සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

2. ආහාර වර්ගය

10. ප්‍රත්‍යය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, මම තොපට පටිච්චසමුප්පාදයද (හෙතු ධර්මයද) පටිච්චසමුප්පන්න ධර්මයන්ද (ඵල ධර්මයන්ද) දේශනා කරන්නෙමි එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළ සේක. ‘එසේය ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, පටිච්චසමුප්පාදය (හෙතු ධර්ම) නම් කවරේද? මහණෙනි, තථාගතවරයන් උපන් කල්හිද, තථාගත වරයන් නූපන් කල්හිද ඉපදීම නිසා ජරාව සහ මරණය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාව ප්‍රත්‍යයන් හෙතුකොටගෙන ප්‍රත්‍යයන්ගේ පැවැත්ම මේ ඵලයන්ට මේ හෙතූන් බව ඇත්තේය. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහාගනියි. අවබෝධකොට වටහාගෙන, කියයි. දෙශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මතුකොට දක්වයි.

“මහණෙනි, ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වේ. එය බලව්යයි ද කියයි.

“මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද, භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “භවය නිසා ජාතිය” ඇතිවේ. එය බලව්යයි ද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “භවය නිසා ජාතිය” යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන් ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍ය වීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හෙතුඵල ධර්මයයි) කියනු ලැබේ.

“මහණෙනි, තථාගතයන්වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද උපාදානය (තද ඇල්ම) නිසා භවය ඇතිවේ. නූපන් මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි ජරාමරණාදීන්ට ප්‍රත්‍යක්ෂවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනාකෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “උපාදානය නිසා භවය” ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “උපාදානය නිසා භවය” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හෙතුඵල ධර්මයයි) කියනු ලැබේ.

“මහණෙනි, තථාගතයන්වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද තණ්හාව නිසා උපාදානයෝ ඇතිවෙත්. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි, පණවයි. පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, මහණෙනි, “තණ්හාව නිසා උපාදානයෝ” ඇතිවෙත් යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට

ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හෙතුඵල ධර්මයයි) කියනු ලැබේ.

“මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද, වේදනාව නිසා තණ්හාව ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමය, ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි, වටහා ගනියි, අවබෝධකොට වටහාගෙන කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවරණකෙරෙයි, තවද, මහණෙනි, “වේදනාව නිසා තණ්හාව” ඇතිවේ. එය බලව්යයිද කියයි. මහණෙනි, මෙසේ වනාහි ඒ “වේදනාව නිසා තණ්හාව” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හෙතුඵල ධර්මයයි) කියනු ලැබේ.

“මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “ස්පර්ශය නිසා වේදනාව” ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “ස්පර්ශය නිසා වේදනාව” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යය වීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හෙතුඵල ධර්මයයි) කියනු ලැබේ.

“මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, සළායතනයන් (ඉන්ද්‍රියන්) නිසා ස්පර්ශය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාවධර්මයයි. ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය ස්වභාව ධර්මයයි තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “සළායතනයන් නිසා ස්පර්ශය” ඇතිවේ. එය බලව්යයිද කියයි. මහණෙනි, මෙසේ වනාහි ඒ “සළායතනයන් නිසා ස්පර්ශය” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක් සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හෙතුඵල ධර්මයයි) කියනු ලැබේ.

“මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, නාමරූපයන් නිසා සළායතනයෝ ඇතිවෙත්. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහා ගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “නාමරූපයන් නිසා සළායතනයන්” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට

ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හෙතුඵල ධර්මයයි) කියනු ලැබේ.

“මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාවධර්මයයි ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “විඤ්ඤාණය නිසා නාම රූප” ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “විඤ්ඤාණය නිසා නාම රූප” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හෙතුඵල ධර්මයයි) කියනු ලැබේ.

“මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “සංස්කාරයන් නිසා විඤ්ඤාණය” ඇතිවේ. එය බලව් යයිද කියයි. මහණෙනි, මෙසේ වනාහි ඒ සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ, යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්මප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

“මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. මහණෙනි, මෙසේ එහි එසේම වන බවක්, නොවරදින බවක්, අන් ආකාරයකින් නොවන බවක්, මේ ඵලය මේ හේතුවෙන් වන බවක් ඇත්තේද, මහණෙනි, මේ වනාහි පටිච්චසමුප්පාදයයි කියනු ලැබේ.

“මහණෙනි, පටිච්චසමුප්පන්න ධර්මයෝ (හේතුඵල ධර්මයෝ) කවරහුද? මහණෙනි, ජරාව සහ මරණය අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂය වන ස්වභාව ඇත්තේය. වැය වන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, ජාතිය (ඉපදීම) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂය වෙන ස්වභාව ඇත්තේය. වැය වෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, භවය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, උපාදානය (තද ඇලීම) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, තණ්හාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, වේදනාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, ස්පර්ශය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, සළායතන (ඉන්ද්‍රිය) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, නාමරූප අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, විඤ්ඤාණය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, සංස්කාර අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, අවිජ්ජාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, මොවුහු පටිච්චසමුප්පන්න ධර්මයෝයයි (හේතුඵලධර්මයෝයයි) කියනු ලැබෙත්.

“මහණෙනි, යම් හෙයකින් වනාහී ආර්ය ශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයද, මේ පටිච්චසමුප්පන්න ධර්මයන්ද ඇතිසැටි යහපත් නුවණින් මනාකොට දක්නා ලද්දාහු වෙත්ද, එවිට ඒ ආර්ය ශ්‍රාවකතෙම මම අතීතකාලයෙහි වූයෙම්දෝ අතීත කාලයෙහි නූවූයෙම්දෝ කවර ජාති ඇත්තෙකු වූයෙම්දෝ අතීත කාලයෙහි රූපය කෙසේ වූයෙම්දෝ, මම අතීත කාලයෙහි කවර ජාති ඇත්තෙකු වී පසුව කවර ජාති ඇත්තෙකු වූයෙම්දෝ කියා අතීතයට දුවන්නේය යන යමක් ඇත්නම් ඊට කරුණු නැත. මම අනාගත කාලයෙහි වෙම්දෝ, අනාගත කාලයෙහි නොවෙම්දෝ, අනාගත කාලයෙහි කවර ජාති ඇත්තෙකු වෙම්දෝ, අනාගත කාලයෙහි රූපය කෙසේ වෙම්දෝ, අනාගත කාලයෙහි කවර ජාති ඇත්තෙකුවී, පසුව කවර ජාති ඇත්තෙකු වෙම්දෝයි අනාගතයට දුවන්නේය යන යමක් ඇත්නම් ඊට කරුණු නැත. මේ වර්තමාන කාලය ගැන හෝ තමාගේ පඤ්චස්කන්ධය මම වෙම්දෝ, නොවෙම්දෝ, කවර ජාති ඇත්තෙකු වෙම්දෝ (රූපය) කෙසේ වෙම්දෝ මේ සත්වතෙම කොහෙන් වනාහි ආයේද; හෙතෙම කොහි යන්නේදැයි සැක ඇති වන්නේය යන යමක් වේනම් ඊට කරුණු නැත. ඊට හේතුව කවරේද? මහණෙනි, ආර්යශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයද; මේ පටිච්චසමුප්පන්න ධර්මයෝද ඇති සැටි යහපත් නුවණින් මනාකොට දක්නාලද හෙයිනි.

දෙවෙනි ආහාර වර්ගයයි.

ආහාර සූත්‍රය, ඵග්ගුණ සූත්‍රය; සමණ බ්‍රාහ්මණ සූත්‍ර දෙක, කච්චායනගොත්ත සූත්‍රය, ධම්මකථි සූත්‍රය, අචේල සූත්‍රය, තිම්බරුක සූත්‍රය, බාලපණ්ඩිත සූත්‍රය සහ ප්‍රත්‍යය සූත්‍රයයි මේ ආහාර වර්ගයෙහි සූත්‍ර දසයකි.