ඛුද්දකනිකාය

පෙතවත්ථු

1. උරග වර්ගය

7. පුත්‍රයන් සත්දෙනෙකු කන (සප්ත පුත්‍ර ඛාදක) ප්‍රේතියගේ කථාව

“වස්ත්‍ර නැතිව නපුරු වර්ණ ඇතිව කුණු ගඳ ඇත්තියක් වෙහිය, මැස්සන් විසින් වසාගත් මෙහි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙහිද?”

“ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලොකයෙහිවූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලොකයට ගියේ වෙමි.

“උදය කාලයෙහි පුත්‍රයන් සත්දෙනෙක්ද සවස නැවත අනික් සත්දෙනෙක්ද වදා කන්නෙමි. ඔවුන්ද මට ප්‍රමාණ නොවෙත්.

“මාගේ ළය බඩගින්නෙන් දැවෙයි. දුම් නගියි අව්වෙහි ගින්නෙත් දැවුනාක්මෙන් නිවීමක් නොලබමි.

“කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් පුත්‍රයන්ගේ මස් කන්නෙහිද?”

“මගේ පුත්‍රයන් දෙදෙනෙක්වූහ. දෙදෙනම වැඩුන තරුණයෝය. පුත්‍රයන්ගේ බලයෙන් යුත් ඒ මම ස්වාමියාට අවමන් කළෙමි.

“ඉන් මගේ සැමියා කිපී අනික් ස්ත්‍රියක් ගෙනාවේය. ඈද ගර්හයක් ලැබුවාය. ඈට පාපයක් සිතුවෙමි.

“ඒ මම ක්‍රොධ සිතින් ගැබ් හෙළීම කළෙමි. ඇගේ තුන්මසක් වූ ගර්භය කුණු ලේ වී වැටුනේය.

“ඇගේ ඒ මව තරහවූවා මගේ ඤාතීන් කැඳවූයේය. මා දිව්රීමද කරවූයේය. මට නින්දාද කළේය.

“ඒ මම බොරුවූ දරුණු දිව්රීමක් දිවුරුවෙමි. ඉදින් මා විසින් එය කරණ ලද්දේද දැන් පුත්‍රයන්ගේ මස් කමි.

“ඒ කර්ම විපාකයෙන්ද මුසාවාදයෙන්ද යන දෙකින් සැරවින් හා ලෙයින් වැකුණු ශරීර ඇති පුත්‍රයන්ගේ මස්කමි.”

සත්තපුත්තඛාදපෙතිවත්ථු සත්තමං.