සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

2. ආහාර වර්ගය

7. අචේල කස්සප සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දකනිවාප” නම් ලත් වේළුවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, රජගහ නුවරට පිඬුපිණිස වැඩිසේක.

“අචේල කාශ්‍යපතෙම වනාහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූද, සිහිකටයුතුවූද, කථාව කොට නිමවා, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ, අචේල කාශ්‍යපතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු”යි කියායි. කාශ්‍යප “ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි වදාළ සේක.

අචේල කාශ්‍යප තෙම වනාහි දෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු කියායි.”

“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.

අචේල කාශ්‍යපෙතම වනාහි තෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු” කියායි.

“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒ තාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.

මෙසේ කීකල්හි අචේල කාශ්‍යපතෙම මෙය කීයේය. අපි වනාහි භවත් ගෞතමයන්ගෙන් බොහෝ කොට අසනු කැමති නොවෙමු” කියායි. “කාශ්‍යපය, යමක් ඇසීමට කැමැත්තෙහි නම් එය අසවයි” වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් කරන ලද්දේද?”

“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, අනුන් විසින් කරන ලද්දේද?”

“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේද?”

“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”

“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුකක් නැද්ද?”

“කාශ්‍යපය, දුක වනාහි නැත්තේ නොවේ. දුක වනාහි ඇත්තේය.”

“එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද? නොදකියිද?”

“කාශ්‍යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි, නොදක්නෙම් නොවෙමි. කාශ්‍යපය, මම වනාහි දුක දනිමි. කාශ්‍යපය, මම වනාහි දුක දකිමියි” වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක අනුන් විසින් කරන ලද්දේදැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි කිමෙක්ද? දුක තමා විසින් නොකරන ලද්දේ. අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුකක් නැද්දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, දුක වනාහි නැත්තේ නොවේ. ‘කාශ්‍යපය, දුක වනාහි ඇත්තේය’යි කියහි. එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද නොදකියි දැයි අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි. කාශ්‍යපය, මම වනාහි දුක දනිමියි’ කියහි.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක කියා දෙන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා.”

“කාශ්‍යපය, හෙතෙම කෙරෙයි, හෙතෙම විඳීයයි මුලදීම මෙසේ ගෙන දුක තමා විසින් කරන ලද්දේයයි කියන තැනැත්තේ, ශාස්වත දෘෂ්ටියට (නිත්‍ය ආත්මයක් ඇත යන දෘෂ්ටියට) පැමිණෙයි. කාශ්‍යපය, අනිකෙක් කරයි, අනිකෙක් විඳීයයි මුලදී මෙසේ ගෙන වේදනාවෙන් යුක්තවූ කල්හි දුක අනුන් විසින් කරන ලදැයි කියන තැනැත්තේ උච්ඡේද දෘෂ්ටියට (කරන්නා මෙතනින්ම කෙළවර වෙයි යන දෘෂ්ටිය) පැමිණෙයි. කාශ්‍යපය, ඒ මේ ශාස්වත, උච්ඡේද යන අන්ත දෙකට නොපැමිණ, මද්ධ්‍යම ප්‍රතිපදාවෙහි සිටියේ. තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක. (කෙසේද?)

“අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙයි. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක් ගොඩ ඇතිවෙයි.

“අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාරයෝ නැතිවෙත්. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැති වීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙයි. මෙසේ මේ සියලු එකම දුක් ගොඩ නැතිවෙයි කියායි.”

මෙසේ වදාළ කල්හි අචේල කාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම පින්වතුන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි”යි කීයේය.

“කාශ්‍යපය, අන්‍ය ශාසනයක පැවිදිව සිටියෙක් වනාහි (ඉදින්) මේ ශාසනයෙහි පැවිද්ද කැමැති වේද; උපසම්පදාව කැමති වේද, හෙතෙම සාරමාසයක් පිරිවෙස් පුරයි. සාරමස පසුවීමෙන් වැස නිමවන ලද පිරිවෙස් ඇත්තන් විසින් සතුටු කරන ලද සිත් ඇති, භික්ෂූහු, කැමති වන්නාහු නම් භික්ෂු භාවයෙහි පැවිදි කරවත්, උපසම්පදා කරවත්. එතකුදුවුවත් මා විසින් පුද්ගලයන්ගේ නානත්වය දැනගන්නා ලදී.”

“ඉදින් ස්වාමීනි, ශාසනයෙහි පැවිද්ද කැමැත්තාවූ, උපසම්පදාව කැමැත්තාවූ, අන් සසුනක පැවිදිව විසුවෝ සාරමසක් පිරිවෙස් පුරද්ද, සාරමස අවසන් වීමෙන් සතුටු කරන ලද, සිත් ඇති භික්ෂූහු කැමැත්තාහු නම් ඒ වැස නිමවන ලද පිරිවෙස් ඇතියන් භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙද්ද, උපසම්පදා කෙරෙද්ද, මම සතර අවුරුද්දක් පිරිවෙස් පුරමි. සාර අවුරුද්දකින් පසු සතුටු කරන ලද සිත් ඇති භික්ෂූහු වැස නිමවන ලද පිරිවෙස් ඇති මා භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙත්වා; උපසම්පදා කෙරෙත්වා’ යනුයි.

අචේල කාශ්‍යපතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය. අලුත උපසම්පදාවූ ඇවැත් අචේල කාශ්‍යප ස්ථවිරතෙම වනාහි තනිව පිරිසෙන් වෙන්ව, ප්‍රමාද නොව, කෙලෙස් තවන වීර්යය ඇතිව, නිවණ කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නේය, නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, ඒ අති උතුම් වූ, බ්‍රහ්මචරියාව මේ ආත්යෙහි තෙමේම දැන, අවබෝධ කොට, ඊට පැමිණ, වාසය කළේය. ඉපදීම නැති විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසන් කරන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මයෙහි කළයුතු අන් කිසිවක් නැතැයි දැන ගත්තේය. ඇවැත් කාශ්‍යප තෙම එක්තරා රහතන් වහන්සේ නමක්ද වූයේය.

(හත්වන අචේල සූත්‍රය නිමි.)