සංයුත්තනිකායො

සගාථ වර්ගය

11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය

1. සුවීර වර්‍ගය

7. න දුබ්භිය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූසේක. ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ’’මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ( වරක් ) රහසිගතවූ, හුදෙකලාවූ ශක්‍ර දේවේන්‍ද්‍රයාට මෙසේ සිතිවිල්ලක් පහළවිය. ’යමෙක් මට සතුරු වන්නේද, ඔහුට වුවද මම විරුද්‍ධකම් නොකරන්නෙමි’ ( කියායි.’

’’ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ සිතිවිල්ල තම සිතින් දැන ශක්‍ර දේවේන්‍ද්‍රයා වෙත ගියේය.

’’ මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම වේපචිත්ති අසුරේන්‍ද්‍රයා එන බව දුරදීම දුටුවේය. දැක වේපචිත්ති අසුරේන්‍ද්‍රයාට මෙසේ කීය. ’’සිටින්න, වේපචිත්ති අසුරේන්‍ද්‍රය. තා අල්ලා ගන්නා ලද්දේවෙහිය.

’’ නිදුකාණෙනි, තාගේ යම්බඳුවූම සිතෙක් පෙරවීද, නිදුකාණෙනි, ඔබ එය දැන් දුරු කෙළෙහිද?’’

’’ වේපචිත්තිය, මා කෙරෙහි විරුද්‍ධකම් නොකරන බවට දිවුරව’’ යි ( ශක්‍රයා කීය. )

’’ බොරු කියන්නාහට යම් පාපයක් ඇද්ද, රහතුන්ට නින්දා කරන්නාහට යම් පාපයක් ඇද්ද, මිත්‍රදොා්හියකුට යම් පාපයක් ඇද්ද, කළගුණ නොදත්තාට යම් පාපයක් වේද, සුජම්පතිය, යුෂ්මත්හට යමෙක් විරුද්‍ධකම් කෙරේ නම් හෙතෙම එවැනිවූ පවක් කරගනී.’’ ( වේපචිත්ති කිය. )