සංයුත්තනිකායො

සගාථ වර්ගය

11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය

1. සුවීර වර්‍ගය

4. වේපචිත්ති ( නොහොත් ඛන්ති ) සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූසේක. ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ’’මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන්ගේද අසුරයන්ගේද යුද්ධයක් ඇතිවිය.

’’මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම අසුරයන්ට මෙසේ කීයේය. ’පින්වත්නි, ඉදින් දේව අසුර යුද්ධය වූ කල අසුරයෝ දිනන්නහු නම් දෙවියෝ පරදින්නහු නම් ඒ ශක්‍ර දේවේන්‍ද්‍රයා කණ්ඨපඤ්චම බැඳුමෙන් ( දෙඅත්, දෙපා, බෙල්ල යන මේ පස්තැනින් ) බැඳ අසුර පුරයෙහි මා සමීපයට ගෙනෙව්’ ( යි කීය. )

’’මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේත් තව්තිසා වැසි දෙවියන්ට මෙසේ කීය: ’’ පින්වතුනි, ඉදින් දේව අසුර යුද්‍ධය වූ

කල දෙවියෝ දිනන්නාහු නම් අසුරයෝ පරදින්නාහු නම් එවිට ඒ ( අසුර රජවූ ) වේපචිත්ති අසුරේන්‍ද්‍රයා කණ්ඨපඤ්චම බන්‍ධනයෙන් බැඳ සුධර්‍ම සභායෙහි මා සමීපයට ගෙනෙව්’ ( යි කීය. )

’’මහණෙනි, ඒ යුද්ධයෙහි දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුනහ.

’’මහණෙනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුරිඳු කණ්ඨපඤ්චම බැම්මෙන් බැඳ ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ සමීපයෙහි සුධර්‍මා සභාවට ගෙනාහ.

’’මහණෙනි, එහි වනාහි කණ්ඨපඤ්චම බන්‍ධනයෙන් බැඳුනු වේපචිත්ති අසුරිඳු තෙම සුධර්‍මා සභාවට පිවිසෙන විටද, නිත්මෙන විටද ශක්‍ර දේවේන්‍ද්‍රයාට අසභ්‍ය ඵරුෂ වචනයෙන් ආක්‍රෝෂ කෙරෙයි, පරිභව කෙරෙයි.

’’මහණෙනි, ඉක්බිති මාතලී රථාචාර්‍ය්‍ය තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාට ගාථායෙන් ( මෙසේ ) කීය.

’’ශක්‍රය, වේපචිත්තිගේ පරොස් බස් ඉදිරියෙහි අසමින් ඉවසන්නේ භයින්ද නොහොත් දුබල බැවින්ද?’’

’’( ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මෙසේ කීය: ) ’වේපචිත්තිගේ පරොස් බස් ඉවසන්නේ බියෙන් හෝ දුබල බැවින් නොවේ. මා වැනිවූ නුවණැත්තෙක් එබඳු බාලයකු හා කෙසේ නම් සටන් කරන්නේද, (එකටෙක කරන්නේද?’)

’’( මාතලී මෙසේ කීය: ) ’වළක්වන්නෙක් නොවේ නම්, අඥානයෝ ඉතා බොහෝසේ විරුද්ධව

ඉදිරියට එන්නාහුය. එහෙයින් නුවණැති ජනතෙම මහත්වූ දඬුවමින් බාලයා වළක්වන්නේය.

’’( ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මෙසේ කීය: ) ’ඉතා කිපියාවූ අන්‍යයකු දැක යමෙක් සිහි ඇතිව සන්සිඳේද, එයම බාලයන්ගේ නියම වැළකීමයයි හඟිමි.’’

’’( මාතලී මෙසේ කීය: ) ’මෙතෙම මට භයින් ඉවසා’ යයි අඥානතෙම යම් හෙයකින් හඟීද, ශක්‍රය, පැන දුවන ගොනෙකු පසුපස්සේ එළවායන්නාවූ ගවමුලක් මෙන් නුවණ මඳ ජන තෙම වැඩියක් පසුපස්සේ එළවා යයි.’

’’( ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මෙසේ කීය: ) ’හෙතෙම මට භයින් ඉවසාය’ යි ඒකාන්තයෙන් හඟනේ හෝ වේවා නොහඟනේ හෝ වේවා සියලු අර්ත්‍ථයෝ ස්වකීය දියුණුව පරමකොට ඇත්තාහුය. ඉවසීමට වඩා උතුම් වූවක් නැත්තේය.’,

’’ ’යමෙක් තෙම ඒකාන්තයෙන් බලවත් වූයේ දුර්‍වලයකුගේ ( නින්‍දාකිරීම් ) ඉවසාද, ඔහුගේ ඒ ඉවසීම උතුම් ඉවසීමයයි ( ආර්‍ය්‍යයෝ ) කියත්. දුර්‍වල ජනතෙම හැමවිටම ඉවසයි.’’

’’ ’යමෙකුගේ බලය අඥාන බලය නම් ඒ බලය බලයක් නොවේයයි ආර්‍ය්‍යයෝ කියති. ධර්‍මයෙන් සංවර කරන ලද්දාවූ තැනැත්තාගේ බලය නියම බලයම නොවේය’ යි කියන්නෙක් නැත.

’’ ’යමෙක් පළමු කිපුනහුට පෙරළා කිපේද, ඔහුගේ පෙරළා කිපීම ඊටත් වඩා පාපිෂ්ඨයි. කිපුනහුට පෙරලා නොකිපෙන ජනතෙම දිනීමට ඉතා දුෂ්කරවූ සටනක් දිනයි.

’’ ’අන්‍යයෙකු කිපුන බව දැන යමෙක් සිහි ඇතිව සන්සිඳේද? ( ඉවසාද ), හෙතෙම තමහටද පරහටද යන දෙකොටසටම යහපත සලසයි.’

’’ ’යම් ජන කෙනෙක් ධර්‍මයෙහි අදක්‍ෂද, ඒ අන්‍ධබාල ජනයෝ තමන්ටද අනුන්ටද යන දෙදෙනාටම පිළියම් කරන්නාවූ පුද්ගලයා අන්‍ධබාලයෙකැයි හඟිත්.’

’’මහණෙනි, ඒ ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම වනාහි ස්වකීය පුණ්‍ය ඵලය නිසා ජීවත්වන්නේ, තව්තිසා වැසි දෙවියන්ගේ අධිපති භාවයෙන් රාජ්‍යය කරවන්නේ, ඉවසීමෙහි හා මෘදු බැව්හි ගූණ කියන්නෙක් වේ.

’’මහණෙනි, මෙහි ( මේ ශාසනයෙහි ) ද එය ( ඒ ගුණය ) හොබවව්. තෙපි මෙසේ හොඳින් දේශනා කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිවූවාහු ඉවසීම ඇත්තෝද මෘදු බව ඇත්තාහුද වව්.’’