සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

1. බුද්ධ වර්ගය

2. විභඩ්ග සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬුසිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි කියා භික්ෂූන් ඇමතූහ. ස්වාමීනි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි පටිච්චසමුප්පාදය දෙශනා කරන්නෙමි. බෙදා දක්වන්නෙමි. එය මනාකොට අසව්. මෙනෙහි කරව්. කියන්නෙමියි’. “එසේය ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනාකළ සේක.

“මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද? මහණෙනි, අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තෘෂ්ණාවද, තෘෂ්ණාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතිය (උප්පත්තිය) ද, ජාතිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයද ඇති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි.

“මහණෙනි, ජරාව සහ මරණය නම් කවරේද? ඒ ඒ සත්ව නිකායයෙහිවූ ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැලිවැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියයන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ මහණෙනි, මරණය නම් කවරක්ද? ඒ ඒ සත්වනිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදන් වීමක්, මෘත්‍යුසංඛ්‍යාත මරණයක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘත ශරීර අත්හැරදැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ.

“මහණෙනි; මෙසේ ඒ දිරීමද, මේ මැරීමද ජරා මරණයයි කියනු ලැබේ. මහණෙනි; ජාතිය (ඉපදීම) නම් කවරේද? ඒ ඒ සත්ව නිකායෙහි ඒ ඒ සත්වයන්ගේ යම් ඇතිවීමක්, හට ගැනීමක්, බැස ගැනීමක්, ඉපදීමක්, සත්වයන්ගේ ඇතිවීමක්, ආයතනයන්ගේ පහළවීමක් වේද මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ.

“මහණෙනි, භවය නම් කවරේද? මහණෙනි, කාමභවය, රූපභවය සහ අරූප භවයයි මේ භවයෝ තිදෙනෙකි. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ.

“මහණෙනි; උපාදානය නම් කවරෙක්ද? මහණෙනි, කාමූපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතූපාදානය සහ අත්තවාදූපාදානයයි මේ උපාදානයෝ සිව්දෙනෙකි. මහණෙනි, මෙය උපාදානයයි කියනු ලැබේ.

“මහණෙනි, තණ්හාව නම් කවරේද? මහණෙනි, රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව ඵොට්ඨබ්බ (ස්පර්ශ) තණ්හාව සහ ධර්ම තණ්හාවයයි මේ තණ්හා සමූහයන් සය දෙනෙකි. මහණෙනි; මෙය තණ්හාව යයි කියනු ලැබේ.

“මහණෙනි; වේදනාව නම් කවරේද? මහණෙනි; චක්ඛුස්පර්ශයෙන් ඇතිවන වේදනාව, ශ්‍රොතස්පර්ශයෙන් ඇතිවන වේදනාව, ඝ්‍රාණස්පර්ශයෙන් ඇතිවන වේදනාව ජීව්හාස්පර්ශයෙන් ඇතිවන වේදනාව, කායස්පර්ශයෙන් ඇතිවන වේදනාව සහ මනස්පර්ශයෙන් ඇතිවන වේදනාව යයි මේ වේදනා සමූහයන් සයදෙනෙකි. මහණෙනි; මෙය වේදනාවයයි කියනු ලැබේ.

“මහණෙනි; ස්පර්ශය නම් කවරේද? මහණෙනි; චක්ඛුස්පර්ශය, ශ්‍රොතස්පර්ශය, ඝ්‍රාණස්පර්ශය, ජිව්හාස්පර්ශය, කායස්පර්ශය සහ මනස්පර්ශයයි මේ ස්පර්ශ සමූහයෝ සදෙනෙකි. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ.

“මහණෙනි; සළායතන නම් කවරේද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය සහ මනායතනයයි. මහණෙනි; මෙය සළායතනයයි කියනු ලැබේ.

“මහණෙනි; නාමය සහ රූපය නම් කවරක්ද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සහ සතර මහාභූත සමූහය නිසා පවත්නා රූපය යන මෙය රූපයයි කියනු ලැබේ. මහණෙනි; මෙසේ ඒ නාමයද මේ රූපයද නාම රූපයයි කියනු ලැබේ.

“මහණෙනි; විඤ්ඤාණය නම් කවරක්ද? මහණෙනි; චක්ඛු විඤ්ඤාණය, සොතවිඤ්ඤාණය, ඝානවිඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනො විඤ්ඤාණයයි මේ විඤ්ඤාණ සමූහයෝ සදෙනෙකි. මහණෙනි, මෙය විඤ්ඤාණ යයි කියනු ලැබේ.

“මහණෙනි, සංඛාර නම් කවරීද? මහණෙනි, කාය සංඛාරය, වචීසංඛාරය සහ චිත්තසංඛාර යයි මේ සංඛාර තිදෙනෙකි. මහණෙනි; මොවුහු සංඛාරයෝ යයි කියනු ලැබෙත්.

“මහණෙනි; අවිජ්ජාව නම් කවරීද? මහණෙනි, යම් දුක නොදැනීමක්, දුකට හෙතුව නොදැනීමක්, දුක නැති කිරීම නොදැනීමක්, දුක් නැති කිරීමේ මාර්ගය නොදැනීමක් වේද, මහණෙනි; මෙය අවිජ්ජාව යයි කියනු ලැබේ.

“මහණෙනි; මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාරයන් නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාම රූපද, නාම රූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදනය නිසා භවයද, භවය නිසා ජාතිය (ඉපදීම) ද, ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.

“අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වෙයි. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැති වෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැති වෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැති වෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැති වීම වේ.