හි පයින් ඔබමොබ සක්මන් කරන්නාවූ, ඇවිදින්නාවූ, වාසෙට්ඨ භාරද්වාජ යන තරුණයන් අතර මේ කථාව පහළවිය. “පින්වත, බ්‍රාහ්මණයෙක් වන්නේ කෙසේද කියායි” භාරද්වාජ තරුණයා මෙසේ කීය. “පින්වත, යම්හෙයින් මව්පිය දෙපසින් මැනවින් උපන්නේද, පිරිසිදු මව්කුසින් උපන්නේද, සත්වන පරපුර දක්වා ජාතිවාදයෙන් බැහැර නොකරණ ලද්දේද, නින්දානොකරණ ලද්දේද, පින්වත, මෙපමණකින්ම බමුණෙක් වෙයි” කියායි.

වාසෙට්ඨ තරුණයා මෙසේ කීය. “පින්වත, යම්හෙයකින් සිල්වත්ද මනාපැවතුම් ඇත්තේද, පින්වත, එපමණෙකින් බමුණෙක් වෙයි” යනුය. භාරද්වාජ තරුණ තෙමේ වාසෙට්ඨ තරුණයාට මෙය සැඟවීමට නොහැකි විය. වාසෙට්ඨ තරුණ තෙමේ භාරද්වාජ තරුණයාට මෙය හැඟවීමට නොහැකි විය. ඉක්බිති වාසෙට්ඨ තරුණයා භාරද්වාජ මානවකයාට කථා කෙළේය. “පින්වත් භාරද්වාජය, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව ශාක්‍යපුත්‍රවූ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉච්ඡානංගල ගමෙහි ඉච්ඡානංගල වනලැහැබෙහි වාසය කරණ සේක. ඒ භවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත් කීර්තිශබ්දයක් උස්ව පැනනැංගේය. මේ කරුණෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, අනුත්තරයහ පුරිසදම්ම සාරථිහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ භාග්‍යවත්හ යනුවෙනි. භවත් භාරද්වාජය, යමු. ශ්‍රමණ ගෞතමයන් යම් තැනෙකද, එතැනට පැමිණෙන්නෙමි. පැමිණ ශ්‍රමණ ගෞතමයන් අතින් මෙකරුණ අසන්නෙමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපට යම්සේ ප්‍රකාශ කරත්ද, එසේ එය අපි පිළිගන්නෙමුයි” කීය. “එසේය පින්වතැයි” භාරද්වාජ තරුණයා වාසෙට්ඨ තරුණයාට උත්තර දුන්නේය.

ඉක්බිති වාසෙට්ඨ, භාරද්වාජය තරුණයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එක්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ වාසෙට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවන්ගෙන් මෙසේ කීයේය.

[1] “පින්වතුන් වහන්ස, අපි ආචාර්යයන් විසින් ත්‍රිවේදයෙහි හික්මන ලද්දේ වෙමුයි ප්‍රකාශ කරන ලද්දෝද, ආචාරීන් වහන්ස, අපි ත්‍රිවේදය උගත්තෙමුයි පිළිගත්තෝද වෙමු. මම පොක්ඛරසාති බමුණාගේ අතවැසිවූ ප්‍රධාන ශිෂ්‍යයා වෙමි. මේ තරුණයා තාරුක්ඛ බ්‍රාහ්මණයන්ගේ අග්‍ර ශිෂ්‍යයා වෙයි.

[2] “ත්‍රිවෙදය දන්නා බමුණන් විසින් අර්ථයක් හෝ ව්‍යඤ්ජනයක් හෝ කියන ලද්දේද, ඒ සියල්ල උගෙණ නිමාවට ගියෝ වෙමු. පද හා ව්‍යාකරණ කීමෙහිදීද අපි ආචාර්යයන් හා සමානයෝ වෙමු.

[3] “ගෞතමයන් වහන්ස, ඒ අපගේ ජාතිවාදයෙහි වාදයක් වෙයි. උත්පත්තියෙන් (ජාතියෙන්) බමුණෙක් වේයයි, භාරද්වාජ තෙමේ කියයි. මම ක්‍රියාවෙන් බමුණෙක් වේයයි කියමි. පසැස් ඇති භාග්‍යවතුන් වහන්ස, මෙසේ දැනගන්නා සේක්වා.

