සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

3. දසබල වර්ගය

1. දසබල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, දසබලයකින් යුක්තවූද, සිව් වැදෑරුම් විශාරද භාවයකින් යුක්තවූද, තථාගතතෙම ශ්‍රෙෂ්ඨස්ථානයට පැමිණේ. පිරිසෙහි සිංහනාද කෙරෙයි. උතුම්වූ ධර්මචක්‍රය පවත්වයි. (කෙසේද?) මේ රූපයය, මේ රූපයාගේ හේතුවය, මේ රූපයාගේ නැතිවීමය. මේ වේදනාවය, මේ වේදනාවේ හේතුවය, මේ වේදනාවගේ නැතිවීමය. මේ සංඥාවය, මේ සංඥාවගේ හේතුවය, මේ සංඥාවගේ නැතිවීමය. මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ හේතුවය, මේ සංස්කාරයන්ගේ නැතිවීමය. මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ නැතිවීමය. මෙසේ මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන් ඇති කල්හි, මේ සංස්කාරාදී ඵලය ඇතිවේ. මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ ඉපදීමෙන් සංස්කාරාදී ඵල උපදී. මේ අවිජ්ජාදී ප්‍රත්‍යය නැති කල්හි සංස්කාරාදී ඵල ඇති නොවේ. මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ නැතිවීමෙන් මේ සංස්කාරාදී ඵල නැතිවේ.

“හේ මෙසේයි:- අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවෙත්. විඤ්ඤාණය නිසා නාමරූපයන් ඇතිවෙත්. නාමරූප නිසා සළායතන ඇතිවෙත්. සළායතනයන් නිසා ස්පර්ශ ඇතිවෙත්. ස්පර්ශයන් නිසා වේදනාව ඇතිවෙත්. වේදනාව නිසා තණ්හාව ඇතිවෙත්. තණ්හාව නිසා උපාදානය ඇතිවෙත්. උපාදානය නිසා භවය ඇතිවෙත්. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙත්. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ද ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ ඇතිවේ. අවිජ්ජාව නැති කිරීමෙන්ම සංස්කාරයන්ගේ නැතිවීම වෙයි. සංස්කාරයන්ගේ නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවේ. නාමරූපයන්ගේ නැතිවීමෙන් සළායතන නැතිවේ. සළායතනයන්ගේ නැතිවීමෙන් ස්පර්ශ නැතිවේ. ස්පර්ශයන්ගේ නැතිවීමෙන් වේදනාව නැතිවේ. වේදනාවන්ගේ නැතිවීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාවන්ගේ නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානයන්ගේ නැතිවීමෙන් භවය නැතිවේ. භවයන්ගේ නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නැති වෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.