ඛුද්දකනිකාය

පෙතවත්ථු

4. මහා වර්ගය

16. සට්ඨිකූට ප්‍රෙත කථාව

“තෝ උතුම් ස්වභාව ඇත්තකු මෙන්ද, කරකැවෙන්නාවූ මුවකු මෙන්ද, කුමක් හෙයින් (ඔබමොබ) දුවන්නෙහිද නිසැකව පවකම් ඇත්තෙකි. කුමක් හෙයින් ඉතා නාද කරමින් හැසිරෙන්නෙහිද?”

“ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලොකයෙහිවූ ප්‍රේතයක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලොකයට ගියේ වෙමි.

“මාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු (මාගේ) මස්තකය බඳිත්.

“කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ප්‍රේතලොකයට ගියේද?”

“තාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු මස්තකය බඳිත්.

“ඉක්බිති වඩනාලද ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ඇති රුක්මුල භාවනා කරමින් වැඩහුන්නාවූ බිය නැත්තාවූ සුනෙත්‍ර නම් වූ පසේ බුදුන් මම දුටුවෙමි.

“උන්වහන්සේගේ හිස ගල් විදුම් පහරින් පොඩි කෙළෙමි. ඒ අකුශල කර්ම විපාක හේතුවෙන් මෙබඳු දුකට පැමිණියෙමි.

“මාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු (මාගේ) මස්තකය බඳිත්.

නින්දිත පුරුෂය තට සුදුසුවූ කරුණෙන්ම තාගේ හිසෙහි අඩුනැති කුළු සැටදහසක් සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු මස්තකය බඳිත්.

සට්ඨිකූටපෙතවත්ථු සොළසමං.

මහාවග්ගො චතුත්ථො නිට්ඨිතො.

ප්‍රෙත වස්තුව නිමි.