සංයුත්තනිකායො

සගාථ වර්ගය

11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය

1. සුවීර වර්‍ගය

5. සුභාෂිත ජය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූසේක. ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ’’මහණෙනි, පෙරවූ දෙයක් කියමි. දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයක් ඇතිවිය. මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාට, ’ දේවේන්‍ද්‍රය, සුභාෂිතයෙන් ජය වේවා’ යි කීය. ’ වේපචිත්ති, සුභාෂිතයෙන් ජය වේවා’ යි ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේද කීය.

’’ මහණෙනි, ඉක්බිති දෙවියෝද අසුරයෝද ’මොවුහු අපගේ යහපත් වචන, අයහපත් වචන දන්නාහු’ යි පිරිවර දෙවියන් තැබූහ.

’’ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාට, ’ දේවේන්‍ද්‍රය, ගාථායෙක් කියව’ යි කීය.

’’ මහණෙනි මෙසේ කීකල ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම වේපචිත්ති අසුරිඳුට ’වේපචිත්ති, මෙහි නුඹ පුරාණ දෙවි වෙහි. වෙපචිත්ති, ගාථායෙක් කියව’ යි කීය.

’’ මහණෙනි මෙසේ කීකල වේපචිත්ති අසුරිඳු තෙම මේ ගාථාව කීය:

’වළක්වන්නෙක් ඇති නොවේ නම්, අඥානයෝ ඉතා බොහෝ සේ කිපෙත්. එහෙයින් නුවණැති ජන තෙම මහත්වූ දණ්ඩයෙන් බාලයා ( නුවණ නැත්තා ) වළක්වන්නේය.

’’මහණෙනි, වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කීකල අසුරයෝ ඒ මැනවැයි පිළිගත්හ. දෙවියෝ නිශ්ශබ්ද වූහ.

’’ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු ශක්‍ර දේවේන්‍ද්‍රයාට, ’ දේවේන්‍ද්‍රය, ගාථාවක් කියව’ යි කීය.

’’ මහණෙනි මෙසේ කීකල ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මේ ගාථාව කීය:

’කිපියාවූ අන්‍යයකු දැක යමෙක් සිහි ඇතිව සන්සිඳේද, මම ඒ ( සංසිඳීම ) ම බාලයා නියම සේ වැළකීම යයි හඟිම්.’’

’’ මහණෙනි ශක්‍ර දේවේන්‍ද්‍රයා මේ ගාථාව කීකල දෙවියෝ ඒ මැනවයි පිළිගත්හ. අසුරයෝ නිශ්ශබ්ද වූහ.

’’ මහණෙනි, ඉක්බිති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම වේපචිත්ති අසුරේන්‍ද්‍රයාට ’ වේපචිත්ති අසුරේන්‍ද්‍රය, ගාථාවක් කියව’ යි කීය.

’’ මහණෙනි මෙසේ කීකල වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කීය:

’මෙතෙම මට භයින් ඉවසාය’ යි අඥාන තෙම යම් හෙයෙකින් ඒ ඉවසීම හඟීද, වාසවය, ඉවසීම පිළිබඳ

මේ දෝෂය මම දකිමි. පැන දුවන තැනැත්තා (ලුහු බඳින්නාවූ ) ගව මුලක් මෙන් නුවණ මඳ ජනතෙම වැඩියක් ලුහුබැඳීම කරයි.’

’’මහණෙනි, වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කීකල අසුරයෝ ඒ අනුමෝදන් වූහ. දෙවියෝ නිශ්ශබ්ද වූහ.’

’’ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු ශක්‍ර දේවේන්‍ද්‍රයාට, ’ දේවේන්‍ද්‍රය, ගාථාවක් කියව’ යි කීය.

’’ මහණෙනි මෙසේ කීකල ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මේ ගාථා කීය:

’’ ’මෙතෙම මට භයින් ඉවසායයි ( යමෙක් ) ඒකාන්තයෙන් හඟනේ හෝ වේවා, එසේ නොහඟනේ හෝ වේවා, සියලු අර්ත්‍ථයෝ තමාගේ යහපත පරම කොට ඇත්තාහුය. ඉවසීමට වඩා උතුම්වූ අන්‍ය යහපතක් නැත්තේය .

’’ ’යමෙක් තෙම ඒකාන්තයෙන් බලවත් වූයේම දුර්‍වලයකුගේ (නින්‍දා කිරීම් ආදිය) ඉවසාද, ඔහුගේ ඒ ඉවසීම උත්තම ක්‍ෂාන්තියයි ( ආර්‍ය්‍යයෝ ) කියත්. දුර්‍වල ජනතෙම නිතර ඉවසයි.’

’’ ’යමෙකුගේ බලය අඥාන බලය නම් ඒ බලයක් නොවේ යයි ( ආර්‍ය්‍යයෝ ) කියත්. ධර්‍මයෙන් සංවරවූ තැනැත්තාගේ බලය නියම බලයක් නොවේයයි කියන්නෙක් නැත’

’’ ’යමෙක් පළමු කිපුනෙකුට පෙරළා කිපේද ඔහුගේ පෙරලා කිපීම ඒ පළමු ක්‍රෝධයටත් වඩා පාපිෂ්ඨයි.කිපුනෙකුට පෙරලා නොකිපෙන ජන තෙම දිනීමට දුෂ්කරවූ සටන දිනයි.’

’’ ’ සතුරෙකු කිපුනු බව දැන යමෙක් සිහි ඇතිව සන්සිඳේ නම්, හෙතෙම තමහටද, පරහටද යන දෙකොටසටම යහපත සලසයි.

’’ ’යම් ජන කෙනෙක් ධර්‍මයෙහි අදක්‍ෂද, ඒ අන්‍ධබාල පෘතග්ජනයා තමන්ටද අනුන්ටද යන දෙදෙනාටම යහපත සලසන්නාවූ පුද්ගලයා අන්‍ධබාලයෙකු කොට හඟිත්.’

’’ මහණෙනි ශක්‍ර දේවේන්‍ද්‍රයා මේ ගාථාවන් කීකල දෙවියෝ ඒ මැනවයි පිළිගත්හ. අසුරයෝ නිශ්ශබ්ද වූහ.

’’මහණෙනි, ඉක්බිති දෙවියන්ගේද, අසුරයන්ගේද ( පිරිවර ජනයෝ ) මෙසේ කීහ. ’වේපචිත්ති අසුරේන්‍ද්‍රයා විසින් ගාථාවෝ කියන ලද්දාහුය. ඒ වූකලී දඬු මුගුරු ආදිය පිළිබඳ වෙති, ( කැති පොරෝ ආදිය පිළිබඳ වෙති. ) දබර ඇති කරති. අසමගිය ඇති කෙරෙති, කලහ ඇතිකෙරෙති. ශක්‍ර දේවේන්‍ද්‍රයා විසින් ගාථාවෝ කියන ලද්දාහුය. ඒ දඬු මුගුරු හා කැති පොරෝ පිළිබඳ නොවේ. දබර, අසමගිකම්, කලහ ඇති නොකෙරේ. ශක්‍ර දේවේන්ද්‍රයාට සුභාෂිතයෙන් ජය වේවා’ යි ( කීහ. )

’’මහණෙනි, මෙසේ වනාහි ශක්‍ර දේවේන්ද්‍රයාට සුභාෂිතයෙන් ජය අත්වූයේය’’ යි ( වදාළසේක. )