සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

2. ආහාර වර්ගය

8. තිම්බරුක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක.

ඉක්බිති ‘තිම්බරුක’ පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි වැඩ සිටිසේක්ද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවිය යුතු වූත්, සිහිකට යුතු වූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය.

එක් පැත්තක හුන්නාවූ, තිම්බරුක පරිබ්‍රාජකතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් කරන ලද්දේද?”

“තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් අනුන් විසින් කරන ලද්දේද?”

“තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් කරන ලද්දේද?”

“තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”

“තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්ද?”

“තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේය.”

එසේ වීනම්, භවත් ගෞතම තෙම සැප දුක් නො දනියිද?”

“තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමි.”

“භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් තමා විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව”යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් අනුන් විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් නොකරන ලද්දේ, අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇති වූයේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේයි’ කියහි. එසේ නම් භවත් ගෞත තෙමේ සැප දුක් නොදනියිද, නොදකියි දැයි අසන ලද්දේ ‘තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමියි කියති. භවත් ගෞතයන් වහන්සේ මට සැප දුක් කියා දෙන සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ මට සැප දුක් දේශනා කරන සේක්වා.”

“තිම්බරුකය, ඒ වේදනා ඔහු විඳීයයි මෙසේ ඇති කල්හි වනාහි සැප දුක් තමා විසින් කරන ලද්දේයයි මෙසේ මම නොකියමි. තිම්බරුකය, අන්‍යවූ වේදනා අනිකෙක් විඳීයයි මෙසේ වේදනාවෙන් යුක්තවූ කල්හි වනාහී සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි මම නොකියමි. තිම්බරුකය, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

“අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායනත නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදනය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.

“අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවෙයි. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැති වෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවේයයි (වදාළ සේක.)

“මෙසේ වදාළ කල්හි තිම්බරුක පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකන සේක්වා.”