සංයුත්තනිකායො

සගාථ වර්ගය

11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය

2. සත්තවත වර්‍ගය

10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූ සේක, ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ’’ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාර්‍ය්‍යයාට (මෙසේ) කීය: ’යහලු මාතලිය, සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදව, උයන් සිරි දකිනු පිණිස උයනට යමු.’’

’’මහණෙනි, ඉක්බිති මාතලී රථාචාර්‍ය්‍ය තෙම ’යහපති ස්වාමීනි’ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ’නිදුකාණනි, ඔබ වහන්සේගේ ආජන්‍ය රථය යොදන ලද්දේය. සුදුසු දේට කල් දනුව’ යි කීවේය.

’’ මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයෙන් බැස ඇඳිලි බැඳ භික්‍ෂු සඞ්ඝයා වඳී. මහණෙනි, එවිට මාතලී රථාචාර්‍ය්‍යතෙම ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථාවලින් (මෙසේ ) කීය.

’’කුණු සිරුරින් වැතිර සයනය කරන්නාවූ මේ මනුෂ්‍යයෝ වනාහි ඔබවහන්සේ වඳනාහ. මොවුහු මව්කුස නමැති කුණපයෙහි ගිලුනාහ, බඩගින්න හා පිපාසයෙන් මඩනා ලද්දාාහ.

’’වාසවය, ගිහිගෙයින් වෙන්ව වසන්නාවූ පැවිද්දන්ගේ කිනම් හැසිරීමක් ප්‍රිය කෙරෙහිද? කිව මැනව. අපි ඔබගේ ඒ තෙපුල අසමු.’

’’ ’මාතලිය, ගෘහවාස රහිතවූ ඔවුන්ගේ මේ ගුණය මම ප්‍රිය කෙරෙමි. (කුමක්ද?) ඔවුහු යම් ගමකින් බැහැර යෙදේද, එකල්හි සියලු ඇල්මෙන් තොරව යෙත්.

’’ ’(උන්වහන්සේ සතු කිසිවක්) ඇතුළුගෙහි නොතබත්, කළයෙහිදු නොබහත්. සැළියෙහිදු නොතබත්. අනුන් නිමවූ බත පිඬු සිඟීම් වශයෙන් සොයන්නෝ වෙත්. යහපත් ව්‍රත (පැවතුම්) ඇත්තාහු එයින් යැපෙත්.

’’ ’උන්වහන්සේ යහපත්ලෙස කියන කථා ඇතියහ, ධෛර්‍ය්‍ය සම්පන්නයහ. නිශ්ශබ්ද වූවාහුය, සමවූ හැසුරුම් ඇත්තාහුය. මාතලිය, දෙවියෝ අසුරයන් හා විරුද්ධයහ. (එමෙන්) බොහෝ මනුෂ්‍යයෝද (එකිනෙකා හා විරුද්ධයහ.)

’’ ’විරුද්ධයන් කෙරෙහි මොවුහු අවිරුද්‍ධයහ. ගත් දඬු ඇතියන් කෙරෙහි නිවුනාහ. ගැනීම් සහිත සත්ත්‍වයන් අතුරෙන් මොවුහු (ගැනීම් නැත්තෝය.) මාතලිය, මම උන්වහන්සේ වඳිමි.’

’’(මාතලී මෙසේ කීය: ) සක් දෙවිඳුනි, යමෙකුන්ට නුඹවහන්සේ වඳිනෙහිද, ලෙව්හි ශ්‍රේෂ්ඨයෝ ඔවුහුම වෙති. වාසවය, ඔබවහන්සේ යමෙකුන් වඳනෙහිද, මමත් ඔවුන් වඳිමි.’

’’මේ වචනය කියා රජවූ, සුජා නම් අසුරදුවගේ සැමිවූ, මඝ (ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේ) සියලු දිසාවන් වැඳ දෙවියන් අභිමුඛයෙහි රථයට නැංගේයි.’’

දෙවෙනි වර්‍ගයයි.