[4] “ඒ අපි දෙදෙන ඔවුනොවුන්ට ඇඟවීමට නොහැකි වෙමු. එය ඇසීම සඳහා ඔවුනොවුන්ට හැඟවීමට හැක්කෙමු.

[5] “පූර්ණචන්ද්‍රයා බඳු වූ මෙසේ ලොකයෙහි ප්‍රසිද්ධවූ සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ඇදිලි බැඳ වඳිමින් නමස්කාර කරත්.

[6] “ලොකයට පහළවූ ඇසක් වැනිවූ ගෞතමයන් වහන්සේගෙන් අපි අසමු. “ජාතියෙන් බමුණෙක් වේද, කර්මයෙන් බමුණෙක් වේද? නොදත් අපට යම්සේ බ්‍රාහ්මණයා කවරෙක්දැයි දැනගනිමුද? ඒ ආකාරයෙන් ප්‍රකාශ කළ මැනවි.

භාග්‍යවතුන් වහන්සේ, “වාසෙට්ඨය, ඒ තොපට මම පිළිවෙලින් නානාප්‍රකාර ජාති ඇති ප්‍රාණීන්ගේ ජාති විස්තරය ප්‍රකාශ කරන්නෙමි (කියන්නෙමි) ජාතීහු වෙන් වෙන් වූවාහුය.

[1] “තෙපි තෘණ, වෘක්ෂයන් දන්නාහුය. එහෙත් (ඔවුහු) අපි තෘණය, වෘක්ෂයයි නොදනිති. ඔවුන්ට ජාතියෙන් හටගත් සටහන් ඇත්තේය. වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.

[2] “පණුවන්ද, පලඟැටියන්ද, කුරුකුහුඹුවන් දක්වා ජාතියෙන් හටගත් සටහන් ඇත්තේය. ඔවුහු වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.

[3] “කුඩාවූද, මහත්වූද, සිවුපා ජාතීන්ද තෙපි දන්නාහුය. ඔව්හුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.

[4] “තෙපි දිගපිට ඇති උදරය පාද කොට ඇති සර්පයන්ද දන්නාහුය. ඔව්හුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.

[5] “ඉක්බිති ජලයෙහි ඉපිද දියම ගොදුරුකොට ඇත්තාවූ මසුන්ද දන්නහුය. ඔව්හුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.

[6] “පියාපත් වලින් අහසින් යන පක්ෂීන්ද දන්නාහුය ඔව්හුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන් වෙන් වූ ජාති ඇත්තාහුය.

[7] “යම්සේ මේ ජාතීන් කෙරෙහි ජාතියෙන් හටගත් සටහන් බොහෝ වේද, මනුෂ්‍යයන් කෙරෙහි එසේ බොහෝවූ ජාතියෙන් හටගත් සටහන් බොහෝ නොවෙත්.

[8] “කෙස්වලින්ද, හිසින්ද, කන්වලින්ද, ඇස්වලින්ද, මුඛයෙන්ද, නාසයෙන්ද, දෙතොල්වලින්ද, බැමිවලින්ද වෙනසක් නැත.

[9] “බෙල්ලෙන්ද, දෙඋරෙන්ද, බඩෙන්ද, පිටෙන්ද ඉඟටියෙන්ද, පපුවෙන්ද, මෛථුනසම්බාධ ස්ථානයන්ගෙන්ද වෙනසක් නැත.

[10] “අත්වලින්ද, පාවලින්ද, ඇඟිලිවලින්ද, නියවලින්ද, කෙණ්ඩාවලින්ද, කලවාවලින්ද, වර්ණයෙන්ද, කටහඬින්ද වෙනසක් නැත. අන්‍ය ජාතීන්හි මෙන් ඔවුන්ට ජාතියෙන් හටගත් වෙනස් සටහනක් නැත.

[11] “මනුෂ්‍යයන් කෙරෙහි වෙනස්වූ ශරීර සටහනක් නැත. එහෙත් මනුෂ්‍යයන් කෙරෙහි වෙන්වූ ජාති ව්‍යවහාර කරනු ලැබේ.

