සංයුත්තනිකායො
සගාථ වර්ගය
11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය
3. තුන්වන වග. ( සක්ක පඤ්චකය )
3. මායා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.
(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ) ’’මහණෙනි, පෙර වූවක් කියමි. වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ විය.
’’මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුවදුක් විමසීම පිණිස වේපචිත්ති අසුරේන්‍ද්‍රයා වෙත ගියේය.
’’මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම ශක්‍රදේවේන්‍ද්‍රයා තමා වෙතට එනබව දුරදීම දුටුවේය. දැක ශක්‍රදේවේන්‍ද්‍රයාට ’’ දේවේන්‍ද්‍රය, මට වෙදකම් කරව’ යි කීය.
’’ ’වේපචිත්තිය, මට සම්බරී මායාව උගන්ව’ යි (ශක්‍රයා කීය).
’’නිදුකාණනි, මම යම්තාක් අසුරයන්ගෙන් නොඅසම්ද ඒතාක් මම තට (ඒ මායාව) නොකියමි’ යි (වේපචිත්ති කීය).
’’මහණෙනි, ඉක්බිති වනාහි වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ’පින්වතුනි, මම ශක්‍රදේවේන්‍ද්‍රයාට සම්බරී මායාව කියම්’ දැයි අසුරයන්ගෙන් ඇසීය.
’’ ’ නිදුකාණනි, නුඹ ශක්‍රදේවේන්‍ද්‍රයාට සම්බරී මායාව නොකියව’ යි (අසුරයෝ කීහ.).
’’මහණෙනි, ඉක්බිති වනාහි වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ) කීය:
’’මඝ නම් ශක්‍රයෙනි, සුජම්පතියෙනි, දේවේන්‍ද්‍රයෙනි, මායාකාර ජනතෙම සම්බර නම් අසුරිඳු මෙන් අවුරුදු සියයක් පැසෙන්නාවූ දරුණු නිරයට පැමිණේ.’’