සංයුත්තනිකායො
සගාථ වර්ගය
11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය
2. සත්තවත වර්‍ගය
9. (දෙවෙනි) සක්ක නමස්සන සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූ සේක, ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ’’ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාර්‍ය්‍යයාට (මෙසේ) කීය: ’යහලු මාතලිය, (අසුන්) දහසින් යුත් ආජන්‍ය රථය යොදවා උයන් සිරි දකිනු පිණිස උයනට යමු.’’
’’ මාතලී රථාචාර්‍ය්‍යයා ’යහපති ස්වාමීනි’ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ’නිදුකාණනි, ඔබ වහන්සේගේ සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදන ලද්දේය. සුදුසු දේට කල් දනුව’ යි සැලකෙළේය.
’’ මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයෙන් බැස ඇඳිලි බැඳ භාග්‍යවතුන් නැමඳීය. මහණෙනි, මාතලී රථාචාර්‍ය්‍යතෙම එවිට ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ ) කීය.
’’වාසව නම්වූ සක්දෙවිඳුනි, දෙවියෝද මිනිස්සුද යම් හේතුවකින් ඔබට වඳනාහුද, සක්දෙව් රජාණනි, යම් කෙනෙකුන්ට ඔබ වඳනෙහිද ඒ සත්ත්‍වතෙම කවරෙක් නම් වෙයිද?
’’ශක්‍රතෙම මෙසේ කීය. මාතලිය, දෙවියන් සහිතවූ මේ ලෝකයෙහි යම් සම්‍යක් සම්බුදු කෙනෙක් වෙත්ද, අතිශ්‍රේෂ්ඨවූ ඒ ශාස්තෲන් වහන්සේ මම වඳිමි.
’’යම් කෙනෙකුන්ගේ රාගයත් ද්වේෂයත් මෝහයත් දුරුවූයේද, ක්‍ෂයකරණ ලද ආශ්‍රවයන් ඇත්තාහුද, පිදීමට සුදුසු වෙත්ද, මාතලිය, මම ඒ (රහතුන්) වඳිමි.
’’ මාතලිය, යම් කෙනෙක් රාගෙවෂයන් දුරු කිරීමෙන්, අවිද්‍යාව ඉක්මවීමෙන් නිවන්මගට පිළිපන්නාහු සසර නැසීමෙහි ඇලුනාහු, අප්‍රමාදවූවාහු පිළිවෙලින් හික්මෙත්ද, ඔවුන් වඳිමි.
’’(මාතලී මෙසේ කීය.) සක්දෙවිඳුනි, යමෙකුන්ට නුඹවහන්සේ වඳින්නෙහිද, (ඔවුහු) ලෙව්හි ශ්‍රේෂ්ඨයෝම වෙති. වාසවයෙනි, (නුඹවහන්සේ) යම් කෙනෙකුන්ට වඳනෙහිද, මමත් ඔවුන් වඳිමි.’’
’’ මේ වචනය කියා මඝ යන නම් ඇති, දෙවියන්ට රජවූ, සුජා නම් අසුර දුවගේ සැමිවූ, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම සියලු දිසාවන් වැඳ දෙවියන් අභිමුඛයෙහි රථයට නැංගේයි.’’