[12] “මිනිසුන් අතර යම්කිසිවෙක් ගොවිතැනින් ජීවත් වේද, වාසෙට්ඨය, ඔහු ගොවියෙකි. හෙතෙම බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

[13] “මිනිසුන් අතර යම් කිසිවෙක් රෙදි විවීම් ආදී නොයෙක් ශිල්පයෙන් ජීවත්වේද, වාසෙට්ඨය, ඔහු ශිල්පියෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

[14] “මිනිසුන් අතර යම් කිසිවෙක් වෙළඳාමෙන් ජීවත්වේද, වාසෙට්ඨය, ඔහු වෙළෙන්දෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

[15] “මිනිසුන් අතර යම් කිසිවෙක් අනුන්ට සේවාකම් කිරීමෙන් ජීවත්වේද, වාසෙට්ඨය, ඔහු සේවකයෙකි, බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

[16] “මිනිසුන් අතර යම් කිසිවෙක් සොරකමින් ජීවත් වේද, වාසෙට්ඨය, ඔහු සොරෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

[17] “මිනිසුන් අතර යම් කිසිවෙක් ආයුධවලින් ජීවත් වේද, වාසෙට්ඨය, ඔහු යොධාජීවයෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

[18] “මිනිසුන් අතර යම් කිසිවෙක් පුරොහිතකමින් ජීවත්වේද, වාසෙට්ඨය, ඔහු පුරොහිතයෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

[19] “මිනිසුන් අතර යම් කිසිවෙක් ගමද රටද අනුභව කෙරේද, වාසෙට්ඨය, ඔහු රජෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

[20] “ඉදින් රාගාදි පලිබොධ සහිත නම් යොනියෙන් උපන් මවුගෙන් උපන් ඔහු, මම බ්‍රාහ්මණයෙකැයි නොකියමි. හෙතෙම භො භො කියන්නෙකි. රාගාදී පලිබොධ නැති මමයයි හැඟීමක් නැති පුද්ගලයා මම බ්‍රාහ්මණයායි කියමි.

[21] “යමෙක් සියලු සංයෝජනයන් සිඳ නොඇලෙන්නේද, ඇලීම් දුරුකළාවූ, සියලු කෙලෙසුන් කෙරෙන් දුරුවූ, ඔහු මම බ්‍රාහ්මණයායි කියමි.

[22] “බද්ධ වෛරය නමැති රැහැණද, තෘෂ්ණාව නමැති වරපටද, පරියුට්ඨාන දෘෂ්ටිය නමැති මලපුඩුවද, අනුසය දෘෂ්ටිය නමැති ගැටයද, අවිද්‍යාව නමැති වැස්මද නසා චතුස්සත්‍ය අවබොධ කළ පුද්ගලයා බමුණායයි මම කියමි.

[23] “යමෙක් නොකිපී ආක්‍රොශයද, වධබන්ධනද ඉවසයිද ඉවසීම් බලය ඇති, බලවත් ඉවසීම ඇති ඔහු බමුණායයි මම කියමි.

[24] “ක්‍රොධ නොකරණ ධුතාංගධාරී ගුණවත්වූ රාගාදිය උත්සන්න නොවූ දැමුණු අන්තිම ශරීර ඇති පුද්ගලයා බ්‍රාහ්මණයායි මම කියමි.

[25] “නෙලුම් පතෙහි ජලය මෙන් ඉදිකටු අග අබ ඇටය මෙන් යමෙක් කාමයන්හි නොඇලේද, ඔහු මම බ්‍රාහ්මණයායි කියමි.

[26] “යමෙක් දුක් කෙළවර කරන්නාවූ අර්හත් ඵලය අවබෝධ කිරීම් වශයෙන් දනීද, බහාතැබූ බරඇති රාගාදී ක්ලේශයන් කෙරෙන් වෙන්වූ ඒ පුද්ගලයා බ්‍රාහ්මණයයි මම කියමි.

[27] “ගැඹුරු ප්‍රඥා ඇති, ප්‍රකෘති ප්‍රඥා ඇති, මාර්ග අමාර්ග දෙක්හි දක්ෂවූ උතුම් අර්ථයට පැමිණි ඒ පුද්ගලයා බ්‍රාහ්මණයයි මම කියමි.

[28] “ගිහියන් සමගද, පැවිද්දන් සමගද, යන දෙයාකාරයෙන්ම මිශ්‍රනොවූ පස්කම් ගුණයෙන් නොඇලුණු අලෞකික පුද්ගලයා බ්‍රාහ්මණයයි මම කියමි.

[29] “යමෙක් තෘෂ්ණාව නැති නොකළ සත්වයන් කෙරෙහිද, නැති කළ (රහත්) සත්වයන් කෙරෙහිද, දඬු මුගුරු බහා තබා සතුන් නොමරත්ද, නොමරවත්ද, මම, ඔහු බ්‍රාහ්මණයයි කියමි.

