සංයුත්තනිකායො

සගාථ වර්ගය

1. දෙවතා සංයූත්තය

2. නන්‍දන වර්‍ගය

1. නන්‍දන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එත් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හ් වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ කියා භික්‍ෂූන්ට කථා කළසේක.

’’පින්වතුන් වහන්සැ’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

’’මහණෙනි, පෙර වූවක් කියමි. තව්තිසා දෙව්ලෝ වැසි එක්තරා දෙවියෙක් නන්‍දන වනයෙහි දෙවඟනන් සමූහයා විසින් පිරිවරන ලද්දේ, දිව්‍යමයවූ පඤචකාම සම්පත්තීන් යුක්තවූයේ, සමන්විතවූයේ, රූප ශබ්දාදියෙන් විනෝද වනුයේ ඒ වේලාවෙහි මේ ගාථාව කීය:

’’පරිවාර සම්පත් ඇති තව්තිසා දෙවියන්ගේ වාසස්ථානයවූ නන්‍දනවනය යම් කෙනෙක් නොදකිත්නම්, ඔවුහු සැප නම් කිමෙක්දැයි නොදක්නාහ.’’ යනුයි.

මෙසේ කී කළ වෙනත් දෙවියෙක් ඒ දෙවියාට :

’’අනුවණය, රහතුන්ගේ වචනය යම්සේ නම් එසේ තෝ නොදන්නෙහිය. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. (ඔහු) ඉපැදීම හා නැස්ම ස්වභාවයකොට ඇතියහ. ඒ සියල්ල ඉපිද නැසෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීම (නිවන) ම සැප වේයැ’යි ගාථාවෙකින් පෙරළා කීය.’’