සංයුත්තනිකායො
සගාථ වර්ගය
11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය
2. සත්තවත වර්ගය
3. දේවා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වසනසේක.
ඉක්බිති මහාලි ලිච්ඡවිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් මහාලි ලිච්ඡවිතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ’’ස්වාමීනි, ඔබ වහන්සේ විසින් ශක්රදේවේන්ද්ර තෙම දක්නා ලද්දේදැ?’’ යි ඇසීය.
’’මහාලි, මා විසින් ශක්රදේවේන්ද්ර තෙම දක්නා ලද්දේය’’.
’’ස්වාමීනි, හෙතෙම වනාහි ඒකාන්තයෙන් ශක්රයාමෙන් පෙනී සිටියෙක් විය යුතුයි. ස්වාමීනි, ශක්රදේවේන්ද්ර තෙම දැකීමට ඉතා දුෂ්කරය.’’
’’මහාලි, මම ශක්‍රයාද ශක්රකරණ (ශක්‍රබව ලබා දෙන) ධර්මයන්ද දනිමි. යම් ධර්මයක් සමාදන්වූ බැවින් ශක්‍ර තෙම ශක්‍ර බවට පැමිණියේ නම් ඒ ධර්මයන්ද දනිමි.
’’මහාලි, ශක්රදේවේන්ද්ර කෙම පෙර මිනිස්බවෙහි සිටිකල මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් ඔහු ’මඝවා’ යි කියනු ලැබේ. මහාලි, ශක්රදේවේන්ද්ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල පුරයක් පුරයක් පාසා දන් දුනි. එහෙයින් ’පුරින්දද’ යයි කියනු ලැබේ. මහාලි, ශක්රදේවේන්ද්ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල සකස්කොට දන්දුනි. එහෙයින්
’ශක්‍ර’ යයි කියනු ලැබේ. මහාලි, ශක්රදේවේන්ද්ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල වාසස්ථානයක් දුන්නේය. එහෙයින් ’වාසව’ යයි කියනු ලැබේ. මහාලි, ශක්රදේවේන්ද්ර තෙම කරුණු දහසක් මොහොතින් සිතයි. එහෙයින් ’සහස්සක්ඛ’ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍රයාට ’සුජා’ නම් අසුර කන්‍යාවක් ප්‍රජාපතී වූවාය. එහෙයින් ’සුජම්පතී’ යයි කියනු ලැබේ. මහාලි, ශක්රදේවේන්ද්ර තෙම තව්තිසා වැසි දෙවියන් කෙරෙහි ඓශ්චර්ය්යාධිපති භාවයෙන් රජය කරවීය. එහෙයින් ’දේවා නම්න්ද’ යයි කියනු ලැබේ.
’’මහණෙනි, ශක්රදේවේන්ද්රයා පෙර මිනිස්බවෙහි සිටි කල වත් සතක් සමාදන්වන ලද්දාහුය. ශක්‍ර තෙම ඒ වත් සත සමාදන්වූ බැවින් ශක්‍රබවට පැමිණියේය.
’’ඒ වත්සත කවරහුද? ’ දිවි ඇති තෙක් මව්පියන් පෝෂණය කෙරෙම්වා: දිවි ඇතිතෙක් කුලදෙටුවන් පුදන්නෙම්වා: දිවි ඇතිතෙක් ප්‍රිය වචන ඇත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් කේළාම් නැත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් පහවූ මසුරු මළ ඇත්තේ, සිතින් දෙන්නේ දීම පිණිස යෙදූ අත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, දන් ඉල්ලීමට යෝග්‍යවූයේ, වස්තුව බෙදාදීමෙහි ඇලුනේව වසන්නෙම්වා: දිවි ඇතිතෙක් සත්‍ය වචන ඇත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් ක්‍රෝධ නැත්තේ වෙම්වා, ඉදින් මට ක්‍රෝධය උපනි නම් වහාම එය දුරුකරන්නෙම්වා (යනුයි).
’’මහාලා, සක් දෙවිඳු පෙර මිනිස්බවෙහි සිටි කල මේ වත්සත සම්පූර්ණ කරන ලද්දාහුය. මේ වත්සත සමාදන්වූ බැවින් ශක්‍රතෙම ශක්‍රබවට පැමිණියේය.
’’මව්පියන් පෝෂණය කරන්නාවූ, කුලදෙටුවන්ට ගරුබුහුමන් කරන්නාවූ, මෘදු තෙපුල් කියන්නාවූ, කේළාම් බස් නොකියන්නාවූ, මසුරු මළ දුරුකිරීමෙහි යෙදුනාවූ, සැබෑ වචන ඇත්තාවූ, ක්‍රෝධය මැඩ පවත්නාවූ, ඒ සත්ත්වයා සත්පුරුෂයෙකැයි තව්තිසා වැසි දෙවියෝ කියත්.’’