[30] “විරුද්ධවූ සත්වයන් කෙරෙහි විරුද්ධ නොවන්නාවූ, දඬු මුගුරු ගත්තාවුන් කෙරෙහි නිවුනාවූද, තණ්හාවෙන් දැඩිකොට අල්වා ගන්වා සත්වයන් කෙරෙහි අල්වා ගැනීමක් නැත්තාවූද, පුද්ගලයා මම බ්‍රහ්මණයායයි කියමි.

[31] “යමෙකු විසින් රාගයත්, ද්වෙෂයත්, මානයත් මකු බවත්, ඉදිකටු අගින් අබැටක් මෙන් හෙලන ලදද, ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

[32] “යමෙක් රළුනොවූ හිත වැඩ අඟවන ඇත්ත කියන්නේවේද, යම් වචනයකින් කිසිවකු කුපිත නොකරන්නේද, ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

[33] “යමෙක් මෙලොව දික්වූ හෝ, කොටවූ හෝ, මහත්වූ හෝ යහපත්වූ හෝ, අයහපත්වූ හෝ නොදුන් දෙයක් නොගනීද, ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

[34] “යමෙකුට මෙලෝහිද පරලෝහිද ආශාවක් නැත්තේද, ආශාව නැති කෙලෙසුන්ගෙන් මිදුණු ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

[35] “යමෙකුට තෘෂ්ණාවෝ නැත්ද, යමෙක් නුවණින්, දැන සැක රහිතවීද, ගැඹුරුවූ නිවනට පැමිණි ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

[36] “මේ ලොකයෙහි යමෙක් ස්වර්ගයෙහි හා අපායෙහි අලවන හෙයින් සංඝනම්වූ පින් පව් දෙක ඉක්මවූයේද, ශොක නැත්තාවූ, කෙලෙස් රජස් නැත්තාවූ, පිරිසිදුවූ ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

[37] “චන්ද්‍රයා සේ නිර්මලවූ ශුද්ධවූ විශෙෂයෙන් ප්‍රසන්නවූ, නොකැලඹුනාවූ තෘෂ්ණාව හා භවය දුරුකලාවූ ඔහු බ්‍රාහ්මණ යයි මම කියමි.

[38] “යමෙක් මේ කෙලෙස් නැමැති මඩ සහිත මගත් ක්ලෙශ දුර්ගයත්, සසරත්, මොහයත්, පසුකොට ගියේද, පරතෙරට ගියේද, ධ්‍යානයෙහි ඇළුනේද, ස්ථිරද, සැක නැත්තේද, ආත්මාදී වශයෙන් කිසිත් අල්වා නොගෙන නිවුනේද ඔහු බ්‍රාහ්මණයායි මම කියමි.

[39] “යමෙක් මේ ලෝකයෙහි කාමයන් හැර අනගාරිකවූ ගිහිගෙන් නික්මෙන්නේද, කාමයන් හා භවයන් දුරු කළ ඔහු බ්‍රාහ්මණයායි මම කියමි.

[40] “යමෙක් මේ ලොකයෙහි තෘෂ්ණාව හැර අනගාරිකව ගිහිගෙන් වෙන්ව පැවිදි වන්නේද, තෘෂ්ණා හා භවයන් ක්ෂයකළ ඔහු බ්‍රාහ්මණයායි මම කියමි.

[41] “යමෙක් මනුෂ්‍ය පඤ්චකාමයත් දිව්‍යපඤ්චකාමයත් දුරුකෙළේද, සියලු ක්ලේශ බැඳීම්වලින් මිදුණු ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

[42] “පස්කම්හි ඇල්මද, මහණදම්හි උකටලියද, හැර නිවී ගිය උප ක්ලේශ රහිත සියලු ස්කන්ධ ලොකය මැඩ සිටී, වීර්යවත්වූ ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

[43] “යමෙක් සත්වයන්ගේ ච්‍යුතියත් උත්පත්තියත්, සියලු ආකාරයෙන් දැනගත්තේද, පිළිවෙත් මග මනාව ගොස් නිමවූ චතුස්සත්‍ය අවබෝධකළාවූ ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

[44] “දෙවියෝත්, ගාන්ධර්වයෝත්, මනුෂ්‍යයෝත්, යමෙකුගේ උත්පත්තිය නොදනිත්ද, ආශ්‍රවයන් නැසූ අර්හත්වූ ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

[45] “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ස්කන්ධයන්හි තණ්හාවෙන් ගැනීමත් යමෙකුට නැත්ද, ඒ තණ්හාවෙන් නැති ආත්මාදීන් වශයෙන් කිසිවක් නොගන්නා ඔහු මම බමුණායයි කියමි.

[46] “තැති නොගන්නා ශ්‍රෙෂ්ඨවූ, වීර්යවත්වූ, මහර්ෂිවූ දිනුවාවූ, අචලවූ, කෙලෙස් සෝදා හැරියාවූ, චතුස්සත්‍ය දැන ගත්තාවූ, ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

[47] “යමෙක් පෙරවිසූ කඳ පිළිවෙල දනීද, ස්වර්ග හා අපායයන් දකීද, ජාතිය කෙළවර කිරීමට පැමිණියේද, ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

[48-49] “ලොකයෙහි ඒ ඒ තැන උපන් කල්හි පනවන ලද නාමගොත්‍ර අනුපිළිවෙලින් ආ ව්‍යවහාර මාත්‍රයක්මය පැනවීමක් පමණය. මෙසේ බොහෝ කලක් ගත් දෘෂ්ටි ඇති නොදන්නා සත්වයෝ උත්පත්තියෙන් බමුණෙක් වේයයි ප්‍රකාශ කරත්. දන්නෝ නොකියති.

[50] “උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක්ද, නොවේ. උත්පත්තියෙන් බ්‍රාහ්මණ නොවන්නෙක්ද නොවේ. ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙක් වෙයි. බ්‍රාහ්මණ නොවූවෙක්ද වෙයි.

[51] “ක්‍රියාවෙන් ගොවියෙක්වෙයි. ක්‍රියාවෙන් ශිල්පයෙක් වෙයි. ක්‍රියාවෙන් වෙළෙන්දෙක් වෙයි. ක්‍රියාවෙන් සේවනයෙක් වෙයි.

[52] “ක්‍රියාවෙන් සොරෙක් වෙයි. ක්‍රියාවෙන් ආයුධවලින් ජීවත්වන්නෙක් වෙයි. ක්‍රියාවෙන් පුරෝහිතයෙක් වෙයි. කර්මයෙන් රජෙක් වෙයි.

[53] “මෙපරිද්දෙන් පටිච්චසමුප්පාදය දක්නාවූ කර්ම විපාකයෙහි දක්ෂවූ, ඇතිසැටියෙන් කර්මය පණ්ඩිතයෝ දකිති.

[54] “ලොකය කර්මයෙන් පවතී. ප්‍රජාව කර්මයෙන් පවතී. යන්නාවූ රථයාගේ කඩඇනය මෙන් සත්වයෝ කර්මයෙන් බැඳී වාසය කරත්.

[55] “තපසින්ද, බ්‍රහ්මචර්යයෙන්ද, සීලයෙන්ද, ඉන්ද්‍රිය දමනයෙන්ද, යන මේ හේතුකොට ගෙන බමුණෙක් වෙයි. ඔහු උතුම් බ්‍රාහ්මණයෙකැයි කියමි.

[56] “ත්‍රිවිද්‍යාවෙන් සම්පූර්ණවූ, ශාන්තවූ, දෙවෙනි භවය කෙළවර කළාවූ, හෙතෙම නුවණැතියන්ට බ්‍රහ්මයෙක ශක්‍රයෙකැයි, වාසෙට්ඨය, මෙසේ දැනගනුව.”

මෙසේ කී කල්හි වාසෙට්ඨ, භාරද්වාජ යන තරුණයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ යම්සේද, වැසුනු දෙයක් විවෘත කරන්නේ යම්සේද, මං මුළාවූවෙකට මාර්ගය කියන්නේ යම්සේද, ඇස් ඇත්තෝ දකිත්වායි අඳුරෙහි තෙල්පහනක් දල්වන්නේ යම්සේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේය. අපි භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයාද, සංඝයාද සරණයමු. භවත් භවත් ගෞතමයන් වහන්සේ අපි අදපටන් දිවිහිමිව සරණ ගිය උපාසකයන්සේ දරණ සේක්වා කියායි.”

අටවැනිවූ වාසෙට්ඨ සූත්‍රය නිමි. (5-8)